“සීතා මට පොරොන්දු වෙනවා නේද දූවරු තුන්දෙනෙක් දෙනවා කියලා.” (16 පිටුව)
සුබ්‍රමානියම්ගේ එකම බලාපොරොත්තු වූයේ දූවරු තිදෙනකුගේත් පුත්‍රයෙකුගේත් පියාවීමට යි.
“මම හදන්නේ පරම්පරාව ගෙනියන්න එක කොල්ලයි. අනිත් තුන්දෙනාම කෙල්ලෝ චාරුකේෂි, නීලාම්බරී, මධුවන්ති.”(15 පිටුව)
අපරිමිත බලාපොරොත්තු පුරවාගෙන සිටි සුබ්‍රමානියම්ගේ අපේක්ෂා බිඳලමින් සිද්ධාර්ථන් හා රාහුලන් ලෙස ඔවුන්ගේ පළමු පුතුන් දෙදෙනා උපදිනවා. එයින් සිත් තැවුලට පත්වන සුබ්‍රමානියම්ගේ පවුල තුළ සිදුවන කතාවයි විෂ්ණුවාසු විසින් සාරි ඇඳපු පිරිමි නවකතාව තුළින් ඉදිරිපත් කරන්නේ.
මේ නවකතාව තුළට විෂ්ණු වාසු පාදක කරගන්නේ පොදු සමාජය තුළ එතරම් පිළිගැනීමට ලක් නොවන බොහෝ විට ප්‍රතික්ෂේපිත කණ්ඩායමට යොමු වන පිරිසක් වීම විශේෂයි. මෙම නවකතාව තුළ පවා ඒ බව මනාව ඉස්මතු වී තිබෙනවා. සමාජය තුළ සිටිය හැක්කේ ගැහැණු හා පිරිමි පමණක් යැයි සිතන සමාජයක සමරිසි හා සංක්‍රාන්තික ලිංගිකයන්ට පීඩාවට පත්වීමට සිදුවෙනවා. විෂ්ණු වාසු නවකතාව තුළ පෙන්වා දෙන්නේ එකී තථ්‍ය යථාර්ථය යි. ඔවුන්ට සමාජයෙන් එල්ල වන ගර්හාව, අවමානය, නින්දාව අපමණයි.
විශේෂයෙන්ම කෘතිය තුළ ගලායන කතාව ද්‍රවිඩ සමාජය තුළ මෙකී සංක්‍රාන්තික ලිංගිකයන්ගේ තත්ත්වය පිළිබිඹු කරනවා. කතාවේ ප්‍රධාන චරිතය අර්ජුන්. සිය සැමියාගේ ඒකායන බලාපොරොත්තුව වූ දියණියකගේ උපතක් තෙවැනි වරටත් ඉටු කරදීමට නොහැකි වන සීතා අර්ජුන්ව ස්ත්‍රියක ලෙසින් හැඩගන්වනවා. ඇය අර්ජුන් අමතන්නේ පවා ‘මධුවන්ති’ ලෙසින්. මේ නිසා ඔහු කුඩා කාලයේ සිට ම සිය පියාගේ ගර්හාවට ලක් වෙනවා. මෙලෙස අර්ජුන් කාන්තාවක ලෙස හැසිරීමට ගන්නා උත්සාහය සීතාගේ අමනෝඥ ක්‍රියා කලාපයක් ලෙස පෙනී යනවා. ඇය සිය සැමියාගේ බිඳී ගිය සිහින එකලස් කිරීමට දරණ වෑයම හිල් කූඩෙන් වතුර අදින්නා සේ වන බවයි පෙනී යන්නේ. ඇය එසේ අර්ජුන්ට බලපෑම් නොකරන්නට ඔහු සාමාන්‍ය පිරිමියකු ලෙසම සමාජගත වන්නට ඉඩ තිබුණා. එම නිසා මෙය අර්ජුන් තුළ බලෙන් ඇති කරවන ලද තත්වයක් ලෙස ද පෙනී යනවා.
“උපන්දා සිටම සීතා ලක්ෂ්මි අර්ජුන්ව ඇමතුවේ මධුවන්ති කියලා. ඇය ඔහුව සැරසුවේ රෝස පාට ඇඳුම් ආයිත්තම්වලින්. ඇයව නැලෙව්වේ භෛරවී, කල්‍යාණී ශිවරංජනී වැනි ලලනා නාම සහිත රාග පාදකව ලියැවුණු නැලවිලි ගී මුමුණමින්.” (34 පිටුව)
අර්ජුන්ගේ මේ අසාමාන්‍ය ක්‍රියා කලාපයන් හමුවේ ඔහු පළමුවෙන් ම අසරණ වන්නේ සිය පියා ඉදිරියේ.
“මූ ඇතුලට අරන් පරීක්ෂා කරලා මට කියපන් මූ පිරිමියෙක් ද පොන්නයෙක්ද කියලා. එච්චරයි. මම උඹේ සම්පූර්ණ ගාස්තුව ගෙවනවා. වැඩියෙනුත් ගෙවනවා.”(58 පිටුව)
පියා කොතරම් ප්‍රතික්ෂේප කල ද අර්ජුන් නොහොත් මධුවන්තිගේ හැසිරීම තුළින් ඔහුගේ මවගේ ක්‍රියා කලාපයට සමාන ලක්ෂණ කතුවරයා පෙන්වා දෙනවා.
“අප්පා ස්නානය හමාර කර නිවසට එනතුරු අර්ජුන් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. සුබ්‍රමානියම් නැවත දර්ශනය වූ සැණින් අර්ජුන් ඇඟිලි තුඩුවලින් ඉපිළිමෙන් මැද මළුවට පය ඉක්මන් කරනවා. මැද මළුව කෙළවර රෙදි වැල සරසන අප්පාගේ ශරීරයේ සුවඳ තැවරුණු ඒ තෙත තුවාලයෙන් අර්ජුන් තමන්ගේ මුහුණ පිසගන්නවා.”(47 පිටුව)
විෂ්ණු වාසු කතාව තුළ තවදුරටත් බරපතළ සාධක කිහිපයක් වෙත එළඹෙනවා. කුලය ඉන් ප්‍රධාන යි. අනිත් කාරණය නම් ආගමික වශයෙන් ඔවුන්ට එල්ල වන පීඩනය යි.
කතාව පුරාම ආගම පිළිබඳව සංකේත, ස්තෝත්‍ර බහුලව දැක ගන්නට පුළුවන්. හින්දු ආගම තුළ පවතින මෙකී සංස්කෘතිය මනාව කතාකරු ඉදිරිපත් කරනවා. එය කියවන පාඨකයාට ඉන්දියානු නිවසක අත්දැකීම් එක් කිරීමට සමත් වන සරල භාෂාවක් කතාව ගලායාම සිදුවන්නේ.
කතාව තුළ දේව සංකල්පය බොහෝ දුරට විස්තරවනවා. සීතා නොහොත් අර්ජුන්ගේ මව ක්‍රිෂ්ණා දෙවියන්ට පූජා පවත්වමින් නිවස තුළ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර කතුවරයා මනාව ඉදිරිපත් කරනවා.
ආගම හා කුලය යන්න හින්දු ආගම තුළ එකට බැඳුණු සංකල්පයක්. කතාව තුළ ඒ බව ඉස්මතුවන සාධක දැක ගන්නට පුළුවන්. කතා නායකයා වන අර්ජුන්ගේ පවුල බ්‍රාහ්මණ කුලයේ පිරිසක්. උපනයන කර්මයෙන් පසු පුන නූල පළඳිනවා. එතුලින් ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු හා ශිව යන ත්‍රිමූර්තිය සංකේතවත් කරනවා.
“එතන නූල් තුනක් තියෙනවා. ඉන් සිහිපත් කරන්නේ ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා කියන කාරණා තුන. බ්‍රහ්ම, විෂ්ණු, ශිව. ඕගොල්ලෝ අදහන බුද්ධ ධර්මයට අනුව උප්පාද, තිථි, භංග. අපි ලෝකයට ණය තුනක් ගෙවන්න තියෙනවා කියන එකත් ඒ නූල් තුන අපිට මතක් කර දෙනවා.” (93 පිටුව)
කතාව තුළ කුලය යන සාධක ඉස්මතු කරන්නේ කරුපන් මාමා නම් චරිතය කේන්ද්‍රකරගෙන. අර්ජුන් කරුපන්ට ‘කරුපන් මාමා’ ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩු කුලයක උපන් කරුපන්ට මෙම ආමන්ත්‍රණය විස්මය දනවන්නක් වෙනවා. එහි භයානක වටපිටාව දකිනවා. ආගම තුළින් ද සමාජය තුළින් තුළින් ද මෙයට එල්ලවන අනේකවිද ප්‍රතිවිපාක කරුපන් අර්ජුන්ට පැහැදිලි කරනවා.
“ඒ වුණාට පොඩි අප්පෝ මේ සෙල්ලං කරන්නෙ ගොළු මුහුදත් එක්ක. තලෛවර්ට ආරංචි වුණානං විපාකය දරුණු වෙන්න පුළුවන්.”
“මිනිස්සු උස් පහත් වෙන්නේ කල් ක්‍රියාවෙන් මිස උපතින් නෙවෙයි කියලා අපි කටපාඩම් කරන වේද සම්හිතාවල පැහැදිලිවම ලියවිලා තියෙනවා කරුපන් මාමා”
“පොත්පත්වල ලියැවිලා තියෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන තැනක් වෙයිද පොඩි අප්පෝ.” (53 පිටුව)
කතාව තුළ කරුපන් චරිතය හමුවන්නේ අර්ජුන් තම පියාගෙන් නොලැබෙන ආදරය සොයා යාමේදී. ඒ වනවිට අර්ජුන්ගේ මව සීතා, නිවසේ මැද මිදුලේ පිහිටි පොකුණට ම වැටී මිය ගොස් තිබුණා. මවගේත් පියාගේත් ආදරය නොලබන අර්ජුන් අඩු කුලයක කරුපන් තුලින් පිය සෙනෙහස සොයනවා. ඊට කුලය බල නොපාන බව අපට පෙන්වා දෙන්න කතාකරු සමත්වෙනවා.
“කරුපන් මාමාට මගේ අප්පාගේ වයස. මිනිස් කුලයේ හැම වැඩිහිටියෙක්ම මට මගේ අප්පාට සමානයි.”
“කරුපන් මාමා චුට්ටක් ඔය සබන් කෑල්ල දෙන්නකෝ. මට සබන් ගේන්න අමතක උනා.”(53 පිටුව)
අර්ජුන් සෙල්ලමට ගියවිට පවා සිය පහත් කුල යහළුවන් අර්ජුන්ගෙන් ඈත්වී සිටීමට දැරූ උත්සාහය කතාකරු අපූරුවට පෙන්වා දෙනවා.
“ඕගොල්ලෝ බ්‍රාහ්මණයෝ. අපි ඉසෙයි වෙල්ලාල කුලේ.”
“ඉතිං මොකද වෙන්නේ?”
“ඔයා මගේ අතින් ඇල්ලුවා කියලා ඕගොල්ලොන්ගේ අප්පා දැනගත්තොත් එයා මාව කෝටු මස් කරයි.”
“මුතූට පිස්සු. ප්‍රභාකරන් අන්නා කියන විදිහට ලෝකේ තියෙන්නේ එක කුලයයි. ඒ මනුස්ස කුලේ.”
“මට නෙවෙයි ඔයාටයි පිස්සු… ප්‍රභාකරන්ලා කරයාර් කුලේ. ඒගොල්ලෝ මාළුකාරයෝ.”(36-37 පිටු)
කතාව තුළ අර්ජුන්ගේ භූමිකාව රසවත් ව විස්තර කර තිබෙන බව පෙනී යනවා. ඔහු උපන්දා පටන් ඔහුට සිදුවන දුක් ගැහැට, කරුපන් මාමාගේ උපකාර, ඔහු ඉන් ඉදිරියට ගොඩනැගෙන ආකාරය කතාකරු මනාව ඉදිරිපත් කරනවා.
කතාව ගලායාමේදී ඇතැම් තැන්වලින් තරමක් ඕලාරික කර්කශ කොටස් හමුවීමක් දකින්නට පුළුවන්. චරිතවල පවා කිසියම් කෘතිම බවක් සමහර විටෙක හමුවෙනවා. ඒ කෙසේ නමුත් කතාව කියවා ගෙන යාමට එය එතරම් බාධාවක් එල්ල කරන්නේ නැහැ. කතාවේ භාෂාව පවා සරලව භාවිතා කරමින් රචනා කර තිබෙනවා. කතුවරයා ම කෘතිය ආරම්භයේ පෙන්වා දෙන දෙන්නේ මෙහි න ණ ල ළ ගැටලු තිබෙන්නට පුළුවන් බවය. කෙසේ නමුත් කතාව රසවත් අන්දමින් ගලා යනවා.
මෙය යාපනය වැල්වැටිතුරේ කතාවක්ම විතරක් නෙවෙයි. ඔබටත් මේ අත්දැකීම් තිබෙන්නට පුළුවන්. කතාකරු දක්වන පරිදි කරුපන් මාමාගේ ඉල්ලීම මත ඔහුගේ කතාව ඔහුගේම අතින් ලියා තබා පාඨකයාට පිරිනමා තිබෙනවා. පොදු සමාජයෙන් කොන් වූ තවත් එක් සමාජයක් ගැන නිර්භීතව ලියූ මේ නවකතාව කියවා බැලීමට පාඨක ඔබට මම ආරාධනා කරනවා.
“ගවුම් ඇඳපු ගෑණුයි සාරි ඇඳපු පිරිමියි අතරේ ලොකු වෙනසක් තියෙනවා හෙලන්.” (98 පිටුව)
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
