“දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර සමාජයේ සාහිත්‍ය භූමියෙන් ඉහළට නැගුණ ගිරිහිස වුණේ නවකතාවයි. ඊට හේතුව උඩුයටිකුරු වූ ඒ සමාජයේ මහාවියවුල කියා පෑමට නවකතාව යොමුවීම නිසයි. එබැවින් නවකතාව පීඩනයේ භීතිකාවේ ප‍්‍රකාශනය (Literture of Exhaustion – Literature of Troma )යනුවෙන් හැඳින්වුණා. මේ උසස් නවකතාව පාඨකයාට ලබා දෙන්නේ ජීවිතය, සමාජය ගැන කම්පිත ඥානයක් (prophecy). එය නව ඥාන විශේෂයක්. ඒ නිසා නනවකතාකරු මානුෂික තත්ත්වයන්ගෙන් ස්වභාවය කියාපාන්නෙක් නොවෙයි. මානුෂික තත්ත්වය ගොඩනඟන්නෙක්. ඒ නිසා නිර්මාණකරු නිදහස් මිනිසා අමතන නිදහස් පුද්ගලයක්. ඒ නිසා නවකතාව මිනිස් සම්බන්ධතා ප‍්‍රධාන කොට ගත් මානුෂික අගයන් පිළිබඳ සත්කාරමය කලාවක්. ඒ නිසාම නවකතාව හැමවිටම අර්බුදකාරී එකක්. එය අලූත් ආගමක් විදිහට පෙනෙන්නේ. එය නිර්මාණ සතුට (Creative joy) සත්චිත්තානන්දය ලබා දෙන නිසා…”
මේ පරාක්‍රම කොඩිතුවක්කු පුවත්පත් කලාවේදී රුවන් ජයවර්ධන සමඟ පුවත්පත් සංවාදයකදී නවකතාව අරඹයා කළා වූ විවරණයකි.
රංජිත් කුරුප්පු මහතාගේ කුළුදුල් නවකතාව වන “මගියා” කෘතිය සමඟ දීර්ඝ චාරිකාවකට එක් වීමෙන් පසු මා ලැබූ ප්‍රහර්ෂයටත් කම්පනයටත් අරුත් සපයනු පිණිස මේ විවරණය ඔස්සේ ප්‍රවේශයක් ලබා ගනිමි.
මගියා වනාහී හුදෙක්ම යාත්‍රිකයෙකි. ජීවන ගමනෙහි ගමනාන්තය දක්වා ගමන් කරමින් සිටින්නෙකි. සමාජ ජීවිතය හා අවියෝජනීයව බද්ධ වෙමින් සියලු හැලහැප්පීම්, අත්පත්කර ගැනීම් අහිමිවීම් මෙන්ම හමුවීම් වෙන්වීම් වලට අනවරතව මුහුණ දෙමින් ගමන් කරන්නෙකි. ලද මනුෂ්‍ය ජීවිතයේ උපන් තැන සිට මරණය සිදුවන තැන දක්වා අපි ද මගියෝ ම වන්නෙමු. එමතු නොව තෙරක් නොමැති සසරෙහිද මගියන් ලෙස අපි ගමන් කරමින් සිටින්නෙමු.
මගියා නවකතාවෙන් විවරණය කරන්නේ දේවාන් නැමැති ප්‍රේමවන්තයාගේ ජීවන අන්දරයයි. දේවාන් ප්‍රේම කළේ තම පෙම්වතියට පමණක් නොවේ. තම බිරිඳට ද පමණක් නොවේ. තම දරු මුණුපුරන්ට ද පමණක් නොවේ. මුළු මහත් සමාජයටම ඔහු ප්‍රේම කළ’යුරු මගියා අපට අපූරුවට හෙළිදරව් කරයි.
පිටු 564 ක් තරම් වූ දීර්ඝ කියවීමක් හරහා මමද ඒ මගියා සමඟ චාරිකා කළෙමි. මෙහිලා කිවයුතුම දෙය නම් ඒසා දීර්ඝ කියවීමක් වුවද, කිසිදු තැනෙක අල්ප වූද වෙහෙසකට පත් නොවූ බවයි. ඒ රචකයාගේ ආකර්ෂණීය බස් වහර නිසාම බව ඔබට කියමි. කතුවරයා සිය පෙරවදනෙහිදී විවෘත මනසකින් මගියාගේ සගයෙකු වෙමින් මගියා සමඟ මෙම දීර්ඝ චාරිකාවට එක්වන ලෙස පාඨකයන්ට ආරාධනා කරයි. එවිට ලෝකය ගැන, ලෝකයේ වෙනත් සංස්කෘතීන් ගැන, රාගය මෙන්ම ආදරයත් එහි ඇති ප්‍රහර්ෂය මෙන්ම ඛේදය ගැන මතු නොව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා වූ විප්ලවයන්ගේ නැගීම එහි අසාර්ථකත්වයන් ගැනත් පාඨකයාට අංශු මාත්‍රයක අත්දැකීමක් විඳින්නට හැකිවනු ඇතැයි හේ විශ්වාස කළේය. එය එසේම වූ බව ලියා තබන්නේ ජර්මනියේ රයින් නදිය අසබඩ මා තවමත් ඒ නිසල සෞන්දර්ය වින්දනය කරමින් සිටින බැවින්ම පමණක් නොවේ. ෂූබට්ගේ අටවන සංධ්වනිය වූ “unfinished” හි හද කීරිගස්වන ශෝකී රාවය තවමත් මා දෙසවන සියුම් අනුනාදයන් නගන බැවින්ම පමණකුත් නොවේ. මෙරට තුළ ඇතිවූ සමාජ, ආර්ථික හා සංස්කෘතික විපර්යාසයත් කලාවට හා කලාකරුවන්ට අත්ව ඇති ඉරණමත් නිසා දේවාන් තුළ වූ සහකම්පනයට මා ද ඒකාත්මික වූ බැවිනි.
මගියා ගමන අරඹන්නේ දේවාන් හා යශෝධරාගෙ පාසල් ප්‍රේම වෘතාන්තයෙන්. තම ජීවිතයේ ඒකායන පර්මාර්ථයන් මුදුන් පමුණුවා අවසන යුග දිවියක මිහිරියාව සාධනය කර ගනු වස් අපේක්ෂා කළ ආදරණීය පෙම්වතුන්ගේ වියෝවට හුදෙක්ම බලපානු ලබන්නේ එවක සමාජ දේශපාලන තත්වය. ඒ දේවාන් ට්‍රොස්කිවාදී දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වී සමාජ විප්ලවයක සිහින දැකීම ආරම්භයත් සමඟ.
“අද මේ ධනපති ආර්ථිකය ඉතිහාසයේ පෙර නොවූ විරූ මාරාන්තික අර්බුදයකට මුහුණ දීලයි තියෙන්නෙ. මේ ජරාජීර්ණ වී ගොස් තිබෙන ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සදහා පාලක පන්තිය මර්දනය පාවිච්චි කරමින් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උදුරා ගනිමින් සිටිනවා. මේ මිනීමරු දූෂිත ධනපති රජය පෙරළා දැමීම සඳහා අප ඉදිරියේ තිබෙන එකම ප්‍රශ්නය නම් නායකත්වය පිළිබඳ ප්‍රශ්නයයි … මේ වාතාවරණය තුළ කිසිවෙක් සාර්ථක පුද්ගලික ජීවිතයක් ගොඩනගන්නට කල්පනා කරනවා නම් එය විහිළුවකට වැඩි යමක් නොවේ. පුද්ගලික ජීවිතය මියගොස් හමාරයි.එය ඉතිහාසය විසින් වළ දමා හමාරයි. සමාජවාදී සමාජයක් බිහිකිරීමේ සටන හැර අද මනුෂ්‍යත්වය ඉදිරියේ වෙනත් අරමුණු හෝ විකල්පයක් තියෙන්නට බැහැ …”
ඒ දේවාන්ගෙ ට්‍රොස්කිවාදී පක්ෂයේ නායකයගෙ මග පෙන්වීම. ඉදින් එක් අයෙකුගේ හිතසුව පිණිස නොව, පෑගී පොඩි වී දුක් විඳින ජනතාවට විමුක්තිය අත්පත් කරදීම උදෙසා සංවිධානය වෙමින් පවතින අරගලයේ කොටස් කාරයෙකු බවට පත් වෙමින් දේවාන් යශෝදරාගෙන් දුරස් වෙයි.
1971 කැරැල්ල සමඟ බලයට එන ආණ්ඩුවෙන් සියලු විප්ලවකාරී සංවිධාන පොළවට සමතලා වී යන අතර දේවාන් ඉන්දියාව හරහා එංගලන්තයට ගොස් සිනමාව පිළිබඳ ඉගෙනීමේ අරමුණින් සේද මාවත දිගේ සංචාරය අරඹයි.
මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ “සිංහල විචාර මග” කෘතියෙහි දැක්වෙන ආකරයට හොඳ නවකතාවකින් හෝ පද්‍ය කාව්‍යයකින් ලබන චමත්කාරය හැඳින්වීමට පහන් සංවේගය යන වහර අගනේය. රසාස්වාදය යන ලෝකායත වහරට වඩා පුළුල් අරුතක් පහන් සංවේගය යන වචනයෙන් ප්‍රකට වේ. නියම කලාකෘතියක සමුදයාර්ථය විසින් සපයන්නේ රස නොව පහන් සංවේගය දනවන චමත්කාරයකි. අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව පහන් සංවේගය දනවන චමත්කාරයක් ඇති නිර්මාණ සත්තාවකි. සමුදයාර්ථය යනු කෘතියේ සමස්ත අරුතයි.
අන්තර්ගතය, ආකෘතිය, බස, ශිල්පවිධි ඇතුළත් සමස්ත සන්දර්භයම සලකා බලා මිස කෘතියක අංගෝපාංග වෙන් වෙන් වශයෙන් සලකා බලමින් කරන විචාරය අසම්පූර්ණ එකක් බවයි මාර්ටින් වික්‍රමසිංහ අදහස් කරන්නේ.
එනයින් බලන කල්හි මගියා හි සමුදයාර්ථය පාඨකයාට ප්‍රක්ෂේපනය කරන්නේ පහන් සංවේගයක් බව මම අවධාරණය කරමි.
මේ නවකතාවේ එන කිසිඳු සිද්ධියක්, චරිතයක් හෝ අවස්ථාවක් හුදු ආකාශ්මික ඒවා නොවේ. මෙහි එන යුද්ධය, කොටි කඳවුර, පොලීසිය, විශ්ව විද්‍යාල ජීවිතය, දේවාන්ගේ චිත්‍ර පටය තහනම් කළ රැඟුම් පාලක මණ්ඩලයේ ක්‍රියා කලාපය ආදී කිසිවකුත් ආකාශ්මික නොවේ. ඒ මේ සමාජ යථාර්ථය යි.
“නවකතාව පුද්ගලාත්මයේත් සමාජත්මයේත් කැඩපතක්. දේශපාලන කතා බොහොමයක් අසාර්ථක වන්නේ ඒවාට පුද්ගලාත්මය පතිත නොවීම නිසයි…” තවත් තැනක පරාක්‍රම කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබෙනු මම දිටිමි.
නිසැකවම නවකතා කරුවාටත් තමා ජීවත්වන සමාජයෙන් විනිර්මුක්තව තම නිර්මාණය කළ නොහැකි බව මගියා අපට විෂද කරයි. යුග කිහිපයක් හරහා දිවෙමින් එක් එක් යුග තුළ සිදුවූ සමාජ විපර්යාස, සමාජ ආර්ථික බිඳවැටීම, සංස්කෘතික සදාචාර ද්වජබංගය ඒ ඒ චරිතවල ගමන් මග කෙරෙහි බලපැවැත්වුණ ආකාරය මගියා අපූරුවට විවරණය කරයි.
“නවකතාවක ජීවිතය යනු හුදෙක් සන්දර්භයෙන් ගැලවූ පුද්ගලභාවයක් නොවේ. මිනිස් මනසද, ඔහුට හෝ ඇයට අත්දැකීම් බවට පත් වන කේවල මෙන්ම පොදු තත්වයන් ද, පුද්ගලාන්තර සම්බන්ධතාවයන් හි මෙන්ම සමාජ දේහයෙහි ගති ලක්ෂණ හා මූලයන් ද විවරණය වීමත්, ගවේෂණයට හා සංස්ලේෂණයට හසු වීමත් නව කතාවක අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ” යනුවෙන් ‘ගිරි මුදුනත මාළිගාව’ කෘතියෙහි කීර්ති වැලිසරගේ ප්‍රකාශ කරයි.
ඉදින්,දේවාන්ගේ චරිතය අපි කියවන්නේ ඒ සමාජ සංදර්භයෙහිම ඔහුත් සමඟ ජීවත් වෙමින්.
සියලු හැලහැප්පීම් මැද සංචාරය කරන මගියාගේ ජීවන අන්දරය ලොව සදාතනික යථාර්ථයද දාර්ශනික ආමන්ත්‍රණයක් ඔස්සේ සිය ගමන් සගයන්ට ඒත්තු ගැන්වීමට තැත් කරන’යුරු නවකතාව පුරාම අපට හමුවේ.
“සෑම කෙනෙකුගේම ජීවිතය අවියෝජනීය අයුරින් ආර්ථිකයත් සමඟ බැඳිල තියෙන්නෙ.”
“අත්තිවාරම දිරාපත් වී ඇත්නම් ඒ මත ගොඩනඟා ඇති ගෘහයේ ආයුෂ ගැන කුමන කතාද”(පිටුව 51)
“යථාර්ථය කටුකය. යථාර්ථයෙන් පලා යන්නට නොහැකිය” (පිටුව 55)
නිරන්තරයෙන් වෙනස්වන ලෝකය තුළ වෙනස් නොවී පවතින එකම දෙය වෙනස්වීම බැව් තේරුම් ගැනීමට මීට වඩා තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.(පිටුව 58)
“ජීවිතය කියන්නේ හමුවීම සහ වෙන්වීමට වැඩි දෙයක් නෙමේ” (පිටුව 186)
“යසා. මරණය කියන්නෙ සුළු දෙයක්… ඒත් ජීවිතය කියන්නෙ සුළු දෙයක් නෙමේ…” (පිටුව 555)
1971 කැරැල්ල ඇතිවූ සමයේ සමාජ පසුගාමීත්වය, සමාජ කලබැගෑනිය තීව්‍ර ලෙස නවකතාව තුළින් විනිවිද යන’යුරු කතුවරයා තම භාෂාව සූක්ෂ්ම ලෙස යොදාගනී.
“මුළු රටම සමාජවාදය නැමැති දරුවාගේ ගැබ්බරින් පසුවන බවත් සමාජවාදය නැමැති දරුවාට නියම ප්‍රසූතියක් ලබාදීම විමුක්ති ව්‍යාපාර යේ කර්තව්‍යය බැව් ඔවුහු පුන පුනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. එහෙත් ඔවුන් සියලු දෙනාම සමාජවාදය නැමැති දරුවාට නියම ප්‍රසූතියක් ලබාදීමට අපොහොසත් වී ඇත. ශ්‍රී ලංකා මෑණියගේ කුසයෙන් සමාජවාදය නැමැති දරුවා ගබ්සා වී ගොස් ඇත. එනමුදු කැරැල්ල විසින් තමාට අනාගත සහකරුවෙකු මුණගස්වා ඇත…”
ගිටාරයත් කරේ එල්ලාගත් දේවාන් වරනාසි දුම්රිය පොළෙන් බැස දිල්ලිය, අම්රිත්සාර්, පාකිස්තානය, ලාහෝර්, ඇෆ්ගනිස්තානයට ඇතුල්වන දේශසීමාව, ජලහිලාබාද්, කාබුල් නගරය, ඉරානයේ ටෙහෙරාන්, තුර්කියේ ඉස්ටාන්බූල්, ජර්මනියේ මියුනික් නගරය දක්වා ගිය ගමන ප්‍රේමය, කුතුහලය, බිය, හුදෙකලාව, රාගය, සතුට, වේදනාව ආදී සියල් භාවයන්ගේ ඇති නැති වීම් අභියස පාඨකයා අසීමාන්තික ජීවිත පරිඥානයක් ලබයි. නිර්මලාගේ හමුවීම හා ඇයගේ පියාගේ භෂ්මාවශේෂ ගංඟානම් නදියේ පා කර හැරීම, ඉන්පසු ජෙනී හමුවීම හා ඇය සමඟ සංචාරය කරමින් ගතකළ සොඳුරු දින කිහිපය මිනිස් මනෝභාවයන්, චර්‍යාවන් හා අත්දැකීම් පිළිබඳ අපූරු විවරණයකට පාඨකයා රැගෙන යයි.
ගංගා නම් ගඟ අසබඩ ජෙනී හා දේවාන් ගේ හමුවීම කාව්‍යාත්මකව චිත්තරූප මවමින් ඉදිරිපත් කරන’යුරු පාඨක සිත් ඇද බැඳ ගනී.
“පඩිපෙළ බැසගෙන පැමිණි ඔවුන් දෙදෙනා ගං දිය ආසන්නයට පැමිණ ගල් පඩියක් මත වාඩි ගත්තෝය. නදියට උඩින් සඳ පායාවිත් තිබුණි. නදී ජලය මත පතිතව ඇති සඳ රැස් රන් තැටියක් මෙන් දිලිසුණේය. අවට පරිසරය නිසලය. මධ්‍යහනයේ මෘත දේහයක් ආදාහනය කරන ලද තැනකින් තවමත් සිහින් දුම් රැල්ලක් නැගෙන්නේය. මෙතෙක් ගංඟාව දෙස බලාසිටි දේවාන් ගිටාරය අතට ගෙන එය සුසර කරන්නට විය. ජෙනී මෙතෙක් කරේ එල්ලාගෙන සිටි බටනළාව බහාලූ පෙට්ටිය අතට ගෙන එය විවර කළාය. කෑලි තුනකින් සමන්විත වූ එය නවීන බටනළාවකි. කෑලි තුන එකට පිරිද්දූ ඇය රන්වන් පාට බටනළාව සිය දෙතොල් මත තබා එකිනෙකට වෙනස් කෙටි තනු කීපයක් වාදනය කොට දේවාන් දෙස බැලුවාය. රන්වන් පාට බට නළාව මතට සඳ රැස් වැටී දිදුලන්නේය…(පිටුව 162)
එක්වරම සුරම්‍ය බටනළා හඬක් නිසල පරිසරය මතින් ගුවනට නැගෙන්නට විය. ශුද්ධ වූ ගංඟා නදියේ ජලය පිසගෙන හමා යන සිහිල් සුළං රැල්ලෙන් දේවාන්ගේ දිගු කළු කොණ්ඩය ලෙළදෙන්නේය…(පිටුව 163)
“බිම් කළුවර මෝදු වීමත් සමඟ මහාමාර්ග දෙපසේ වූ පහන් කණුවල විදුලි ලාම්පු දැල්වී ඇත…. දෙසවන වැකෙන රාගය හද කිළිපොලා යන හුදෙකලාවක් නිර්මාණය කරන්නේයැයි ඔහුට සිතුණි… විවර කර තිබූ දොරේ උළුවස්සට හේත්තු වී ජෙනී බටනළාව වාදනය කරන දෙස ඔහු බලාසිටින්නට විය. පෑන්ටියක් පමණක් ඇඳ සිටි ඇය උඩු කයට දුහුල් රෙද්දකින් මසන ලද සුදුපාට කුරුතාවක් පමණක් ඇඳ සිටියාය . කාමරය තුළ තැනින් තැන ඉටිපන්දම් දල්වා ඇත. හුදෙකලාව උද්දීපනය කරමින් වැයෙන රාගයේ ස්වර් මාධූර්‍යයන් සඳලුතලයේ අඩ නිරුවතින් බටනළාව වයන ඇගේ දසුනත් වලාකුළු වලින් තොර වූ විසල් අහස මත පායා ඇති තාරකාත් කිසියම් සංවාදයක නියැලී සිටින්නක් මෙනි…”(පිටුව 171)
කීර්ති වැලිසරගේ කියන පරිදිම “නවකතාව යනු එක් අතකින් මහා කැන්වසයකි. ඒ කැන්වසය මත නවකතාකරු නැමැති අපූර්ව නිර්මාණකරුවාට, අනිකුත් සාහිත්‍ය මාධ්‍ය හා සංසන්දනාත්මකව සලකා බලතොත් වැඩි නිදහසකින් තම තෙලිතුඩ හැසිරවීමේ අවස්ථාව පවතී. ඒ කැන්වසය හරහා මහා ගංගා ගලා යා හැකි අතර ඒවාට ඒවාට ජීවය දෙන උල්පත්, දියකඳුරු , ඇලි හා අතු ගංගා ද උස් කඳු වැටි මෙන්ම හුදෙකලා ශේෂ කඳු ද දෝරු හා නිම්න ප්‍රදේශ ද තැනිබිම් හා ප්‍රපාතද, මහා මන්දිර මෙන්ම පැල්පත් ද, උඩු ගුවන සිසාරා පියා සලන උකුසු ඈ මහා පක්ෂී ගණයා මෙන්ම පහළ අත පොවන මානයේ පියාඹන පොල්කිචි, බටිති, පැණි කුරුලු ඇතුළු සමස්තය සිතුවම් කිරීමේ හැකියාව නොමදව පවතී…” ඒ හැකියාව උපරිමයෙන් අවස්ථාව කරගත් උසස් නිර්මාණයකි මගියා.
ජීවිත වලට ආදරණීය හමුවීම්, සොබාදහම සහ සමාජ විපර්යාසයන් කරන බලපෑම සුළුපටු එකක් නොවන බව මගියා කුළුගන්වයි.
ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන් වල දේවාන්ගේත්, යශෝදරා ගේත් මනෝභාවයන් හා ඊට මුහුණ දෙන ආකාරය කතුවරයා වරෙක පාඨක සන්තානය සසල කරයි. ප්‍රේමයේ ආනන්දයත්, විප්‍රයෝගයේ රුදු කටුකත්වයත් මගියා හා ඒකාත්මික වෙමින් මා වින්දෙමි. විප්‍රයෝගයේ වේදිතයන් අභිමුව යශෝදරා හා නිහඬ සංවාදයක සහකම්පනයෙන්ද යථාතත්වාවබෝධයෙන්ද හුදෙක් නියැලුනෙමි. ඒ මගියා දෙන ජීවිත පරිඥානයයි.
අවසානයේ යශෝදරාට ඉරණම විසින් රනවි ජයසුන්දර නම් උසස් පොලිස් නිළධාරියා තුළ වූ ආදරණීය සංවේදී සංස්කෘතික මිනිසා මුණගස්වයි. මුළු මහත් රටම බියෙන් ඇළලෙමින් තිබූ වකවානුවක දේවාන් පිළිබඳ ප්‍රශ්න කිරීමට යශෝදරා පොලීසියට කැඳවනු ලැබීම හා රනවි ජයසුන්දර හමුවීම මගියාගේ එක් හැරවුම් ලක්ෂයක්.
දේවාන්ට ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලය ඉදිරිපිට වූ හෝර්ෆ්ගාර්ඩන් පිට්ටනියේදී ඉරණම විසින් බ්ලොන්ඩ් කේශ කලාපයක් සහිත ආදරණීය අනබෙලා මුණගස්වයි. එතැන් පටන් මගියා තවත් සංකීර්ණ සිදුවීම් දාමයකට මුහුණ පායි.
කුරිරු යුද්ධයේ ක්‍රියාන්විතය අතරතුර යශෝදරා ගේ ස්වාමි පුරුෂයා වූ රනවි ජයසුන්දරගේ අනපේක්ෂිත මරණය මගියාගේ තවත් හැරවුම් ලක්ෂයක්.
මානව බැඳීම් වල සාධනීය උත්කර්ෂයත්, ප්‍රේමයේ උත්තරීතර බව අභියස ජීවිතයේ අසීමාන්තික ප්‍රහර්ෂයත්, අනුරාගයේ උච්චතම වින්දනයන් හමුවේ මානව සන්තානයේ පිරී ඉතිරී යෑමත්, විප්‍රයෝගයන්හි ඛේදනීය ශෝකාන්ත හමුවේ ලෝක සත්තාවට අනුගත කරවීමත් ඒ සියල්ල අභිභවා සමස්ත මානව සමාජයට හා සොබාදහමට පෙරළා ප්‍රේමය මුදා හැරීමටත් මගියා අපට ආරාධනා කරයි. වරින් වර මානව ජීවිත වල ගලා යෑම උච්චාවචනයන්ට ලක් කරමින්ද තුලනය කරමින්ද ජීවිතාවබෝධය ලබා දීමට අර අදින ඉසියුම් බලවේගයක් මගියා සමඟ ගමන් කරයි.
ආගමික ඉගැන්වීම් හරහා ලෝකයට සාධනීය දර්ශනයක් ද මානව සන්තානයේ හුදෙකලා ගූඪබව මොහොතක සන්තර්පණය කරන සෙවණැලි පතිත කරමින්ද ලෝකයේ විවිධ ඉගැන්වීම්, දර්ශනයන්,විශ්වාසයන් හා සංස්කෘතීන් ගවේෂණයට පෙළඹවීමක් මෙහි සියුම්ව ගැබ් වී තිබේ.
“භගවත් ගීතාව කියල කියන්නෙ කුරු පාණඩව යුද්ධය ඇරඹෙන්නට පෙර ක්‍රිෂ්ණා දෙවිඳුන් හා අර්ජුන අතර ඇති වූ සංවාදය…” (පිටුව 321)
“යුද්ධයට පැමිණ සිටින අනෙක් පාර්ශවයේ සිටින පුද්ගලයින් හඳුනාගන්නා අර්ජුන ක්‍රිෂ්ණා දෙවිඳුන් ට මෙහෙම කියනවා. “ඕ ක්‍රිෂ්ණා… අපට ප්‍රතිවිරුද්ධ ව සටනට අවතීර්ණ වෙලා ඉන්න කුරු හමුදාවෙ ඉන්නෙ අපේම ලේ නෑදෑයො. අපේම වැඩිහිටියන්. ඉතිං කොහොමද මේ උතුම් මිනිසුන්ව මරන්නෙ. ඒ අය විනාශ කරලා අයිතිකර ගන්න රාජ්‍යයකින් ඇති ඵලය කුමක්ද …” (පිටුව 322)
“ශුද්ධ වූ බයිබලයේ දාහතර වන පරිච්ඡේදයේ සඳහන් වී තිබෙන ආකාරයට ජීවිතයේ පටුමඟ ඔස්සේ ගමන් කරන්නෝ පමණක් ජීවිතය සොයා ගනිති.” (පිටුව 357)
“යුධ බිමේදී ක්‍රිෂ්ණ දෙවිඳුන් අර්ජුන අමතා කියූ කියමනක් දේවාන්ගේ මතකයට නැගුණේය. ‘ප්‍රඥාවන්තයින් ජීවිතය ගැන හෝ මරණය ගැන ශෝකයට පත් නොවන්නේය’. ඇත්තෙන්ම ඒ කියමන එතරම්ම සරලව මිනිස් ජීවිතයට ආදේශ කළ හැකිද?” (පිටුව 511)
“බුදුරජාණන් වහන්සේගෙ නිර්මල බෞද්ධ දර්ශනය ත් මෙම සිද්ධස්ථානයට ඇදෙන සිය ගණන් බැතිමතුන් ගේ ක්‍රියාදාමයත් අතර සෑලකිය යුතු පරස්පර විරෝධය ක් ඇතැයි ඇයට සිතුණි. මෙහි පැමිණෙන බැතිමතුන් අතින් සිදුවන්නේ ආමිස පූජාවක් මිස ප්‍රතිපත්ති පූජාවක් නම් නොවන බව ඇය තවදුරටත් සිතුවාය… ” (පිටුව 406)
සැබැවින්ම මගියා අපව සංචාරයක රැගෙන යයි. එය දීර්ඝ ය. එය සීමිත භූගෝලීය වපසරියක නොවේ. සීමිත සංස්කෘතික සීමාවක නොවේ. කොදෙව් මානසිකත්වයෙන් ඔබ්බට පිම්මක් පැනීමට දිගුකළ හස්තයකි. නොවේනම් දිගුවකි. ලෝකය ගවේෂණයට කවුළු හැරදීමකි. එයින් නොනැවතී ආස්වාදයක් ලබමින් කලාව කලාව උදෙසා යන කියමන අතික්‍රමණය කිරීමකි. ප්ලේටෝට අනුව හොඳ සාහිත්‍යක් සමාජය ගොඩනගන එකක්. සැබෑ ලොව හඳුනාගන්නට උදව්කරන්නක්.
එමතුද නොව 71 තරුණ විප්ලවය, 80 ජූලි වැඩ වර්ජනය, 83 කළු ජූලිය, සිංහල දමිළ යුද්ධය යන මිනිස් ජීවිත උඩු යටිකුරු වූ සමාජ පෙරළියක් පසුබෑමක් සිදු වූ අවධියක මිනිසා හට තමන්ද අහිමි වූ බරපතල ඛේදය හමුවේ සමාජ බලවේග අතික්‍රමණය කිරීමට ගත් මගියාගේ මතවාදී අරගලයත් සමාජ භෞතික අරගලයත් පාඨක සන්තානයේ එළා සිත්තම් කිරීම ලේඛකයාට සුළුපටු අභියෝගක් නොවේ. චූලානන්ද සමරනායක කියන පරිදි ප්‍රබන්ධය සහ සත්‍ය ජීවිතය අතර වෙනස කෙතරම් සිහින්දැයි වරෙක සිතේ.
දේවාන් තම ආදරණීය බිරිඳ අනබෙලාගේ මරණයේදී මුහුණ දීම සහෘද පාඨක හද පාරවන මොහොතකි. එහෙත් ඇයගේ අන්තිම කැමැත්ත අනුව අවසන් කටයුතු කිරීමේ අවස්ථාව අප සසල කරයි. නමුත් නිවා සනහාලයි.
“ෂෙලෝ, වයලීන් සහ ඕගන් ආදී තූර්ය භාණ්ඩ වලින් නැගෙන සංගීතය සමඟ මුසු වී ඇසෙන ගායනය හුදකලාව, භීතිය සහ ශෝකය දනවන්නේය. කාන්තාවක් තිදෙනා එකිනෙකා පරයා යමින් සංගීතයත් සමඟ කරන ගායනයේ ප්‍රසංවාදය හදවත් තුළ කීරිගැස්මක් ඇති කරන්නට සමත්ව ඇත.” (පිටුව 516)
ඒ කීරිගැස්ම මගියා සමග අත්වින්ඳෙමි.
දේවාන් වසර ගණනාවකට පසු නැවත ලංකාවට එන විට ලංකාව ඔහු දකින’යුර පාඨක හද ශෝකයෙන් පුරවයි. ඒ එකී යථාර්ථය අපි අද ද අත්දකින නිසාය.
“දේවාන් ලංකාවට සම්ප්‍රාප්ත වන විට ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථාපිතව ඇති වෙළඳපොළ ආර්ථිකය ත් එහි නොවැළැක්විය හැකි අතුරුඵලය වශයෙන් නිර්මාණය වී ඇති පාරිභෝගික සමාජ ක්‍රමය වටහා ගන්නට ඔහුට එතරම් කාලයක් ගත නොවීය. පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියමින් කෑගැසූ ඊනියා විමුක්ති ව්‍යාපාරය පාර්ලිමේන්තුව තුළට රිංගාගෙන සිටියේය. එකිනෙකා අතර වූ සුහදත්වය, විශ්වාසය, ළෙන්ගතුකම ආදිය මහපොළොව මතින් අන්ත්‍රස්දාන වී ගොස් තිබුණි. ඒ වෙනුවට අවිශ්වාසයත් භීතියත් එකිනෙකා අතර දුරස්ථ භාවයක් නිර්මාණය වී තිබුණේය…” (පිටුව 518)
තමන් ජීවත්වන සමාජය නග්න කිරීමේ අනුල්ලංඝණීය වගකීම නිර්මාණකරුවා මත පැටවී තිබෙනුයේ ඔහුට පලා යා නොහැකි අයුරින් යැයිද, ඔහු අව්‍යාජ නිර්මාණකරුවෙක් නම් පළමුවෙන්ම ඒ වගකීමට නොපැකිල උරදිය යුතුවන්නේ යැයිද චූලානන්ද සමරනායක කියයි. අප සියල්ලටම පළමුව අපේ ලෝකය පිලිසකර කළ යුතුව ඇත. ඒ සඳහා ලෝකය කෙරේ වන සැබෑ අවබෝධය මෙන්ම ඊට ආදරය කරන්නට මිනිසා තුළ පෙළඹවීමක් ඇති කිරීමද අත්‍යවශ්‍යය. නිර්මාණ සාහිත්‍යය අපට ඇවැසි වන්නේ එහෙයිනි.
“ප‍්‍රබල නවකතාව පතුරම් පිරිච්ච පිස්තෝලයක් වගේ. ඉන් අධික වේගයක් සංකල්පීය පිපුරුමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම උසස් නවකතාව නිශ්ශබ්දයි. ඒක මැරිච්ච සීතලක් නොවෙයි. ඇත්තේ කෑගසන නිහඬකමක් මගේ ඔබ සමග, ක්ලැරා, වෙස්ගත් කතාවක් නවකතාවල ඇත්තේ එයයි. එය Rimbund ගේ ආත්මීය නිශ්ශබ්දතාව වගේම Malame ගේ බුද්ධිමය නිශ්ශබ්දතාවයි” පරාක්‍රම කොඩිතුවක්කුගෙ මේ ප්‍රකාශය මගියා විසින් මට සිහිකැඳවයි.
කමල් පෙරේරාට අනුව නවකතාවක් හෝ වෙනත් කලාකෘතියක් හෝ වේවා විචාරයට ලක් කිරීමේදී පූර්ව නිශ්චිත මිණුම් දඬු උපයෝගි කරගැනීම එතරම් උචිත නොවේ. එමගින් අදාළ කෘතියට සාධාරණත්වයක් ඉටු කිරීම අසීරුය. උසස් කෘතියක් විවේචනයට ලක් කිරීමට අවැසි විචාර විධියක් සපයා ගත යුත්තේ එම කෘතිය තුළින්මය. පූර්ව නිශ්චිත විචාර සිද්ධාන්ත අතික්‍රමණය කරමින් කෘතිය විසින් ඉල්ලා සිටිනු ලබන විචාරය සම්පාදනය කරගත හැක්කේ එවිටය.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
