“මම සීනි අල්ලට ගෙන නැවත ලිප ළඟ ම ලැග ගතිමි. කහට කෝප්පය මදක් බී සීනි ටික මුවේ හලා ගතිමි. අල්ලේ තැනින් තැන ඉතිරිව ඇති සීනි ඇට එක-දෙක දිවෙන් ගෙන අල්ල පස්ස පැත්තේ පිහිදා ගත් මා ලිපේ රස්නයට ගුලි වූයේ පාන්දර හීතල ඉහළිය නොහැකි බැවිනි.” (13-14 පිටු)
චුට්ටා, ග්‍රාමීය සමාජය විනිවිද දකින යොවුන් නවකතාවකි.
ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු නවාතැන් රැසක් රසවත් පරිච්ඡේද කිහිපයක් ඔස්සේ චුට්ටා තුළින් නිරූපණය කෙරේ. කතුවරයා, දරිද්‍රතාවය විසින් යටත් කරගන්නා ලද චුට්ටාගේ පවුල තුළ සිදුවන අනේකවිධ හැලහැප්පීම් ඉදිරිපත් කරන්නේ ඉතා රසවත් සරල භාෂාවකිනි.
නවකතාව පුරා ගලා යන උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචිත චුට්ටාගේ කතාව කතුවරයාගේ අත්දැකීම් වලින් මනාව සුපෝෂණය වී තිබේ. කතාවේ කතා නායකයා චුට්ටා ය. ඔහුගේ සුරතල් නාමය ලෙස චුට්ටා යන්න භාවිත වූවත් සැබෑ නාමය හමුවන්නේ කතාවේ මැද භාගයේදී ය.
“එහෙනම් වේදිකාවට එන්නේ චුට්ටයියා නොහොත් සුපුල් ඉඳුවර බණ්ඩාර යි…” (103 පිටුව)
සුපුල් ඉඳුවර බණ්ඩාර කුඩා කල සිට තම මව සමඟ පොළට ගොස් කිරි විකුණා ගැනීමට සහාය ලබාදෙයි. පොළ පැවැත්වෙන්නේ සඳුදා බැවින් චුට්ටාගේ පාසල් ගමන සඳුදාට සිදුවන්නක් නොවීය. එවන් වටපිටාවක් තුළ චුට්ටා සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම දක්වා වූ කතාව නවකතාව පුරා ගලා යයි.
ග්‍රාමීය ජන ජීවිතය තුළ භාවිතාවන ග්‍රාමීය භාෂාව නවකතාව පුරාම දැක ගත හැකිය. නවකතාව ගලායන්නේ දකුණු පළාතේ මාතර, තිහගොඩ ආදී ප්‍රදේශ මුල්කරගෙනය. එම ප්‍රදේශයට ආවේණික බස් වහර ඉතා මටසිළුටු ලෙස භාවිතා කරමින් කතාව රසවත් කර තිබේ. සාමාන්‍යයෙන් මධ්‍යම, සබරගමු, ඌව, උතුරුමැද වැනි පළාත්වලට සීමා වී ඇති විශේෂ වූ නාමයක් වන ‘බණ්ඩාර’ යන්න දකුණු පළාතේ චුට්ටාට ලැබුණේ කෙසේදැයි කතුවරයා හෙළි නොකරයි.
ග්‍රාමීය පවුල තුළ දෝලනය වන සොම්නස, දොම්නස, ගැටුම කතාව පුරා අපූරුවට චිත්‍රණය කෙරේ. කුඩා වියේ සිට ම තම පවුල වෙනුවෙන් කැපවන චුට්ටා දක්ෂ උත්සාහවන්ත දරුවෙකුගේ චරිතය නිරූපණය කරයි. ටිකෙන් ටික වැඩෙන ඔහුගේ චරිතය පුරා සිදුවන වෙනස්කම් කතුවරයා ඉසියුම් ලෙස නිරූපණය කරනු පෙනේ. යොවුන් වියට එළඹෙන විට වගකීම් වැඩි ප්‍රමාණයක් තම හිස මත තබා දරාගනිමින් තාරුණ්‍යයේ දඩබ්බර ගති ඉස්මතු කිරීමට චුට්ටාගේ චරිතය තුලින් කතුවරයා සමත්වෙයි.
“මට උඹට ගහන්න ඕන නෑ අක්කේ. මට ඕන උඹ ඉස්කෝලේ යනව දකින්න. මට පුළුවන් දෙයක් මම කරන්නම්…’ මට ඉකි ගැසිණි. වේදනාවෙන් පුපුරු ගසන දකුණත මිරිකමින් මම ඇති තරම් ඇඬුවෙමි. මා කොතරම් හයියෙන් කෑ ගසා ඇත්දැයි තේරුනේ මද්දු අම්මලා හුළු අත්තක් පත්තු කරගෙන උඩහට ගොඩ වුණු විටය.” (236 පිටුව)
ග්‍රාමීය පවුල තුළ සිදුවන අතිශය බරපතළ ගැටලු කිහිපයක් මේ තුළ ඉතා රසවත් අන්දමින් ඉදිරිපත් කෙරේ. මෙහි එන ‘හීන් එකී’ නමින් හඳුන්වන එළදෙන විකිණීමට පියවර ගැනීම කතාවේ අතිශය වැදගත් සිදුවීමකි.
“මොනයම් අමාරුකම් ආවද අපේ කිසිදු හරකෙකු මස් කඩයට නොවිකිණීම සීයාගේ කාලයේ සිට පැවත එන සිරිතකි. අප පරම්පරාවක් ම ජීවත්ව ඇත්තේ උන්ගේ කිරි නිසා බව අම්මා නිතර දෙවේලේ කියන කාරණයයි… අක්කාගේ කොටහලු මගුල කන්නවත් හරක් නොවිකුණූ තාත්තා මේ හදිස්සියේ හීන් එකී විකුණන්න යන්නේ අහවල් හේතුවකට දැයි මට සිතාගත නොහැකි තරම්ය.” (125 පිටුව)
පියෙක් තම දරුවන්ගේ තත්ත්වයට හානියක් පැමිණෙනවිට එය වැලැක්වීමට ගනු ලබන තීරණ මේ තුළින් සංකේතවත් කෙරේ. මෙපමණ කලක් වළ වැසිකිළියට යාම නිසා පාසල් ළමුන් ඉදිරියේ ලැජ්ජාවට පත්වන තම දියණිය කෙරෙහි ඔහු තුළ උපන් ශෝකය ගවයා විකිණීම තුළින් සංකේතවත් කෙරේ. තම දරුවන් වෙනුවෙන් වටිනාම දේ පවා අතහැරීමට දෙමාපියන් දෙවරක් සිතා නොබලන බව මෙනයින් සංකේතවත් කෙරේ. වැඩිවියට පත් සොහොයුරිය සිය යහළුවන් අතර ලැජ්ජාවට පත්වනවිට, අපහාසයට ලක්වනවිට සොහොයුරෙක් ලෙස සුපුල්ගේ ක්‍රියා කලාපය මානවවාදීව කතුවරයා ඉදිරිපත් කර තිබේ.
“යකෝ බලහල්ලකො මේකිගේ ආඩම්බරකම ඉහටත් උඩින්! හිතන්නේ ඇත්තේ කුමාරිහාමි කියලා… රෙන්න හරිහමන් ලැට් එකක් නෑ. අපිට ගෑස් පෙන්නනවා…”
“මක්කැයි පරයො තෝ අපෙ අක්කට කිව්වේ..?” (112 පිටුව)
කතාව තුළ චුට්ටාගේ චරිතය නිරූපණය කරන්නේ කතාවේ කතා නායකයා ලෙසත්, කතාවේ සැබෑ වීරයෙකු ලෙසත් ය. කැලයේ පිපුණු මල් කැලයේම පරවී යන්නට නොහැර ඒ මල්වල සුගන්ධය ලොවට ගෙනයාමට ගුරුවරු දරන කාර්යය ද නවකතාව තුළ ප්‍රශංසනය ලෙස ඉදිරිපත් කර තිබේ. සුපුල්ගේ කවියක් පත්තරයක පලවීම, විශ්වවිද්‍යාල කාව්‍ය තරඟයේදී ජයග්‍රහණය ලැබීම වැනි සාධනීය ලක්ෂණ තුළින් වීරයා සිටින්නේ තමා තුළම බවත් කතුවරයා පාඨකයා හමුවේ තබයි.
මව හා දරුවා අතර පවතින අපරිමිත බැඳීම මානවවාදීව නවකතාව තුළ ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී තිබේ.
“අම්මාගේ හඬෙහි වේදනාවත් ආදරයත් එකට මුසුවී තිබේ. මම කිසිත් නොකියාව වහලය දෙස බලා උන්නෙමි… වචන වලින් පැවසිය යුතු බොහෝ දෑ සුසුම් වලින් පිටවන විට නිදහසක් දැනෙනවා වන්න ඇත. මට ඇස් පිය වන විට ළා වැසි පොදක් සමඟ අහස ඉකි ගසනවා යාන්තමට මතක ය.” (78 පිටුව)
පරිච්ඡේද හතරකින් සමන්විත මෙම නවකතාවේ පරිච්ඡේද පවා නාමකරණය කරන්නේ කාව්‍ය පාද හතරකිනි. ග්‍රාමීය පරිසරය තුළ ගලා යන රස මිහිර විඳ ගැනීමට නම් ඔබ කියවිය යුතුම නවකතාවක් ලෙස ළහිරු කිතලගමගේගේ චුට්ටා අපූරු තේරීමක් ලෙස යෝජනා කරමි.
“ලෝකයම දුවමින් තිබෙන හැන්දෑවේ මම විතරක් නතර වී සිටිමි. වැඩ ඇරී දුවන, ඇවිදින, වෙහෙස වුණු මිනිසුන්ට මගේ සතුට කුමකට ද? ජීවිතයේ අලුත් පිම්මක් සඳහා දොර විවර වී තිබේ. ගමන මෙතැනින් නිම නොවන බව දනිමි.”
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
