වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (III කොටස)

එරික් ඉලයප්ආරච්චි The Asian Review Sinhalaට ලියන විශේෂ විචාරයේ අවසන් කොටස.

4.

සාහිත්‍ය ඉගැන්වීම නොකිරීමේ පටන් සාහිත්‍ය ඉගැන්වීමට කැප නොවීම දක්වාත්, සාහිත්‍ය දැනුම සම්බන්ධයෙන් යාවත්කාලීන නොවීමේ සිට සාහිත්‍ය ගුරුවරයකුගේ අමිල විඥානය තම සාන්දෘෂ්ටික පැවැත්ම තුළ නඩත්තු නොකිරීම දක්වාත්, අසුබ ආරංචි සරසවි පීඨවලින් ගලා ඒම අද සාමාන්‍ය කාරණයක් වී ඇත.

එවැනි අර්බුදාත්මක පසුතලයක් තේමා කර ගත් සමකාලීන ප්‍රංශ ලේඛක මිෂෙල් හූල්බෙක්ගේ ‘SUBMISSION’ නවකතාවේ කියවෙන්නේ, ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ඉස්ලාමික හා පීතෘබලධාරී පක්ෂයක් ප්‍රංශ සමාජවාදී පක්ෂයේ ද සහයෝගයෙන් බලයට පැමිණීම ගැන ය. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වූ ෆ්‍රන්සුවා, මැදි වියේ සරසවි කතිකාචාර්යවරයෙකි. ඔහු සෝබෝන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍යය උගන්වයි. ‘ඩෙකැඩන්ට්’ හෙවත් පරිහානිවාදී ප්‍රංශ නවකතාකරුවකු, කලා විචාරකයකු මෙන් ම ප්‍රංශ සිවිල් නිලධාරියකුව සිටි ජෝරිස් කාල් විස්මාන් නම් ලේඛකයා පිළිබඳව පර්යේෂණයේ යෙදුණු සාහිත්‍ය ප්‍රවීණයකු වූ ෆ්‍රන්සුවා, සිය ශිෂ්‍යයාවන් සමඟ ලිංගික ඇසුරුකම් පවත්වයි. සම්භාව්‍ය සාහිත්‍යය නැවත කියවයි. අසභ්‍ය යූටියුබ් චිත්‍රපටි නරඹයි. මයික්‍රොවේව් ආහාර බුදියි. ඔහු කිසියම් වටිනාකමක් තිබෙන ‘ඇකඩමික් වැඩක්’ කර දැන් අවුරුදු ගණනක් ඉක්ම ගොසිනි.

නොබෝ කලකින් පුද්ගලීකරණය කරන ලද මූලධර්මවාදී සරසවියක් බවට පත්වී තමා ද ඊට අනුගතව වරප්‍රසාද ලබන්නට නියමිත ඔහු, තම විෂයෙහි සමකාලීන තත්ත්වය දකින්නේ මෙලෙසිනි.

“අප සියල්ලන් දන්නා පරිදි ඔබ අතිදක්ෂ සිසුවකු වෙ‍තොත් විනා ශාස්ත්‍රීය අධ්‍යාපනය මඟින් මූලික වශයෙන් ඔබ කොතැනකටවත් ගෙන නොයයි. ඔබ අතිදක්ෂයකු නම් පමණක් එමඟින් සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය උගන්වන ආචාර්යවරයකුගේ වෘත්තියට ඔබ සූදානම් කරනු ලැබේ. වෙනත් වචනයෙන් කියනවා නම් එය හුදෙක් සාහිත්‍යය තුළින් ඔබ නැවත ගොඩනඟා ගැනීමේ විකට රංගනයකි. එවැනි අවස්ථාවලින් සියයට අනූපහක දී එය අසාර්ථක වේ. එනමුත් එය අනතුරු රහිත අහිංසක දෙයකි. එක්තරා ආන්තික වටිනාකමක් වූවත් සාහිත්‍යයෙහි තිබෙන්නට පුළුවන. කිසියම් තරුණියක් සුප්‍රසිද්ධ සෙලීනු හෝ අර්මේස් වැනි බ්‍රෑන්ඩඩ් සාප්පුවක අලෙවි රැකියාවක් සඳහා අයදුම් කරයි නම්, වෙනත් සියල්ලට වඩා ඇය උනන්දු වන්නේ ඇගේ පෙනුම ගැන ය. සාහිත්‍යය උපාධිය හුදෙක් දෙවෙනි මට්ටමේ වත්කමකි. එය වෙනත් ප්‍රයෝජනවත් කුසලතා නැති අතරේ වෘත්තීය දියුණුව කරා රැගෙන යන එක්තරා බුද්ධිමය කඩිසරකමක් පිළිබඳ සහතිකයක් හාම්පුතාට ලබා දෙයි. ඊට අතිරේක වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ක්ෂේත්‍රය තුළ සාහිත්‍යය මඟින් ජනනය කරන ධනාත්මක හැඟවීම් ඇත.” *9

9. Michel Houellebecq, SUBMISSION, Farrar – Straus – Giroux, New York, 2015, p. 8

ඒ හා සමාන ජාතික වාතාවරණයක, මෙරට සරසවි සිංහල සාහිත්‍ය අධ්‍යාපනය ද මුහුණ දී සිටින්නේ බෙහෙවින් ම දුෂ්කර අදියරකට ය. ඓතිහාසික වශයෙන් සරසවි පීඨ මඟින් සාහිත්‍යයේ දියුණුව සම්බන්ධයෙන් පැහැරහැරිය නොහැකි කර්තව්‍යයක් සිදු කර ඇති බව අවිවාදාත්මක ය. එය සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යාපනික විෂයමාලාගත කිරීමේ ජාතික භාෂා ප්‍රවර්ධන ව්‍යාපාරයේ මුඛ්‍යාංගයක් විය.

එනමුත් එවැනි ජාතික සාහිත්‍ය අධ්‍යාපන ව්‍යාපාරයක දී, සැබෑ සාහිත්‍ය කෘතියක් මුහුණ දෙන අභියෝගය වන්නේ, කිසියම් භාෂා සාහිත්‍ය හෝ සංස්කෘතික මානවවිද්‍යා හෝ සමාජවිද්‍යා හෝ පාඨමාලාවක් තුළ ගොනු වීමේ දී එහි මූලික ස්වරූපය රැකෙන්නේ ද යන්න ය. නිර්දිෂ්ට කෘතිය හුදෙක් තවත් අධ්‍යයන මාතෘකාවකට, පංති කාමර පාඩමකට, විද්‍යාගාරයක ඇති ආදර්ශයක් වැන්නකට සීමා නොකර, සාහිත්‍ය කෘතියක් ලෙස සැලකිල්ලට ගන්නේ කෙසේ ද යන්න තීරණාත්මක කාරණයක් වන අතර, එය සාහිත්‍ය උගන්වන ආචාර්යවරයකුගේ මෙන් ම සාහිත්‍ය හදාරණ විද්‍යාර්ථියකුගේ ද පැහැර හැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් වේ. කැපවුණු සාහිත්‍ය ආචාර්යවරයකු හා සාහිත්‍ය විද්‍යාර්ථිකයකු බිහි කරනු ලබන්නේ එම වගකීම නොපිරිහෙළා ඉටු කිරීම මඟිනි‍.

දිනෙන් දින යාන්ත්‍රික වන ඉගැන්වීම, පාඩම් කිරීම හා විභාග පිළිතුරු ලිවීම යන ආකෘතියේ දී අද ඉටු නොවන්නේ ඒ වගකීම නම් එවැනි වගකීමක් ඉටු කරන්නේ කෙසේ ද ගැටළුව විභාග කළ මනා ය. එහි දී කැපවුණු සාහිත්‍ය ආචාර්යවරයකු හා සාහිත්‍ය විද්‍යාර්ථිකයකු විසින්, සාහිත්‍ය කෘතියක ඇති සර්වකාලීනත්වය හා සාර්වත්‍රික බව තහවුරු කරන අතරේ, සාහිත්‍ය කෘතියක ආපතිකතාව (contingency) පිළිබඳව ද අවධානය යොමු කළ මනා ය.

එනම් කිසියම් සාහිත්‍ය කෘතියක් බිහි වූයේ කවරාකාර සංසිද්ධියක් ලෙස ද? අවසානයේ දී සාහිත්‍යකරුවාට පවා නිශ්චිත ලෙස පූර්වනිශ්චය කළ නොහැකි වූ නිර්මාණය බිහි වූයේ කවර කාරණා නිසා ද? සාහිත්‍ය කෘතියක් යනු ඊට ආවේණික කර ගත් ස්වභාවයෙන් අනිවාර්යයෙන් බිහි වීමක් හා පැවතීමක් නොව, විවිධ විභවතා මධ්‍යයේ ඒ අයුරින් සාක්ෂාත් කර ගන්නා ලද එකකි යන උපන්‍යාසයෙන් අනුබල ලබන සාහිත්‍ය හැදෑරීම ප්‍රයෝජනවත් ය. එබඳු විශ්වාසයක් නොතිබීමේ අනිටු ප්‍රතිඵලය වන්නේ නිර්දිෂ්ට සාහිත්‍ය කෘතියක් වූ කලී අවසාන වශයෙන් විෂයමාලාව තුළ පැවතීම සඳහා ඒ ආකාරයට ලියන ලද්දකි යන පහසු, අසාර හා නරුමවාදී නිගමනයට පැමිණීම ය.

මේ සාධකය සම්බන්ධයෙන් යම් යම් කොන්දේසිවලට යටත්ව, සාහිත්‍යකරුවාගේ භූමිකාව අවබෝධ කර ගත හැකි එක් මාර්ගයක් වන්නේ, සාහිත්‍ය කෘතිය හා සාහිත්‍යකරුවාගේ ජීවිතය අතර සම්බන්ධය විමසීම ය. එනමුත් එය හුදෙක් අනන්‍ය කළ හැකි ද්විත්වයක් නොවේ. යම් යම් සීමාකම් මැද ඒ දෙක අතර යම් සංසන්දනයක් කළ හැකි ය.

සාහිත්‍යකරුවකුගේ චරිතාපදානය සමඟ කෘතියක් අනන්‍ය කරන්නට නොහැකි බරපතළ බාධා තිබේ. සරල වශයෙන් ම කෘති රැසක් රචනා කළ ලේඛකයකු සම්බන්ධයෙන් චරිතාපදානය හා සාහිත්‍ය කෘති අතර අනන්‍ය කිරීමක් කොහෙත් ම සිදු කළ නොහැකි ය. සමහර ප්‍රතිවිරෝධතා මටසිලුටු කරන්නට කරන්නට නොහැකි ඒවා ය.

සාහිත්‍යකරුවා ම සිය ජීවිත කතාවේ කතුවරයා වන විට ජීවන තොරතුරු මත සාහිත්‍ය භූමිකාව උත්තරාරෝපණය වෙයි. එවිට පුද්ගලික ජීවන සිද්ධි සාහිත්‍යයට අනුබල දීම පිණිස සිදු වූ ඒවා සේ පෙනෙයි. එසේ ලියවෙයි.

ඒ සම්බන්ධයෙන් සිංහල පාඨකයාට වඩාත් සමීප සාහිත්‍යකරුවන් දෙදෙනා වන්නේ මාර්ටින් වික්‍රමසිංහ සහ ජී. බී. සේනානායක විය හැකි ය. ඒ විශේෂයෙන් ‘උපන් දා සිට ‘ සහ ‘මම එදා අද’ යන අගනා ස්වයං-චරිතාපදාන දෙක හේතුවෙනි.

සිය චරිතාපදානය වූ ‘උපන් දා සිට’ කෘතියේ දී මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කරන්නේ සිය මවගේ මරණයට හේතුව හදිසි ආබාධයක් නොව ‘දිගු කලක් අසම්පූර්ණ ආහාරයෙන් ජීවත්වීම නිසා කෙමෙන් කය දුබල වීම’ බව යි. සිය මව ‘කෑම අහේනිය’ නිසා මියයාමෙන් පසු තමන්ගේ සිතුම් පැතුම් වෙනස් වුණු බව කතුවරයා කියයි. දුෂ්කර ක්‍රියාවෙන් වැහැරුණු බුදුන් වහන්සේගේ කය දැක්වෙන ‘ගන්ධාර පිළිමයේ සිත්තමක්’ දකින සෑම විට ම මවගේ වැහැරුණු කය ඔහුට සිහිපත් වෙයි.

“ඈ මළේ කාසයෙන් නොවේ” ඔහු සිය චරිතාපදානයෙහි ලියයි.* 10

*10. මාර්ටින් වික්‍රමසිංහ, උපන් දා සිට, සමන් මුද්‍රණාලය, 1961, පිටුව 127

ඔහුගේ ‘මව’ නම් කෙටිකතාව ඇරඹෙන්නේ වේදනාකාරී කෑම අහේනිය දෝංකාර නංවන චාල්ස් ඩිකන්ස්ගේ ‘ඔලිවර් ටුවිස්ට්’ නවකතාවේ එන සුප්‍රකට වැකියෙනි. එනම් ‘තව ටිකක්’ (Some more) යන සාගිනි වැකියට සමාන වූ ‘බත් දියන්… මට බඩගිනියි’ යන වැකියෙනි.

සිංහල නව ප්‍රබන්ධයෙහි ලා මවකගේ මරණය පිළිබඳව නොමැකෙන මරණ ජවනිකාවකි, ඔහු ‘මව’ කෙටිකතාවේ මවන්නේ. ඔහුගේ ‘බේගල්’ කෙටිකතාවේ එන ළමා චරිතය වූ සැමී, චරිතාපදානාත්මකව විභාග කරන විට පෙනී යන්නේ එම චරිතය අර්නස්ට් හෙමින්වේගේ ‘නික්’ චරිතයට සමාන සංවේදී ආත්මාවර්තී චරිතයක් වන බවකි.

‘නික්’ චරිතය අර්නස්ට් හෙමින්වේගේ ළමා කාලයේ පිළිබිඹුවකි. එය සිය දිවි නසා ගත් වෛද්‍යවරයකුගේ පුත්‍රයා ලෙස අර්නස්ට් හෙමින්වේ විසින් ජීවිතය වෙත වීසිකර දමන ලද ළමා චරිතයකි.

මාර්ටින් වික්‍රමසිංහගේ ‘සැමී’ නම් ළමා චරිතය ද මවගේ මරණය නිසා මහත් සේ කම්පාවට පත් වුණු ලේඛකයකුගේ නිර්මාණයක් බව වික්‍රමසිංහගේ චරිතාපදාන තොරතුරු අනුව හෙළිදරව් වේ. 1910 දී කතුවරයාගේ මව මියගොස් තිබේ. කෙටිකතාව පළවන්නේ 1924 දී ය.

‘මම එදා අද’ යන ස්වයං-චරිතාපදානයේ දී ජී. බී. සේනානායක තම ඥාති පිටපත්කාරියකගේ විහිළු කතාවක් අනුව තමා ප්‍රංශ ප්‍රබුද්ධන චින්තක වෝල්ටෙයාර්ට සමාන කර ගනියි.

“මට දැන් හෘදය වස්තුවෙහි ආබාධයක් ඇත. සමහර විට මෙය ඉතා උග්‍රවෙයි. එය උග්‍රවන්නේ සාමාන්‍යයෙන් රෑ දෙක පසු වූ විට ය. එවිට හුස්ම හිර වී මම මුර ගාන්ට වෙමි. එසේ වූ කල මම පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙනයනු ලැබෙමි.”
“මා කටින් කියන කල වදන් බොහෝ සෙයින් ම ලියන්නේ මගේ අයියාගේ දුවක වන නෙලුම් නැමති තරුණියක විසිනි.”
“දවසක් රෑ මට හුස්ම ගන්ට බැරි වූ විට ඈත් වෙනත් කාන්තාවකුත් මා ආරෝග්‍ය ශාලාවට ගෙන යන්ට මෝටර් රථයක් සොයන්ට ගමේ ඇවිද්දෝ ය. අමාරුවෙන් රථයක් සොයා ගන්නා ලදී. මම ආරෝග්‍ය ශාලාවකට ගෙන යනු ලැබුවෙමි. එහි දවස් කීපයක් නැවතී සිට ආපසු ගෙදර ආ කල නැවතත් පොත් ලිවීම පටන් ගත්තෙමි.”
“කුඩප්පච්චි වෝල්ටෙයර් වගේ” යි නෙලුම් කීවා ය.
“ඇයි එහෙම කියන්නේ” යි මම ඇසුවෙමි.
“වෝල්ටෙයර් පණ ඇද ඇද පොත් ලියුවා” යි ඈ සිනාසෙමින් පිළිතුරු දන්නා ය.
“අද වෝල්ටෙයර් ඇ‍ඳේ වැතිරිලා පණ ඇද ඇද ඉන්නවා. හෙට උදේට ආයෙත් පොත් ලියන්ට පටන් ගන්නවා.”*11

*11. ජී. බී. සේනානායක, මම එදා සහ අද, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1991, පිටුව 97

ලොලිටා නවකතාව රචනා කළ වැල්දිමීර් නබොකොව්ගේ චරිතාපදානයක් පිළිබඳව ලියන ලද විචාරයක දී, ඉංග්‍රීසි නවකථාකරුවකු හා විචාරකයකු වූ මාර්ටින් අමිස්, චරිතාපදාන මූලධර්ම සහ සාහිත්‍ය ජීවිත පිළිබඳව මෙසේ අදහස් පළ කරයි.

“තමන්ට කිසිවක් සිදු වුණා නොවුණා, ලේඛකයෝ ඔවුන්ගේ චරිතාපදානයන්ට එක්තරා මූලධර්මයක් ප්‍රදානය කරති. එය බොහෝ කාලයකට කලින් අනාථ වූ මූලධර්මයකි. ඔවුන් කල්පනා කරන්නේ එවැනි චරිත අධ්‍යයන මඟින් තමා ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද? යන බව පැහැදිලි කරන්නට උදව් කළ යුතු බව යි. නිදසුනක් වශයෙන්, ඊ. එම්. ෆෝස්ටර්ගේ ජීවිතය කැපී පෙනෙන්නේ එය කිසි ම සිද්ධියකින් තොර එකක් වූ නිසා ය. එනමුත් ඔහුට වෙළුම් දෙකක ජීවිතයක් ලැබී ඇත. ඒ ජීවිතය කිහිප වතාවක් නැවත ලියා ඇති බව ද නිසැක ය.” *12

*12. Martin Amis, The War Against Cliché, Essays and Reviews 1971-2000, Jonathan Cape London, 2001, p. 245

එනමුත් මාර්ටින් අමිස්ට හා චරිතාපදාන කතුවර ඇන්ඩෲ ෆීල්ඩ්ට අනුව නබොකොව්ට නම් නොයෙකුත් දේවල් සිද්ධ වී තිබේ. ඔහුගේ ජීවිත කථා පොතේ ආස්වාදනීය විකාරයන් අතර ඒ කාරණයත් ඇති බව අමිස් පවසයි.

“ඔහුගේ දිවියෙහි විලම්භිත හාමු කෙනෙකුගේ වීර වික්‍රමාන්තික විකාර ඇත. බොහෝ දුරට නවකතාවක් වැනි ය. මෝහනාත්මක ලෙස වසඟකාරී ය. නිතර සිනහ උපදවනසුලු ය. නිතර ඛේදාන්තමය වේ. නිතර පරමෝත්කෘෂ්ට වන අතර ඒ ගුණය ඔහුගේ ප්‍රබන්ධයට යෝග්‍ය ශානරයකි.”

මාර්ටින් අමිස් තව දුරටත් පවසන්නේ, නරක කලාවට (bad art) යතුර ලෙස නබොකොව් සැලකූ සුලබ හණමිටි පුවත් ගොන්නකට (cliché) ඔහුගේ ජීවිතය සමාන වීම උත්ප්‍රාසාත්මක ආකර්ෂණයක් බව යි. ඒවා කවරේ දැයි මාර්ටින් අමිස් යථොක්ත චරිතාපදානය ඇසුරෙන් පෙළ ගස්වමින් පවසයි.

‘නබොකොව් පවුල’ විප්ලවයට පෙර රුසියාවේ මහත් ධනයෙන් යුක්ත වූවකි. එය ධනයෙන් මතු නොව පාරම්පරික පුරාණත්වයෙන් හා රදල වංශවත්භාවයෙන් ද අනූන විය. නබොකොව්ගේ පියා සාර් රජවරුන් දෙදෙනකුගේ අධිකරණ ඇමති විය. ඔහුගේ ගෘහය උසස් සංස්කෘතික මට්ටමකින් අනූන එකක් විය. එය බැරෑරුම් සහ ප්‍රබුද්ධ පවුලකි.

‘කෑම මේසයේ දී එය ප්‍රංශ ය. දරුවන්ට උගන්වමින් බලා කියා ගන්නා ශාලාවේ දී එය ඉංග්‍රීසි ය. අනෙක් සෑම තැනේ දී එය රුසියානු ය.’

නබොකොව්ගේ පියා විප්ලවය මැද බිහි වූ තාවකාලික ආණ්ඩුවේ ප්‍රමුඛ ලිබරල්වාදියකු වූ අතර, ලියොන් ට්‍රොට්ස්කි ඔහුට විශේෂයෙන් අකැමැති විය.

නබොකොව්ගේ පියා කොයි තරම් ‘යුරෝපීය’ වී ද යත් සිය කමිස සෝදා මදින්නට ලන්ඩන් යැවී ය. සිටුවර තොල්ස්තෝයි තරුණ නබොකොව්ගේ හිසකේ සුරතල් කළේ ය. මැන්ඩෙල්ස්ටම් ඔහුගේ පාසලට පැමිණ සිය නිර්මාණ කියවී ය. විසිවෙනි වියට පෙර නබොකොව්ට රූබල් මිලියනයක නිදහස් නිධානයක් ලැබුණි. ඔහු තමාගේ සමහර කවි පුද්ගලික මුදල් වැයකොට මුද්‍රණය කළේ ය. කෙල්ලන් පස්සේ දිව්වේ ය. ඔහුගේ වැඩිමල්, පදක්කම්ලාභී ‘කාලතුවක්කු හමුදා – කවියෝ’ (hussar-poets) ‘සුදු හමුදාවේ’ (White Army) දී ඉක්මනින් මරු දුටුහ. මුළු පවුල 1919 දී ක්‍රිමියාවට බෝට්ටුවෙන් පලා යන විට බොල්ෂෙවික් සේනාංක ඊට වෙඩි තැබුවේ ය.

මාර්ටින් අමිස් පවසන තාලේ බාල කලාවට සුදුසු හණමිටි පුවත් ගොන්නක් වැනි ඒ ජීවිතය නිසා අපි ‘ලොලිටා’ රචකයා නොතැකිය යුතු ද? එසේ නැති නම් සමහර විට ‘බූලිස්ම්බෙරි කවයේ’ සාමාජිකයකු වීම, සමලිංගික නැමියාවක් තිබීම සහ ඉන්දියාවට පැමිණ මහාරාජා කෙනෙකුගේ මාලිගාවක ටියුෂන් ගුරුවරයා වීමට වැඩි ආකර්ෂණීය සිද්ධියක් නැති ඊ. එම්. ෆෝස්ටර්ගේ ඒකාකාරී ජීවිතය පාදක කර ගනිමින්, ඔහුගේ සාහිත්‍ය භූමිකාව අගය නොකළ යුතු ද? ‘පැසේජ් ටු ඉන්ඩියා’ නම් උසස් නවකතාව නොකියවිය යුතු ද? අප ඒ වෙනුවට කළ යුත්තේ ඔහුගේ විශිෂ්ට නවකතා හා ලිපි රචනා වූ සාන්දෘෂ්‍ටික ආපතික ජීවන පදනම ඒ බැව් පිළිගැනීම ය.

ආනන්ද අමරසිරි විසින් ‘සාගින්දර’ හා ‘අභිරහස්’ නමින් පරිවර්තනය කරන ලද නෝවිජියානු නවකතාවල කර්තෘ, නුට් හැම්සන් සමාජවාදියකු නොවූවා පමණක් නොව යුරෝපා ෆැසිස්ට්වාදයට පවා නැඹුරු වූ ලේඛකයකු වූ නමුත් මැක්සිම් ගෝර්කි, තම සාහිත්‍ය කර්තව්‍යයන් ගැන පවා ස්වයං-විවේචනාත්මක වෙමින්, අවසාන කාලයේ දී පවා ඔහු අගය කළ අවංක මතකය, ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි නම් ප්‍රකට සෝවියට් විචාරකයා මෙසේ සටහන් කරයි.

“හැම්සන් දෙස බලන්න,” ගෝර්කි නොකඩවා වැලපුණි. ‘පොළොවේ යුෂ’ කෘතියෙන් පටන් ගෙන ඔහු ලියා ඇති සෑම දෙයක් ම විස්මිත යි. ඔවුන් කියන්නේ ඔහු රෑට අන්ධකාරයේ ගිනි නැතිව ලියන බව යි. එසේ ලියූ දේවල් ඔහු ඊට පහුවෙනි දා සකස් කරනවා. සෑම දවසක ම ඔහු ‘කොඤැක්’ මත්පැන් බෝතලයක් බොනවා. ඔහුට වයස දැන් හැත්තෑවටත් වැඩි යි. මම ඔහුට ඊර්ෂ්‍යා කරනවා. ඒ කොහොම වුණත් ඔයා ‘ක්ලිම් සම්ගින්’ තුන්වෙනි වෙළුම කියෙව්වා ද? අපොයි තාමත් කියෙව්වේ නැද්ද? මම ඔබට ආයාචනා කරනවා ඒක කියවන්න කියලා. එහි ඉන්නවා මරිනා කියලා ස්ත්‍රියක්. මම දැන ගන්න කැමති යි ඔබ මොනව ද ඇය ගැන හිතන්නේ කියලා. ඇය සිත් ගන්නා ගැහැනියක්.”*13

*13. Alexander Konstantinovich Voronsky, The Art of Seeing the World in Art as Cognition of Life, Selected Writings 1911-1936, Mehring Books, 1998, p. 423.

සාහිත්‍යකරුවකුගේ චරිතාපදානය මරණයෙන් කෙළවර වන්නක් නොවන බව ය, ඇල්බෙයා කමූගේ අකල් මරණයෙන් වහා ඔහුගේ සාහිත්‍ය සම්බන්ධයෙන් ඇති වූ කතිකාවෙන් පෙනී ගියේ. එය වඩාත් ශ්‍රේෂ්ඨ කෘති ලියවිය හැකිව තිබූ සාහිත්‍යකරුවකුගේ අකල් මරණයක් බව පැවසිණ.

‘ඔහු නැවත පොත් නොලියන්නේ ය’ යන කටුක අනිවාර්ය යථාර්ථය තුළ එතෙක් පළ වූ කෘති දෙස නැවත හැරී බැලීමක් සිදු විය. ඔහුගේ දිවි පුවත තුළ රිය අනතුරකින් සිදු වූ ඔහුගේ හදිසි මරණයේ අතිදුක්ඛිත ජවනිකාව ඔහුගේ සාහිත්‍යය පිළිබඳ විශ්ව බද්ධ බැල්මෙහි (gaze) අංගයක් බවට පත් විය.

එහි දී මරණය සම්බන්ධයෙන් ඔහු තුළ වූ ග්‍රස්තිය (obsession with death) මඟින් ද ඔහුගේ හදිසි මරණය හා සාහිත්‍යය පිළිබඳ යාවජීව සම්බන්ධය පැහැදිලි කරමින්, ප්‍රංශ ගොන්කූ සාහිත්‍ය ඇකඩමියේ සාමාජික එම්මෑනුවෙල් රොබ්ලස් නම් ඔහුගේ කල්‍යාණ මිත්‍රයා ඉදිරියේ මෙසේ ලියයි.

“කැමූගේ පැත්තෙන්, මරණය පිළිබඳ ඔහුගේ මෙම ග්‍රස්තිය පිළිබඳව මේ දක්වා සඳහන් නොකළ හා ඕරාන් සඟරාවේ විශේෂ කලාපයෙහි, 1940 ජනවාරි 4 වෙනි දිනය ගැන පළ වුණු මගේ විස්තර වාර්තාවේ සඳහන් නොකරන්නට මවිසින් තීරණය කරන ලද කාරණය දැන් මට හෙළිදරව් කරන්නට පුළුවන. කමූගේ හදිසි මරණය ගැන මගේ පුවත්පත්කලාවේදී මිතුරන්ගෙන් දැන ගත් වහා මම මගේ බිරිඳ සමඟ මදාම් මාවතෙහි පිහිටි කමූගේ නිවසට ගියෙමි. කමූගේ බිරිඳ ෆ්‍රාන්සීන්ට කලින් අප එහි ළඟා වී සිටියෙමු. ඇය පැමිණෙන විට කිසිවක් දැන සිටියේ නැත. කමූගේ සොහොයුරිය ක්‍රිස්ටියෑන් ඒ බියකරු පුවත කියනු පිණිස ඇය පැත්තකට කැඳවා ගෙන ගියා ය. මම ඇය මගේ රියෙන් විලිබ්ලිවින් වෙත රැගෙන ගියෙමි. ඒ වන විටත් එමින් සිටි පත්තරකාරයින් හා ඡායාරූප ශිල්පීන් බොහෝ පිරිස් ඇතුල්වීම වැළැක්වීම පිණිස පොලීසිය මගින් මුර යොදා තිබුණු නගර ශාලාවට මම ඇයත් සමඟ ගියෙමි. ෆ්‍රාන්සීන් ඇය ළඟ සිටින්නට ඉඩ දුන්නේ මට හා දොස්තර කමූට (සිත් කාවදින සමාන නාමයකි) පමණි. ශරීරය දිග මේසයක් මත යුද අගල් කබායක සතපා තිබුණි. එය මුළු නළල මත කැලැල සහිත මුහුණකි. වම් අතේ සීරුම් තුවාලයක් විය. කමූ නිදා ඉන්නවා මෙනි. මොහොතක නිහැඬියාවට පසු ෆ්‍රාන්සීන් මෙසේ මුමුනනවා මට ඇසුණි. ‘එයාගේ අත්, ලස්සන අත්…’ වේදනාවෙන් ස්නායුපීඩාවට පත් වූ ඇය ඒවා සෙමින් පිරිමැද්දා ය. ඉන් පසු දොස්තර වෙත හැරී මෙසේ විමසුවා ය. ‘මෙයා මැරිලාමයි කියලා ඔයාට නිශ්චිත ද? ඒ ප්‍රශ්නය මා පුදුමයට පත් කළේ ය. දොස්තර ද ඉන් චකිතයට පත් විය. ඔහු මෙසේ කීවේ ය. ‘බෙල්ලයි, කොඳුනාරටියයි කැඩිලා… බලන්න තුවාල දෙකෙන් ලේ ගලන්නේ නෑ. ගැටීම නිසා හදවත නතර වෙලා.’ ෆ්‍රාන්සීන් දුක්ඛිතව මෙසේ කීවා ය. ‘ඒක එහෙම තමයි. එයා මට ඒක නිතර ම නිශ්චිතව ම කිව්වා.’*14

*14. Emmanuel Robles of the Academie Goncourt, Camus, Our Youthful Years, in Camus’s L’Etranger: Fifty Years On, edited by Adele King, Macmillan, 1992, p. 20-1

එනයින් සාහිත්‍යය ඉ‍ගැන්වීමේ දී හා ඉගෙන ගැනීමේ දී එහි පැවැත්ම (Being) පමණක් නොව ඒ පැවැත්ම අන්තර්ගත (include) කර ගත් එහි වීම (Becoming) ද සැලකිල්ලට ගත මනා ය. අද මෙරට සාහිත්‍ය ඇකඩමි අධ්‍යාපනයේ දී ස්පර්ශ නොකෙරෙන්නේ සාහිත්‍යයේ පැවැත්ම හා එය ඇතුළත් කර ගනිමින් විවිධාකාර නාමරූප අවස්ථා තුළ නොකඩවා සිදු වන අසංඛ්‍ය සංඛ්‍යාත ‘වීම’ යි.
ඇත්තෙන් ම විෂයමාලාවක් තුළ නිර්දිෂ්ට කෘතියක් වීමේ දී, එකී ඇකඩමික හෙජමොනිය තුළින් ම එසේ සාහිත්‍යයේ ‘පැවැත්ම’ හා ‘එහි වීම’ යන දෙක වළක්වන බැවින්, ඒ සඳහා ඉතාමත් වෙහෙසකර අතිරේක සැතැපුමක් දුවන්නට සාහිත්‍ය ගුරුවරයාට හා ශිෂ්‍යයාට සිදු වේ.

විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට ඌනපූරකයක් හැටියට කිසියම් කෘතියක් භාවිත කිරීමේ ආදීනව අතර එය අඩු තරමින් ‘වියමනක්’ හැටියටවත් පවතින්නක් ලෙස නොසලකා, හුදෙක් ඒ පිළිබඳ ‘කිසියම් විචාරාත්මක අදහසක්’ ඇති කර ගැනීම ය, අද කොතෙකුත් සිදු වන්නේ. එවිට ගැඹුරු කියවීම තබා මතුපිට කියවීමවත් සිදු නොවේ. එවැනි අවභාවිතයක යෙදෙන කිසිවෙක් නවකතාවක පැවැත්ම හෝ ඒ තුළ සිදුවන නිරන්තර ‘වීම’ දැන නොගනිති. එය සමාන වන්නේ කඩසාප්පුවල ප්‍රදර්ශන කවුළු නැරඹුමකට ය. කෘතියක් කියවීම යනු වැය පිරිවැය සහිත සුවිශේෂ පරිභෝජනයකි. ඉන් කියවන්නා තුළ නොමැකෙන සලකුණු තැබේ.

වෝල්ටර් බෙන්ජමින් විසින් ෆ්‍රාන්ස් කෆ්කා කියවන ලද අයුරු, නොබෙල් ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ලේඛක ජේ. එම්. කොයේට්සි මෙසේ පැහැදිලි කරයි.

“භාෂාව කෙරෙහි වූ බෙන්ජමින්ගේ ප්‍රවිෂ්ටය විසිවෙනි ශතවර්ෂයේ වාග් විද්‍යාවෙන් මුළුමනින් බැහැර වූවකි. එනමුත් ඒ ප්‍රවිෂ්ටය ඔහුට පුරාණෝක්තිය සහ දෘෂ්ටාන්තය වෙත, විශේෂයෙන් (ඔහු එය අවබෝධ කර ගත් පරිදි) කෆ්කාගේ ආදිකල්පිත (primeval) පූර්ව-මානුෂික ‘හැල වගුරු ලෝකය’ (swamp world) වෙත රජ මාවතක් විවෘත කර දුන්නේ ය.” *15

*15. J. M. Coetzee, Inner Workings, Essays 2000-2005, Vintage, 2008, p. 53

සාහිත්‍යය කියවීම යනු එහි පැවැත්ම එනයින් ග්‍රහණය කිරීමකි. කියවා ගෙන යන අතරේ හා නැවත කියවීමේ දී සියල්ල සිදු වේ. ‘කිය’ සහ ‘වීම’ එහි උත්කෘෂ්ට ප්‍රතිලාභය යි.

කියවීම වූ කලී කියවන කෘතිය පිළිබඳ අලවා තිබුණු ‘ලේබල්’ හා ‘ටැග්’ ගලවා දමා බාහිර ලෝකයෙන් මුළුමනින් බැහැර වී සිදු වන ආත්මීය ක්‍රියාවකි. රෝලන්ඩ් බාත කියවීම තුළ අන්තර්ගත තව සිදු වීමක් හඳුනා ගනියි.

එනම්, කියවන්නා එක් කියවීම් මොහොතක දී සිය දෙඇස පිටුවෙන් ඉහළට ගෙන පොතට උඩින් දිස් වන හාත්පස ලෝකය දෙස බලා මොහොතක ආවර්ජනයක යෙදීම ය. ඊට එකතු කළ යුතු තව කාරණයක් අපට යෝජනා කළ හැකි ය. එනම් එහි දී කියවන්නා සිදු කරන්නේ ලේඛකයාගේ හැල වගුරු ලෝකය වෙතට යොමු වුණු රජ මාවතක් විවෘත කර ගැනීම ය.

ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් කියවූ ජේ. එම්. කොයේට්සි ඒ ලේඛකයා පිළිබඳව එළඹෙන්නේ, මෙරට මාකේස් කියවන ලද හෝ නොකියවා අමන – මැජික් මත පළ කරන බොහෝ දෙනෙකු විපිළිසර කරන නිගමනයකට ය.

“ඔහුට එල්ලා ඇති ‘මැජික් රියලිස්ට්’ ටැග් එක තිබුණත් ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්ගේ කෘති, පුද්ගල මනසේ ක්‍රියාකාරිත්වය ග්‍රහණයට ගත හැකි තර්කණයක් පවතින්නේ ය යන උපකල්පනය සහිත මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයට දැඩි ලෙසින් ඇතුළු වේ. ඔහු ම කියා ඇති පරිද්දෙන් සරල ලෙස ම ඔහුගේ ඊනියා මැජික් යථාර්ථවාදය, ඇදැහිය නොහැකි කතාන්දර කෙළින් මුහුණ බලා ගෙන කීමක් වන අතර, ඔහු එය උගත්තේ කාටිහෙනාවේ හිටපු ආච්ච්ගෙනි. තවද විශ්වාස කරන්නට බැරි බව බාහිර ලෝකයා සිතන කතාන්දර ලතින් ඇමරිකාවේ යථාර්ථයෙහි ඉතා සාමාන්‍ය දේවල් ය.”*16

*16. J. M. Coetzee, Inner Workings, Essays 2000-2005, Vintage, 2008

5.

ඇකඩමිය තුළ සාහිත්‍යය ඉ‍ගැන්වීමේ බරපතළ කාරණයේ දී සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව පිළිබඳ නොසැලකිල්ල තවත් බරපතළ වන්නේ සාහිත්‍ය කෘතියක සමාජයීය හා ආත්මීය භූමිකාව මෙන් ම, සාහිත්‍ය ලෝකය තුළ ඒ කෘතියේ දෛවෝපගත ගමන ද සම්පූර්ණයෙන් ම නොතකකා හැරෙන බැවිනි.‍

කිසියම් සාහිත්‍ය කෘතියක සර්වකාලීනත්වය හා සාර්වත්‍රිකත්වය මුල් තැන තැබීම නිවැරදි වෙතත් සාහිත්‍ය කෘතියක සමාජයීය හා ආත්මීය භූමිකාව මෙන් ම සාහිත්‍ය ලෝකය තුළ එහි දෛවෝපගත ගමන ගැන ද අවධානයක් තිබිය යුතු බව කල්පනා කරමු.

මෙය නිර්දිෂ්ට කෘතිය ඉගැන්වීමේ මාර්ගෝපදේශයන්ට පරිබාහිර අභ්‍යාසයක් විය හැකි ය. එනමුත් කෘතියෙහි කියවීම් ලෝකය කවර ස්ථානික හා කාලමය විපරිනාමයකට ලක් වී තිබෙන්නේ ද යන කාරණය විමසීම විද්‍යාර්ථීන්ගේ කල්පනාව වඩන කාරණයකි.
ඇත්ත වශයෙන් අද කලා ශිෂ්‍යයා මුහුණ දෙන අර්බුදයට විසඳුමක් වන්නේ, ඔහු හෝ ඇය එවැනි සාරගර්භ තර්කාපණික ව්‍යාපෘතියකට ඇතුල් කිරීම ය. සහතික වශයෙන් ම බටහිර ලෝකයේ කලා ශිෂ්‍යයා බාහිර වෘත්තීය ලෝකයේ සියුම් කුසලතා වුවමනා ක්ෂේත්‍රයන්හි හා විදග්ධ තීරණ ගත යුතු ක්ෂේත්‍රයන්හි ආකර්ෂණය දිනා ගන්නෙකු බව මෙහි දී සිහිපත් කළ මනා ය.

ඒ භාෂා කෞශල්‍යය හා ලෝකාවබෝධය වුවමනා වන අන්දමේ තීරණ ගැනීම අනිවාර්ය වූ විධායක ක්ෂේත්‍රවල ය. පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයෙහි වූවත් ඒ විද්‍යා තාක්ෂණයෙන් අනුබල ලබන නිර්මාණාත්මක මනසට වෙන් වූ රජ මාවතක් ඇත. එනයින් අවම වශයෙන් මිෂෙල් හූල්බෙක්ගේ සර්ව අශුභවාදී මානවශාස්ත්‍ර ලෝකයට වුවමනා බහුභාෂික තර්කාපණික කුසලතා හෝ නොසපුරන්නේ නම් මානවශාස්ත්‍ර අධ්‍යාපනය හායනයට යොමු වීම අනිවාර්ය වන්නේ ය.

සාහිත්‍ය කෘතියක ඓතිහාසිකත්වය පිළිබඳ හැදෑරීමේ දී ඒ කෘතිය බිහි වූ දා සිට ඊට සිදු වෙමින් පවතින දෙය මෙන් ම, ඉංග්‍රීසි කිවි ටී. එස්. එලියට් ප්‍රකාශ කළ ආකාරයට කවර කලාවක් හෝ ප්‍රගුණ කරන කලාකරුවකුට තනිවම පරිපූර්ණ ලෙස අර්ථවත් වන්නට නොහැකි වීම සහ හැරල්ඩ් බ්ලූම් ප්‍රකාශ කළ ආකාරයට සෑම කවියකු ම පූර්වගාමී කවීන්ගේ ආභාෂයට නතුවීම හා ඉන් නිදහස් වීමේ කාංසාව විඳවීම (anxiety of influence) හේතු කොට ගෙන, ඔහුට කලා ලෝකය තුළ හිමි ස්ථානය හා එහි ඇති වන පෙරළි ද ශාස්ත්‍රවන්තයින්ගේ අවධානයට යොමු වීම යෝග්‍ය වේ.

“අභිනව කලා කෘතියක් නිර්මාණය වූ කල්හි එයට සිදු වන දෙය, ඒ හා සමඟ ම, ඊට පොරතුව පහළ වී තිබූ සියලු කලා කෘතිවලට ද සිද්ධ වන්නේ ය. කලින් පැවති විශිෂ්ට නිර්මාණ විසින් ඒ ඒ කෘති අතර පරමාදර්ශී පරිපාටියක් සකස් කෙරෙන අතර, නව කලා නිර්මාණයක් (සැබවින් ම නවතම නිර්මාණයක්) පහළ වූ කල්හි එය නිසා ඒ සියලු නිර්මාණ අතර පවත්නා පරිපාටිය වෙනස් වෙයි. අභිනව කෘතිය එළි දැකීමට පෙර නම් එතෙක් පවත්නා පරිපාටිය සම්පූර්ණ ය. එහෙත්, පවත්නා පරිපාටියට අභිනව කෘතියක් එකතු වූ කල්හි, ඒ පරිපාටිය තව දුර පැවතීමට නම්, සමස්ත පරිපාටිය ම ස්වල්ප වශයෙන් හෝ සංශෝධනය වුව මනා ය.”*17

*17. T. S. Eliot, Tradition and Individual Talent, පරි: ඒ.වී. සුරවීර, සම්ප්‍රදාය, නිර්මාණය සහ විචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1989, පි.51

කෘතියක සාහිත්‍ය දිවිය ‘දෙන ලද්දක්’ නොව ‘දිනා ගන්නා ලද්දක්’ ලෙස දකිනු කැමැත්තෙමු. කිසියම් වැදගත් සාහිත්‍ය කෘතියක සර්වකාලීනත්වය පවතින අතරේ ම, නොයෙක් විවාදසම්පන්න අවධීන් ගත කරන්නට, අමතක කර දමා හෝ වළ දමා තිබෙන අවධීන් ගත කරන්නට හා නැවත ගොඩනැගීම් සිදු වන්නට ඉඩ ඇත. දිගින් දිගට එය පවතිනු ඇත්තේ ද ආගමික ඇදැහිල්ලක් ලෙස නොව විචාරාත්මක කතිකාවක් ලෙස ඒ තුළ පමණි.

නිදසුනක් වශයෙන් කොයි තරම් ප්‍රකට ලේඛකයකු වූවත් ඇල්බෙයා කැමූ තරම් විචාරයට හා විවේචනයට භාජනයක වූ තවත් ලේඛකයකු නැති තරම් ය. විසිවෙනි සියවසේ ලේඛකයින් හා චින්තකයින්ගේ බලපෑම හා පැවැත්ම පිළිබඳ විවරණය කළ, අන්තර් මහද්වීපික පිළිගැනීමක් සහිත සම්මානනීය ඇමරිකානු ඉතිහාසඥයකු වූ ටෝනි ජූඩ්ත්, හතලිස් හයවෙනි වියේ මියගිය ඇල්බෙයා කමූගේ සාහිත්‍යමය වලංගුතාව පිළිබඳව විවාදාත්මක විවරණයක් සිදු කරයි.

ඒ විවරණයට අනුව, ඒ මරණයට යන්තම් තුන් අවුරුද්දකට පෙර නොබෙල් ත්‍යාගය දිනා තිබිය දී පවා, ඇල්බෙයා කමූගේ කීර්තිය පිරිහෙමින් තිබුණි. ස්වීඩන් සාහිත්‍ය ඇකඩමිය විසින් තරුණ ලේඛකයකු තෝරා ගන්නා බව විශ්වාස කරන ලද නමුත් ඇත්ත වශයෙන් එමඟින් සනාථ කරන ලද්දේ ‘අකල් පටක ඝනවීමක්’ (premature sclerosis) පමණි. කැමූගේ විශිෂ්ට කෘති ලියවෙන්නට තිබුණේ බොහෝ කාලයකට පසු ය. ඇත්ත වශයෙන් ඔහු කලකින් වැදගත් දෙයක් ලියා තිබුණේ නැත. ටෝනි ජූඩ්ත් පවසන්නේ ඒ පිරිහීමට කැමූ ද කොටස්කාරයකු බව යි. .”* 18

*18. Tony Judt, REAPPRAISALS – Reflections on the Forgotten Twentieth Century, Penguin Books, 2008, p. 95- 105

සාහිත්‍යකරුවාගේ භූමිකාව ඔහුගේ හෝ ඇයගේ නිර්මාණාත්මක බුද්ධිය මූලික කොට ගත්තක් ද, නැති නම් පරිශ්‍රමශීලී ලෙස වගාදිගාකර ගනු ලැබූවක් ද යන ගැටළුවේ දී ඊට වඩා ප්‍රාථමික වූ තවත් ගැටළුවකට ද අපි අභිමුඛ වෙමු. එනම් සාහිත්‍යකරුවාට පවසන්නට ඇති දේ පිළිබඳ වැදගත් කාරණාව යි.

ඒ එහි අනිවාර්යතාව හෙවත් කෙසේ හෝ කියන්නට ඇති වුවමනාව සපුරනු ලබන්නේ නිර්මාණශීලී බුද්ධිය ද? පරිශ්‍රමය හෙවත් නොකඩවා දරන උත්සාහය ද? යන්න යි. ඒ දෙවෙනි ගැටළුව හමුවේ දී, සාහිත්‍යකරුවාගේ වෙහෙසකර පරිශ්‍රමය, ඔහුගේ නිර්මාණාත්මක බුද්ධිය පරයා යන්නක් විය හැකි ය.

2015 දී ‘හාවර්ඩ් බිස්නස් රිවීව්’ සඟරාවට ලබා දෙන ලද සම්මුඛ සාකච්ඡාවේ දී සල්මන් රූෂ්ඩි පැවසුවේ ‘සරස්වතී වරම’ ළඟාවන තුරු බලා සිටින්නට ලේඛකයින්ට නොහැකි බව යි.

“ලේඛකයින්ට හා කලාකරුවන්ට ‘නිර්මාණාත්මක චිත්ත ස්වභාවය’ (creative temperament) පහළ වන තුරු හෝ අනුප්‍රාණය (inspiration) ළඟා වන තුරු හෝ සිටින්නට පුළුවන් බව මම නොසිතමි. ඔබ කළ යුත්තේ නිකම් වාඩිවීම සහ ඔබ ලවා වැඩ ගැනීම යි. වසර ගණනක් පුරා මා ඇත්ත වශයෙන් දියුණු කර ගෙන තිබෙන්නේ ඒ ශික්ෂණය යි.”

‘ෆ්ලොරන්සයේ වශීකාරිය’ (The Enchantress of Florence) ලියන්නට පෙර දසක කිහිපයක්, තමා අක්බාර් අධිරාජ්‍යයා සහ නිකොලායි මකියාවෙල්ලි ගැන කල්පනා කළ බවත්, තමා නිතර ම අවසන් කරන්නේ ලියන්නට පටන්ගත් කතාව නොවන බවත්, ලිවීම වූ කලී ගවේෂණ සන්තතියක් (process of discovering) බවත් රූෂ්ඩි කියයි.

අද මූලධර්මවාදියකු අතින් ඇසක් සහ අතක ප්‍රාණය අහිමි මහලු ලේඛකයකු වන විට ද ඔහු එසේ චාරිත්‍රානුකූලව ලියන්නෙකි. ‘ලිවීම’ සැලසුම් සහගත ලෙස සිදු නොකර කන්දෙන් පනින අයුරින් එය කරන්නට කෙනෙකුට මහලු වන විට පුළුවන් බව ඔහු කලින් ම පවසා තිබුණි.

එහෙයින් සාහිත්‍යකරුවකු තමාගේ භූමිකාව ඉටු කරන්නේ ඉංග්‍රීසි තේරුමෙන් ‘මියුස්’ සහ ‘සිසිෆස්’ අතර සිදු කරන දෝලනයක් ලෙසින් බව නිගමනය කරන්නට කැමැත්තෙමු. ‘මියුස්’ වූ කලී රචනා අනුප්‍රාණයේ වරම ලබා දෙන සරස්වතිය යි. ‘සිසිෆස්’ වූ කලී නිතර ම පහළට පෙරළී යන විශාල ගලක් කන්දක් මුදුනට තල්ලු කිරීමේ දේව දණ්ඩනයට ලක් වී සිටින්නා ය.

සිය භූමිකාව ඉටු කිරීමේ දී සාහිත්‍යකාරයා, නබොකොව් වැනි සිනා ගන්වන තරමේ වාසනාවන්තයකු නොවේ නම්, ඔහු ඒ භූමිකාව ඉටු කරන්නට වුවමනා සිත කය දෙක පවත්වා ගෙන යන්නට වුවමනා ආර්ථිකයක ද්‍රව්‍යමය අතිරික්තය සහ විවේකයේ මානසික අතිරික්තය වුවමනා කෙනෙකි.

ලේඛකයින්ට චරිතාපදානයක් කියා දෙයක් තිබේ නම් එය සකස් වන්නේ එමඟිනි. මාර්ටින් අමිස් ගෙනහැර දක්වන පරිදි, දැනටමත් අනාථ වී තිබෙන චරිතාපදාන මූලධර්ම යුග්මය, එනම්, ‘ලේඛකයකු ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද?’ යන්න නැවත කියවිය යුතු වන්නේ ඒ පසුතලය තුළ ය. ඒ අනාථ මූලධර්ම දෙක අප කැඳවා ගෙන යන්නේ ලේඛකයා සහ ලිවීම පිළිබඳ ව්‍යාකූල කලාපයක් වෙතට ය.

උක් වැවිලි කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් කැරිබියන් දූපත් කලාපයට ගොස්, ට්‍රිනිඩෑඩ් නම් කුඩා දූපතේ පදිංචි වූ බ්‍රාහ්මණ පවුලකින් පැවත එන්නකු වූ වී. එස්. නයිපෝල්, සිය කෙටි නොබෙල් සම්මාන දේශනයේ දී කියා සිටියේ ඔහුගේ පසුබිම එකවර අතිශයින් සරල ද, අතිශයින් ව්‍යාකූල ද (at once exceedingly simple and exceedingly confused) බව යි. නයිපෝල්ගේ අනුමත චරිතාපදානයෙහි කතුවර පැට්‍රික් ෆ්‍රෙන්ච්, ඒ භූමිකා පසුතලය මෙසේ සාරාංශ කරයි.

“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරා වහල් ක්‍රමය තහනම් කර තිබිය දී ද සීනි වැවිලි සඳහා කම්කරුවන් වුවමනා විය. ඉතින් ඉන්දියාවේ සිටි නයිපෝල්ගේ අනාථ ආදිතමයන්, ඇපයට ගත් දුගී කම්කරුවන් ලෙස, කැරිබියන් දූපත් කරා රැගෙන යන ලද්දේ ය. එය වහල්කමට තවත් නමක් විය. කල් ඉකුත් වූ නමක් විය. 1932 දී යටත්විජිත ඉන්දියාවේ ග්‍රාමීය දුප්පත්කමේ කුසින් උපන් නයිපෝල්, කිසිවක් නොදෙනු ඇති ඒ පසුතලයකින් නැඟී අවුත්, විසිවෙනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගෙන් කෙනෙක් විය. මේ ජයග්‍රහණයෙන් අදහස් කරන්නේ ඔහු ලියූ සියල්ල හොඳ බව නොවේ. ඔහුගේ හැසිරීම ආදර්ශමත් බව ද නොවේ. එනමුත් බොහෝ දුරට ඔහු දිනූ ලේඛන සමුච්චය ඔහුගේ සමකාලීනයන් ඉක්මවා යන බවත්, ලේඛකයින් සහ පාඨකයින් ලෝකය දකිනා ආකාරය වෙනස් කළ බවත් ය. සරල වාක්‍ය භාවිත කරමින් ඔහු සංකීර්ණ නූතන විෂයන් දෙස බලයි. අන්තවාදය, ගෝලීය සංක්‍රමණ, දේශපාලනික හා ආගමික අනන්‍යතා, වාර්ගික වෙනස, අප්‍රිකාවේ මහා පිපිරුම, ආසියාවේ පුනරුත්ථානය සහ අධිරාජ්‍යයේ වැටීමට පසු යුරෝපයේ තත්ත්වය ඊට ඇතුළත් ය. ඔහුගේ ජයග්‍රහණ අධිෂ්ඨානයේ ප්‍රතිලාභයෝ වෙති. එහි ලා හෙතෙම සෑම අවස්ථාවක් සහ සම්බන්ධතාවක් ම සිය අභිලාෂයට දෙවෙනි කොට සැලකුවේ ය. බුද්ධිමය සාපේක්ෂතාවාදය රජැයූ වකවානුවක නවකතාකරුවකු සහ සිද්ධිදාම රචකයකු ලෙස ඔහුගේ පොදු ප්‍රසිද්ධ ආස්ථානය අනම්‍ය විය. ඔහු උසස් ශිෂ්ටාචාරය, පුද්ගල අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නැඟී සිටියේ ය.”*19

*19. Patrick French, The World is What It Is, Authorized Biography of V. S. Naipaul, Picador, 2008, xi – xii

නයිපෝල්ගේ සාහිත්‍ය ජයග්‍රහණවලින් අදහස් කරන්නේ ඔහු ලියූ සියල්ල හොඳ බව නොවන බවත්, ඔහුගේ හැසිරීම ආදර්ශමත් නොවන බවත් පැවසීමේ දී ඒ චරිතාපදාන රචකයා පවසන්නේ ලේඛකයාගේ භූමිකාව පිළිබඳ සංකීර්ණ අදහසකි.

සැබවින් ම නයිපෝල්ගේ හැසිරීම, විශේෂයෙන් ඔහුගේ පොදු පරිධියේ ආචරණය විවාදාත්මක වූ අතර, ඔහු වාරණය සාහිත්‍යයේ පාලන මෙවලම ලෙස සලකන දුර්දාන්ත ජාතික සමාජ යක්ෂාවේශ කරන්නකි. ඔවුන්ට සිතෙන්නේ තමන් ඉදිරිපිට යක්ෂයකු සිටින්නා සේ ය. ජනතාවාදය පමණක් නොව අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා පිහිටුවා ගත් ජනරජවාදී ජාතිකවාදය ද ඔහුගේ දරුණු විවේචනයට හා අවලාදාත්මක දේශපාලනයට (vituperative politics) යොමු විය.

ඔහු නිදහස් ජනරජවල ව්‍යාකූලතා හා ගැටුම් දකින්නට ඉන්දියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ඇවිදිමින් අගනා සංචාර ආඛ්‍යාන රචනා කළේ ය. මහත්මා ගාන්ධි අගය කළ ඔහු, ගාන්ධිගේ පසුකාලීන අනුකාරකයින් උපහාසාත්මක ලෙස කර්කශ විවේචනයට ලක් කළේ ය. ඩයනා කුමරියගේ මරණය පිළිබඳ සිද්ධියේ දී ඔහු ඇයට පාක්ෂික ලෝක මතයට එරෙහිව බකිංහැම් මාලිගයට පක්ෂපාතී විය.

සාහිත්‍යකරුවා සහ කලාකරුවා ද සෙස්සන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතර, ජීවත්වීමේ සතුට හා වේදනාව, කලාත්මක ප්‍රතිනිෂ්පාදනය වෙනුවෙන් අත්විඳියි. ජීවිතය සාහිත්‍යයේ සහ කලාවේ කොන්දේසියක් වන නිසා, ඔහුට ජීවත්වීම ද සාහිත්‍යයේ හා කලාවේ කොටසකි. ඒ නිසා ජීවිතය තුළ ‘විසීම’ ද, ඉන් ‘පරත්වාරෝපණයවීම’ ද එකවර සිදු වේ. ඒ වෙනුවෙන් සාහිත්‍යකරුවාට හා කලාකරුවාට තමා සමඟ සංවාදයක්, ආත්මීය කතිකාවක් වුවමනා ය. වාරකයා සහ ජනතාවාදියා නොතකන්නේ සාහිත්‍යකරුවාගේ ඒ අභ්‍යන්තර නිදහස් කතිකාව යි.

අවුරුදු හතලිස්අටකට පෙර ගුණදාස අමරසේකර මට මුලින් හමු වුණු දින බුදු වදන් උපුටමින් මට කීවේ විචාර මතය දෙවෙනි කොට තබා, තමා තමාට පහනක් කර ගන්නා ලෙස ය. එය ලේඛකයකුට වුවමනා අභ්‍යන්තර සංවාදය පිළිබඳ බරපතළ නිවේදනයකි.

ලේඛකයකුගේ හා කලාකරුවකුගේ භූමිකාව සමඟ බැඳුණු අභ්‍යන්තර සංවාදය ජීවිතය සමීපස්ථ ලෙසත්, ලජ්ජා විරහිත ලෙසත් වෙළා ගැනීම සමඟ බැ‍ඳෙයි. ජීවිතය සහ කලාව අතර පවත්නා සම්බන්ධය හේතුකොට ගෙන ඔහුගේ අභ්‍යන්තර ජීවිතය තුළ ඔහුගේ කාලයේ සාහිත්‍ය සහ සමාජ ජීවිතයේ ඇතුළාන්තය පිළිබිඹු වේ.

ලේඛකයින්ගේ ඇතුළාන්ත ජීවිතය පිළිබඳ නිර්දය හැඟුමක් තිබූ විචාරකයකු වූ රිචර්ඩ් ඉල්මාන් නම් ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරයා විසින් ඔස්කා වයිල්ඩ්, ජේම්ස් ජොයිස්, එස්රා පවුන්ඩ්, ටී. එස්. එලියට්, ඩබ්ලියු. එච්. ඕඩන් සහ යුලිසිස් නවකථාව ගැන ලියූ වටිනා හා කල් පවත්නා දේවල්වලට අතිරේකව ‘රන් මහල්ලෝ – චරිතාපදාන අනුමාන චින්තා’ නමින් අපූරු කෘතියක් ද පළ කරනු ලැබුවේ ය. ඒ කෘතියේ ආමුඛය මෙසේ ඇරඹේ.

“ජීවත් වූ බව අපට කියන්නකුට යටින්, ගුප්ත හෝ අඩු තරමින් ව්‍යංග වූ ජීවිතයක් තිබේ. අපි එය නොදන්නා නිසා හෝ දන්නා නමුත් නීරස බව සොයා ගත් නිසා ඒ ගැන නිහඬ වෙමු. එසේ නැති නම් ළබැඳියාව හෝ ලජ්ජාශීලී විනීත අපහසුව සමඟ බැඳුණු හේතු කාරණා නිසා අපි ඒ ගැන මුදු සුමුදු වෙමු. නවකතා සහ කවි ලිවීමේ එක සතුටක් වන්නේ මෙම යටිතල භූගත ජීවිතය, ස්වයං – චරිතාපදානයේ හෝ ඉතිහාසයේ හෝ වගකීම්වලින් නොබැඳී, කලාවේ කිසියම් ආකෘතියක් ඔස්සේ සතුටින් යුතුව ගෙනහැර පාන්නට පුළුවන් වීම ය.”*20

*20. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. ix

එනයින් රිචර්ඩ් ඉල්මාන්, ලේඛක භූමිකාවේ ‘භූගත යටිතලය’ ද ගවේෂණය කරයි. ඔහු පවසන්නේ ලේඛකයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ නොකියූ ඉතිහාසයන් (unspoken histories) වෙත එළඹෙන්නට කිසියම් ඉඩක් ලබා දෙන බව යි. ඔහු මෙසේ කියයි.

“එනමුත් ඔවුන් හමු වෙන්නට ඉඩ දෙන වේලාව කෙටි ය. ප්‍රවිෂ්ටය තහනම් කොට භූමියෙන් කොටසක් අවුරා තිබේ.”

ඒ බාධක මධ්‍යයේ රිචර්ඩ් ඉල්මාන්, ලේඛක භූමිකාවේ අඳුරු දෝනා කරා ගමන් කරයි. එහි ලා ඇති බාධක ගැන ද ඔහු ඒ තරමට ම දැනුවත් ය. එතරම් කැමැත්තක් නැති, ජේම්ස් ජොයිස් ලේඛකයා විසින්, චරිතාපදාන රචකයා හඳුන්වන ලද්දේ ‘චරිතාපදාන – යක්ෂයා’ (biografiend) වශයෙනි. අඩු තරමින් ස්වකීය වැන්දඹුවන්ගේ උදව්වෙන් හෝ චරිතාපදාන රචනා කිරීම ටී. එස්. එලියට් සහ ජෝර්ජ් ඕවල් තහනම් කළේ යයි එල්මාන් අපට කියයි.

ශොන් පෝල් සාත්‍ර විසින් ප්‍රංශ සාහිත්‍යකරුවන් තිදෙනකු වූ බෝදිලෙයා, ජෙනේ හා ෆ්ලෝබෙයාගේ චරිතාපදාන රචනා කරමින් ඔවුන්ගේ ලේඛක භූමිකාවන්ගේ යටිතලය බාල ළමා විය ඔස්සේ විභාග කරනු ලැබුවේ ය. ඒ ගැන රිචර්ඩ් ඉල්මාන් මෙසේ ලියයි.

“ළමයා තුළ පිරිපුන් මනුෂ්‍යයා සොයා යාම, අප තුළ මර්දනය කළ නොහැකි ආසාවක් ඇති කරන අතර, ෆ්‍රොයිඩ් වෙනත් මනෝවිද්‍යාඥයින්ට වඩා ඊට උදව් කරන්නට කැමැති ය. බෝදිලෙයා, ජෙනේ හා ෆ්ලෝබෙයාගේ චරිතාපදාන තුනේ දී, ශොන් පෝල් සාත්‍ර ෆ්‍රෙයිඩ්වාදය, සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව (existential psychology) සමඟ එකතු කරන්නට උත්සාහ දරයි. බෝදිලෙයා සම්බන්ධයෙන් ඔහු දැඩි විචාරාත්මක අදහසකින් ක්‍රියා කරයි.”*21

*21. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 4

බොදිලෙයා කවියාගේ මව ඔහු ප්‍රතික්ෂේප කළ සැටිත්, එහි සෘජු ප්‍රතිවිපාකයක් හැටියට ඇයට සහ ඇගේ මිතුරන්‍ට වඩා වෙනස් ලෙස තමා නඟා සිටුවන්නට කවියාට වුවමනා වූ සැටිත්, පළි ගැනීමක් ලෙස අද්විතීය විශිෂ්ටත්වය දිනූ සැටිත් ශොන් පෝල් සාත්‍ර විස්තර කළ බව ඉල්මාන් කියයි.

මුලින් පාදඩ සහ සුළු අපරාධ සහිත අඳුරු පාතාල දිවියක් ගෙවූ ශොන් ජෙනේ ප්‍රංශ නවකථාකරුවෙක්, නාට්‍යකරුවෙක්, කවියෙක් සහ රචනාකරුවෙකි. ඉල්මාන් කියන්නේ ජෙනේ සම්බන්ධයෙන් සාත්‍ර වඩාත් කාරුණික වූ බව යි.

“ජෙනේ ගැන වූ සාත්‍රගේ පොත, වඩාත් සානුකම්පික වූ අතර, එය විෂය වස්තුවට ගැලපෙන්නක් විය. බෝදිලෙයා සම්බන්ධයෙන් දැඩි දණ්ඩන පිළිවෙතක් අනුගමනය කරන්නට දැක් වූ ඉක්මන, ඔහු ජෙනේ සම්බන්ධයෙන් වළක්වා ගත්තේ ය. ඒ ජෙනේ ඔහුගේ අනන්‍යතාව පිළිගෙන ඒ තුළ ජීවත් වූ නිසා ය.”*22

*22. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 5

“ජෙනේ ඉතිහාසයට පිටින් (outside history) මෙන් ම දේශපාලනයට පිටින් (outside politics) ද සිටින්නකු බව සාත්‍ර කියයි.”

එනමුත් රිචර්ඩ් එල්මාන් ඒ ලේඛක භූමිකාව දෙස වූවත් බලන්නේ චරිතාපදානය නම් සාහිත්‍ය ශානරය සහ එහි සංකීර්ණතා තුළින් ම ය. ඔහු මෙසේ ද ලියයි.

“(ඉතිහාසයට පිටින් හා දේශපාලනයට පිටින් සිටිය ද) පසු කලක සමහර විට ශොන් පෝල් සාත්‍ර, තව ම මෙලොව ජීවත්වන අයුරින් ජෙනේ ලේඛකයා දේශපාලනයේ නිරත කරවූයේ, සමහර විට චරිතාපදාන රචකයාට අභියෝග කරන්නට ද විය හැකි ය. ඇත්ත වශයෙන් ප්‍රංශයේ නිවාස යෝජනා ක්‍රමයක් ගැන දක්වන ලද විරෝධතාවක දී ජීවත්වන ජෙනේ ද, මියගිය ශොන් පෝල් සාත්‍ර ද එකට නිරත වී සිටින අයුරු දක්නට ලැබුණි.”

ඒ අනුව එල්මාන් සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන රචකයින්ට උත්ප්‍රාසවත් උපදෙසක් ලබා දෙයි.

“සෑම විට ම ඔබගේ චරිතාපදානයට විෂය වූ තැනැත්තා මියයන තෙක් සිටීම මැනවි. ඒ රූපකාර්ථවත් ලෙසට වඩා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ය. ඒ මන්ද යත් අධිපතිවාදී ප්‍රතික්ෂේපය ඇති වීමේ හැකියාව ඉන් අඩුවන බැවිනි.”*23

*23. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 6

එල්මාන්ගේ ප්‍රඥාවන්ත උපදෙස, එවැනි උත්ප්‍රාසවත් වියත් සංස්කෘතික හැඟුමකින් හා ශානරීය ඥානනයකින් තොරව කටයුතු කරමින්, ‘කලාවේ හා කලාකරුවන්ගේ නිදහස’ නොපිළිගන්නා සියල්ලන්ට ද ගැලපෙයි. කලාවට හා කලාකරුවන්ට නිදහස වුවමනා මන්ද යන කාරණය ද යථෝක්ත විස්තරාත්මක භූමිකා විශ්ලේෂණයෙන් තහවුරු කෙරේ.

සිංහල සාහිත්‍යයේ නිරතව සිටින අප සියල්ලන්ට එල්මාන්ගේ තහවුරුව අද තවත් කාලීන හේතුවක් නිසා අදාළ වේ. ඒ කුමක් ද යත්, අද මෙරට කතා කරන්නේ ජීවත්වන සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ කෘති, සම්මාන, අලෙවිය ආදිය ගැන පමණි. එනමුත් ශොන් පොල් සාත්‍ර මියගිය ප්‍රංශ කවියන්, ලේඛකයින් හා නාට්‍යකරුවන් ගැන කතා කළ පරිද්දෙන් සහ රිචර්ඩ් එල්මාන් ‘මියගිය සාත්‍ර’ සහ ‘ජීවත්වන ජෙනේ’ එකට විරෝධතා දැක්වීම නිරීක්ෂණය කළ අයුරින් අප ද මළවුන් සමඟ මුසු විය යුතු ය. ඒ රූපකාර්ථවත් ලෙස නොව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment