ඊවා රණවීරගේ “සෙදෝනා” කෘතිය ලාංකීය ලේඛිකාවක් විසින් ස්ත්‍රීත්වය පිළිබඳව ලියූ ගැඹුරුතම සහ සංවේදනීයම කෘතිය ලෙස හඳුනාගත හැකිය. ඇය සිය නවකතා ත්‍රිත්වයටම ලැයිසා (1967), සෙදෝනා (1973), තනි නොතනියට (2003) පාදක කොට ගෙන ඇත්තේ පුරුෂ මූලික සමාජයක පීඩනයට ලක්වන, විශේෂයෙන් ලිංගික හිංසනයට ලක්වන ස්ත්‍රීන් ය. කෘෂිකාර්මික, සාම්ප්‍රදායික, ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා දරිද්‍රතාවය හේතු කොට ගෙන අනේකවිධ දුක් ගැහැටවලට මුහුණදෙන දැරියකගේ චරිතය මහලුවිය දක්වා විකාශනය වන ආකාරය “සෙදෝනා” කෘතිය පුරාවටම නිරූපණය කර ඇත.
දෙමව්පියන් අකාලයේ අහිමිවීම හේතු කොට ගෙන සිය සොහොයුරා රැක ගැනීමේ ජීවන අරගලයක යෙදෙන සෙදෝනාට ගමේ සෑම නිවසකම මෙහෙකාර සේවයේ යෙදීමට සිදුවෙයි. විවාහය හෝ ඉදිරි අනාගත අපේක්ෂාවන් ඉටුකර ගැනීමක් කෙරෙහි අවස්ථාවක් නොලදන සෙදෝනාට අනුන්ට බැලමෙහෙවරකම් කිරීමටත්, අනුන්ගේ දරුවන් හදා වඩා ගැනීමටත් සිදුවීම දරිද්‍රතාව ඇය වෙත කළ සරදමක් විය. මෙය වූ කලී සර්වකාලීන සමාජ යථාර්ථයත් ලෙස හඳුනාගත හැකිය. ග්‍රාමීය කථන භාෂාවත්,ඉතා කෙටි වාක්‍යයත් යොදා ගනිමින් ගැඹුරු ජීවනාදර්ශයක් ලබාදීමට ලේඛිකාව උත්සහ ගෙන ඇත. මෙහි එන සෑම චරිතයක්ම පාහේ සැබෑ සමාජ යථාර්ථයන් ඉස්මතු වන ආකාරයට නිර්මාණය කර ඇත.
“සෙදෝනා හීනෙකින් වී වැනුවා. ආයෙත් වී අත ගෑවා. වී වේලෙනකන් සිහි නෑ. හවස් වෙනකන් සිහි නෑ. වී වේලාගෙන ගෙට අදින කොට හොඳ සිහිය ගිහින්.”
සෙදෝනා ඇය තමා ආගිය ගෙදරක් වූ “වෙලේ ගෙදර” ස්වාමියා වූ “දියෝනිස්” සමඟ ප්‍රේමයෙන් වෙලෙයි. මෙය වූ කලී හුදු කායික සන්තර්පණය අරමුණු කරගෙන ගොඩනගා ගත්තක් නොව, ආධ්‍යාත්මයෙන්ම ගොඩනැගුණු සැබෑම සෙනෙහසකි. ප්‍රේමය නම් වූ හැඟිම සෙදෝනා වැන්නියන්ට අයිති නැත. සියලු සමාජ කුල සිරිත්, සදාචාරය මෙන්ම ඇයට එරෙහි වන්නේ ඇගේ දිළිඳුකම පමණක්ම නොව ස්ත්‍රීත්වයම බව කතුවරයා මෙහිදි අවධාරණය කරයි.
“ජේමිස් මුරකාරයා ආවා… ඉණෙන් ඇද්දා. කොස් ඇට ටික බිම. හැට්ටය ඇද්දා… සෙදෝනා කෑ මොර දුන්නා. දෙපළු වුණ හැට්ටෙ අල්ලාගෙන කෑගහන සෙදෝනා ඉස්සරහ ඉර අවට දියවෙන අයිස් කෑල්ලක් වගේ ජේමිස් අතුරුදන් වුණා.”
සමාජ සම්මතයන්ට පිටුපාමින් සෙදෝනා හා දියෝනිස් අතර ඇතිවු ප්‍රේම සම්බන්ධතාවය අවසානයේ දී කෙළවර වන්නේ මහා ඛේදවාචකයකිනි. සෙදෝනාගේත්, දියෝනිස්ගේත් ප්‍රේමය ඵලප්‍රාප්ත වන්නේ මහ රබර් වත්ත මැද ගල්පොත්ත උඩදී ය. එක්දහස් නවසිය ගණන්වල සමාජයේ විකාශනය වූ මෙකී අසම්මත ආදර කතා සමාජය පිළිගන්නා ආකාරය, දියෝනිස් කෙරෙහි සෙදෝනා කෙරේ ඇති වූ ප්‍රේමණීය සබඳතාවයේ අවසන් හෝරා කිහිපය තුළින් මෙසේ නිරූපණය කරයි.
“ඉර හඳ අපිටද කතා කරන්නේ දියෝනිස් අයියේ, අද ඉතින් මේ අන්තිම දවස ද?”
සෙදෝනාට සමාජයෙන් ලැබෙන්නා වූ ප්‍රතිචාරය වේදනාකාරී ය. සෙදෝනා පවත්නා සමාජ, සංස්කෘතික රාමුවෙන් බැහැරවීම නිසා ඇයට ගමේ සියලු දොරවල් වැසෙයි. සමාජයෙන් එල්ල වූ ගර්හාවන් දරාගත නොහැකි වූ දියෝනිස් සිය දිවිතොර කරගන්නා අතර සෙදෝනා ජීවිතයට මුහුණ දෙයි. පිරිමියා පමණක් නොව ස්ත්‍රීන් අතර ද පවත්නා පීතෘමූලික බලාධීකාරිත්වය පිරිමියාට වරද පටවන්නේ නැත. අවසානයේ දියෝනිස්ගේ මරණයට වරදකරු ලෙස හංවඩු ගසන්නේ ද සෙදෝනායි. සෙදෝනා කෙතරම් තනිවීදයත් තමා මව මෙන් සෙනෙහසින් හදාවඩා ගත් සෙදෝනාගේ සහෝදරයා පවා ඇයට එරෙහිමෙනින් සිටගන්නේ ගම්වැසියන් සමඟයි.
පවතින සමාජ රාමුව තුල බොහෝවිට තනිවූ කාන්තාවන් වටා පිරිමින් ඒකරාශී වන්නේ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මිස ඇයට ප්‍රේම කිරීමේ හෝ අනුකම්පාවක් දැක්වීමේ අරමුණින් නොවේ. මෙම නවකතාව තුල සෙදෝනා වටා ගමේ පිරිමින් රොක්වන්නේ ද ඇයට අනුකම්පාව දැක්වීමේ අරමුණින් නොව ඇයව කෙලි බඩුවක් කරගැනීමේ අදහසිනි. තම වැරදි දාහක් නොදැක අනෙකාගේ එක වැරැද්දක් වෙනුවෙන් හංවඩු ගැසීමට උත්සුක වන ගම්වැසියන් සෙදෝනා හංවඩු ගසන්නේ දුරාචාරයේ හැසිරින්නියක ලෙසයි. සර්වකාලීන ස්ත්‍රිය, ස්ත්‍රියක් වීම නිසා විඳින පීඩාවන් කතුවරිය මේ තුළින් මොනවට ගෙනහැර දක්වයි.
“කොන්කරනව තරන් තවත් ලොකු පාරක් නැහැයි සෙදෝනා හිතුවා. කොන්කරලා, රොඩ්ඩක් වාගෙ අතුගාලා දාලා උන් එකතු වෙලා කනවා. බොනවා. කතා කරනවා. සෙදෝනා එළියේ. කුණු ගොඩේ නිල මැස්සෝ එක්ක.”
“කවුරුත් බැන්නා. තාත්තා ගැහුවා. පොත්තෙන් පනින්ඩ ඉස්සර කරන වල්කන් කියලා ගේ ඉස්සරහ පුවක් ගහේ බැදලා කිව්වා. තාත්තා වෙල් මාළු වැලක් අල්ලාගෙන එනකොට අගලේ පෙරළි උන්න සෙදෝනා අහුවුණා. සෙදෝනා අගලට ඇදලා ගත්තේ ඒබ්‍රන් අයියා.”
කුඩාකළ සිටම ඇය විදි හිරිහැර වලට අමතරව ඇය තරුණියක වූ සමයේ පටන් සමාජයෙන් ලද නිග්‍රහයන්ට එරෙහිවන්නට නොහැකි වන්නේ ද, විවිධ දුක්ගැහැටයන්ට ලක්වීමට සිදුවන්නේ ද , ඇය දරිද්‍රතාවයෙන් පෙළෙන පීඩිත පන්තියක එකියක් වූ නිසාය. ඉහළ පාන්තික සමාජයේ සමාජ අසම්මතයන් සාමාන්‍යකරණය වූවකි. සෙදෝනා සතුව ද මුල්‍යමය හැකියාව පැවතියේ නම් ඇයට රිසි ආකාරයටම සමාජ සම්මත හා කුල සිරිත් නිර්මාණය කිරීමේ අවස්ථා පවතින බව පෙන්වාදෙන කතුවරිය, සමස්ත සමාජ වටපිටාව කෙරෙහි සෝපාහාසාත්මක දෘෂ්ටියක් හෙළයි.
“සෙදෝනාට විතරයි අතීතයක් දීලා අයින් කරල ඉන්නෙ. අනික් උන්ට නැද්ද අතීත. අනික් උන් රජ පවුල්වල වගේ නේ දැයි සෙදෝනාට හිතුණා… පිට පාත් කරගෙන කොරවක්කා වගේ වචනයක් නැතුව ඉන්නවා. මිටි තැනින් වතුර ගලන්නෙ.”
කුඩා කාලයේ පටන් විවිධ පීඩාවන්ට, ගැරහුම් වලට ලක්වී දියෝනිස්ගේ සිද්ධියෙන් අනතුරුව වැසුණු ගමෙහි දොරවල් නැවතත් සෙදෝනාට විවර වන්නෙ ඇයව සුපුරුදු මෙහෙකාර වෘත්තියෙහිම යොදවාගන්නා අදහසිනි. මහලුකල “කිරි අම්මා දානය” කට ඇරයුම් ලැබීමෙන් අනතුරුව එතෙක් ගැරහුමට ලක් වූ ඈ සමාජයේ ගෞරවයට පාත්‍රවෙයි. ඇයව මෙසේ ගෞරවයට පාත්‍ර කරන්නේ ද උපතේ සිට මහලුකාලය දක්වාම සෙදෝනාව පීඩාවට, ගැරහුමට ලක්කල සමාජය විසින්ම ය.
“මින් පස්සෙ කවුරුවත් කොන් කරන්නේ නෑ. පාන්දරට දකින්ඩ නොදෝකින් කියන්නෙ නෑ. ගමනක් බිමනක් යනකොට ඉස්සරහට මුලිච්චි වෙයි කියලා බයේ ගැහෙන්ඩ ඕනෑ නෑ. කිරි අම්මා කෙනෙක් වෙන්ඩ වාසනාවන්.”
සෙදෝනා කෘතිය වූ කලී සර්වකාලීන වැදගත්කමකින් යුතු කෘතියක් ලෙස හඳුනාගත හැකිය. දරිද්‍රතාවය ඇතුළත පීඩා විඳින සෙදෝනා ඒ තුළම කාන්තාවක් වීම නිසා ද පීඩා විඳියි. අවසානයේ සෙදෝනා සිය ජීවිතයට මුහුණදෙන්නේ සියලු අභියෝගයන්ට ප්‍රති අභියෝග කරමිනි.මේ අනුව ඊවා රණවීරගේ “සෙදෝනා” කෘතිය වූ කලී සර්වකාලීන සමාජ යථාර්ථයක් වූ ස්ත්‍රීත්වය මැනවින් නිරූපණය කරන්නක් ලෙස හඳුනාගත හැකිය.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
