අරුන්දතී රෝයිගේ “The God of Small Things” යනු හුදෙක් නවකතාවක් පමණක්ම නොවේ. එය මතකය, අහිමි වීම, ආදරය සහ සමාජ අසාධාරණය යන සියුම් නූල් වලින් වියන ලද සංකීර්ණ වියමනකි. මෙහි කතාව 1969 සහ 1993 කාලපරිච්ඡේදයේ කේරළයේ අයමෙනම්හි සිදුවූ සිදුවීම් අළලා නිර්මාණය වූවකි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස්වීමෙන් පසු මාක්ස්වාදී අදහස් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය. මේ හේතුවෙන් සමස්ත ඉන්දියාව පුරා විශාල සමාජ නොසන්සුන්තාවයක් ඇති විය. දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් සමාජය තුළ ඇතිවූ මෙම විපර්යාසය නිර්මාණයේ අග දක්වාම විසිර පැතිර පවතී.
1997 වර්ෂයේ බුකර් සාහිත්‍ය සම්මානය ලද රෝයිගේ කුළුඳුල් නවකතාව වන මෙය දැඩි සමාජ සම්මුතීන්, කුල පීඩනය සහ පවුල් පාවාදීම් මතින් ළමා අහිංසකත්වය බිඳ දැමූ රහෙල් සහ එස්තා යන නිවුන් දරුවන්ගේ ඛේදජනකය ඉරණම සොයායයි. කතාව ආරම්භවන්නේ රහෙල් ඇගේ නිවුන් සහෝදරයා වන එස්තාගෙන් වසර ගණනාවක් වෙන්වීමෙන් පසු ඇගේ ළමා කාලය වූ අයෙමෙනම් වෙත නැවත පැමිණීමත් සමඟය. ඇය ඇගේ අතීතයේ දිරාපත් වූ නටබුන් වෙත ආපසු හැරී බලයි. එවිට ආඛ්‍යානය බිඳ වැටෙන්නේ, ඉපේ පවුලේ පැටලී ගිය ඉතිහාසය සහ ඔවුන්ගේ අවසාන බිඳවැටීමට තුඩු දුන් සිදුවීම් ද හෙළි කරමිනි. “The God of Small Things” සාම්ප්‍රදායික කතන්දර කීමෙන් ඉවත් වන බව එහි වූ ආරම්භක පිටු සංඥා කරයි. මෙම නවකතාව රේඛීය නොවන ව්‍යුහයකින් දිග හැරෙයි. එය අතීතය සහ වර්තමානය අතර දෝලනයක්ව දිග හැරෙන මතකාවර්ජනයකි.
පසුබිම් කතාව ගොඩනැගෙන්නේ 1969 ට පෙර කාල සීමාව තුළය. මම්මාච්චි නමැති තරුණ කාන්තාව කීට විද්‍යාඥයෙකු වන පප්පාච්චි හා විවාහ විය. පිටතින් සාමකාමී වුවත් පප්පාච්චි නැතහොත් ජෝන් ඉපේ කුරිරු දරුණු අයෙකි. ඇතුලාන්තයෙන් ඔහු බිඳවැටෙන සැමවිට මම්මාචිට පහර දෙයි. 1964 වන විට පප්පාච්චි මිය ගිය අතර විවාහය පුරාවට ඔහුගේ ගැහැට විඳි කුල ගර්වයෙන් යුතු මම්මාචි වයස්ගතව සිටියි. මේවනවිට මම්මාචි අන්ධ ස්ත්‍රියකි. ඇගේ නිවස පසුපස මීනාපල් ගඟත්, අච්චාරු කම්හලත් පිහිටා තිබෙයි. බේබිකොච්චා මෙහි සිටින අනෙක් වයස්ගත කාන්තාවයි. ඈ පප්පාච්චිගේ බාල සොහොයුරියයි. බේබිකොච්චම්මා අයර්ලන්ත මිෂනාරිවරයෙකුට පෙම් කරයි. චාකෝ යනු පප්පාච්චිගේ හා මම්මාච්චිගේ පුත්‍රයාය. ඔහු විවාහ වන්නේ ඉංග්‍රීසි ජාතික මාග්‍රට් සමගය. ඔවුන්ගේ දියණිය සොෆී මොල්ය. චාකෝගෙන් වෙන්වන මාග්‍රට් ජෝන් නම් පුද්ගලයා හා යුරෝපයෙ ජීවත් වෙයි. අම්මු යනු මම්මාච්චිගෙ හා පප්පාච්චිගේ දියණියයි. තම පවුල තුළ ඇති විකාරරූපී බව හේතුවෙන් අම්මු සිය කැමැත්ත මත විවාහය සිදුකර ගනියි. අපචාරශීලි මත්පැන් පානය කරන්නෙකු වන බාබාගෙන් වෙන්වන අම්මු තම දරුවන් දෙදෙනාද සමඟ නැවත අයමෙනෙන්වලට පැමිණෙයි. ඇගේ දෙදරුවන්නම් එස්තා සහ රහෙල්ය. එසේම මේ කාලයේ මම්මාචිගේ අච්චාරුකම්හලේ පහත් කුලයකට අයත් ඒහෙත් වඩා දක්ෂ තරුණයෙකු වූ “වේලුතා” සේවයෙහි යෙදෙයි.
නවකතාවේ ක්‍රියාකාරී සැකැස්ම ගොඩනැගෙන්නේ සොෆී මෝල් පිළිගැනීම සඳහා ඉපේ පවුල ගුවන් තොටුපොළට යන ගමනත් සමඟය. හදිසි අනතුරකින් ජෝ මියයාම මාග්‍රට් නැවතත් චාකෝ සමඟ නත්තල් සැමරීමට අයමෙනම් වෙත පැමිණීමට හේතුවිය. ගුවන් තොටුපළට යන අතරමගදී ඔවුන්ගේ මෝටර් රථය කොමියුනිස්ට් මාක්ස්වාදී පා ගමනකට හසුවේ. පෙළපාලියේ ගමන් කරන පිරිස තම වැටුප ඉහළ නැංවීමත්, පැයක දිවා ආහාරය හා විවේකය ලබාදීමටත්, කුල නාමයෙන් ආමන්ත්‍රණය නොකිරීමට පාලකයන් වගබලාගතයුතු බව පවසයි. මෙම පා ගමන තුළ කුලී ප්‍රජාව මෙන්ම කුලහීන ප්‍රජාවද ගමන් කරයි. පෙළපාලියේ ගමන් කරන මාක්ස්වාදී කොඩිය අතින්ගත් වේලුතා මෙම පිරිසගේ ඇස ගැටෙයි. මෙය දැකීමෙන් අම්මු ප්‍රීතියටත්, බේබි කොච්චම්මා දැඩි අප්‍රසාදයටත් පත්වෙයි.
සොෆී මෝල් මරණයට පත්වීමත් සමග බියවන බේබි කොච්චම්මා පොලිස් පරීක්ෂක තෝමස් මැතිව්ට වේලුතා අම්මුව දුෂණය කිරීමට උත්සාහ ගත් බවත් එයට නොහැකි වූ තැන දරුවන් පැහැර ගත් බවත් පවසයි. ඉන්පසු පොලිස් භටයින් වේලුතා හා දරුවන් සොයා ගන්නා අතර සැබෑ සිදුවීම දැනගනී. නමුත් කොච්චම්මා විසින් කතාව වෙනස් කරයි. කෙසේ නමුත් එදින රාත්‍රියේ පොලිසියේ දැඩි හිංසා හමුවේ වේලුතා මිය යයි. සොෆී මෝල්ගේ අවමංගල්‍යයෙන් පසු අම්මු නිවසින් පන්නයි. තම නිවුන් දරුවන්ගේ පිරිමි දරුවා සිය සැමියාටත් දියණිය තම නිවස තුළත් රඳවා ගෙන අම්මු බොහෝ කලකට පසුව තනිව මියයයි.
වයස අවුරුදු 31 වන විට බබා එස්තා නැවතත් අය මෙනෙහෙන් වෙත පැමිණේ. ඔහුගේ පැමිණීම බබා කොච්චම්මා රහෙල්ට දන්වන අතර ඇයද අයමෙනම් වෙත පැමිණෙයි. වසර විසි තුනක් වෙන්ව සිටි නිවුන් දරුවන් ඒ අනුව අනෙක් අඩ සොයා ගනී. ඔවුන් යළි හමුවන්නේ 1993 වර්ෂයෙදීය. අවසානයේ එතෙක් දෙදෙනා අත්විඳි දුක් නිහඬතාවයන් අඳුරු මතකයන් අතර සැරිසරණ රහෙල් සහ එස්තා ලිංගිකව හැසිරෙන අතර ඒ ඔස්සේ කායිකව හා මානසිකව තමා පූර්ණත්වයට පත් වූ බව හඟවයි.
නවකතාවේ කේන්ද්‍රීය හදවත ස්පර්ශකර ඇත්තේ නිවුන් දරුවන්ගේ මව වන අම්මු සහ ඉන්දු කුල තන්ත්‍රය තුළ අස්පර්ශනීය ප්‍රතාපයෙකු වන වේලුතා අතර සිදුවන අවාසනාවන්ත ප්‍රේම කතාවයි. කුලයෙන් මෙහෙයවන සමාජය ඉදිරියේ ඔවුන්ගේ ප්‍රේමය, අනවසර ලැව් ගින්නක්ව ප්‍රචණ්ඩකාරීව ව්‍යාප්තවෙයි. එසේම එය ආපසු හැරවිය නොහැකි කම්පනයකින් අවසන්වන දාම ප්‍රතික්‍රියාවකට මග පාදයි. වේලුතාගේ ඉරණම හරහා රෝයි දක්ෂ ලෙස කුල ධූරාවලීන්ගේ කෲරත්වය හෙළි කරයි. සුවිශේෂී කුසලතාවයක් සහ කරුණාවක් ඇති මිනිසෙක්, ඔහුගේ ස්ථානයෙන් ඔබ්බට ආදරය කිරීමට එඩිතර වීමෙන්, අනුකම්පා විරහිතව දඬුවම් ලබයි. බේබි කොච්චම්මාගේ උපාමාරු මගින් මෙහෙයවන ලද පොලිසිය අතින් ඔහුට එල්ල වන කුරිරු පහරදීම, ඉතිහාසයේ සහ සම්ප්‍රදායේ නොවැළැක්විය හැකි බරට බිය උපදවන සාක්ෂියක් ලෙස සේවය කරයි.
පුරාණ හින්දු කුල ක්‍රමය 1950 දී පමණ අහෝසි කරන ලදී. එහෙත් තවදුරටත් බොහෝ ඉන්දියානුවන් එම පන්ති භේදය මත රැඳී සිටියි. එය පෝෂණය කරයි. විටෙක වර්තමානයටත් , ඇතැම් විටෙක අතීතයටත්, තවත් විටෙක පෙර පරම්පරා මතකයන්ටත් ඉදිරියට හා පසුපසට දිවයමින් ගොඩනැගුණු ආඛ්‍යාන රටාවක ඔවුන් දිවි ගෙවයි. එම සමාරෝපිත ජීවන රටාව සදහා කතුවරයා සිය නිර්මාණය තුළ සජීවත්වාරෝපණය කරයි.
මෙම කතාවේ ඛේදනීය වීරයා වන වේලුතා යනු සිය පා සටහනවත් ඉතිරිකිරීමට අයිතිය අහිමි වූ ක්ෂුද්‍රයන්ගේ හඬ නැගීමයි. වේලුතා යන නාමයම අර්ථ ගන්වන්නේ කළු පැහැය හෙවත් කාල වර්ණයයි. කළු පැහැය යනු අතීත ඉන්දු සමාජයේ දර දිය ඇදීමට, දාසකම් කිරීමට යොමු පිරිසට හිමි පැහැයයි. රෝයි සිය චරිත නිරූපණය මගින් එම සනාතන ධර්මතාවට ප්‍රබල අතුල් පහරක් එල්ල කරයි. නිර්මාණ අවසානයේ අරුන්දති රෝයි සිය කෘතිය තුළ සඟවමින් ගොඩනැගූ සැබෑ දෙවියන් ලෙස වේලුතා නම් කරයි.
කුල ආඛ්‍යානයට සමාන්තරව නවකතාවේ ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පිළිබඳ නොසැලෙන පරීක්ෂණයක් පවතී. අම්මු, ඇගේ නොසැලකිලිමත්කම නොතකා, පීතෘමූලික සම්මතයන් මගින් විලංගු දමා ඇත. ඇය අපයෝජනයට ලක් කරන ස්වාමිපුරුෂයෙකු ප්‍රතික්ෂේප කිරීමත්, තමාගේ පෞද්ගලික සතුට ලුහුබැඳීමත් අවසානයේ ඇගේ අකල් හා හුදකලා මරණයට හේතු වේ. බේබි කොච්ම්මා සහ මම්මාච්චි යන මාතෘ මූලික චරිත ඔවුන්ගේ නිවස තුළ බලය ක්‍රියාත්මක කරන නමුත් පන්ති පීඩනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වෙති. ඉටු නොවූ ප්‍රේමයෙන් කෝපයට පත් කාන්තාවක්වන බේබි කොච්ම්මා, පවුල් බැඳීම්වලට ඉදිරියෙන් සමාජ යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබා දෙමින් විනාශයේ මෙවලමක් බවට පත්වේ.
මෙහි කාව්‍යමය සුන්දරත්වයෙන් ඔබ්බට, “The God of Small Things” යනු දැවෙන දේශපාලන විචාරයකි. ඉපේ පවුලේ කාචය හරහා, රෝයි යටත් විජිතවාදයේ කල් පවතින බලපෑම්, කොමියුනිස්ට්වාදයේ කුහකකම් සහ සම්ප්‍රදායේ හුස්ම හිර කරන ග්‍රහණය පරීක්ෂා කරයි. නවකතාවේ පුනරාවර්තන සංකේතයක් වන ඉතිහාස මන්දිරය, අතීතයේ නොකියූ භීෂණයන් ,පුද්ගලික සහ සාමූහික යන දෙඅංශයෙන්ම මූර්තිමත් කරයි. එය මර්දනය කරන ලද සත්‍යයන් පැසවන ස්ථානයකි. එහිදී ඉන්දියාවේ සමාජ දේශපාලන ඉතිහාසයේ අවතාර එහි වර්තමානය තුළ හොල්මන් කරයි.
මෙවැනි ගැඹුරු සංකථනයන් සාහිත්‍යමය රාමුවකින් සහෘදයා අබියසට රැගෙන ඒම පහසු කාර්යයක් නොවේ. එයට රසජනනයෙ නිපන් හැකියාව මෙන්ම ළතෙත් හදවත් ඇති විප්ලවකාරී රචකයෙකු අත්‍යවශ්‍යමය. විශ්ව සාහිත්‍ය තුළ වචන අවියක් කර ගනිමින් බිහි වූ විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරුවන් අතර අරුන්දති රෝයි යනු නොමැකෙන සන්නාමයකි. ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ඉදිකරන නර්මදා වේල්ල ව්‍යාපෘතියට එරෙහිව ඇය රැගෙන ගිය සටන හේතුවෙන් අරුන්දති ලොව පුරා මහත් ප්‍රසාදයට ලක් වූවාය. ඇයට බුකර් සම්මානයෙන් හිමිවූ මුදලත් තම පොත වෙනුවෙන් ලද කතෘ භාගයත් ඈ නර්මදා බචෝ ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රදානය කළාය. එසේම මිනිසාට හා මිනිසත්කමට එරෙහිව සිදුවන සෑම සටනකදීම ඇය පෙරමුණ ගත්තාය. එබැවින් ඇගේ සෑම නිර්මාණයකම වචනයක් වචනයක් පාසා ධ්වනිත වන්නේ හඬක් නොනගනා ජනතාව වෙනුවෙන් නගනා විප්ලවකාරී දොංකාරයයි.
මේ නවකතාව “පා සටහන් නැති දෙවියෝ” නමින් මාලිනී ගෝවින්නගේ සිංහලට පරිවර්තනය කර තිබේ.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
