ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති

ලෝක කෙටි කාව්‍ය සම්ප්‍රදායේ හමුවන එක් කාව්‍ය ශානරයක් ලෙස හයිකු කවිය හැඳින්විය හැකිය. හයිකු කවිය ලෝකයට විවර වීමත් සමග ලෝකවාසීන් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ආසක්ත වූ අතර හයිකු ස්වරූපයේ කවි (Haiku-like poem) ලිවීමට පෙලඹුණි. එහිදී ඓතිහාසික වශයෙන් හයිකු කවියට සමගාමීව ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාශ්මීරය හා චීනය වැනි රටවලද කෙටි කාව්‍ය සම්ප්‍රදායන් විවිධ ස්වරූපයෙන් බිහිවූ අතර හයිකු කවිය ලාංකේය සමාජයේ ප්‍රචලිත වීමත් සමග වර්තමානයේ සිංහල බසින් ලියවෙන කෙටි කවි සඳහා විවිධ නම් වියත්හු භාවිත කළහ. හයිකු සාම්‍ය කවි, සංක්ෂිප්ත කවි, සැකෙවි කවි, සාර සංක්ෂිප්ත කවි හා කෙටි කවි යනු ඒ අතර සුප්‍රසිද්ධ යෙදුම්ය. මෙම සියලු නාමකරණයන්ගෙන් රසිකයා බලාපොරොත්තු වී ඇත්තේ ආකෘතිකමය වශයෙන් කුඩා එහෙත් කවිතාවෙන්, අර්ථයෙන්, සෞන්දර්යයෙන් මහාර්ඝත්වයට හා පුර්ණත්වයට පත් හයිකුමය කවි ක්‍රමයක් පිළිබඳ පැවසීමටය.

ලාංකේය කාව්‍ය ආකෘති පිළිබඳ දැනට හමුවී ඇති සාධක අනුව ලක්දිව පැරණිතම කාව්‍ය ආකෘතිය කෙටි කාව්‍ය ආකෘතියයි. ප්‍රාකෘත හා පුරාතන යුගවල සෙල්ලිපි ගීවලද, සීගිරි ගීවලද, තැනින් තැන ඉතිරිව ඇති අනුරාධපුර යුගයේ පුරාණ සිංහල කාව්‍ය කෘතිවලද කවි කොටස්වල ද දැක ගත හැක්කේ කෙටි කාව්‍ය ආකෘතියක සංලක්ෂණය. එබැවින් කෙටි කවිය සිංහල කාව්‍ය සම්ප්‍රදායට අමුත්තක් හෝ නව ශානර විධියක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ පැවති කාව්‍ය ආකෘතියකි. එහෙත් හයිකු කවිය ලෝක සාහිත්‍යයේ ප්‍රචලිත වීමත් සමග සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නව කවි විශේෂයක්ව ගොඩනැගෙන්නට විය. ඒ අනුව මෙම ආකෘතිය ලාංකේය කෙටි කාව්‍ය සම්ප්‍රදායෙන් වියුක්ත වූවක් නොව කෙටි කාව්‍ය සම්ප්‍රදායෙන් අලුත් උපශානරයක්ව ගොඩනැගීමකි. එබැවින් එම උපශානර කාව්‍ය විධිය හැඳින්විය හැකි පහසුම නම ‘කෙටි කවිය ‘ යන්නයි.

හයිකු කවිය හා සිංහල කෙටි කවිය ලෝක කෙටි කාව්‍ය රේඛාවේ හමුවන සම්ප්‍රදාය දෙකකි. මෙම කෙටි කාව්‍ය සම්ප්‍රදායන් සේද මාවත මගින් වූ විවිධ සංස්කෘතික හා ආගමික හුවමාරු ඇසුරෙන්ද අන්තර් පෝෂණය වෙමින් ගොඩනැගුණු බව විද්වත් අදහසයි. ක්‍රි.පූ. 3 වන සියවසයේ පටන් සිංහල කෙටි කවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට සාධක දක්නට ලැබේ. එහෙත් සිංහල කෙටි කවියේ කූටස්ථානය දැකගත හැක්කේ සීගිරි ගීවල ආරම්භයත් සමගිනි. සිංහල කෙටි කවියේ දෙවැනි අදියර ආරම්භ වන්නේ කොළඹ යුගයෙනි. ලක්දිව කාව්‍ය ප්‍රවණතා බහුතරයක් බිහිවූයේ සමාජ, දේශපාලන හා ආගමික අවශ්‍යතා හේතු කරගෙනය. එහෙත් නූතන සිංහල කෙටි කවි බිහිවන්නේ එකී කරුණුවලින් බැහැර වූ සෞන්දර්යාත්මක අවශ්‍යතා මතය. නූතන සිංහල කවියට හයිකු කවියේ සෞන්දර්යාත්මක ආකර්ෂණය මුලින්ම පැමිණෙන්නේ අරියවංශ රණවීර ‘විසිරි මිණි’ (1985) හා ‘මිණිපැමිණි’ (2000) නමින් ජපන් හයිකු කවි කිහිපයක් සිංහල පරිවර්තනය කිරීමෙනි. ඊට ප්‍රථම කෙටි කවිය සම්බන්ධයෙන් ජී.බී. සේනානායක, මහගම සේකර, මොනිකා රුවන්පතිරණ, බණ්ඩාර කේ. විජේතුංග වැනි කවීන්ගේ නිර්මාණ දක්නට ලැබුණද හයිකුමය සිංහල කෙටි කවියෙහි තාක්ෂණය හා කවිතාව පිළිබඳ උනන්දුවක් ඇති වන්නේ ආරියවංශ රණවීරගේ හා නන්දන වීරසිංහගේ හයිකු කවි පරිවර්තන හා කෙටි කවි නිර්මාණ හේතුවෙනි. ඒ අනුව සිංහල කෙටි කවිය වර්තමානයේ නිතර ලියවෙන බොහෝ කවියන් අනුගමනය කරන කාව්‍ය ආකෘතියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. එහෙත් වර්තමානයේ ලියවෙන සැම කෙටි කවියක්ම හයිකුමය කවිතාවෙන් යුක්ත නොවන බව දත යුතුය.

ආරියවංශ රණවීරයන් හා නන්දන වීරසිංහයන් එක්ව පබැදුන තුන්පෙති හතර පස්පෙති කෘතියද මෙවැනිම වූ හයිකු හා සාම්‍ය කෙටි කවි රැසක සමූපේතයකි.

“අන්තිම
පතත් හළ
තුර
නිදහසේ “

මාත්‍රා 5-7-5 යන මාත්‍රා 17ක හයිකු කවියක් විශිෂ්ටත්වයට හා පූර්ණත්වයට පත් වන්නේ කවියෙහි වචන වළක්වා ගැනීම හා අර්ථයට ඉඩ හැරීම යන කරුණුවලිනි. ඒ අනුව හයිකු කවියෙන් සිදු කෙරන්නේ වචන භාවිත කර වචනයේ සීමා ඉක්මවීමකි. එය හයිකු කවිය තුළ හදුන්වන්නේ හයිකු මොහොත නමිනි. ආරියවංශ රණවීර රචනා කළ මෙම කෙටි කවියද අර්ථමය වශයෙන් අනුනාද නැංවීමට සමත් වන්නේ කවියා සිතාමතාම වචන වළක්වා ඇති බැවිනි. සාමාන්‍ය කවියා හා පාඨකයා ගසක වුවද අලංකාරය දකින්නේ පත්වලින් වැසි කල්හිය. එහෙත් මෙම කවියා ගසෙහි සෞන්දර්ය දකින්නේ අන්තිම පතත් තුරෙන් නිදහස් වූ විටය. හයිකු කවියා සොබා දහම හා එක්ව ජීවිතයේ ස්වභාවය හැඳිනගත් අයෙකි. අප ඇස ගැටෙන භෞතික අභෞතික වස්තූන් නිරතුරුව කියා දෙන්නේ ලෝක පදාර්ථයන්හි පවතින ස්වභාවයන්ගේ හැසිරීමයි. එකී ස්වභාවයන් හා අන්තර්සම්බන්ධ වී ලෝකය දැකීම හයිකු කවියෙන්ද හයිකු සාම්‍ය කෙටි කවියෙන්ද සිදු වන්නකි. එම යථාර්ථවාදී ලෝක නියමයන් වචනයට හසු කරගැනීම කළ හැකි දෙයක් නොවේ. එහෙත් එම යථාර්ථය ලිහා ගැනීමට වචනයෙන් කිසියම් අනුබලයක් ලබා දේ. මෙම කරුණු සම්බන්ධයෙන් කෙටිකවි රචකයා අවබෝධයෙන් පසුවිය යුතුය. වචන වළක්වා අර්ථයට ඉඩ හැරීම එකී අවබෝධයෙහි එක් පැතිකඩකි. ඉහත කෙටි කවියෙන් කවියා සිදු කර ඇත්තේ වචන මග හැර අර්ථයට ඉඩ හැරීමකි. පත් නැති තුර නිදහසේ සිටීම මනුෂ්‍ය ජීවිතයේ ආධ්‍යාත්මික විදර්ශනාවට මෙන්ම එදිනෙදා ජීවිතයේ සන්තුෂ්ටියටද අදාළ කරගත හැකිය. ජීවිතයේ ආධ්‍යාත්මික තෘප්තිය රඳා පවතින්නේ කිසියම් දෙයක් ළං කරගැනීමෙන් නොව අත් හැරීමෙනි. කිසියම් දෙයක් අත්පත් කරගැනීමේ පරමාර්ථයෙන් සාමාන්‍ය මිනිසා එදිනෙදා ජීවිතයෙහි වෙහෙසෙයි. එහෙත් කිසියම් වූ දෙයක් අත්හැරීමෙන් ආධ්‍යාත්මික සමාධිය සොයන මිනිසා තෘප්තිමත්වේ. මන්ද ජීවිතයේ නිදහස රඳා පවතින්නේ ගොඩගසා ගැනීමෙන් නොව එකතු කරගත් දේ එකින් එක අත් හැරීමෙන්ය. මෙවැනි අර්ථවලින් කවිය පිරවීමට නම් කවියා භාෂාවේ සීමා අප හමුවේ ඇති ප්‍රශ්න පිළිබඳ මොහොතක් සිතුවහොත් ඒ සියල්ල යමක් අල්ලා ගැනීමේ ප්‍රතිවිපාක මත ආරෝපණය වූවක් බව පැහැදිලි වෙයි. තවද රණවීර පවසන එකින් එක පත් හළ තුර ද නිදහසේ උපරිමය භුක්ති විඳින්නේ අවසන් පත ද අත්හැරීමෙනි.

“පොත් පිටු අතර
ඈ ඉතිරි කර ගිය
පඬු පැහැති මල් පෙති “

කවියක වවන පිරවීම අත්හළ යුතුය. එය පාඨකයා විවිධ මාන ඔස්සේ අර්ථ සොයායෑමට පෙලඹවීමකි. එසේම එමගින් කතුවරයා ආධ්‍යාශයට ඉහළින් සිතීමට යොමු කරවයි. ‘තුන් පෙති හතර පස්පෙති’ හි එන නන්දන වීරසිංහයන් විසින් පබැදුන ඉහත කවියද හයිකු කවියේ නොමඳ ආභාසය ලත් නිර්මාණයකි. එහි කවියා අතීත කතාවක සංක්ෂිප්තය ඉතා කෙටි පද පේළි තුන ඇසුරෙන් වර්තමානයට රැගෙන එයි. එහෙත් කවියා එම කතාවේ සමස්තය වචන මගින් දිග නොහරියි. ඔහු අර්ථය සමග ප්‍රස්තුතය හා බද්ධ අතීත කතාව පාඨකයා හමුවේ විවෘතව තබයි. ප්‍රස්තූතය එකී විවෘතතාව ස්වකීය අද්දැකීම් අවකාශයෙහි පිහිටුවීමට සමත් විය යුතුය. කවියා නිර්මාණයෙහි විවෘතතාව රැකීමට භාවිත කර ඇත්තේ චිත්තරූපය. එම චිත්තරූපයේ ප්‍රබලතාව නිර්මාණයෙහි වචන වළක්වා ගැනීමට හා අර්ථය විවෘතව තැබීමට සමත්ව ඇත. කවියෙහි ඇති ‘පඬු පැහැති මල්’ නමැති චිත්තරූපය කවියාගේ සමස්ත අතීත කතාවෙහි මධ්‍යයේ සිට පරිධිය දක්වා අර්ථමය අනුනාදයක් ඇති කරලීමට සමත් යෙදුමයි. සාමාන්‍ය කවියෙකු මෙවැනි අනුභූතියක් පැවසීමට යොදාගන්නා විවිධ වාග් ප්‍රයාසයන් හා අලංකාර කෙටි කාව්‍ය රචකයා මග හරියි; අත් හරියි; අනවශ්‍ය යැයි සිතයි. මන්ද කිසියම් වූ සිදුවීමක් හෝ දෙයක් ස්වභාවයෙන්ම කවියෙහි පිහිටුවීම කෙටි කවියේ ස්වභාවය වන බැවිනි. එය ඉහත උදාහරණයෙන්ද පැහැදිලි වන්නකි. කවියාට එකවර නෙත ගැටෙන පොත්වල පිටු අතර වූ මල් පෙති පාඨකයාව පුළුල් අර්ථමය පරාසයක රැගෙන යයි. ‘ඈ ඉතිරි කර ගිය’ සහ ‘පඬු පැහැති මල් පෙති’ යන යෙදුම් කවියෙහි අර්ථමය නිහඬතාව දුරු කිරීමට සමත්ය. කවියා ‘ඉතිරි කර’ යන යෙදුමෙන් බොහෝ මතකයන් ඇය විසින්ම රැගෙන ගිය කතාවක ඉඟි කියාපායි. එහෙත් පොත් පිටු අතර ඇය තැබූ මල් පෙති කවියාට හමුවෙයි. ඒවා බොහෝ කාලයක පෙර තිබූ මල් පෙති බව ඒවායෙහි වියපත් වූ පඬුපැහැයෙන් අර්ථවත් කරයි. මීට දශක දෙක තුනකට පෙර පාසල් ගිය බොහෝ අය පොත්වල පිටු අතර ‘අක්කපාන කොළ’ තබා ඒවායෙහි ටිකෙන් ටික මුල් අදින අපූරුව අද්දැකීමෙන්ම විඳ ඇත. එවන් පොත්වල පිටු අතර ඉතිරි වුණ සහ සිරවුණ අතීත කතා පුවත් ස්වකීය අද්දැකීමේ පරාසයෙන් විඳීමට අවශ්‍ය ඉඩ කවියා ඉහත කවියෙන් ලබා දී ඇත. එනම් කෙටි කවියේදී සිදු වන්නේ කවියාගේ අද්දැකීම පාඨකයාගේ අද්දැකීම හා බද්ධව පූර්ණත්වයට පත්වීමයි. කවියා ඒ සඳහා අවශ්‍ය ඉඩ ලබා දෙන්නේ වචන වළක්වා අර්ථයට ඉඩ හැරීම මගිනි.

“රාත්‍රිය ඉඩහරි
හැම නිවසකම
ඇතුළු එළියට “

අර්ථය අවිනිශ්චිතව තැබීම බහුශාබ්දිකත්වය නැමැති න්‍යායේ හමුවන ප්‍රධාන ලක්ෂණයකි. එහි අවිනිශ්චිත බව යනු අනන්තයේ ශුන්‍යත්වය නොවේ. අර්ථමය අවිනිශ්චිත බව නිසා විවිධ අර්ථ යටතේ කියවීමට ඇති හැකියාවයි. ඉහත සඳහන් නන්දන වීරසිංහගේ විශිෂ්ට කෙටි කවිය ද ඒ බව පැහැදිලි කරගත හැකි අගනා උදාහරණයකි. ඔහු ඉතා සංයමයෙන් පෙළගස්වන ලද වචනවල අර්ථාන්විත චමත්කාරය රසිකයාට විඳිය හැක්කේ කතුවරයාගේ මැදිහත් වීමකින් හෝ පාලනයකින් තොරවයි. සොබා දහමට අනුව සිදුවන රාත්‍රී හා දහවල් කාල භේදය මිනිස් ජීවිතවලද විවිධ අයුරින් අදාළ කරගත හැකිය. සාමාන්‍යයෙන් දහවල් කාලය විවිධ බැඳීම් හා වගකීම්වල නිරතවන මිනිසා රාත්‍රී කාලයේ කිසියම් වූ නිදහසක් භුක්ති විඳියි. එම නිදහස ජීවිතයේ ඇතුළු එළිය හා සම්බන්ධය. ජීවිතයේ බාහිර එළිය මුදල්, රැකියා, වාහන ආදි භෞතික අවශ්‍යතා හා සම්බන්ධ වුවද ඇතුළු එළිය ප්‍රේමය, සංගීතය, කායික ප්‍රේමය, නිදහස වැනි මානසික තෘප්තිය හා බද්ධ වෙයි. එවැනි නිදහසට රාත්‍රිය ඉඩ ලබා දෙන්නේ සැම ජීවිතයකට අත්‍යවශ්‍ය ඇතුළු එළියටයි. මෙම කවිය බාහිර එළි ගැන නිතර සිතන බොහෝ අයට ජීවිතයේ සැබෑ එළිය වන ඇතුළු එළිය මතක් කරදෙයි. කවියා සඳහන් කරන ‘ඇතුළු එළිය’ පදයෙහි කෙතරම් අප්‍රකාශිත ව්‍යුහ අන්තර්ගත ද යන වග ඉහත විස්තරයෙන් වටහාගත හැකිය. තවද මෙවැනි කෙටි කවිවල හමුවන බහුශාබ්දික බව කවියේ අර්ථමය විසල් බව වටහා ගැනීමට මනා නිදසුනකි. ඇතැම් විචාරකයන් කෙටි කවියෙහි ඇති වචන අවම බව අර්ථමය ලඝුත්වයක් ලෙස සිතා ඌන කාව්‍ය විශේෂයක් ලෙස අර්ථකථනය කරන අයුරු දැකගත හැකිය. එහෙත් කෙටි කවියෙහි ඇත්තේ ආකෘතික සංක්ෂිප්ත සාරත්වයක් මිස රසයෙහි, සාරයෙහි, අර්ථයෙහි හා පූර්ණත්වයේ ලඝුත්වයක් නොවන බව කෙටි කාව්‍යාත්මය විග්‍රහ කිරීමේදී පසක් වෙයි. එසේම කෙටි කවිය සම්බන්ධයෙන් නුපුහුණු පාඨකයෝ එහි ඇති අර්ථමය විවෘත බව වරදවා වටහාගනිති. ඔවුන්ගේ අදහස වන්නේ කෙටි කවිය සැලසුමකින් හෝ කේන්ද්‍රීය අර්ථයකින් වියුක්ත අර්ථහීන ප්‍රයාසයක් බවයි. පාඨකයා මෙවැනි නිගමනවලට එළඹීමට ප්‍රධාන හේතුව නම් කෙටි කවියේ ව්‍යූහයේ ඇති අප්‍රකාශිත බව හා අර්ථයේ ඇති බහුශාබ්දිකත්වයයි. එහෙත් කෙටි කවියේ සෞන්දර්ය උපදින්නේ මෙවැනි ලක්ෂණ හේතුවෙන් බව ඇතැම් පාඨකයෝ මෙන්ම විචාරකයෝද හඳුනා නොගනිති. හයිකු කවියේ සාරය චිත්තරූපික ගුණය හා බද්ධව පවතියි. හයිකු කවීන්ට අමතරව නූතන සිංහල කෙටි කවීන්ද චිත්තරූප ඇසුරුකරමින් කෙටි කවි ලියන අයුරු සදහා කදිම නිදසුනකි තුන්පෙති හතර පස් පෙති.

“අල්ලා බලන්න
මේ ගිලිහුණු පියාපතෙහි
තවමත් ගමනේ උණුසුම”

කවියා ගිලිහුණු පියාපත පිළිබඳ සඳහන් කරන චිත්තරූපය, ස්පර්ශමය සංවේදනාවක් පාඨකයාට දනවයි. කවියා ‘අල්ලා බලන්න’ යැයි කරන යෝජනාව පාඨකයාට ‘පියාපත’ නමැති චිත්තරූපයේ ස්වභාවය සිහියට ගෙනෙයි. තවද පියාපත් පිළිබඳ පවතින සාම්ප්‍රදායික සංවේදනාව නම් එය ඉතා සියුම් හා සිනිඳු ගතිවලින් යුතු බවයි. එහෙත් මෙම චිත්ත රූපය එම පියාපත්වල සිනිඳු බවට යටින් ඇති උණුසුම් සංවේදනාව රසිකයාට අවබෝධ කරදෙයි. ඒ අනුව මෙම චිත්ත රූපය සම්ප්‍රදායිකව පියාපත් පිළිබඳ මනසෙහි ගොඩනැගී ඇති චිත්තරූපවලට ප්‍රතිවිරුද්ධ සංවේදනාවක් ජනනය කිරීමට සමත්ය. මෙම කවියෙහි ඇති අනෙකුත් විශේෂත්වය නම් වෙනත් කිසිඳු කවියෙකු කුරුලු පියාපත් පිළිබඳ නොදුටු පැතිකඩක් ආරියවංශ රණවීරට දැකීමට හැකිවීමයි. මීට අමතරව මෙම කවිය මනුෂ්‍ය ජීවිතය හා සම්බන්ධ කර කියවිය හැකිය. සාමාන්‍යයෙන් යමෙකු මියගිය පසු ඔහුගේ ශරීරයේ උණුසුම ක්ෂණයෙන් වියැකෙන්නේ නැති අතර ස්වල්ප වේලාවක් ශරීරයෙහි උණුසුම රඳා පවතී. ඒ අනුව ‘ගිලිහුණ පියාපත’ යනු මියගිය ශරීරයයි; ‘ගමනේ උණුසුම’ යනු ඔහු ගත කළ ජීවන ගමන් මගයි. මෙවැනි පෘථුල අවකාශයක පාඨකයාට සිතීමට ඉඩ කඩ ලබා දෙන්නේ කවියෙහි පිහිටුවා ඇති චිත්තරූපයි. මෙමගින් පැහැදිලි වන්නේ චිත්තරූපවල ඇති ප්‍රබලත්වයයි; සිංහල කෙටි කවීන් එය මැනවින් භාවිත කර ඇති අන්දමයි.

“බැහැ බැහැයි
හිස සැලුව ද
සුළඟ සිඹී කුසුම”

ඉහත සඳහන් වන රණවීරගේ කෙටි කවියෙහිද සජීවී බව ආරක්ෂා වී ඇත්තේ චිත්තරූපයෙහි පවතින ප්‍රබලත්වය හේතුවෙනි. සුළං හැමීම හා මල් සෙලවීම සොබා දහමේ සිදුවන සාමාන්‍ය සිදුවීමකි. එහෙත් කවියා එම සුළඟට හා මලට ප්‍රාණත්වයක් ආරෝපණය කරන්නේ එකී සිදුවීම චිත්තරූප ඇසුරෙන් පාඨකයාට නැරඹීමට හැකිවන අයුරින්ය. එසේම ආරියවංශ රණවීර චිත්ත රූප භාවිතයේදී දක්වන ශක්‍යතාවය පහත කෙටි කවියෙන්ද වටහාගත හැකිය.

“වසා ලන්නට නොහැක
කැලෑවට
කොත් කැරැල්ලේ මුදුන”

මෙම කවියෙහි කැලෑව සහ කොත් කැරැල්ලේ මුදුන ප්‍රධාන චිත්තරූප දෙකයි. අප කැලෑ මැදින් පෙනෙන චෛත්‍යවල කොත් කැරලි දැක තිබේ. එහෙත් කවියා පවසන මෙම සිදුවීම පුළුල් අර්ථයක් ඇසුරෙන් සිතීමට චිත්තරූප මග පාදා දෙයි. කවියා මෙහිදී සඳහන් කරන කැලෑව යනු හුදු භෞතික කැලෑවක් නොවිය හැකිය. එය වර්තමානයේ ධර්මය සම්බන්ධයෙන් සිදුවන විවිධ අවසානාවන්ත, අමනෝඥ හා අන්තවාදී ක්‍රියාවන් විය හැකිය. එහෙත් එවැනි සිදුවීම්වලට ධර්මයේ පවිත්‍ර බව මැඩලිය නොහැකි බවද කවියේ ඇතුළත් ‘කැලය’ හා ‘කොත් කැරැල්ලේ මුදුන’ ය චිත්තරූප ඔස්සේ සිතිය හැකිය.

ජපන් හයිකු කවියේ වූ තවත් සුවිශේෂ ලක්ෂණයක්නම් එපිෆනිය හෙවත් අන්තර්දෘෂ්ටියයි. ඒ ඔස්සේ සිදු කරන්නේ අප ‌නොදැක, නොවිඳ තිබූ දෙයක්, ලෙහෙසියෙන් ළං වීමට නොහැකි දෙයක් අප ඉදිරියට රැගෙන ඒමයි. හයිකු කවියෙහි මෙන් නූතන සිංහල කෙටි කවියෙහිද එපිෆනි ලක්ෂණය අන්තර්ගත කරමින් රචනා වූ කාව්‍ය නිර්මාණ රාශියක් “තුන් පෙති හතර පස් පෙති ” හි සමූපේතව ඇත. සිංහල කෙටි කවියෙහි අන්තර්දෘෂ්ටිය මැනවින් පිහිටවූ කවීන් අතර ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ආරියවංශ රණවීරටය. ඔහු චීන, ජපන් කාව්‍ය සම්ප්‍රදායවල හමුවන සංක්ෂිප්තතාවත් සිංහල කෙටි කාව්‍ය සම්ප්‍රදායේ ස්වභාවයත් මැනවින් අධ්‍යයනය කර නූතන සිංහල කෙටි කවියේ බුහුටිතාව මැනවින් නිර්මාණය කිරීමට දායක වී ඇත. ආරියවංශ රණවීරගේ මුල්කාලීන කාව්‍ය සංග්‍රහවල තැනින් තැන හමුවන කෙටි කවිවල විශිෂ්ටතාව වර්තමානයේ සිංහල කවීන් කෙටි කවි රචනා කිරීමට ප්‍රධාන හේතුවක් විය. පාඨකයාට ක්ෂණික අන්තර්දෘෂ්ටියක් සැපයීම රණවීරගේ කෙටි කවිවල දැකිය හැකි මූලික ගුණාංගයකි. ඔහු විසින් සිතාමතාම කවියෙන් ඇති කරන ලද එම ප්‍රඥා-චමත්කාර ආලෝක කණිකා පාඨකයන්ට ස්වාධීනව සත්‍යය දැකීමට අවශ්‍ය නිදහසත් වර්තමාන කෙටි කවීන්ට කෙටි කවියේ සෞන්දර්යය හා කාව්‍යාත්මය වටහාගැනීමටත් හේතු විය. කෙටි කවිය වැනි කුඩා සාහිත්‍ය ශානරවල අන්තර්දෘෂ්ටිය වැනි විශේෂතා අන්තර්ගත වීම එහි සෞන්දර්යය ශක්තිමත් වීමට හා තීව්‍ර වීමට හේතුවකි.

ක්‍රි.පූ. 3-2 සියවස් කාලයේ විරචිත කොස්ගමකන්ද සෙල්ලිපියේ පටන් සීගිරි ගී, මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ ආදී විදග්ධ සාහිත්‍යයේ වූ සංක්ශිප්ත කාව්‍ය ලක්ෂණ රසවිදිමින් සිටි සිහල පාඨකයා සදහා නවමු ආරයේ හයිකුමය ලක්ෂණ හුරුපුරුදු කිරීමේ ප්‍රමුඛ පුරෝගාමීන් දෙපලක්නම් ආරියවංශ රණවීර හා නන්දන වීරසිංහයි. ඔවුන්ගේ සමූහ පබැදුමෙන් නිමැවුණ “තුන් පෙති හතර පස් පෙති ” වූ කලී සිංහල කෙටි කවිය සදහා විරචිත නව කවි සලකුණකි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment