“ජපානය වෙනත් ග්‍රහලෝකයකට අයත් රටක් යයි කීම විකාර කතාවක් බව මම දනිමි. එහෙත් මා උමතු කළ සඳමාලිගේ, උදාරාගේ, සමන්තිකාගේ සහ ඉරෝමිගේ මෙම ජපන් ජනකතා එකතුව මා පොළඹවන්නේම එසේ කල්පනා කරන්නටය.”
එකමත් එක කාලෙක ජපන් රටේ කෘතියට සිනමාවේ දී ජයන්ත චන්ද්‍රසිරි පෙරවදන් සපයන්නේ එලෙසිනි. ජනකතා යන යනු අප කුඩා අවදියේ සිටම අසා අත්විඳ ඇති සොඳුරුතම සිහිනයන් ය. ජනකථා යන්න සැබෑවක්ම නොවන්නේය. එසේ නොවන්නේද නොවන්නේය. ජනකතා තුළ ගිලී පවතින්නේ ඒ දේශයේ සංස්කෘතියයි. ඕනෑම දේශයක ජනකතා නැත්තේ නොවේ.
ළමයින් උදෙසා ඉගෙනීමේදී, උගැන්වීමේදී කතන්දර උපයෝගී කරගැනීම ප්‍රයෝජනවත්ය. ඒ සඳහා ජනකතා ජනශ්‍රැතිය භාවිත කරයි. කෘතියට පසුවදන් සපයන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මෙසේ සටහන් තබයි.
“එකමත් එක කාලෙක ජපන් රටේ අනුවර්තිත ජනකතා මාලාව ම විසින් කියවන ලද්දේ දැඩි රුචියකිනි. නිප්පොන් දේශයේ සමාජ සංස්කෘතික පාරිසරික වටපිටාව, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාරපාන රටාව, ගුණ නුවණ ආදී බොහෝ අංශ විශද කැරෙන මේ කෙටි ජන කතා…”
මෙය ජනශ්‍රැති කාණ්ඩයට යටතට අත්‍යන්තයෙන් ම හිමිකම් කියනු ලබන කෘතියකි. ජනකථාවක් වූ විට ඒ තුළින් අසන කියවන පාඨකයාට රුචියක්, මීළඟ සිදුවීම පිළිබඳ අපරිමිත කුතුහලය පිරි මනෝරම්‍ය දෙයක් බලාපොරොත්තුවන්නේ ය. බහුතරයක් ජනකතා දරුවන් වෙනුවෙන් වුවත් ජනකතා තුළින් වැඩිහිටියන්ට උගත යුතු කරුණු රැසක් අනාවරණය කෙරේ.
මේ කෘතිය කතුවරියන් සිව් දෙනෙකුගේ අනුවර්තිත කෘතියක් ලෙස ජනකතා දහසයකින් සමන්විත ව අපූරු භාෂා විලාසයකින් යුතුව රචනා වී තිබේ. එහි භාෂා විලාසය කුඩා දරුවෙකුටත් වැඩිහිටියෙකුටත් පහසුවෙන් කතා වටහා ගැනීමට හැකිවන පරිදි සිත් ගන්නා සුළු ආකාරයෙන් රචිතය.
‘කතන්දර කියවන්නට කලින්’ යන පරිච්ඡේදය තුළ. කෘතියේ අන්තර්ගත කතන්දර පිළිබඳව පාඨකයාට පූර්විකාවක් සපයයි. එහිදී එම කතාවල එන චරිත, ඒ හා බැඳුණු ජපන් සංස්කෘතිය, ආගමික විශ්වාස, ජන ඉතිහාසය පිළිබඳව සංක්ෂිප්තව විවරණය කෙරේ. ඒ තුළින් පාඨකයාට කතාව වටහා ගැනීමට ඉනිමං තනයි.
ජපානය වැඩිහිටි ජනගහනය ඉහල රටකි. ”ළමා උපත් අනුපාතිකය අඩුවී ශ්‍රම බලකායට වඩා වැඩිහිටි ජනගහනය ප්‍රමාණය ඉක්මවා යාම වර්තමානයේ ජපානය මුහුණ දෙන ප්‍රබල ගැටලුවකි. අතීතයේද මෙලෙස යැපුම් අනුපාතිකය වැඩි වීම ඉතා දුෂ්කර අවධියකට පත් වූ අවස්ථාවලදී විශේෂයෙන්ම කෑම බීම ආදිය ඉතාම හිඟ වූ කාලවලදීත් මේ ආකාරයෙන්ම කිසිම වැඩක් පළක් කර ගත නොහැකි වැඩිහිටියන් රටට බරක් ලෙස සැලකූහ. ඔවුන් ඒ ඒ ගම්වලට ඈතින් පිහිටි දුෂ්කර කඳු වෙත රැගෙන ගොස් අතරමං කර දමා ආ බවට ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි.” කෘතියේ එන ‘වැඩිහිටි කන්ද’ කතාව තුළින් ඒ බව විශද කෙරේ. එකී වැඩිහිටි ජනතාව උදෙසා රාජ්‍ය මට්ටමේ තත්ත්වය කතාව තුළින් නිරූපණය කෙරේ. ජයන්ත චන්ද්‍රසිරි මහතාට අනුව ,
“ජනකතාවලට විශ්වසනීය භාවය පිළිබඳ ප්‍රශ්න නැත. විශ්වසනීයභාවය නොමැති කතා අද්භූත කතා යැයි සාහිත්‍යය ඉගැන්වෙයි. ඒ අනුව වැඩිහිටි කන්ද ද අද්භූත කතාවකි.”
නමුත් වැඩිහිටි කන්ද කතාව අද්භූත කතාවක් ලෙස විවරණය කළ හැකි යැයි නොසිතන්නේ කතුවරියන්ගේ ම ඉහත ප්‍රකාශය ආසන්නතම හේතුව කර ගනිමිනි.
කෘතිය ආරම්භ වන්නේ ජපන් සාම්ප්‍රදායික ජනකතාවල හා ඉතිහාසය තුළ එන මනංකල්පිත සත්ත්වයෙක් ද, ඇතැම් කතාවල දේවත්වයෙන්ද සැලකෙන ‘කප්පා’ නම් සත්ත්වයා පාදක කරගනිමිනි. පසුව හමුවන ‘හකුමයිජෝ හෙවත් සුදු සහල් මාලිගාව’ ජනකතාව අපට පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝතම ජාතක කතාවවන උම්මග්ග ජාතකය සිහිපත් කරවයි.
“නායකතුමනි, රාජධානියේ ජල හිඟයක් ඇතිවෙලා”
“ඒ කොහොමද එහෙම වෙන්නේ.”
“අපි හොයා බැලුවා. පහළ ප්‍රදේශවල සිට රාජධානියට වතුර ගෙන එන මාර්ග සියල්ලම සතුරන් අවහිර කරලා.” (30 පිටුව)
උම්මග්ග ජාතකය තුළ යුද්ධ උපාය යොදන්නේ ද මෙසේ ම ය.
“වන්නා ව මහරජ නුවරට පැන් නම් පිටතින් වන්නේය. කීප දවසක් පැන් නවතා ලන්නා පැන් නොලඳින් ක්ලාන්ත වූවාහු දොර හැර පියන්නාහ. එවිට අපි සිත් වූ පරිද්දෙන් සතුරන්ට කටයුතු කියම්හ.”
මේ අයුරින් මෙකී ජනකතා තුළ අපට සමීප බවක් දැකගත හැකියි. ජපානයේ යුද්ධයේ දක්ෂ සමුරායිවරු පිළිබඳව ද මේ කතා තුළ ඉදිරිපත් වේ. මොවුන් තුළ විවිධ උපක්‍රම පවතින අතර සතුරන්ට හසුවීමේදී තමා විසින් ම සියදිවි නසා ගැනීමේ හරා කිරි ක්‍රමයක්ද මොවුන් තුළ පවතී.
“පිපාසයෙන් මැරෙනවාට වඩා ශ්‍රේෂ්ඨයි යුද්ධ කරලා මැරෙන එක කියලා සමුරායිවරුන් කවුරුත් සිතුවා.”(30 පිටුව)
කෘතියේ එන ‘එකට එක’ හා ‘මී පැණි මුට්ටියට වහ වැටුණු හැටි’ යන කතා තුළින් එක ඉක්ක්‍යු සං නම් සාමණේර භික්ෂුවගේ කතා හමුවේ. මේ තුළ සෙන් කතාවල ආභාසයත්, මහායාන දර්ශනයේ පිළිබිඹුවක් ද දැක ගත හැක. එසේම ‘කරණවෑමි නරියා’, ‘කඟුයා කුමරිය’ වැනි කතා තුළ අද්භූත ලක්ෂණ නිරූපණය කෙරේ. ඒ තුළින් පාඨකයාගේ කියවීමේ උනන්දුව, රසය හා කුතුහලය ඉහළ නංවයි.
ලංකාවේ ගම්බාර දේව සංකල්පය මෙන් ඊට සමාන සංකල්පයක් ජපානය තුළ ද පවතින බව පෙන්වා දෙන කතාවක් ලෙස ‘එක පවුලක තුන් දෙනෙක්’ දැක්විය හැකියි. දේවදාර ගස් සිටුවා තමා සිටි ප්‍රදේශය නාය යාමෙන් ආරක්ෂා කරමින් ගම් වැසියන් රැසකගේ දිවි බේරූ කමෙ ආච්චි වෙනුවෙන් දේවාලයක් සාදා වතාවත් කිරීමට පෙළඹෙන මේ කතාව තුළින් ජපානයේ ආගමික පසුබිම පිළිබඳව දැක්මක් ඉදිරිපත් කෙරේ.
“තමන්ට කිසිම අයිතියක් නැති කඳු මුදුන්වල හැමෝගෙම යහපත වෙනුවෙන් දේවදාර ගස් හිටවපු කමෙ ආච්චි ගැන නම් ගම් වැසියන්ට කවදාවත් අමතක උනේ නෑ නෑ. ගම්වැසියෝ එකතු වෙලා දේවදාර ගස් සෙවණක කුඩා මිසුගි කන්නොත් දේවාලයක් හදලා එතන කමෙ ආච්චි වෙනුවෙන් හැමදාම වතාවත් කළා.”(96 පිටුව)
ජපානයේ ආගම, ආහාර, අභිචාර, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, පරිසරය ආදී සංස්කෘතීන්ගේ අනේක විද රසයන් විඳගැනීමටත්, විඩාබර මනසට රසවත් විරාමයක් ලබන්නටත් එකමත් එක කාලෙක ජපන් රටේ නම් කෘතිය සුදුසු යැයි මම යෝජනා කරමි.
“කගා-හකු කන්ද මොනවාවත් නොකියා කගා රටට යන්න ගියා. හැබැයි අදටත් හකු කන්ද නගින හැමදෙනාම තමන් පැළඳගෙන යන පාවහන් හකු කන්ද උඩින් තියලා එන්න අමතක කරන්නේ නෑ.”(50 පිටුව)
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
