නූතන නවකතාකාරිනියන් අතර ප්‍රචලිත නවකතාකාරිනියක් වන දර්ශනා ශම්මි විජේතිලකගේ ‘ගිරග සසල විය’ සහ ‘විසඹසර’ නවකතා පිළිබඳ ව අපි මින් පෙර කතා කළා. අද Asian Review Sinhala තුළින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඇයගේ පළමු නවකතාව වන ‘දෙවත’ පිළිබඳවයි.
“නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අරඹයා ලියැවුණු මේ කතාවට පාදක වූයේ මගේ ඥාති නිවුන් සොහොයුරන්ගෙන් එක් අයකුගේ මරණයයි. මෙය මසිත බොහෝ දුරට සසල කළ සිදුවීමක් වූයෙන් මම ඒ වටා කතාවක් ගොඩනැඟුවෙමි.” (පෙරවදන)
නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණකරණය සඳහා අවැසි වස්තු විෂය සම්පාදනය කරගන්නා ආකාර එකිනෙකට වෙනස් ස්වභාවයක් ගන්නවා. ස්වකීය ජීවන අත්දැකීම්, සමාජීය අත්දැකීම්, ජනමාධ්‍ය ඔස්සේ ලබන අත්දැකීම්, සාහිත්‍ය කෘති පරිශීලනයෙන් ලබන අත්දැකීම් යනාදී අත්දැකීම් නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණ උදෙසා පාදක කරගන්නවා. දර්ශනා ශම්මි ස්වකීය පළමු නවකතාව සඳහා පාදක කරගන්නේ ස්වකීය ජීවන අත්දැකීමක්.
“අම්මා නැතිවන විට තිස් දෙවන වියේ පසු වූ තාත්තාගේ තරුණ ජීවිතය අකලට මහලු ව ගියා නේදැයි ඇයට සිතිණි. එදා එය එතරම් බරපතළට ගන්නට තරම් මුහුකුරු ගිය නුවණක් තමාටත්, අයියාටත් නොතිබූ බව ඇයට සිහි විය. විමලා නැන්දා කසාදයක් ගැන කතා කරන වාරයක් ගානේ තාත්තා මඟහැරි හැටි ඇයට මතක ය.” (10 පිටුව)
දර්ශනා ශම්මිගේ නවකතාවල දක්නට ලැබෙන පොදු කරුණක් වනුයේ මනුෂ්‍ය සම්බන්ධතා ගැඹුරින් ස්පර්ශ කිරීමයි. දයාසීලිගේ තාත්තාගේ චරිතය පිළිබඳව නවකතාවේ ආරම්භයේ දී අපට අසන්නට ලැබෙනවා. ඔහු තම බිරිඳ අකාලයේ මියගිය පසු ස්වකීය දරුවන් දෙදෙනා වෙනුවෙන් තම තරුණ දිවිය කැප කරනවා. මංගල යෝජනා පැමිණියද, ඔහු ඒවා ඉතා කෝපයෙන් ඉවතලනවා. එලෙස දරුවන් වෙනුවෙන්ම කැපවුණු පියවරු කොතෙකුත් අප ජීවත්වන මේ සමාජයේ අදටත් වාසය කරනවා.
“මම ගේ පොඩ්ඩක් කුලියට ගත්ත කරාපිටියෙන්. අපි එහේ පදිංචියට යමු. සුනීත ව ඉස්කෝලෙට දාගන්නත් ලේසිනෙ.”
“අනේ දෙයියනේ මේ හදිස්සියෙ…? කුලී ගෙදරක ටැක් ගැහෙන්න යන්නෙ ඇයි මහත්තයො…?” (46 පිටුව)
කතුවරියගේ බොහෝ නවකතාවල අපට හමුවන අඹුසැමි සබඳතා ඉතා ආදර්ශ සම්පන්නය. ‘විසඹසර’ නවකතාවේද එම ගුණය නොඅඩුව පවතිනවා. මෙම නවකතාවේ දයාසීලි සහ රතු මහත්තයා අතර පවතින අඹුසැමි සම්බන්ධද එවැනනක්. ශම්මිගේ සෙසු නවකතාවල ස්ත්‍රියගේ චරිතයට පාඨක ආකර්ෂණය හිමි වුවද, මෙම නවකතාවේ පාඨක ආකර්ෂණය නිතැතින් හිමි කරගන්නේ රතු මහත්තයාගේ චරිතයයි. කිසිවෙකු සමඟ අඩදබර කරන්නට අකමැති ඔහු තම සහෝදරියට සිය නිවස සහ ඉඩම ලබා දී කුලී නිවහනකට යනවා. රැකියා ස්ථානයේ දී ඔහු අවංක නිලධාරියෙක්. එම නිහතමානී, අවංක ගතිගුණ නිසා ම රතු මහත්තයාට විඳින්නට සිදු වන ගැහැටත් අපමණයි. නවකතාව කියවන පාඨකයාට සිතෙන්නේ රතු මහත්තයා වැනි චරිතයක් සමාජයේ සිටිය හැකිද යන පැනයයි. එසේ සිටියද, එවැන්නකුට මේ සංකීර්ණ සමාජයේ පැවැත්මක් තිබේද යන්නයි. දයාසීලිගේ චරිතය ඔස්සේද කතුවරිය සුපුරුදු පරිදී කාන්තාවගේ දරා ගැනීමේ ස්වභාවය පෙන්නුම් කරනවා. ඇය වැනි බිරිඳක් නොසිටින්නට රතු මහත්තයා වැනි චරිතයකට පැවැත්මක් නොමැති බවද, කතුවරිය අපට පෙන්වා දෙනවා. පරමාදර්ශී බිරිඳකගේ භූමිකාවක් දයාසීලිගේ චරිතයෙන් අපට දකින්නට පුළුවන්.
“සිංහල ගෑනු ළමයෙක් යනකොට මුස්ලිම් කොල්ලෙක් විහිළුවක් කරල… ජාත්‍යාලෙ තිබ්ච්ච සිංහල එකෙක් ඌට බැණල…එතකොට කෙල්ල කියලා මම ඒ මුස්ලිම් අයිය ව අඳුරනවා කියලා… ඕක දුරදිග ගිහින්… සිංහල කොල්ල පිරිවර අරගෙන ඇවිත් ගහන්න, අනික් පැත්තෙ පිරිවරත් ඒකට එකතු වෙලා.. අන්තිමේ ටවුම හරියට එනකොට කතාව ගිහින් තියෙන්නෙ සිංහල කොල්ලෙකුට මුස්ලිම් කොල්ලෙක් පිහියෙන් ඇනගා මරල කියලා… ඉතින් ලවක් දෙවක් නැතුව කඩවල් ගිනි තියනව…” (67 පිටුව)
වර්ගවාදය පිළිබඳව කතුවරිය ස්වකීය නවකතාවලදී අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී ඇය අපට පෙන්වා දෙන්නේ කුඩා විහිළුවක් මහා විනාශයක් කරා ගිය ආකාරයක්. වර්ගභේදවාදී, ජාතිවාදී ගැටුම්වල මුල් සොයා යන්නෙකුට බොහෝ විට හමුවන්නේ මෙවැනි ඉතා සුළු කරුණු පාදක කරගනිමින් ඒවා ඇවිලී ගොස් ඇති බවයි. සන්නිවේදනයෙහි පවත්නා දුර්වලතා නිසා ඒවා ශීඝ්‍රයෙන් වර්ධනය වන ආකාරයද කතුවරිය අපට මෙහිදී පෙන්වා දෙනවා. මෙවැනි ගැටුමකදී, එය තම වාසියට හරවා ගන්නා පිරිස්ද සිටිනවා. මෙම ගැටුමක් නිර්මාණය වූ අවස්ථාවක එය තම වාසියට හරවා ගනිමින් ජාත්‍යාලය මුවාවෙන් ගබඩාවක් බිඳ, එහි භාණ්ඩ මංකොල්ලකෑම කෙතරම් නින්දිතද?
“අම්මාට අමාරුයි කියල දැන ගත්ත ම තමන්ගෙ දරුව පැත්තකින් තියල කිරි ටික දුන්න මේ දරුවො දෙන්නට ඒ අම්මල. අනේ වාසනාවන් ඒ වගේ හිත උණු වෙන දරුවො.” (83 පිටුව)
දයාසීලි සහ රතු මහත්තයාගේ ජීවිතය බොහෝ හැලහැප්පීම්, බාධක ඔස්සේ ඉදිරියට ගමන් කළ ආකාරය කතුවරිය ස්වකීය නවකතාව ඔස්සේ පෙන්වා දෙනවා. මෙහිදී ඇයගේ නවකතාවල මා දකින තවත් විශේෂත්වයක් වන්නේ ඥාති සම්බන්ධතා නොපවතින බාහිර පුද්ගලයින් නවකතාවේ ප්‍රධාන චරිතවලට සමීපවන ආකාරය පෙන්නුම් කිරීමයි. අප එදිනෙදා ජීවිතය ගත කරද්දී පවා ඔබටද මෙවන් අත්දැකීම් පවතිනවාට සැක නැත. ස්වකීය පවුලේ සහ ඥාති හිතමිත්‍රාදීන් පසෙක සිටියදී, තමන්ගේ පවුලේ අය මෙන් සලකන සද්ගුණවත් මිනිස්සු මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. තැපැල් මහත්තයා, ඉස්කොලෙ හාමිනේ සහ සිසි නැන්දා වැනි චරිත දයාසීලිගේ පවුලට දක්වන ලෙන්ගතුකම මෙයට කදිම නිදසුනක්. දයාසීලි නිවුන් දරුවන් වදද්දී, රෝහලේ සිටි අනෙක් මවුවරු තම දරුවන් පසෙකින් තබා දයාසීලිගේ දරු දෙදෙනාට කිරි පෙවීමට මෙයට තවත් නිදසුනක්.
එක කුස උපන් සහෝදර සහෝදරියන්ගේ වුවද, ගතිපැවතුම් විවිධාකාරයි. තිලංග සහ තිවංකද සත්තුභත්ත ජාතකයේ ගිරවුන් දෙදෙනා මෙන් එකිනෙකට වෙනස් වූ ගතිපැවතුම්වලින් සමන්විත සහෝදරයින් දෙපළක්. ඒ අතරින් තිලංග ස්වකීය පවුලම ආගාධයට රැගෙන යන අන්දම නවකතාව කියවන පාඨක ඔබට වැටහේවි. කතුවරිය ස්වකීය නවකතා ඔස්සේ පාඨකයා සසලත්වයට පත් කිරීමට උත්සාහ කරනවා. ඇය මෙම නවකතාව රචනා කරන්නේද ඇය ලැබූ සසලත්වය නිසා. ඇය ලැබූ සසලත්වය පාඨකයා වෙතටද නොඅඩුව ලබාදීමට කතුවරිය සමත් වී තිබෙනවා. මෙවැනි කොතෙකුත් කතා මේ සමාජයේ සිදු වී ඇතිද?
“පිට්ටනියේ වේදිකාව අසල බිම තණකොළ මත ගලා ගිය ලේ පහර සඳ එළියට දිලිසෙයි.”
“සඳ, මවක් සඳට කියූ රහසක් සඟවාගෙන බලා සිටී. සැමදා සඳ පායා බැස යනු ඇත. නමුත් මව කියූ රහස සඳ කවදාවත් හෙළි නොකරනු ඇත.” (176 පිටුව)
මවක් සඳට කියූ රහස කුමක්ද? ඒ මව කවුද? මේ සියල්ලට පිළිතුරු පවතින්නේ ‘දෙවත’ නවකතාව තුළයි. කතුවරිය නවකතාව ආරම්භයේ සිට පාඨකයා ක්‍රමක්‍රමයෙන් සසලත්වයට පත් කරමින් පැමිණ, නවකතාව අවසන් කරන්නේ එහි උච්චස්ථානයට ගෙනයාමෙන්. කතුවරියගේ පළමු නවකතාව ඔස්සේ ඇය ලැබූ පන්නරයේ ස්වභාවය ඇය පසුකාලීනව රචිත නවකතාවලින් පැහැදිලි වෙනවා. ඇයගේ පසුකාලීන නවකතා සමඟ සංසන්දනය කරද්දී, මෙම නවකතාව එතරම් සාර්ථක නවකතාවක් ලෙස සැලකීමට අපහසු වුවද, ඇයගේ ආරම්භක නවකතාව වශයෙන් මෙය පැසසුමට ලක් කළ හැකියි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
