එරික් ඉලයප්ආරච්චි The Asian Review Sinhalaට ලියන විශේෂ විචාරය.
3.
වර්තමාන සාහිත්‍යය හා කලාව මෙන් ම සිංහල කලා අධ්‍යාපනය ද මුහුණ දෙන යථෝක්ත බරපතළ අභියෝගයට විසඳුම, කලාකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව හොඳින් අවබෝධ කර ගැනීම පමණි. එය විනා කිසියම් පැරණි ලේඛකයකු හෝ වෙනත් කලාකරුවකු ඉසිවරයකු ලෙස ආගම් කර්තෘවරයකුගේ මුහුණුවරින් මහේශාඛ්‍ය මට්ටමකට නැංවීම හෝ සාහිත්‍ය කලා සංස්ථාවක් ලෙස එවැන්නකු ඔසවා තැබීම නොවන බව ද කිව මනා ය. කවර පැරණි කලාකරුවකුගේ නිර්මාණයක් වූවත් පසුකාලීනයන් හමුවේ නැවත කියවමින් එහි තිබෙන සර්වකාලීන අදාළත්වය විමසීම සඳහා විවෘතව පවතින්නකි. සාහිත්‍ය අධ්‍යාපනයේ අභියෝගය හා සමකාලීන ගැටළු මතු වන්නේ මේ කාරණයේ දී ය.
කවර පැරණි සාහිත්‍යකරුවකුගේ භූමිකාව වූවත් විෂයමාලා ඔස්සේ ඉසිවරයකුගේ මට්ටමට එසවීම සදාචාරාත්මක සළුපිළි ඇන්දවීමක් වන අතර, ඒ සාහිත්‍යකරුවා සංස්ථාපිතයක් බවට පරිවර්තනය කිරීම යනු සාහිත්‍යයේ සිවිල් බලය ස්ථාපිත කිරීම, සාහිත්‍ය කර්මාන්තකරණය සාහිත්‍ය කලාවට ඉහළින් ඔසවා තැබීම, අරමුදල් පාදක ව්‍යාපෘතිකරණය දියත් කිරීම හා එහි බල රූපාකාරයන්ගේ අනිසි රජැයීම පිළිබඳ කාරණයකි.
රෝලන්ඩ් බාතගේ ‘කර්තෘගේ මරණය’ පිළිබඳ අදහස ඉදිරියේ එම කාරණාවල වලංගුතාව ප්‍රශ්නයට භාජනය වේ. ඇත්ත වශයෙන් ඒ සංකල්පය මේ කාරණයේ දී වඩාත් ප්‍රතිඵලදායක ය. ප්‍රති-සෘෂිවර ප්‍රවිෂ්ටයක් සහ ප්‍රති-සංස්ථාපිත අරාජිකත්වයක්, සාහිත්‍යකරුවකුගේ භූමිකාව සහ එහි සමාජ අනිවාර්යතාව තේරුම් ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන බව යෝජනා කරමු.
සාහිත්‍යකාර ඉසිවරකරණයේ දී හා සංස්ථාකරණයේ දී සිදු වන්නේ එවැනි සාහිත්‍යකරුවන් සාහිත්‍යය වෙනුවෙන් පවතින අවසන් විසඳුම ලෙස සැලකීම යි. එවිට ඒ ලේඛකයා හා සමකාලීනත්වය අතර ගැටුමක් නිර්මාණය වන අතර, සමකාලීනත්වය නිරූපණය කිරීමේ වුවමනාවෙන් මෙහෙය වන්නා වූ නව ලේඛකයින්ගේ පරිශීලනයෙන් ඒ ලේඛකයා ඈත් වී ගොස් නව සමාජයට ඔහු අහිමිවී යයි. ජාතියක ප්‍රාඥයා, ජාතියක ලේඛකයා, ජාතියක ගාන්ධර්වයා, ජාතියක සිත්තරා වැනි තනතුරු එහි ලා ලේඛකයකු හෝ කලාකරුවකු වෙනුවෙන් අටවන ලද මර උගුල් පමණි.
එවැනි ධූරාවලීගත කිරීමක දී ඒ ධූරාවලියේ අනු – තනතුරු ද බිහි වන අතර ප්‍රාන්තය, ප්‍රදේශය, වර්ගය, කුලය, ආගම යනාදි වශයෙන් ද එවැන්නෝ බිහි වෙති. එය යථෝක්ත පසුගාමී සමාජ නිර්මිතය නිසා ඇති වන අනිසි ප්‍රතිනිෂ්පාදනයකි (reproduction).
රුසියානු සාහිත්‍යය විචාරය තුළ මේ ගැටළුව විසඳෙන්නේ ඉතාමත් අපූරු ආකාරයකට ය. එහි දී තොල්ස්තෝයි ද? දොස්තොයෙව්ස්කි ද? යන ප්‍රශ්නය, ජර්මානු සාහිත්‍ය චින්තක ජෝර්ජ් ස්ටයිනර් මතු කර දෙයි.
ඒ නිසා ඒ ලේඛකයින් දෙදෙනාගෙන් කිසිවෙක් අග්‍රස්ථානයට පත් නොවේ. සාපේක්ෂ අගය සාහිත්‍ය සහෝදරත්වයේ අංගයකි.
ඊට අතිරේකව තවත් රසබර නිදසුනක් රුසියානු සාහිත්‍යය පිළිබඳ බටහිර විචාරයෙන් අපට ලැබේ. ඒ ප්‍රකට රුසියානු – බ්‍රිතාන්‍ය චින්තකයකු වූ අයිසයා බර්ලින් වෙතිනි.
තොල්ස්තෝයි හා දොස්තොයෙව්ස්කි සම්බන්ධයෙන් ඔහු විසින් ‘සිවලා සහ ඉත්තෑවා’ පිළිබඳ ප්‍රතිවිරෝධය ඉදිරිපත් කරනු ලැබේ. සිවලා බොහෝ දේ දන්නා අතර ඉත්තෑවා එක් විශාල දෙයක් දකින බව ග්‍රීක කවි ආකිලොකස් කියා ඇති බව අයිසයා බර්ලින් කියයි.
ඒ අනුව හෙරඩෝටස්, ඇරිස්ටෝටල්, මොන්ටේංඤ්, ඉරැස්මස්, ශේක්ස්පියර්, මොලියේ, ගතේ, පුෂ්කින්, බල්සක්, ජොයිස් ආදීන් අඩුවැඩි වශයෙන් සිවල් කුලකයට අයිති වන අතරේ ප්ලේටෝ, ඩාන්ටේ, ලුක්‍රිටියස්, පැස්කල්, හේගල්, දොස්තොයෙව්ස්කි, නීට්ෂ, ඉබ්සන්, පෲස්ට් ආදීන් ඉත්තෑ කුලකයට අයිති ය. ඊසාක් බර්ලින්ට අනුව තොල්ස්තෝයිගේ තත්ත්වය අපැහැදිලි ය. *4
*4. Isaiah Berlin, Russian Thinkers, Penguin Books, 1978, p. 24
එවැනි සංසන්දනයන්ට ඉඩ අහුරා ලේඛකයකු ඉසිවරයකු කිරීම හෝ අවිවාදිත සාහිත්‍ය සංස්ථාවක් බවට පත් කිරීම යෝග්‍ය සාහිත්‍ය විචාර පිළිවෙතක් නොවන බව ය, ස්ටයිනර් හා බර්ලින්ගේ විචාරවලින් අපට පෙනෙන්නේ. තවද ලේඛකයා දර්ශනවාදියකු ලෙස තහවුරු කළ හොත් ඒ ලේඛකයා හා දර්ශනවාදය, නිදහස් හා විවාද සම්පන්න අදහස් ගොන්නක් ලෙස නොපැවතී සංස්ථාපිත දෘෂ්ටිවාදයක් ලෙස තහවුරු වේ. එය ඉන් පසු සන්නද්ධ ස්වසන්තානමාත්‍රවාදයක් (solipsism) දක්වා ද පරිහානියට පත් විය හැකි ය.
එවැනි තත්ත්වයක දී පැරණි ලේඛකයකුගේ නිර්මාණ මාලාවට සිදු වන්නේ බලවත් අගතියකි. එය ලේඛකයාට ඔහුගේ ලෝකය අහිමි කිරීමක් ද, ලෝකයට ලේඛකයා අහිමි කිරීමක් ද වේ.
සාහිත්‍ය ලෝකයකට, විශේෂයෙන් ඔහු හෝ ඇය විසින් භාවිතා කරන ලද භාෂා ලෝකයට ලේඛකයකු අහිමි කිරීම බලවත් අපරාධයකි. එය අප අද අත්දකින සංස්කෘතික හා භාෂා විපරීතයට අත්උදව් දෙන අන්දමේ සංස්කෘතික අපරාධයක් වන බව කිය මනා ය.
අප අද පසු කරන්නේ සමාජ ව්‍යාකූලත්වය තුළ ‘සංස්කෘතික අවකාශ’ හා ‘භාෂා අවකාශ’ වෙනත් අවකාශ බවට ශීඝ්‍රයෙන් පරිවර්තනය වන්නා වූ වකවානුවක ය. ලේඛකයා පිළිබඳ අවශ්‍යතාව අනිවාර්ය සමාජ කොන්දේසියක් බවට පත් වන්නේ ඒ අභියෝගාත්මක සමාජ සන්දර්භය තුළ බව අවධාරණය කළ මනා ය.
හැටේ දශකයේ මෙරට ද අතිශයින් ජනප්‍රිය වූ ‘මයි ෆෙයා ලේඩ්’ චිත්‍රපටියට පාදක කර ගැනුණු ‘පිග්මැලියන්’ වේදිකා නාට්‍යය වෙනුවෙන් රචනා කරනු ලබන පෙරවදන ආරම්භයේ දී, අයර්ලන්ත මහා නාට්‍යකරු ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ මෙසේ ලියයි.
“ඉංග්‍රීසීන් තුළ ඔවුන්ගේ භාෂාව ගැන ගෞරවයක් නොමැති අතර, ඔවුන්ගේ දරුවන්ට එය කතා කරන්නට නූගන්වනු ඇත. සම්මත භාෂණ අගයක් (speech value) නොමැති තම ව්‍යාංජනාක්ෂර – සියල්ල ම නොවේ – සහිත පැරැණි විදෙස් හෝඩියක් විනා, උච්චාරණය කරන්නට දෙයක් නැති නිසා ඔවුන්ට එය උච්චාරණය කරන්නට නුපුළුවන. එම නිසා එය කියවන (reading) විට කෙසේ ශබ්ද විය යුතු ද කියා තමාට උගන්වා ගන්නට කිසි ම මිනිසකුට නුපුළුවන. තවද තවත් ඉංග්‍රීසිකාරයකු විසින් දක්වනු ලබන අවමානයෙන් තොරව ඉංග්‍රීසිකාරයකුට කට අරින්නට නොහැකි ය. බොහෝ යුරෝපීය භාෂා වෙතට විදේශකයින්ට දැන් කළු සුදු වශයෙන් ළඟා වන්නට පුළුවන. ඉංග්‍රීසිකාරයින්ට හා ප්‍රංශකාරයින්ටවත් එලෙසින් ඉංග්‍රීසි හා ප්‍රංශ කරා ළඟා වන්නට නොහැකි ය. අද අපට ඉතාමත් වුවමනා වී තිබෙන ප්‍රතිසංස්කරණවාදියා (reformer) වන්නේ උනන්දු සහගත උද්යෝගිමත් ශාබ්දිකයෙකි (energetic phonetic enthusiast). මා එවැන්නකු ජනප්‍රිය නාට්‍යයක වීරයා (hero) බවට පත්කර තිබෙන්නේ ඒ නිසා ය.”*4
*4. Bernard Shaw, Pygmalion, Longmans Greens, 1964, p. 1
අපගේ තත්ත්වය ඒ ඉංග්‍රීසිකාරයින්ගේ හා ප්‍රංශකාරයින්ගේ තත්ත්වයට වඩා බෙහෙවින් ම නරක බව කිය යුතු නොවේ. අපගේ සිංහල ‘මයි ෆෙයා ලේඩි’ නාට්‍යයේ වීරයා විය යුත්තේ ශාබ්දිකයකු පමණක් නොවේ. නිර්මාණාත්මක ලේඛකයකු ද අපට වුවමනා ය.
මෙරට භාෂාව පමණක් නොව සාහිත්‍ය ප්‍රභේද හා අනුප්‍රභේද හෙවත් ශානර පවා බරපතළ අර්බුදයට යමින් පවතින මෙවැනි වකවානුවක, ශාබ්දිකයකුගේ හා නිර්මාණාත්මක ලේඛකයකුගේ වුවමනාව බරපතළ මට්ටමේ එකකි. රුහුණු විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු ‘බව තරණය’ නවකතාවේ අඩසියවස් සමරු ශාස්ත්‍රීය සම්භාෂණයේ දී එක් ආරාධිත දේශකයකු සිංහල භාෂා සාහිත්‍යය හදාරණ සරසවි සිසුන්ගේ භාෂාත්මක හා අවබෝධාත්මක දුර්වලතාව පිළිබඳ ලොමු දැහැගන්වන අනාවරණයක් කළේ ය.
බර්නාර්ඩ් ෂෝගේ ‘පිග්මැලියන්’ උපහාස වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේ, ලන්ඩනයේ පහළ සමාජයට අයිති කාන්තාවකට වියත් භාෂා හුරුව ලබා දී ඉහළ සමාජයට යැවීමේ අභියෝගය භාර ගන්නා ශාබ්දිකයකු පිළිබඳව ය.
භාෂා විශාරදයකු වූ හෙන්රි හිගින්ස් නම් ඔහු තරුණ එලිසා ඩූලිට්ල් නම් මල් වෙළෙන්දියකගේ ‘කොක්නි’ නම් පහළ පංතික හඩු මාර්කට් ඉංග්‍රීසිය වෙනුවට, ඇයට උසස් ඉංග්‍රීසි බස උගන්වා සය මසකින් ඇය සිටුවරියක කරන්නට පුළුවන් බවට, ඉන්දියාවේ සිට පැමිණි තවත් ඉංග්‍රීසිකාරයකු වූ කර්නල් පිකරින් සමඟ ඔට්ටු අල්ලයි. ඒ අනුව උග්‍ර පුහුණුවක් අරඹන හිගින්ස් ඇය උසස් සමාජයට යවන්නට සමත් වේ.
පිග්මැලියන් ග්‍රීක පුරාණෝක්තියේ මැවෙන චරිතයකි. මූර්ති ශිල්පියකු වූ පිග්මැලියන් තමා නෙළන සුන්දර නාරි මූර්තියකට වසඟ වන අතර, ආදරයේ දෙවඟන වූ ඇප්‍රොඩයිට් (වීනස්) ඔහුගේ ඉල්ලීම සපුරමින් ඒ ප්‍රතිමාවට ප්‍රාණය ලබා දෙයි.
සාහිත්‍ය ලේඛකයාගේ තත්ත්වය ද ඊට සමාන වන අතර ඔහු මිනිස් ජීවිතය ඇසුරෙන් සිය නිර්මාණය බිහි කරමින් ඒ සමඟ බැඳෙයි. එහි දී ශාබ්දිකයාගේ කාර්යය ද ඔහු අතින් ඉටු විය යුතු අතර, පොදුජන බස නිර්මාණයට ගැලපෙන අයුරින් සකස් කර ගන්නට ය, ඔහුට සිදු වන්නේ.
මාර්ටින් වික්‍රමසිංහ වැනි පුරෝගාමී ලේඛකයින්ට එදා සිංහල භාෂා විශාරදයින් හා ව්‍යාකරණඥයින් වෙතින් එල්ල කෙරුණු කර්කශ විවේචන අනුව පෙනී යන්නේ, නවකතා හා කෙටිකතාකරුවකුගේ භාෂාව හුදෙක් සම්භාව්‍ය භාෂාව හා ව්‍යාකරණය නොවන බව යි. සම්භාව්‍ය භාෂාව හා ව්‍යාකරණය ලේඛකයාගේ ස්වාධීන කර්තව්‍යය වෙනුවෙන් ඒ අයුරින් යොදා ගත නොහැකි වන්නේ, අලුත් අත්දැකීම් කැලතෙන සමකාලීන සමාජය ඔහු තම නිර්මාණවලට විෂය කර ගන්නා බැවිනි. එය සම්භාව්‍ය භාෂා විශාරදයා හා ව්‍යාකරණඥයා පය නොතබන ක්ෂේත්‍රයකි.
අප අද සම්ප්‍රාප්තව සිටින්නේ බර්නාර්ඩ් ෂෝ නුදුටු හා දකින්නට නොරිසි නොවන මට්ටමේ භාෂා අර්බුදයකට ය. විද්‍යුත් ජනමාධ්‍යයෙන් ආරම්භ වූ එය මුහුණුපොත ඇතුළු සමාජ ජාලා නිසා වඩාත් අර්බුදාත්මක මට්ටමක් කරා ළඟා වෙමින් තිබේ. එහි ව්‍යවහාර කරන්නා වූ භාෂාව අමුතු එකකි. මේ නිසා භාෂා අර්බුදය ශානරීය අර්බුදයක් සමඟ අතිනත ගෙන ඇති අතර, එහි ගමනාන්තය කිසිවකුට සලකුණු කළ නොහැකි එකකි.
අනෙක් අතට වර්තමාන බංකොලොත් ආර්ථිකය හා සමාජ ව්‍යාකූලත්වය සමඟ දිග හැරෙන අධ්‍යාපන ව්‍යාකූලත්වය ද සැලකිය යුතු එකකි. විශේෂයේ අද සිංහල භාෂා සාහිත්‍ය පීඨ මේ අර්බුදයට මුහුණපා සිටියි.
ඒ අනුව අද අපට වුවමනා වී තිබෙන ප්‍රතිසංස්කරණවාදියා වන්නේ හුදෙක් භාෂා විශාරදයකු වූ හෙන්රි හිගින්ස් වැනි උනන්දු සහගත උද්යෝගිමත් ශාබ්දිකයකු පමණක් නොවේ. සාහිත්‍යකරුවකු ද වුවමනා ය. භාෂාව සහ ශානරය යන දෙක ම නඟාලන ලේඛක භූමිකාව වැදගත් වන්නේ මෙහි දී ය.
අද මෙලෙස මුහුණ දෙන අර්බුදයට හුදෙක් ජනමාධ්‍යයට පමණක් චෝදනා කළ නොහැකි ය. සමාජ ජාලය තුළ පාවිච්චි කරන භාෂාවේ වරදකරුවා කිසිසේ ම ඒවා හෝ නව තාක්ෂණය හෝ නොවේ.
බර්නාර්ඩ් ෂෝගේ පිග්මැලියන් නාට්‍යයේ අර්ථයෙන් අපට අද ඇති ගැටළුව ‘හෙන්රි හිගිනිස් කෙනෙකු’ මෙන් ම මල් වෙළෙන්දියකව සිට සිටු ආර්යාවක විය හැකි ‘ඩූලිට්ල් කෙනෙකු’ ද නැති වීම ය. එපමණක් නොවේ. අප අද රඟ දක්වන නාට්‍යය පිග්මැලියන්ට හෝ මයි ෆෙයා ලේඩිට වඩා බියකරු එකකි.
මේ කනගාටුදායකදායක තත්ත්වයන් තුළ හෙන්රි හිගින්ස් මට්ටමේ චරිතයක් වීමේ හා එසේ වීමෙන් පසු ඒ වෙනුවෙන් කැපවී ජීවත් වීමේ වගකීමෙන් අත්මිදෙන්නට මානවශාස්ත්‍ර පීඨවල ආචාර්යවරුන්ට නොහැකි ය. මල් වෙළෙන්දියකව සිට සිටු ආර්යාවක විය හැකි ඩූලිට්ල් චරිතයක් ලෙස සමාජයට යාමේ වගකීමෙන් අත්මිදෙන්නට මානවශාස්ත්‍ර පීඨවල සිසු සිසුවියන්ට ද නොහැකි ය.
මෙහි දී ජීවමාන භාෂාවක් අර්බුදයට ගිය අවස්ථා සහ සාහිත්‍යය, සංගීතය, චිත්‍ර කලාව යනාදිය අර්බුදයට ගිය අවස්ථා පිළිබඳ විමසිලිමත් වීම අද අපට ඉතාමත් වුවමනා වී තිබෙන ප්‍රතිසංස්කරණවාදියා කවරෙක් ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් ය.
අප අද මුහුණ දී සිටින අසාමාන්‍ය සංස්කෘතික තත්ත්වයන් තුළ වුවමනා වන්නේ රසවාදයේ හෝ කලාත්මකභාවයේ හෝ කලාත්මක ප්‍රගමනයේ හෝ අලංකාරිකයන් හෙවත් රෙටොරිකයන් පමණක් නොවේ. නිර්-කලාත්මකභාවයේ, පරම කලාත්මක පරිහානියේ හා කලාවේ මරණයේ අලංකාරිකයන් හෙවත් රෙටොරිකයන් ද අද අපට වුවමනා වේ.
මේ රචනාව වෙනුවෙන් දැන් ඒ බිහිසුණු අඩවියට ද පා තබන්නට කැමැත්තෙමු. කලාත්මක ලෙස අද මෙරට පෙනී සිටින සියල්ල කලාත්මක නොවන බව තේරුම් ගැනීම සඳහා ‘නිෂේධනාත්මක රසවාදයක්’ සහ ‘නිෂේධනාත්මක අලංකාරවේදයක්’ අපට වුවමනා වී තිබේ.
අපට ‘අමානවීයත්වය’ (the inhuman) පිළිබඳ බිහිසුණු අදහසක් ද ඊට එකතු කළ හැකි ය. අප කලින් විමසූ ජෝර්ජ් ස්ටයිනර් මෙහි ලා ඉතා වැදගත් භාෂා හා සාහිත්‍ය චින්තකයෙකි.
දෙවෙනි ලෝක යුද සමය තුළ නාසිවාදයේ නැඟීම හමුවේ ජර්මානු භාෂාව මුහුණ දුන් තත්ත්වය ජෝර්ජ් ස්ටයිනර් පැහැදිලි කරයි.
ඇත්තෙන් ම ස්ටයිනර් තම කෘතිය නම් කළේ ‘භාෂාව සහ සාහිත්‍යය – භාෂාව, සාහිත්‍යය සහ අමානවීයත්වය’ (Language and Silence – Essays on Language, Literature and the Inhuman) යන බිය දනවන දීර්ඝ නාමයකිනි.
එහි පෙරවදන ඇරඹන්නේ මෙනයිනි.
“මූලිකව මෙය භාෂාව පිළිබඳ ග්‍රන්ථයකි. භාෂාව සහ දේශපාලනය ගැන ය. භාෂාව සහ සාහිත්‍යයේ අනාගතය ගැන ය. ඒකාධිපති බොරු (totalitarian lies) සහ සංස්කෘතික පරිහානිය විසින් ඇති කරනු ලබන පීඩන ගැන ය. භාෂාව සහ අනෙක් අර්ථජනන කේතයන් (සංගීතය, පරිවර්තනය, ගණිතය) ගැන ය. භාෂාව සහ නිශ්ශබ්දතාව ගැන ය.”*5
*5. George Steiner, Language and Silence, Essays on Language, Literature an the Inhuman, Atheneum New York, 1986, p. vii
ජෝර්ජ් ස්ටයිනර් සාහිත්‍ය චින්තකයා, ආචීර්ණ කල්පික සාහිත්‍ය ලෝකය තැති ගන්වමින්, සමාජ අර්බුදය සහ භාෂාව අතර ගැටළුව, බර්නාඩ් ෂෝ ‘පිග්මැලියන්’ නාට්‍යයේ දී දුටු ඉංග්‍රීසි භාෂා අර්බුදයට වඩා බියකරු අන්ධකාර ක්ෂේත්‍රයක් වෙතට රැගෙන යයි.
එය භාෂාව ගැන මිනිස් ගෞරවයක් නැති වීමට සහ දෝෂ සහගත උච්චාරණයට වැඩිමනත් දෙයකි. නමුදු එය ද මූලික වශයෙන් භාෂාව සහ ශාබ්දිකත්වය පිළිබඳ ගැටළුවකි.
එහි දී ජෝර්ජ් ස්ටයිනර් ‘භාෂාවේ ශාබ්දිකත්වය අහෝසි වීම’ හෝ ‘භාෂාව මියයාම’ දැකීම දක්වා ම ගමන් කරයි. ඔහුට අනුව යම් භාවිත තත්ත්වයක දී භාෂාව මුළුමනින් ම පාහේ නිශ්ශබ්ද විය හැකි ය. භාෂණ අගයෙන් තොර විය හැකි ය. කියවීම නතර විය හැකි ය. වෙනත් භාෂිකයකු විසින් දක්වනු ලබන අවමානයෙන් තොරව කට අරින්නට නොහැකි වනවා පමණක් නොව අවඥාව පිණිස හෝ ශ්‍රවණය කරන්නට කෙනෙක් නැති වී යා හැකි ය.
එය දෘෂ්ටිවාදීව සන්නද්ධ වී සිටින යම් පිරිසකට, සමහර විට නොමඟ ගිය මහජනයාට පමණක් කළු – සුදු වශයෙන් ළඟා වන්නට පුළුවන් තත්ත්වයක් පමණක් විය හැකි ය. එවිට වුවමනා වන ප්‍රතිසංස්කරණවාදියා සමාජය නැවත සකස් කරන්නට කැප වුණු, දේශපාලනය සහිත, උනන්දු සහගත, උද්යෝගිමත් ශාබ්දිකයෙකු වන අතර, ඔහු අනාගත ‘මයි ෆෙයා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව නිරූපනය කරන වීරයා බවට පත් වන්නේ ය.
හෝමර්ගේ සිට ශේක්ස්පියර් දක්වා ද, එෆ්. ආර්. ලීව්ස්ගේ සිට මාසල් මැක්ලුහාන් දක්වා ද, ලෙවි ස්ට්‍රවුස්ගේ සිට ලුඩ්විග් විට්ගන්ස්ටයින් දක්වා ද, තෝමස් මාන්ගේ සිට ගුන්ටර් ග්‍රාස් දක්වා ද, ජෝර්ජ් ලූකාස්ගේ සිට ලියොන් ට්‍රොට්ස්කි දක්වා ද ලියන්නට යෙදුණු අනේකවිධ විෂයන් හා තත්කාලීන සංස්කෘතික සිද්ධීන් පිළිබඳ වේදනාකාරී ලිපි සමුච්චයක පොදු තේමා – ආරුක්කුව පැහැදිලි කරමින් ජෝර්ජ් ස්ටයිනර් මෙසේ ලියයි.
“මේ සමුච්චයේ ඇතුළත් රචනා සහ ලිපි විවිධ කාලවල ලියන ලද ඒවා ය. බොහෝ තන්හි දී ඒ සුවිශේෂ අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් හැටියට ය. එය පොතක් පළ වීම, නාට්‍ය හෝ ඔපෙරා නිෂ්පාදනයක් හා දේශපාලන සිද්ධියකි. එනමුත් ඊට පාදක වෙමින් යටින් දිවෙන තේමාව වන්නේ, භාෂාවේ ජීවිතය සහ අපගේ සමාජය හා සංස්කෘතිය තුළ භාෂාව සතු වන සමහර සංකීර්ණ බලශක්තීන් ය. ඇතැම් ඒකාධිපති රෙජීම තුළ උච්චාරණය කරනු ලබන්නට බල කෙරෙන මිනීමරු කෙබෙර සහ හිස්භාවය සමඟ භාෂාවට තිබෙන සම්බන්ධතා මොනවා ද? එසේ නැති නම්, ග්‍රාම්‍ය නොසැබිකමේ, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ හා පොදුජන පාරිභෝගිකවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිරී ඉතිරී තිබෙන මහා කෑදරකම සහිත විශාල කුණු ගොඩ සමඟ සමඟ භාෂාවට තිබෙන සම්බන්ධතා මොනවා ද? යන්න ගැන ය” *6
*6. George Steiner, Language and Silence, Essays on Language, Literature and the Inhuman, Atheneum New York, 1986, p. vii
ඉන් පසු ස්ටයිනර් මතු කරන්නේ අද අප මෙන් එදා යුරෝපය ද තම සාහිත්‍ය ප්‍රකාශනයේ සම්භාව්‍ය වකවානුවේ සිට වාචික ප්‍රාථමිකත්වයක් (verbal primacy) කරා යමින් සිටියේ ද යන බරපතළ ප්‍රශ්නය යි.
“අප යමින් සිටින්නේ පිරිහුණු භාෂා අදියරක, පශ්චාත් – වාග්විද්‍යාමය රූපාකාර සහ සමහර විට අර්ධ නිශ්ශබ්දවීමක් කරා ද?”
පසුගිය කාලය පුරා අපගේ ආදරණීය සිංහල භාෂාව ද යථෝක්ත පරිමානයේ අවර ගණයේ සමාජ සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇත. භාෂා හා කලා සාහිත්‍ය ව්‍යාපාර සහිත ජාතික අරගල ඔස්සේ යටත්විජිත යුගයේ ඇති වූ පිරිහීමෙන් මහත් පුනර්ජීවනයක් ලැබූ එය, නිදහස් යුගයේ ජාතික රාජ්‍යය තුළ උච්චාරණය කරනු ලබන්නට බල කරන ලද මිනීමරු කෙබෙර සහ හිස්භාවය සමඟ සම්බන්ධතා පවත්වා ඇත.
ග්‍රාම්‍ය නොසැබිකමේ, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ හා පොදුජන පාරිභෝගිකවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිරී ඉතිරී ගොස් ඇති වී තිබෙන කෑදරකම සහිත විශාල කුණු ගොඩකට අප භාෂාව කර ගසා ඇත. විද්‍යුත් ජනමාධ්‍යයේ සිට වෙබ් අඩවි දක්වා වූ ග්‍රාම්‍ය නොසැබිකම්, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ භාෂා සංස්කෘතියක් වෙත එය නැඹුරු කර ඇත.
සිංහල භාෂාව රජකර හුදකලා කිරීම නිසා ඉංග්‍රීසි සහ දෙමළ භාෂා සහෝදරත්වය ද ඊට අහිමි විය. පුරාණ භාෂා ඉගෙනීමේ උනන්දුව සරසවිවලින් ගිලිහී යාම නිසා පාලි හා සංස්කෘතික භාෂා අධ්‍යයන පටු වීමෙන් අප චිරන්තන සාහිත්‍ය පෞරුෂයට හිමි වී තිබුණු ‘ෂඩ් භාෂා පරමේශ්වරත්වය’ අහෝසි වී යන්නට විය. ඉංග්‍රීසි භාෂාව දුරස් කිරීමෙන් සිංහල භාෂාව හා සාහිත්‍යයට හිමි විය යුතු ගෝලීය විදේශිකත්වය අහිමි විය. බුකර් ත්‍යාගය දිනා ගන්නේ ඉංග්‍රීසියෙන් ලියන ලාංකිකයෙකි.
ලෙනාර්ඩ් වුල්ෆ් පවසන්නේ, හම්බන්තොට කච්චේරියේ සේවය කළ ඔහුගේ ආරච්චි (ප්‍රධාන පියුන්), ඉංග්‍රීසි පමණක් නොව ලතින් භාෂාව ද දැන සිටි බව ය.
“ආරොන් ආරච්චි වාරු කර ගෙන පැමිණෙනු දුටු ලෙනාර්ඩ් වුල්ෆ් වහා ම වාඩි වී සිටි පුටුවෙන් නැඟිට ඉදිරියට ගියේ ය….”
“ආ…රොන්… මගේ කටහඬ අඳුනනවයි… ආ…රොන් ඒ කාලේ මගේ හෙවනැල්ල වගේ හිටියෙ… මට සිංහල ඉගැන්නුවෙත්…මේ…ආ…රොන් තමයි.” ලෙනාර්ඩ් වුල්ෆ් එසේ කියමින් මොහොතක් නිහඬව බලා සිටියේ ය.”
“ආරොන් ආරච්චි හම්බන්තොට දී ම මෙලොව එළිය දුටු අයෙකි. ශාන්ත මේරි මිෂනාරි ඉංග්‍රීසි විද්‍යාලයෙන් මුල සිට ම ඉංග්‍රීසි, ලතින්, ප්‍රංශ වැනි භාෂාවන් විදේශීය ගුරුවරුන් වෙතින් ඉගෙන ගත් ඔහු…”*7
*7. විජේසිංහ බෙලිගල්ල, ලෙනාර්ඩ් වුල්ෆ් සමඟ ගමනක්, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1995, පිටු. 19 – 20
සෑම භාෂාවකටම විදේශිකත්වයක් (foreignness) ඇතැයි කාල් මාක්ස් කොහේ හෝ කියා හෝ හඟවා ඇත. සමහර විට අද සිංහල භාෂාව පරිවර්තනය කළ නොහැකි භාෂාවක තත්ත්වයට පත් වී තිබෙනවා විය හැකි ය. සිංහල භාෂාවට අභ්‍යන්තර දේශපාලන කැරැලි සහ සිවිල් යුද්ධයන්හි භාෂා මාධ්‍ය මෙහෙවර ඉටු කරන්නට සිදු වූ බව ද නොරහසකි.
අද සිංහල භාෂාව ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටක ආර්ථික හා දේශපාලනික දුක්කන්දරාව දරා සිටින අතර, ඊට භාෂා අධ්‍යාපනය හා කියවීම ඔස්සේ ලැබිය යුතු අනිවාර්ය පෝෂණය නැතිකමින් නුදුරු අනාගතයේ දී භාෂා මන්දපෝෂණයකට ගොදුරු වීමේ අවදානමට මුහුණ දී සිටියි.
ජෝර්ජ් ස්ටයිනර්ගේ වචන වහරතොත් මේ අන්ධකාරය සිංහල භාෂාව මත කඩාපාත් වුණේ ගෝබි කාන්තාරයෙන් හෝ ඇමේසන් වැසි වනාන්තරයෙන් හෝ නොව අපගේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඇතුළතින් ම ය. ඊට බාහිර සතුරන් නම් කිරීම පරිහානිගත භාෂා පරිහානියෙන් උද්ගත වන්නා වූ භාෂා ප්‍රයෝගයකි. ඒ භාෂා විපත්තිය මැද අද සවන් පිරෙන්නේ ජනමාධ්‍ය හා සමාජ ජාලා ඝෝෂාවෙනි.
එය හුදෙක් භාෂාව පමණක් නොව සංගීතය හා රංග කලාව ද අපයෝජනය කරයි. සැබැවින් ම අප සම්ප්‍රාප්ත වී සිටින්නේ සාහිත්‍ය ප්‍රකාශනයේ සම්භාව්‍ය වකවානුවේ සිට ‘වාචික ප්‍රාථමිකත්වයක්’ වෙතට ය. පිරිහුණු භාෂා සාහිත්‍ය අදියරක පශ්චාත් – වාග්විද්‍යාමය රූපාකාර සහ සමහර විට අර්ධ නිශ්ශබ්දවීමක් කරා ය. මෙය පැරැණි භාෂා සම්ප්‍රදාය ඉල්ලා සිටින සිංහල ව්‍යාකරණඥයින්ට විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. භාෂාවක වෙනස් වීම් මැද භාෂාත්මක සමාජ සම්බන්ධතාවන්ගේ අභියෝග ජයගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ද, නවකතාව, කෙටිකතාව, පද්‍යය, නාට්‍යය, සංගීතය යනාදි භාෂාත්මක හෝ භාෂා ඥාතිත්වය සහිත වෙනත් ශානර සමඟ බැඳුණු ප්‍රශ්නයක් ද වේ.
භාෂාවක සහ සමාජයක අනන්‍යෝන්‍ය විපත්තිය ගැන ස්ටයිනර් මෙසේ ද කියයි.
“මරා දමන්නන්ගේ කෑදීම, විශ්වවිද්‍යාලවල ශබ්ද කන වැකෙන මානයේ සිදු වූ අතර, රංගශාලා සහ කෞතුකාගාර එපිට මාවතෙහි පරපීඩාකාමුකත්වය ඇති විය. වධහිංසා පැමිණීම අවසන් කිරීම ගැන වෝල්ටෙයාර් 18 වෙනි සියවසේ පසුභාගයේ දී විශ්වාස කළේ ය. දෘෂ්ටිවාදී සමූලඝාතනය පිටුවහල් කළ සෙවණැල්ලක් විය යුතු විය.” *8
*8. George Steiner, Language and Silence, Essays on Language, Literature and the Inhuman, Atheneum New York, 1986, p. viii-ix
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
