ප්‍රබල කවිය ජීවිතය පිළිබඳ පුද්ගලානුබද්ධ වින්දන අවකාශයක නොනැවතී ජීවිතයෙහි එල්බ පවතින සමාජය වූ හැඟීම් පදාසයන් වෙතද අත්පසුරු දිගු කරන්නේ නිරායාසයෙනි. කාව්‍යකරණයේදී අපූර්වත්වය නිපදවා ගැනීමට යොදාගත හැකි සාර්ථකතම මෙවලම විකල්ප චින්තනයයි. එය අතැඹුලක් සේ දත් ඉන්දු මලයාලම් සාහිත්‍යයේ ස්ත්‍රීවාදී ප්‍රතිමූර්තිය කමලා දාස් අතින් විරචිත සුවිශිෂ්ට සාහිත්‍ය නිර්මාණයකි “The old play house”. කමලා දාස් විසින් පබැඳුන තුන්සියයකට අධික කාව්‍ය අතුරින් හතළිහක පරිවර්තන ලක්ෂාන්ත අතුකෝරළ විසින් සිපුම් සීරුම් කෙනිත්තුම් ලෙස සිහළ පාඨකයා අභිමුවට රැගෙනෙයි. එහි අන්තර්ගත “පරණ සෙල්ලම් ගෙදර” කල්පනා ඇම්බෲස්ගේ “පිරිමි වීදුරු තුළ පිරවෙයි ගැහැණු වයින්” යන සංක්ෂිප්ත කවිය සඳහා වෙනස් ස්වරූපයකින් සිදු කරන භාරතීය ආමන්ත්‍රණයකි.
කමලා දාස්ගේ කවි කියවන විට එහි වූ සියුම් බව හා ප්‍රබල බව නිසැකවම සහෘදයාට දැනේ. හුදෙක් සිය ජීවිත අත්දැකීම් සහ ප්‍රේමාකල්ප කල්පනා පදනම් කරගත් ලිවීම් ලෙස බැලූ බැල්මට පෙනී යන ඇගේ කාව්‍ය නිර්මාණතුළ ඇති එම සියුම් ප්‍රබලතාවය වූ කලී නිර්ව්‍යාජ අදහස් ප්‍රකාශනයන්හි පැන නගින පළිඟුමය රශ්මියක් වැනි බරපතල බවකි. එම කාව්‍යය නිර්මාණයන්හි යටිතලයේ ඇත්තේ අනෙකක් නොව සමකාලීන භාරතීය සමාජ සම්මතයන් අප්‍රකාශිත පටු විශ්වාසයන් සහ පුරුෂ මූල ආස්ථානයන් මත හෙලන මිටි පහර බඳු උත්ප්‍රාසවත් ප්‍රකාශනයන්ය. පරණ සෙල්ලම් ගෙදර යනු කමලාදාස්ගේ එවැනි එක් කාව්‍ය නිර්මාණයක් වන අතර එය ස්ත්‍රී පුරුෂ ලෝකය අතර සබඳතාවය කාචයකට යට කිරීමට දරන උත්සාහයකි. එසේම මෙය දරා සිටින පිරිමියෙකු හා ආදරය විරහිත විවාහයකට එකතු වූ කාන්තාවකගේ මනෝභාව ප්‍රස්ථාරගත කිරීමකි.
සෙල්ලම් ගෙයක් යනු ළමයින්ට සෙල්ලම් කිරීමට සැකසූ කුඩා නිවසක නිරූපණයකි. නමුත් එය දැන් පැරණිය. කිවිදිය මෙම පැරණි සෙල්ලම් ගෙය මගින් සංකේතවත් කරන්නේ විවාහයේ ගෙවී ගිය ආයතනය ය. කථකයාට එය අව්‍යාජ ලෙස දිවි ගෙවීමට නොව නිශ්චිත කාර්ය භාරයක් ඉටු කිරීම නියම වූ ව්‍යුහයකි. එහි වූ කාන්තාවගේ පෞරුෂත්වය සහ නිදහස සිය සැමියාගේ අපේක්ෂාවන් හා සෙමින් ඛාදනය වන ආකාරය නිර්මාණ ආරම්භයේ නිදහස් වැහිළිහිණියකු හීලෑ කරන්නට දරන වෑයමක් මගින් සංකේතවත් වේ. මෙලෙස හීලෑ කිරීමේ ක්‍රියාවලිය කවියා විස්තර කර ඇත්තේ වේදනාකාරී ක්‍රියාවලියක් ලෙසයි. එහිදී ඇගේ ආත්ම වටිනාකම් සහ ආශාවන් අවලංගු වේ. “සෙල්ලම් ගෙයක්” යන රූපකයේ අර්ථය ස්ථීර කරයි. එයින් ඇඟවෙන්නේ විවාහය යනු ඇගේ අව්‍යාජ ආත්මය යටපත් කරන වේදිකාවක් පමණක්ම බවයි.
“වැහිළිහිණියකු හීලෑ කරන්නට සැලසුම් කළා ඔබ
ඔබේ දිගු ආදර ග්‍රීෂ්මයේ රඳවා ගන්න ඇෙ
එවිට ඇයට අමතකව යන්න
රළු සෘතුන් සහ අතහැර ආ නිවස පමණක් නොවේ.
ඇගේ ස්වරූපයත් පියෑඹීමට ඇති ආශාවත්
ආකාහේ නිමක් නොපෙනෙන පාරවලුත්
ඇයට අමතක වේවි.”
කුරුල්ලාගේ පියාසැරිය බිරිඳගේ නිදහස සඳහා ඇති හදිසි අවශ්‍යතාවයට සමාන්තරය. ඇගේ ස්වාමිපුරුෂයා ඇයව කූඩුකර ගෘහාශ්‍රිත කිරීමට උත්සාහ දරන විට ඇයට ඉන් පළායාමක් නොමැත. ඒ සමගම ඈ සතු පියාසර කිරීමේ සහජ ආශාව ක්‍රමක්‍රමයෙන් වියැකී යනු ඇත. ඔහුගේ තේ වලට සකුරු එක්කර නියමිත වේලාවට විටමින් බෙහෙත් ලබාදීමෙන් ඔහුට ඇය නිතිපතා හා සදාකාලිකව සේවය කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. “කිසි දිනෙක සිප නොකෙන නොකියන්න” යන ආචාර විධිවලට එරෙහිව කැරලි ගසන දාස් හවුල්කරුවන් දෙදෙනා අතර ලිංගිකත්වය පැහැදිලිව විස්තර කරයි.
“සාමාන්‍ය වැහිළිහිණි ගැස්සිල්ලෙන්
ඔබේ කෙළ වැගිරුවා මගේ මුව තුළට
ඔබ ඔබවම පිරෙව්වා සෑම මුල්ලකම සෑම සිදුරකම”
නොර්වීජියානු ජාතික හෙන්රික් ඉබ්සන්ගේ “A doll house” ද විවාහය සහ සමාජීය අපේක්ෂාවන් විසින් කාන්තාවන්ට එල්ල කරන සීමාවන්ද එලෙසම විවේචනය කරන නාට්‍ය නිර්මාණයකි. ඉබ්සන්ගේ ප්‍රධාන චරිතය වන ‘නෝරා’ ගෘහස්ථ ක්ෂේත්‍රය තුළ ඇගේ යුතුකම් ඉටුකරමින් කීකරු භාර්යාවක සහ මවක ලෙස මුල් කාලීනව ඇගේ භූමිකාවෙන් තෘප්තිමත් ලෙස පෙනී සිටියි. කෙසේ වෙතත් ඇගේ ස්වාමිපුරුෂයා වන ‘ටෝවර්ඩ්’ ඇයට සලකන්නේ පහත් අයුරිනිනි. ‘මගේ පුංචි ලේන් පැටික්කි, පුංචි බෝනික්කි’ වැනි සුරතල් නම් භාවිත කරමින් ඇයව ආකර්ෂණීය විනෝද භාණ්ඩයක් බවට පත්කරයි. මෙම අනුග්‍රාහකත්මක සෙනෙහස පිළිබිඹු කරන්නේ තත් කාලයේ කාන්තාවන් බොහෝ විට භාණ්ඩ හා දේපළ ලෙස සලකනු ලැබූ ආකාරය සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයා ඔවුන්ට පවරා ඇති භූමිකාවන් අනුව හැඩගැසුණු ආකාරයයි.
නෝරාගේ නික්ම යාම සැලකිය යුතු ආකාරයකින් දාස්ගේ කථිකයාගේ ගමන පිළිබිඹු කරයි. කාන්තාවන් දෙදෙනාම ඔවුන්ගේ විවාහය තුළ ඔවුනට වූ භූමිකාව මුලින් පිළිගනී. නමුත් මෙම භූමිකාවන් ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය යටපත් කරන බව නිර්මාණාවසානයේ ඔවුන් විසින්ම තේරුම් ගනියි.
“තවදුරටත් ගීත ඇසුණේ නෑ
නැටුම් තිබුනෙත් නෑ
මගේ සිත සියලු එළි නිවා දැමූ
පරණ සෙල්ලම් ගෙදරක් වගේ.
එහෙත් අන්තිමට එය නිමාවක් සොයා ගත යුතුයි
ලැබිය යුතුයි ශුද්ධ වූ පරිපූර්ණ නිදහසක්
දර්පණ තලය පොඩි පට්ටම් කරනවාට
රාත්‍රිය ඇවිත් දියතලාව මකා දමනවාට
කැමති විය යුතුමයි.”
පරණ සෙල්ලම් ගෙදර කාව්‍ය නිර්මාණයේ තේමාත්මක පැතිකඩ විවරණයේදී දාස්ගේ ආශාව සහ ආශාව පිළිබඳ ගවේෂණය වැදගත් අංගයකි. කතිකයාගේ චිත්තවේගීය සම්බන්ධතාවය සහ අවබෝධය සඳහා ඇති ආශාව කවිය පුරාවටම දෝංකාර දෙයි. එය විමුක්තිය සඳහා සිදුකරන බලවත් ආයාචනයකින් අවසන් වේ. ඇය පාපොච්චාරණය කරයි. ” මා ඔබ වෙත පැමිණියේ මා කවුරුන්දැයි, වටහාගන්නයි, එතනින් වැඩෙන හැටි ඉගෙන ගන්නයි. ඒත් හැම පාඩමකින්ම ඔබ මට ඉගැන්වූයේ ඔබ ගැනමයි.” ඇගේ ගෘහස්ථ පැවැත්මේ සීමාවන් ඉක්මවා යන නිදහස සහ ආශාව සඳහා ඇති ආශාව ඈ ප්‍රකාශ කරයි. එමගින් ඇයගේ පෞද්ගලිකත්වය, ආශාවන් සහ සිහින වැළඳ ගන්නා ජීවිතයක් සඳහා ඇති ආශාව තවදුරටත් ගම්‍යමාන වේ.
එසේම පීතෘමූලික රාමුවක් තුළ ආදරයේ මතුපිට ස්වභාවය විවේචනය කිරීම කවියේ තවත් තීරණාත්මක තේමාවකි. ඇයව සහකරුවෙකු ලෙස නොව වස්තුවක් ලෙස දකින සහකරුවකු විසින් කවියේ කථිකයාගේ ආදරේ සිරකර ඇති ආකාරය පිළිබඳව කමලා දාස් සිය නිර්මාණය මගින් විවරණය කරයි.
පරණ සෙල්ලම් ගෙදරෙහි චිත්තවේගීය ගැඹුර කමලා දාස්ගේ සංකල්ප රූප භාවිතය තුළින් මැනවින් නිරූපණයවේ. ‘දිගු ආදර ග්‍රීෂ්මය’ රූපකයෙන් කතිකයාට දැනෙන හුස්ම හිරවීම ඇගේ විවාහයේ සංකීර්ණතාවල සැරිසරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරලයි. ඔහුගේ කුටිය සැමදා කෘතිම එළිවලින් ආලෝකමත් වීම හා සෑම තැනකම පැතිරුණු ඔහුගේ හුස්මේ පිරිමි සුවඳ පීතෘමූලික රාමුවකින් සැදුම්ලත් කුටුම්භයක් තුළ ස්වකීය ස්වාධිපත්‍යය අහිමිවන ස්ත්‍රියකගේ මනෝභාවය මැනවින් චිත්‍රණය කරයි. කමලා දාස්ගේ ස්වයං චරිතාප්‍රදාන ශෛලිය ඇයගේ නිර්මාණ සඳහා විශ්වීයත්වයක් එක්කළාය. කිවිඳියගේ කාව්‍යමය ප්‍රකාශනය තුළින්ද ඇගේ අනෙකුත් සාහිත්‍යමය කාර්යයන් තුළ අන්තර්ගත ඇගේම ජීවිතය නොරහසක් කරවන ආත්මීය විවෘතභාවයක පාවී එයි. තමන්ගේ ජීවිතය ප්‍රේමයෙන්ද, සමස්ත ප්‍රේමය සමාජයෙන්ද අත්විඳින සීමාවන්ගේ සහ දුක් ගැටලුවල වේදනාව ඇය කවියට නගන්නේ පාඨක සිත් සතන් කිරි ගස්වමිනි. රාගික හැඟීම් හෝ ලිංගික කරුණු හුවා දක්වන ආකාරයේ ඉඟිකිරීම් ඇතුළත් නිර්මාණ පවා කිසිවිටෙකත් අශිෂ්ට ප්‍රකාශනයක් ලෙස හැඟී නොයන්නේ ඇගේ කවිත්වයේ පෙරකී සැබෑ වේදනාවේ ගැස්ම ඒ වදන් අතර මනාව දැවැටී තිබෙන බැවිනි. කමලා දාස් අතින් පබැදුණු “The old play house (පරණ සෙල්ලම් ගෙදර) නිර්මාණය ද සර්වකාලීන ස්ත්‍රිය හා ස්ත්‍රීත්වය සඳහා ගයන සෘජු ආමන්ත්‍රණයකි. එසේම මෙය හුදු ඉන්දියානු කාන්තා විමුක්තිය පමණක් නොව සමස්ත විශ්වීය කාන්තාවන්ගේම පරම නිදහස වෙනුවෙන් දියත් වූ නිදහස් අරගලයකි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
