අද්භූත ආගන්තුකයා

අධියථාර්ථමය ආඛ්‍යාන භාවිතා කරමින් ගැඹුරු අරුත් මතු කරන්නා වූ සයිමන් නවගත්තේගමගේ “සංසාරාරණ්‍ය අසබඩ” නම් මෙම ප්‍රබන්ධය නූතනවාදී නවකතාවක් ලෙස ද හඳුනාගත හැකිය. සංසාරාරණ්‍යය අසබඩ නවකතාව ඇරඹෙන්නේ එක්තරා උස් සිරුරක් ඇති දැවැන්ත පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙන ආගන්තුකයෙකුගේ පැමිණීම මුල් කොට ගෙනය. යහපත වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස මේ ආගන්තුකයා විවරණය කරන නවකතාකරුවා ආගන්තුකයා කුමන ආකාරයේ අයෙකුදැයි උපකල්පනය කිරීමට පාඨක පරිකල්පනයට අවකාශ සලසා දී තිබේ. නවකතාව පුරා එන අනෙකුත් චරිත හා සිද්ධි මෙකී ආගන්තුකයා වටා ගෙතෙන අතර, නවගත්තේගම සංසාරාරණ්‍යයට පැමිණි ආගන්තුකයා පමණක් නොව ලොකු හාමුදුරුවන් පවා නිරූපණය කර ඇත්තේ බුද්ධත්වයට පෙරුම් පුරන බෝධිසත්ත්ව චරිත මෙනි.

විචාරකයන් පෙන්වා දෙන්නේ, “සයිමන් නවගත්තේගම මෙවැනි නිර්මාණාත්මක අභ්‍යාසයකින් උත්තමාර්ථයන් බවට පත් කරන මනුෂ්‍යත්වය යුරෝපියානු දාර්ශනික සන්දර්භයන් තුළ වඩාත් සමීප වන්නේ ජර්මන් දාර්ශනිකයෙකු වූ ෆෙඩ්‍රික් නීට්ෂේගේ “Thus Spoke Zarathustra” වැනි කෘතිවල ප්‍රධාන හරය වූ උත්තරීතර මිනිසා (Super human) වැනි සංකල්පයකට ය .” යනුවෙනි.

“දෙගොඩ තලා බස්නා ගංගා සැඩ පාර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමු කොට ඔහු දර්ශනය වූයේ ආරණ්‍යයේ හාමුදුරුවන්ට ය. කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ලෙහි සංයමයෙන් වූ සියලු රාග හ මානයෝ කැළඹී නැඟී සිටියහ. යුගාන්තයක නව පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේය. පුරාණ පරම්පරා විනාශයේ විෂ බීජය ද එය ම විය. ගංගා සැඩපාර හා ආගන්තුකයා ආ විදියෙන්ම ආපසු ගියේ කොයි නම් දිසා මානයකට ද?”

සයිමන් නවගත්තේගමගෙ ගේ නවකතා සෑම එකකම පාහේ තන්ත්‍රයානය පිළිබඳව තිබූ දැනුම කතා සන්දර්භය ගොඩනැගීම කෙරෙහි යොදාගෙන ඇත.”තන්ත්‍ර” යනු නූල් එකිනෙකට බද්ධ වූ වියමන යන්නයි. ඇතැම් අවස්ථාවල ජීවිතය වනාහි අවුල් සහගත එවැනි වියමනක අග මූල සෙවීමක් හා සමාන බව ද අනුමාන කළ හැකිය. කතුවරයා සංසාරාරණ්‍ය අසබඩ කෘතියේ තන්ත්‍රයානය යන වචනය සෘජුවම භාවිතා කර තිබෙන බව හඳුනාගත හැකිය.

විශේෂයෙන් ආගන්තුකයාගේ වැඩි අවධානය තන්ත්‍රයාන පොතපත කෙරෙහි යොමු වන බවත් හාමුදුරුවන්ට වැටහුණි.”යාඥා වල්ක්‍ය තන්ත්‍රය “මඳ වේලාවක් පිරික්සමින් සිටි උන් වහන්සේ…”

සංසාරාරණ්‍යය අසබඩ කෘතියේ ප්‍රධාන ධාරණාව ගලා යන්නේ ගමෙහි ආරණ්‍යය හා වලව්ව පදනම් කරගෙනය. සංසාරාරණ්‍යය අසබඩ කෘතිය ග්‍රාම ව්‍යුහවාදීව කියවිය යුතු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. එනම් ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනඟන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගන්නා ආකාරය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළින් හඳුනාගත හැකිය. නවගත්තේගම පාදක කරගත් ග්‍රාම ව්‍යුහ සහ පෙර කී ආකාරයේ අධියථාර්ථවත් සිදුවීම් සියල්ල එම ගමෙහි සාමාන්‍ය වැසියාට සාමාන්‍යකරණය වූ සිද්ධීන් ලෙස පැහැදිලි කරයි. මෙය වූ කලී යුරෝපීය නවකතාවේ එන මායා ඉන්ද්‍රජාලිකත්වය හෝ අධියථාර්ථය නොවන අතර, චිරන්තන සිංහල සාහිත්‍ය විද්‍යාවේ පවා අතිශය සාමාන්‍යකරණය කරන ලද ප්‍රබන්ධ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය.

සයිමන් නවගත්තේගම සිය කෘතිය රචනා කිරීමේදී තන්ත්‍රයානික ආභාසය ලබාගෙන ඇති බව හඳුනාගත හැකිය. මෙම ප්‍රබන්ධයේදී ස්ත්‍රී චරිතවලට දේවත්වයක් ආරෝපණය කර ඇති කතුවරයා ගමේ වලව්වේ ළමා තැනී දේවත්වයෙන් උත්තරීතර තත්ත්වයට පත් කරන්නේ තාන්ත්‍රික බුදුසමයේ දැක්වෙන මාතෘ දෙවඟන සංකල්පය සිහි කරවමිනි. ළමාතැනී මනුෂ්‍ය ස්ත්‍රියක් වුවත්, තම පුරුෂයා හැර අන් අයෙකු හා කම්සැප ලැබුවා වුවත්, ඇයව උත්තරීතර දේවත්වයේ පිහිටුවීමට ඉඩ ලැබෙන්නේ තාන්ත්‍රක දහමෙනි. එනයින් කතුවරයා මෙම චරිත නිර්මාණයේදී තන්ත්‍රයානික දහම උපයෝගී කොටගෙන ඇති බව හඳුනාගත හැකිය.

දේවතාවිය ළමා තැනීගේ රුවින්ම යුක්ත වන්නීය.”

ථෙරවාදී සම්ප්‍රදායට අනුව බුද්ධත්වය සඳහා සෑම පුද්ගලයෙකුම පෙරුම් පුරන්නේ නැත. එහෙත් තන්ත්‍රයානයට අනුව සෑම මනුෂ්‍යයකුම සතුව බුද්ධ බීජ පවතින අතර සියල්ලෝම බෝධිසත්වයෝය. ඔවුන් පෙරුම් පුරන්නේ ද උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීමටය. එසේ බුද්ධත්වය සඳහා පෙරුම් පුරන බෝධිසත්වයන් තම ජීවිතය කැප කරන්නේද අනුන්ගේ සුඛ විහරණය සඳහාය. ඒ පිළිබඳව නවගත්තේගම සිය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළ දක්වන්නේ මෙසේයි.

අනන්ත අප්‍රමාණ වූ සියලු බෝධිසත්වයින් වන්නා වූ ඔබට ද ගෞරව පිණිස වේවා…!”

“…ඇස් පියාගෙන භාවනාවෙහි නිරතව සිටිය නොහැක්කේය. අපගේ පැවැත්මෙහි අර්ථය වනුයේ ගිහි වූ උපාසක වූ ඇත්තන්හට පරලෝ සඳහා පිනක් දහමක් කොට ගැනීම සඳහා පැවතීමකියි කෙසේ නම්, ගම් දරුවනට නො දරුවනට සිද්ධවන්නා වූ හෝ හෙට දින සිදුවන්නට යන්නා වූ විපත්තියකට දුක්ඛ දෝමනස්සයකට උදාසීනව අහක බලා සිටීමට අපට හැක්කේ ද?”

සංසාරාරණ්‍යය අසබඩ කෘතියේ දක්නට ලැබෙන සුවිශේෂීත්වය නම් මහායානය හා එහි අංගයක් වූ තන්ත්‍රයානයට අදාළ මතවාද පිටු ගණනින් දක්වා තිබීමයි. මෙහිදී නවකතාකරුවා ආගමික හා දාර්ශනික මතවාදයන් කතා පුවතේ තේමාව වඩාත් දියුණු කිරීම සඳහා භාවිතා කර තිබේ. ගමේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සෑම දෙයක් පිළිබඳවම උපේක්ෂා සහගතව ලොකු හාමුදුරුවන් බලා සිටින අතර ගම්වැසියන් ඒ කෙරෙහි දක්වන්නේ කලකිරීමකි. මෙහි ලොකු හාමුදුරුවන්ගේ චරිතය යොදා ගනිමින් කතුවරයා උත්සාහ ගෙන ඇත්තේ බෝධිසත්ත්ව සංකල්පය නැතහොත් තාන්ත්‍රික දර්ශනය ගෙනහැ දැක්වීමටයි.

“ඔව්, ධර්මිෂ්ඨ, අධර්මිෂ්ඨ දෙගොල්ලොම මරාගෙන මැරුණා ම ගම පාළු වෙයි. මේ ආරන්නේ විතරක් ඉතුරු වෙයි. ඔබ වහන්සේට පුළුවනි එතකොට නිස්කලංකව භාවනා කරලා තනියම නිවන් යන්ඩ.”

මෙම කෘතියේ දක්නට ලැබෙන ප්‍රධාන සංකල්පයක් ලෙස ශූන්‍යතා සංකල්පය හඳුනාගත හැකිය. එනම් ශූන්‍යතාවය යනු හේතුවක් නිසා හටහට ගන්නා සෑම දෙයකටම අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවක් පවතින බවයි. මෙම කෘතිය පුරාවටම නවකතාකරුවා ශූන්‍යතා දර්ශනයෙහි ඉගැන්වෙන අන්‍යොන්‍ය ප්‍රතිබද්ධතා සංකල්පය ඇතුළත් කර ඇති ආකාරය හඳුනාගත හැකිය.

“අප මවුකුස සිටිද්දී දිගු නටුවක් වශයෙන් පෙකණිවැල පැවතියේය. එය අපේ පෝෂණයට අවශ්‍ය සෑම සියලු වාතය ද ඕජස් ද ආහාර පානද සැපයීය. අවාසනාවකට මෙන් අප උප්පත්තිය සිදු වූ දිනයේදි මෙම මෙම පෙකණිවැල ඡේදනය කරනු ලැබීය. ඉන් පසු අපි ස්වාධීන යැයි මායාවක ගිලී ගත්තෙමු. ලෝක යතාර්ථයට ප්‍රාදූර්භූත වූ සුබ මොහොත හා දින යැයි නැකැත් ශ්‍රාස්ත්‍රානුකූලව ජන්මපත්‍රයක් එම සුභා සුභ මොහොතට දීර්ඝ කාලයකට පසුව ද අපි අපගේ මාතාවගෙන් යැපුණෝ නොවෙමු ද ? මහීකාන්තාව ද අපගේ මෑණියෝය. මහා පෘථිවිය හා අපි අනන්තවත් පෙකණිවැල මගින් එකට ගැට ගසනු ලැබ සිටින්නෙමෝය. ලක්ෂ ගණන් නූල්හූය අප හා විශ්වය එකට ගැට ගසා බැඳ තබන්නේ නො වේ ද? ඔබ හා මම අතර වන්නා වූ බන්ධනය පිළිබඳ ව ඔබට වැටහීමක් නොමැත්තෙහි ද ?

 ඔබ නොපවතින්නෙහි නම් මම ද නො පවතින්නෙම්  වෙමි.”

සංසාර චක්‍රය තුළ මිනිසාගේ පැවැත්ම හා එහි සංදෘෂ්ටික සභාවය වෙනස් නොවන බව හෙවත් පුනරාවර්තනය, නැතිනම් එකම දේ යළි යළි සිදුවීම යන අවස්ථා මගහැර යා නොහැකිය යන සංකල්පය නවකතාකරුවා තවදුරටත් මේ හරහා ගෙන එයි.

ඔබ නැවතත් අසන්නේ මීට පෙර ද ඇසූ ප්‍රශ්නයම වෙනත් ආකාරයකින්, පුත්‍ර.සංසාරේ පුද්ගලයා චක්‍රයක් වටා නැවත නැවත දුවමින් නැවත නැවතද එකම කඩයිම් පසු කරමින් සිටින්නේ යැයි කියන්නේ මෙයයි.”

යෝගීන් තම මනස දියුණු කිරීමෙන් අනතුරුව ධර්මය මනසින් මනසට සම්ප්‍රේෂණය කිරීම වැනි ගූඪ කාරණා තන්ත්‍රයානීය ධර්මය තුළ ඉගැන්වේ. නවගත්තේගම මේකී කාරණා සංසාරාරණ්‍යය අසබඩ කෘතිය රචනා කිරීමේදී යොදා ගෙන තිබෙන හඳුනාගත හැකිය. ආරණ්‍යය අසල ජීවත් වූ බණ්ඩප්පුගේ කොණ්ඩය හැඩපළු ගැසීමේ සිද්ධිය හා සම්බන්ධ සිහිනය, බණ්ඩප්පුට සිහිනෙන් ආරණ්‍යයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ පවසන කාරණාව, ලොකු හාමුදුරුවන් හා ගමට පැමිණෙන ආගන්තුකයා අතර ඇතිවන මනසින් අදහස් හුවමාරු වීම මේ සම්බන්ධ සිද්ධීන් ලෙස හඳුනාගත හැකිය.

ආගන්තුකයාගේ බෝධිසත්ව ලක්ෂණයන් ප්‍රකට කරවන නවකතාකරුවා ඔහු තන්ත්‍රයානය ඇතුළු බුදුදහම හදාරන්නෙකු වුවද කම්සැප ප්‍රතික්ෂේප නොකරන බව පෙන්වා දෙයි. එහිදී නිර්මාණය තුළ ඇතැම් අවස්ථාවල දේවත්වයෙන් නිරූපණය වන ආගන්තුකයාත්, දෙවඟනක් සේ විවිධ අවස්ථාවල නිරූපණය කරන ළමාතැනීත් අතර ඇතිවන්නා වූ කායික සම්බන්ධතාවය පෙන්වාදිය හැකිය.

දේවතාවද තෙවඟනද ආගන්තුකයා හා ළමා තැනී ගේ මුහුණුවරින්ද ඇඟපතට සමානවද සිටිනු දැකීමෙන් ඈ තුළ විස්මයක් හට ගත්තේ නැත.”

සංසාරාරණ්‍යය අසබඩ කෘතියේ ප්‍රධාන කථානායකයා ආගන්තුකයා යි. බෝධිසත්ව ලක්ෂණවලින් යුක්ත වූ මොහු තාත්ත්‍රික හා මහායානික සංරක්ෂණ හා ඉගැන්වීම් ඉදිරිපත් කිරීමේදී නවකතාකරුවා විසින් යොදා ගත් ප්‍රබල සංකේතයක් ලෙස හඳුනාගත හැකිය. ඒ පිළිබඳව ආරණ්‍යයෙහි වැඩවසන ලොකු හාමුදුරුවන් විටින් විට කියවන පුස්කොළ පොත් උන්වහන්සේට ප්‍රථම ආගන්තුකයා විසින් කියවා අවසන් කර තිබීම තුළින් පෙන්වා දෙයි.

“මෙම පුස්තකය ද ආගන්තුකයා අතින් කළුමැදී තිබුණි තිබුණි. එයින් හැඟෙන්නේ ඔහු ද පොත්ගුලේ බොහෝ වූ පුස්තක අතරින් මෙය ද නැවත කියවමින්, සුළු මොහොතකට හෝ බුද්ධිය වශයෙන් භුක්ති විඳ සිටි බවයි.”

එනයින් සයිමන් නවගත්තේගම සිය නව කතාවේ පසුබිම හා අන්තර්ගතය නිර්මාණය කිරීමෙහිලා තාත්ත්‍රික හා මහායාන ඉගැන්වීම් උපයෝගී කරගෙන ඇති අතර, සංසාරාරණ්‍යය අසබඩ කෘතිය යථාර්ථවාදී පරිකල්පනය ඉක්මවමින් ද්‍රව්‍යලෝකයේ විය නොහැකි අධි යථාර්ථයන්, පරිකල්පනයන් යොදා ගනිමින් රචනා කර ඇති බව ද හඳුනාගත හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment