ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

පාඨකයෙකුට නුවන් ගම්මම්පිලගේ කිසා කෙටි නවකතාව කියවන්නට ආශාවක් ඇතිවීමට හේතුවක් වන්නේ එහි කවර නිර්මාණයයි. සාහිත්‍යය තුළ නුවන් ගම්මම්පිල කවුදැයි දන්නා අය ප්‍රමාණාත්මකව අඩු වුවද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ඔහු ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. කිසා නැමැති ඔහුගේ දෙවන කෙටි නවකතාව තුල ඔහු කියන්නට යන්නේ කුමක්ද? 

ඔහු කතාව ආරම්භ කරන්නේම ආදර සම්බන්ධතාවයක අහිමිවීමක සේයාවක් විඳගන්නට සලස්වන අතරවාරයේ, එම ආදර සබඳතාව තුළින් ලබන වේදනාත්මක සතුටුවීමක අදහසක් දෙන්නට ගන්නා උත්සාහය පාඨකයාට තේරුම් ගන්නට සැලැස්වීම තුළිනුයි. කිසියම් තියුණු කියවීමක ආභාෂය ලද කෙනෙකුට කෘතිය පිළිබඳ අදහසක් ලෙහෙසියෙන්ම ගොඩනගා ගැනීමට හැකිවීම මෙහි ඇති දුර්වලතාවක් ලෙස දකිමි. භාෂාමය ගොඩනැංවීමේදී ඔහු ගන්නා උත්සාහය සැලකිය යුතු මට්ටමක පැවතීම නිසා නුවන්ට තව දුරටත් කෘතිය එක්ක පොර බදන්න පුළුවන් වී තිබේ. 

කතුවරයා කිසා නැමති මහේක්ෂ චරිතයක් සංකේතීයව යොදා ගනිමින් ගොඩනගන්නට හදන ආඛ්‍යානය ඉතා ක්ෂුද්‍ර මට්ටමක පැවතීම නිසා කෘතියේ සමබරතාවය ගිළිහී යයි.

කෘතියේ ප්‍රධාන චරිතය වන දීප්ත විකල්ප පුවත්පතක වැඩකරන ලේඛකයෙකි. අරුණි රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කරන ඉහළ මධ්‍යම පාන්තික තරුණියකි. ඇය විදේශීය අධ්‍යාපනය ලද ඉහළ සංස්කෘතික ජීවිතයකට උරුමකම් ලද්දියක් වන විට, ඊට ප්‍රතිවිරුද්ධව දීප්ත ග්‍රාමීය ජීවිතයක උරුමකම් ලද, කටුක දුෂ්කර දිවියෙන් ගැලවෙන්නට අධ්‍යාපනය වාරුවක් ලෙස යොදාගනිමින් සිටින තරුණයෙකි. ඔහුගේ පැවැත්ම ආත්මීයව බැඳී පවතින්නේ ග්‍රාමීය මූලයන් මත බැවින්, තම මව සහ පියා ගෙවන කටුක ජීවන පැවැත්මෙන් ගොඩගන්නට නාගරික ජීවිතයත්, එහි සමාජ සම්බන්ධතා තුලින් ජීවන මගේ මතු මහලට නැගීමේ උන්නතිකාමී සිහිනයත්, දීප්තගේ ජීවන ආශාවයි. 

ලාංකේය සාහිත්‍යයට මෙවැනි ආඛ්‍යානයන් අභිමුඛවීම අහම්බයක් ද? මෙය සමකාලීන මිනිස් ජීවිතයේ අවිඥානික ආශාව ව්‍යුහගත වී ඇති ආකාරයයි. එසේම සාහිත්‍යයේ නියැලෙන බොහොමයක් ලේඛකයින් ද උන්නතිකාමී සාහිත්‍යයට ආශා කරන්නේ ඇයි ද යන්න අමුතු දෙයක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. එසේම වර්තමානයේ පරිභෝජනවාදය තුළ වඩ වඩා ඇලී ගැලී සිටින්නේ ද මෙම උන්නතිකාමී පිරිස් බව අප අමතක නොකළ යුතුයි. 

සැබෑ කිසා තුළින්ද උන්නතිකාමය ගෙන එන අතරම, ස්ත්‍රිය නැමති ඇයගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පිරිමියා ගන්නා අසාර්ථක උත්සාහයට නාගරික ඉහළ මධ්‍යම පාන්තික සංස්කෘතියේ තරුණියක් ආදේශ කිරිමෙන් පෙර නොවූ විරූ සංකීර්ණතා රාශියකට පාර කපා පිරිමියා වියවුලෙන් වියවුලට පත්කිරීම අවිඥානිකව සිදුවුවත්, එය කෘතියේ යටිපෙලේ සාර්ථකත්වයේ මොහොත තුල ඊට ආලෝකයක් සපයයි. උන්නතිකාමය මේ යුගයේ මිනිස් ආශාවයි, නුවන් කිසා නැමති ලේබලය ගසා ඉදිරිපත් කරන කෘතිය තුළ ආකෘතිමය වෙනස වෙනුවට අන්තර්ගතයට අනන්‍යයවීම තුලින් පාඨකයාගේ මැදිහත්වීම හෑල්ලුවට ලක්කරයි.

පුවත්පත් කලාව වැනි මාධ්‍යයක් තුල දීප්තව ස්ථානගත කිරීමේදී කතුවරයා දක්වන පරිචය ඉතාම දුර්වල මට්ටමක පවතී. කෘතියට අනුව, දීප්ත යනු විකල්ප ධාරාවේ පුවත්පතක වැඩ කරන, අරුණිගේ ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක අරමුණු සහ අභිලාෂයන් රටේ සංස්කෘතික හා දේශපාලනික අංශ කෙරෙහි කුමන ආකාරයේ බලපෑමක් කරන්නේදැයි සෙවීමේ අදහසින් එම පුවත්පතේ කතුවරයා විසින් සැලසුම් සහගතව අරුණි සමග මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට පොළඹවන ලද කෙනෙකු කිරීම මගින් මෙය සරල කතන්දරයකට ඌනනය කර ඇත. විකල්ප පුවත්පත තුළ සිටින දීප්තට වඩා දීප්ත කෙනෙකු අපට කෘතිය තුලින් කියවාගැනීමට සැලැස්වීමට නොහැකිවීමෙන් දීප්තගේ චරිතය බෙලහීන කර තිබේ. මෙය කතුවරයා දැනුවත්ව කිරිමට පෙළඹවීම මත කෘතියේ සමබරතාවය රැකගැනීමට අවස්තාවක් ලබාගනී. 

අරුණිගේ චරිතය අධිනිශ්චය කිරීමත්, ඇය ඉහළ මැද පන්තිය නියෝජනය කරන්නියක වීමත්, විදේශීය අධ්‍යාපනය තුල ශික්ෂිත ලාංකීය ජාතිකත්වය තුළ ගොඩනගා ඇති යටත්විජිත සුදු ජාතික ස්වාමියාගෙන් පැවත එන්නියක් වුවද ජීන්ස් අඳින, නවීන වාහන පරිහරණය කරන, නිදහස් ජීවිතයකට ළැදි සහ නිදහස් ජීවිතයකට උරුමකම් කියන පැරණි පවුලෙන් කැඩී ජීවත්වන, විශ්වීයත්වය තුල සංස්කෘතිකමය ගනුදෙනුවක යෙදෙන ඇය, දීප්තට සංකේතීය කල නොහැකිවීම ඇය තුළම ගොඩනැගෙන්නකි. ඉහළ මැද පන්තික තරුණියක වන අරුණි, ගැහැනියක හා පිරිමියකු අතර ශරීර දෙකක් එකතු වනවාට වඩා දෙයක් සොයයි. එනම්, ඉහළ මැදපාන්තික ගැහැනිය ආදරයේ භාෂාව තුළින් ආදරය කිරීමට සිතක් සොයා යන මොහොතක, ග්‍රාමීය පිරිමියා ආදරය තුළින් හඹා යන්නේ ස්ත්‍රී ශරීරයයි. මෙම විරුද්ධාභාසය හරහා ඇයගේ චරිතය වඩාත් අධිනිශ්චය වෙයි. එසේම, දීප්ත අරුණිට දක්වන දුරස්ථභාවය සහ ඇය හැම විටම දීප්තට ලංවීමට ගන්නා උත්සාහයේදී, ඔහු යම් කිසිවක් කියමින් ඇයට මෙම දුරස්ථතාවය දනවන්නට උත්සාහ ගනී. මෙය මේ දෙදෙනාම නොදැනුවත්ව සිදු වුවද, එය මෙහි ඇති විශේෂත්වයයි. අරුණිගේ ජීවිතයට වඩාත් සමීප නොවීමට ඔහු උත්සාහ නොගන්නේම මෙම සංස්කෘතික පසුබෑම තුළය. දීප්තගේ ජීවිතයේ ඇති ග්‍රාමීය මූලයන් ඇය හොදින් හඳුනා ගන්නා අතර, කෘතිය ගොඩනැංවීමේදී අරුණිගේ චරිතයේ ජීවගුණය රදවා ගැනීමට දීප්තගේ චරිතය යොදාගැනීමේදී නුවන් දක්වන පරිචය ප්‍රසස්ත මට්ටමක පවතී. මෙය වෙනත් හැඩයකට සූචනය කිරිමට කතුවරයා වගබලාගනී. 

අරුණිට අවශ්‍ය ඇයගේ ජීවිතයේ ගොඩනැගෙමින් තිබුණු ඒකාකාරී ජීවන පැවැත්ම තුළ පැවති අතෘප්තිකරබව වෙනුවට ඇයට සහනයක් දෙන, පැවැත්මට තර්ජනයක් නොවන, කීකරු අනෙකෙක්; ඒ තමයි දීප්ත. එසේම, ඇයගේ ආශාව රඟදක්වන්නෙක් ලෙස දීප්ත යොදාගැනීම ඇයගේ අශාවේම දිගුවක්. ඉපැරැණි ග්‍රාමීය හර පද්ධති සහ සංස්කෘතික මූලයන් සමග බද්ධකොට කතාව ගොඩනැංවීමෙන්, එය සාම්ප්‍රදායික සීමාවන් තුළ  හිරවී තිබේ. උදාහරණ ලෙස අරුණි  දීප්තගේ ගමේ ගොස් රැයක් ගත කිරීම, වැවෙන් නාන්නට යෑම, රොට් පුච්චාගෙන කෑම ආදිය පෙන්වා දිය හැකිය. ඇත්තෙන්ම මෙය අරුණිගේ චරිතය තුලින් ගෙන එන්නේම ගොඩනැගෙන ආදර සම්බන්ධතාවට අර්ථයක් ගෙන එන්නට වුවද, අරුණිගේ චරිතය තුළින් ඊට වඩා දෙයක් ඉල්ලා නොසිටීමට කතුවරයා වගබලා ගනී. 

දීප්තගේ පියා වැඩ වර්ජනයට සහභාගි වීමෙන් රැකියාව අහිමිවීම හේතුකොටගෙන මව කුටුම්බ සංරක්ෂණය පටන් ගැන්ම හරහා, ළමා කාලයේ සිට තරුණයෙකු ලෙස ආ ගමන්මගේ මවගේ රැකවරණය හා ආරක්ෂාව තුළ සිටි දීප්ත මවගේ ලෝකය තුල වර්ධනය වූවකු ලෙසද අර්ථ ගැන්වෙන අතර, පාඨකයාට දීප්තගේ චරිතයේ ගොඩ නැගෙන පිරිමියා පිළිබඳ කිසියම් අදහසකට යා හැකිවේ යැයි සිතමි. එසේම, තම ආත්මීය ප්‍රකාශනය කිරීමට යෑමේදී මොනයම් හෝ ජාතික ප්‍රශ්නයක් එයට ඈඳා ගැනීමට පෙළඹී තිබීම ලාංකේය ලේඛකයින් තුළ ඇති රෝග ලක්ෂණයක් බැවින්, නුවන්ටද එයින් ගැලවීගත නොහැකිව තිබේ. එයම අප සිටින තැන සලකුණු කරයි. වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූ පියා ඊට උදාහරණයකි. 

එක් සොඳුරු මොහොතක අරුණි දීප්තගෙන් වෙන්ව, නැවත විදේශගතව, වැඩිදුර අධ්‍යාපනය හදාරා, තමාගේ සැබෑ අනෙකා ලෙස වෛද්‍ය වෘත්තියේ නියුතු කෙනෙකු හා විවාහ වීම තුල ඇයගේ සැබෑ ජීවිතය සොයාගනී. සොබාදහමෙන් වඩ වඩා විතැන් වී සංස්කෘතික ජීවිතයකට පොළාපැන්න මිනිසාට, දියුණු සංස්කෘතික ජීවිතයකට ඇතුළුවීමේ ඉඩහසර අහිමි කරන බාධාව ඇත්තේ බාහිරින් නොව සිය අභ්‍යන්තරයේමය. දීප්තගේත් අරුණිගේත් මිනිස් සම්‍බන්ධතා තුළ ඇති මෙම විරුද්ධාභාසය කිසිදා සංකේතීය කරගැනීමට නොහැකිවීම කතාවේ සාරයයි.

අරුණිගේ සැබෑ ජීවිතය යනු සංස්කෘතික, අර්ථවත්, නිදහස්, සැප පහසු, පරිභෝජනවාදයේ නියාමනයන්ට අනුකූල, විනෝදයේ ගිලී සිටීමක් වන විට, දීප්ත හුදෙක් උන්නතිකාමී තරුණයෙකු පමණි. බටහිර සංගීතය පරිභෝජනය කරන ඉහළ මැදපන්තික සංස්කෘතික අනන්‍යතාවක් ඇති තරුණියකගේ ආශාව හා සමපාතවීමට නොහැකිවීම වඩ වඩා තේරුම් කරවන්නට කතුවරයා අනවශ්‍යය උත්සාහයක් ගෙන තිබීම පාඨකයා හෑල්ලුවට ලක්කරයි.

අරුණි සොයන්නේ ස්මාර්ට් පිරිමියෙකි. ඇයට ප්‍රතිපක්ෂව දීප්ත සොයන්නේ ඔහුගේ ග්‍රාමීය ෆැන්ටසියට හසුවන සහ එහි මූලයන්ගෙන් ශික්ෂිත වූ සාම්ප්‍රදායික ගැමි ගැහැනියකි; නැතහොත් තම මව අහිමිවීමෙන් හටගත් රික්තය පුරවාගත හැකි තම මව වැනි ගැහැනියකි. අවසානයේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවෙහි අතීතයේ විඳි වේදනාභරිත නොස්ටැල්ජික මතකයන් පාඨක ප්‍රජාව සමග බෙදාහදා ගනිමින් කිසිදා විසඳිය නොහැකි ගැහැනියකගේ ආශාවේ උභතෝකෝටිකය පිරිමියා තුළ ඉතිරිකොට තබයි. 


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment