ලොව පුරා වැඩිම ආදායම් වාර්තා තබමින් භාෂා ගණනාවකට පරිවර්තනය වූ සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist ) ඇතුළුව බ්‍රීඩා (Brida), වෙරොනිකා මැරෙන්න තීරණය කරයි (Veronika Decides to Die) ආදී කෘති ගණනාවක් රචනා කරන ලද්දේ ලෝක සාහිත්‍යයේ වැදගත් නමක් සනිටුහන් කළ බ්‍රසීලියානු ලේඛක පාවුලෝ කොයියෝ විසිනි. කොලරා කාලේ ආලේ වැනි විශිෂ්ට නවකතා ලියූ ගාබ්රියල් ගාර්සියා මාර්කේස්ට පසුව වැඩිම පාඨක අවධානය දිනාගත් ලේඛකයා බවට පත් වූ කොයියෝගේ තවත් විශිෂ්ට කෘතියක් ලෙස “මිනිත්තු එකොළහේ කතන්දරය” (Eleven Minutes) හඳුනාගත හැකිය. රුවිනි තල්පාවිල විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම කෘතිය හරහා කොයියෝ අප්‍රකාශිත ලිංගික ආශාවේ දොරගුළු විවර කරන්නට සමත් වී ඇති බව හඳුනාගත හැකිය.
බ්‍රසීලයේ කුඩා ගමක ජීවත් වූ මරියා නම් තරුණිය ස්විට්සර්ලන්තය වෙත පැමිණෙන්නේ සිය ජීවිතය තවදුරටත් වඩා යහපත් සහ අර්ථවත් කරගැනීමටත්, මුදල් ඉපයිමේත් අරමුණිනි. ප්‍රේමය, සැබෑ ජීවිතයේ තෘප්තිය සොයා ගිය මරියාට සිය ජීවිතකාලය පුරාම මුහුණදීමට සිදුවන්නේ කටුක වූ වෙනත් අත්දැකීම් වලටයි. මෙකී ජීවන සංචාරය තුළ මරියා ජිනීවා නුවර “කොපකබානා”හි සිය සිරුර අලෙවි කිරීම සිය වෘත්තිය වශයෙන් තෝරාගනියි. මරියා නම් ගණිකාව සිය තෘප්තිමත් ආත්මය සොයා යන මෙකී ආධ්‍යාත්මික චාරිකාව මුල්කොට ගනිමින් කොයියෝ ලිංගිකත්වය සහ ලිංගික සබඳතා යන තේමාව ගැඹූරින් නිරූපණය කරන්නට සමත් වී තිබේ. මෙම තේමාව කෙරෙහි අවධානය යොමුකරන විචාරකයින් පෙන්වා දෙන්නේ මිනිත්තු එකොළහේ කතන්දරය අතිවිශාල වැදගත්කමකින් යුතු නවකතාවක් වන අතර මතුපිටින් එය ගැහැනියකගේ ලිංගික හා කාමුක තෘප්තිය සමඟ කටයුතු කරන නමුත් සුරතාන්තයේ සැබෑම සතුට, නිර්මල ප්‍රමෝදයේ ගැඹුරටම යාමට උල්පතක් වන්නේ කෙසේදැයි යන්න පෙන්වාදෙන බවයි.
මෙම නවකතාව පුරාම දක්නට ලැබෙන අනෙකුත් සුවිශේෂීත්වය නම් උත්තම පුරුෂ සහ ප්‍රථම පුරුෂ යන දෘෂ්ටිකෝණ දෙකම භාවිතා කරමින් රචනා කිරීමයි. එහිදී කතාව ලේඛකයාගේ මාර්ගයෙන් ගෙනහැර දැක්වීම,
“එකෝමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා…”
මෙන්ම මරියාගේ දිනපොත මාර්ගයෙන් තම ජීවිත කතාව ගෙනහැර දැක්වීම ද හඳුනාගත හැකිය.
“මගේ පරමාර්ථය වුණේ ආදරය හඳුනා ගැනීමයි. ආදරය කරන කොට කොච්චර ජීවයෙන් පිරී යනවද කියලා මම දන්නවා. කොහොම වුණත් බොහෝ ප්‍රියජනක ලෙස පෙනෙන ගොඩාක් දේවල් ගැන මම දන්නවා.”
මරියාගේ චරිතය යොදාගනිමින් ගැහැනියකගේ හැඟීම් විස්තර කිරීමට කොයියෝ දක්වන සමත් බව මෙහි අනෙකුත් සුවිශේෂීත්වයයි. එනම් ගැහැනියකගේ හැඟීම් අපූරුවට විවරණය කරනු ලබන්නේ පිරිමි ලේඛකයෙකු විසිනි. මිනිත්තු එකොළහේ කතන්දරයෙහි එන මරියා වූ කලී ශුද්ධ වූ බයිබලයෙහි එන මරියා හෙවත් මාතෘත්වයේ සංකේතය වූ කන්‍යා මරියතුමියත්, යේසුස් වහන්සේගේ දෙපා කඳුළින් දොවා කෙස් වැටියෙන් පිස දැමූ බව කියැවෙන මරියා මග්දෙලේනා නම් වෛශ්‍යාවත් සංකේතවත් කරන්නාවූ “පාරිශුද්ධත්වය හා පාපය” යන ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වයෙන් ගොඩනැගුණු ගැහැනියකගේ නිරූපණයක් ලෙසද විචාරකයන් පෙන්වා දෙයි.
මරියා කුඩා අවධියේ පටන් විවිධාකාර ආකර්ෂණයන් වෙත බැඳීගිය ආකාරය, ඒ හැම අවස්ථාවකදීම සැබෑ සෙනෙහස, ආදරය සහ විඳීම සොයායෑමේ මෙහෙයුමෙන් පරාජය වන ආකාරය කොයියෝ කතාව පුරාවට විස්තර කරනු ලබන්නේ අතිශය සංවේදී මෙන්ම සිතුවිලි බද්ධ වූ ශෛලියක් උපයෝගී කරගනිමිනි.
“ඇය දැඩි ශෝකයෙන් යුතුව කාලය ගත කලා…මරියාට ලෝකෙ විශාල එකක් විදිහට පේන්න පටන් ගත්තා. ආදරය කියන්නේ හරිම අනතුරුදායක දෙයක්.”
මරියා පළමුවර ප්‍රේමයෙන් බැඳෙන්නේ වයස අවුරුදු එකොළහේදීයි. මරියාගේ මඟහැරීම හේතුවෙන් ඇගේ ප්‍රේමය ඇයට අහිමිවන අතර අනතුරුව ඇය ප්‍රේමය දකින්නේ ඉතා අනතුරුදායක දෙයක් ලෙසයි. දෙවනවරට ද ප්‍රේමයේ බිඳවැටෙන මරියා ප්‍රේමය දකින්නේ දුක් විඳීමට හේතුවක් ලෙසයි. ප්‍රේමයේ කලකිරීම් හා අසාර්ථකවීම් ඉදිරියේ තවදුරටත් මරියා ප්‍රේම සම්බන්ධතාවයකට නොපැමිණීමට තීරණය කරන අතර ජිනීවා වෙත පැමිණීම, සම්බා නර්තන ශිල්පිනියක් බවට පත්වීමේ සිට රැකියාව අහිමිවීම ,අරාබි පෙම්වතා මුණ ගැසීම සහ අනතුරුව ගණිකා වෘත්තියට පිවිසීම දක්වා මරියා මුහුණ දුන් දුෂ්කරතා සහ අභියෝග ආදී සියල්ල ඇගේ සැබෑ ඉරණම සොයා යෑමට උපකාරී වෙයි.
“සියල්ලටම වඩා අන්තිමේ දී ඇයත් එකම කුසලානයකට තරඟවදින ප්‍රතිවාදියෙක්, තරඟකාරියක්. දුකෙන් තැවෙනවා වෙනුවට ඇයට ආඩම්බරයක් දැනුණා.ඇය ඈ සදහාම සටන් වැදුණා.තවදුරටත් ඇය අසරණ කෙනෙක් වුණේ නැහැ.”
කොයියෝ මරියාගේ චරිතය කේන්ද්‍රය බවට පත්කර ගනිමින් හුදු ලිංගික තෘප්තිය පරමාර්ථයක් බවට පත් වී ඇති සමාජයේ “අනෙකා පිළිබඳ සංකල්පය” යොදාගනිමින් ගණිකාවක් සහ සමාජය අතර ඇති සම්බන්ධය මනාව පිළිඹිබු කරයි. ගණිකාවක් තම ලිංගික තෘප්තිය සඳහා භාවිතයට ගන්නා පුද්ගලයන් අතින් නිරන්තරයෙන් නින්දාවට සහ අපකීර්තියට මුහුණදෙයි. මිනිත්තු එකොළහේ කතන්දරය තුළ සූරාකන්නන්ගේ භූමිකාව “සමාජය” මඟින් නිරූපණය කරන අතර මරියාගේ චරිතය තුළින් තවදුරටත් මනුෂ්‍යත්වයේ අර්ථය ප්‍රශ්න කිරීමට ලක් කරයි.
“ලිංගිකත්වය කියන එක ඇගේ ජීවිතයට කිසිවක් එකතු කළේ නැහැ. ඒක කකුල් දෙක පළල් කරන, ඔවුන්ට කොන්ඩමයක් පළඳින්න කියන, හොඳ ටිප් එකක් බලාපොරොත්තුවෙන් ටිකක් කෙඳිරි ගාන,ඇගේ ආත්මය සෝදා පිරිසිදුවේ යැයි සිතමින් අනතුරුව ඇඟ සෝදා ගන්න එකත් විතරයි. සාමාන්‍ය දෙයක් හැරෙන්න කිසිදු සිප ගැනිමක්වත් සිදුවුණේ නැහැ. ගණිකාවකට සිප ගැනීම ශුද්ධ වූ දෙයක්.”
සමාජයීය වශයෙන් පිළිනොගත් වෘත්තියක් වන ගණිකා වෘත්තිය සහ ගණිකාව යන භූමිකාවන් පිළිබඳව මරියාගේ චරිතය යොදා ගනිමින් කොයියො තවදුරටත් ඒ පිළිබඳව මෙනෙහි කිරීමට පාඨකයා පොළඹවයි. මරියා විසින්ම තෝරාගන්නා ලද මෙම වෘත්තීය ත්‍රාස්‍යජනක හා ගවේෂණාත්මක වෘත්තියක් විය හැකි යැයි ඈ බලාපොරොත්තු වෙයි. කොයියෝ තව දුරටත් මෙම කෘතිය හරහා පාරිශුද්ධ ගණිකා වෘත්තිය පිළිබඳව ද අර්ථකථන සපයයි. එය වූ කලී ආගන්තුක ක්‍රියාවක් ලෙස හෝ ආගමික සංවිධානයකට පරිත්‍යාගයක් ලෙසින් ලිංගික ක්‍රියා සැපයීමයි.
මිනිත්තු එකොළහේ කතන්දරය තුළින් කොයියෝ කාමුක ප්‍රේමය හා පූජනීය ප්‍රේමය පිළිබඳව අර්ථකථන සපයයි. විචාරකයින් පෙන්වා දෙන්නේ මිනිත්තු එකොළහකින් කොයියෝ ආදරය හා ලිංගිකත්වය, දේවත්වයේ උද්‍යෝගිමත් ක්ෂේත්‍රයට ඔසවා තබන බවයි. එහිදී මරියා නම් චරිතය යොදා ගනිමින් ලිංගිකත්වය හා ආදරය පිළිබඳව කතිකාවක් ගොඩනඟමින් ඒවා අතර වෙනස ගවේෂණය කිරීමටත් සදාචාරයේ හා ධාර්මික ජීවන රටාවේ විවිධ හේතූන් ප්‍රශ්න කිරීමටත් ලක් කර තිබේ.
“මිලියන ගණනක් ජෝඩු දිනපතා පරපීඩා හා ස්වපීඩා කාමුකත්වයේ කලාව ඒ ගැන අවබෝධයක් නැතුවම ප්‍රගුණ කරලා තියෙනවා.ඔවුන් රැකියාවට ගිහින් ගෙදර එනවා.හැම දෙයක් ගැනම මැසිවිලි නගනවා.”
“මම ගිමන් හල ඉදිරිපිට වාඩිවී සිටිද්දී
මම, ඉෂ්කා, දෙවඟන
ගණිකාව, මව, බිරිඳ, දේවත්වයයි”
මිනිත්තු එකොළහේ කතන්දරය තුළින් ගණිකාවට අනෙකා සලකන ආකාරය සහ ඇය පිරිමින් විසින් භාවිතා කළ යුතු වස්තුවක් හෝ භාණ්ඩයක් බවට පත්කර ගන්නා ආකාරය විස්තර කිරීමට කොයියෝ වස්තුකරණ ක්‍රියාවලිය භාවිතා කරයි. කතන්දරය ආරම්භයේදීම මරියා නිරූපණ වෘත්තීය සඳහා ගැහැනු ළමයින් බඳවා ගන්නා නිරූපණ ආයතනයකින් සම්බන්ධ කර ගනිමින් පසුව ඇය ගණිකා වෘත්තියට යැවීම හෙවත් මුදල් ඉපයීමේ අරමුණින් වෙළඳ භාණ්ඩයක් ලෙස මෙම ගැහැනු ළමුන් භාවිතයට ගනී. ආකර්ශනීය මුදල් ලබා දීම මත මරියාද අරාබි ජාතිකයා සමග යහන්ගත වන්නට කැමති වන්නේ මෙකී වස්තුකරණ ක්‍රියාවලිය නිසාවෙනි.
“ඔයා මාත් එක්ක මොනවා හරි බොන්න මගේ කාමරයට එනවා නම් මම ඔයාට ෆ්‍රෑන්ක් දාහක් දෙන්නම්.”
“මට කිසිදු වැරදිකාරී හැඟීමක් දැනෙන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ ගෑනු ළමයි මිනිස්සුත් එක්ක මුදල් වලට ඇඳට ගියේ වෙන කරන්න දෙයක් නැති හින්දා කියලයි. ඒත් මම දැන් හිතන්නේ ඒක එහෙම නෙවෙයි කියලයි. මට තිබුණා ඒක පිළිගන්න බැරිනම් ප්‍රතික්ෂේප කරන්න කවුරුත් මට කිසිවක් කරන්න බල කලේ නැහැ.”
“මට පුළුවන්කම තිබුණා එයාට පෙන්වන්න එයාගේ ඉස්සරහින් වාඩිවෙලා ඉන්නේ ඔහු විසින් ආදරය යැදිය යුතු කුමාරිකාවක් මිසක් මිලදී ගන්න පුළුවන් ගැහැනියක් නොවන බව.”
කිතුණුවන් සියල්ල දෙස අවධානය යොමු කරන්නේ දේව කැමැත්ත සහ කිතුණු දහමේ විවිධ වූ සංකල්ප මුල් කරගනිමිනි. කොයියෝ මෙකී දේවවාදී සංකල්පයන්, පවතින සමාජ තත්ත්වය තුළ අත්දකින දුෂ්කරතාවයන් විවරණය කිරීම සඳහා භාවිතා කරයි. ගණිකාවක් ලෙස රැකියාව තෝරා ගැනීම මරියාගේ තීරණය වුවත්, එය වූ කලී අත්‍යන්තයෙන්ම පවත්නා සමාජ ආර්ථික ක්‍රමයේ ව්‍යාපාරික සැලැස්මකි. මෙහිදී ආගමික සංකල්පය ගෙනයමින් සියලු සැලසුම් දේව කැමැත්ත ලෙස අර්ථ දක්වයි. එනයින් කතාව පුරාවටම මරියානම් ස්ත්‍රිය තුළින් යේසුතුමාගේ මව හා මරියා මග්දලේනා ගණිකාව යන ද්විත්ව පැතිකඩයන් දෙකම සංකලනය කරමින් නිර්මිත බව දැකිය හැකිය. බොහෝ අවස්ථාවලදී කොයිියෝ මරියා නම් ගණිකාව මරියතුමිය හා සම්බන්ධ කරමින් ක්‍රිස්තියානි ආගම තුළ ස්ත්‍රීවාදී කියවීමක් කර ඇති බව හඳුනාගත හැකිය.
“ඉන්පසු එළැඹි නව වන සිකුරාදා දින ඇගේ ආගමේ සිරිතට අනුව සත්ප්‍රසාදය මංගල්‍යයට සහභාගී වී මරිය තුමියගෙන් ඉල්ලා සිටියා ඇයව කොහේ හෝ ඈතකට අරන් යන ලෙස.”
“ඇය කන්‍යා මරියතුමිය නැත්නම් යේසුස් වහන්සේගේ මවට සමාන වුණා. ඇගේ අසලින් සිටි ඒ නොපෙනෙන ගැහැනිය ඇය සමග පෙර ලා සිනා සී ඇයට පරිස්සම් වන ලෙසත්, දේවල් ඇය සිතා සිටිනා තරම් පහසු නොවන බවත් කිව්වා.”
ගණිකා වෘත්තිය වූ කලී ලෝකයේ පැරණිතම වෘත්තයක් ලෙස සැලකුවද, ශරීරය විකිණීම පාපයක් ලෙස දකින අධිපතිවාදී ආගමික සදාචාරය විසින් සැම විටම එය ආන්තීකරණයට හා අවමානයට ලක් කරනු ලැබීය. මාතෘත්වය නියෝජනය කරන කන්‍යා මරියතුමිය පාරිශුද්ධ වන්නේ වන්නේද මරියා මග්දෙලේනා නම් ගණිකාව පාපකාරී ස්ත්‍රියක් ලෙස හංවඩු ගසන්නේද එබැවිනි. රෝමානු කතෝලික සදාචාරයේ එන කන්‍යා මරියතුමිය මරියාගේ මනසෙහි විනිශ්චයකාරිය බවට පත්වෙමින් ගණිකාවක් ලෙස ජීවත්වීම තුළ සමාජයෙන් එල්ල විය හැකි අවමානයන් පිළිබඳව මතක් කර දෙයි. නමුත් තව දුරටත් එකී අවවාදයන්ට පිටුපාන මරියා ෆ්‍රෑන්ක් තුන්සිය පනහකට පිරිමින් හා සයනයට යයි.
“පාපයක් නොමැතිව පිළිසිඳ ගත් මරිය තුමියනි. ඔබ වෙත පැමිණෙන අප වෙනුවෙන් යාඥා කරනු මැනවි, ආමෙන්..”
වෙළඳපොළ ධනවාදය තුළ සියලු ශුද්ධ වූ වස්තූන් මුදල මත පදනම් වන ආකාරය පෙන්වා දෙන කොයියෝ, මරියා ප්‍රථම වරට තම ශරීරය මුදලට අලෙවි කරන්නට තීරණයක් ගැනීම සඳහා කරන මානසික අරගලය ප්‍රබල ලෙස නිරූපණය කරයි.
“එපා! ඒක කරන්න එපා. මට තව වයින් ටිකක් වත් කරන්න. මට ටිකක් අඬන්න ඕන.”
ආගමික සදාචාර හා සම්ප්‍රදායන් විසින් සමකාලීන මිනිසාගේ ජීවිතයේ සම්මතයන් තීරණය කරන කාලවකවානුවක, මරියා මෙකී සදාචාරවාදී නීති රීති කඩා බිඳ දමමින් සිය ජීවිතයේ අසීමාන්තික ආශාවන් සහ නිදහස සොයා සාන්දෘෂ්ටික චාරිකාවක නිරත වෙයි. මරියාගේ දිනපොතෙන් උපුටා දක්වන සටහන් මෙන්ම, මරියාගේ ආත්ම කථනයන් තුළින්ද ඇගේ ජීවිතය පිළිබඳ ගැඹුරින් පාඨකයා වෙත ගෙන හැර දක්වයි. තමා මුල් වරට ඔසප් වූ දිනයේ උදෑසන අවදි වී බලන විට දෙපා අතර ලේ තැවරී තිබෙනු දැක තමා මිය යනු ඇතැයි බිය වූ හැටි, මුල්වරට පිරිමි ළමයකු සිප ගත් දිනයේ ඇතිවූ හැඟීම්, මුලින්ම ස්වයං වින්දනයේ යෙදුණ දිනයේ සිය ආත්මය එක් මොහොතකට ස්වර්ගස්ථ වූවාක් මෙන් දැනුණු සුරතාන්තමය ප්‍රමෝදය, තරුණ වියේදී පෙම්වතෙකු හා පැවැත් වූ ශාරීරික සම්බන්ධතාවයෙන් ඇගේ කන්‍යාභාවය අහිමි වූ හැටි ආදි ඇගේ ජීවිතය හා බැඳුනු මතක රැසක් දිනපොත පුරාවට ඉදිරිපත් කරයි.
“ඔව්, මට දැනේවි මම උගුලකට අහුවෙලා කියලා. දරුණු විදිහට අසනීප වෙලා කියලා. හැම වංගුවකදීම භීතියෙන් ඇළලී යාවි. එයින් පලායාමට උවමනාවේවි. ඒත් මගේ දෛවය වන්නේ නම් දෙවියන් වහන්සේ ඒ යන්ත්‍රය මෙහෙයවනවා නම් මේ බියකරු සිහිනය ප්‍රමෝදයට පත් එකක් වේවි…”
ස්විස් ෆ්‍රෑන්ක් තුන්සිය පනහකට හැම රෑකම පිරිමියෙකු හා සයනට යන මරියා එහිදී පිරිමින්ගේ විපරිත ලිංගික ආශාවන් අත්විඳියි. බොහෝ ඉහළ මධ්‍යම පාන්තික පිරිමින් සිය ජීවිතයේ අසංතෘප්තික තනිකම පිළිබඳව ඇය ඉදිරියේ පාපොච්චාරණය කරයි. තවත් පිරිමින් ඇය ඉදිරියේ සිය පිරිමිකම ඔප්පු කරන්නට නොහැකි වේ යැයි චකිතයෙන් පසුවෙයි. සිය ගනුදෙනුකරුවන් සමග විනාඩි හතළිස් පහක් පමණ ගත කරන මුත් සැබෑ ලිංගික සම්බන්ධතාවය සීමාවන්නේ මිනිත්තු එකොළහකට පමණය. ඉතිරි සම්පූර්ණ කාලය වැය කරන්නේ ඇඳුම් ඇඳීමටත් ව්‍යාජ ලිංගික ඉරියව් කිහිපයක් කිරීමටත්ය.
“එක රෑකට ? ඔහ්…අයියෝ මරියා, ඔයා අතිශයෝක්තියෙන් කතා කරන්නේ. ඔයා ඇඳුම් ගලවන වෙලාවත්, ආදරය පෙන්නන්න කරන ව්‍යාජ කතාබහකටත්, ආපසු ඇඳුම් ඇඳගන්න යන වෙලාවත් ඇරුනහම ලිංගික කටයුත්තකට ඇත්තටම ගතවෙන්නේ මිනිත්තු එකොළහක් විතරයි.”
මෙසේ යන ගමන් මගේ හමුවන රැල්ෆ් හාට් හා ටෙරන්ස් හරහා මරියා ජීවිතය ඉගෙන ගන්නට කටයුතු කරයි. රැල්ෆ් ඇයට ආධ්‍යාත්මික ආදරය පිළිබඳ අවබෝධය ලබා දුන් අතර ටෙරන්ස් ඇයට ලබාදෙන්නේ ස්වපීඩක හා පරපීඩක කාමුකත්වය හෙවත් වේදනාවක් තුළින් තෘප්තිය ලබාගන්නා අන්දම පිළිබඳවයි. රැල්ෆ් මරියාට හමුවූ අනෙක් පිරිමින් මෙන් ඇය පූර්ණ ලෙස අයිතිකර නොගෙන ඇගේ ආත්මය සමග ආදරයෙන් බැඳෙයි. මරියා පූර්ණ සුරතාන්තයක් ලබාගන්නේද ඔහුගෙනි. කතාව අවසානයේ ස්ත්‍රියකගේ සැබෑම ලිංගික ප්‍රමෝදය රඳා පවත්නා ලිංගික පද්ධතියේ ක්ලිටෝරසය නම් අවයවය පිළිබඳ කතිකාවක්ද කොයියෝ මේ හරහා ගොඩනංවයි. එනයින් මරියා සොයා යන සැබෑම ප්‍රේමය හා ලිංගික තෘප්තිය ඇයට හමුවන්නේ සියල්ල අවසානයේදී ය. ක්ලිටෝරසය හා ලිංගික තෘප්තිමත් වීම ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳව කොයියෝ මෙසේ දක්වයි.
“ඔයා ඇතුලට යනකොට, පළවෙනි තට්ටුවේ, පිටිපස්සේ ජනේලේ.”
ස්ත්‍රී සන්තානය සහ ලිංගිකත්වය පිළිබඳව කරන ලද්දා වූ පැහැදිලි විග්‍රහාත්මක පර්යේෂණයක් ලෙස හඳුනාගත හැකි මිනිත්තු එකොළහේ කතන්දරය කොයියෝගෙ ප්‍රබල සමාජ කියවීමක් ලෙස ද හඳුනා ගත හැකිය. කොයියෝ “මිනිත්තු එකොළහෙ කතන්දරය” තුලින් පෙන්වාදෙන්නේ පවත්නා ආගමික සාදාචාරයේ ආධිපත්‍යයට විරුද්ධව සැබෑ නිදහස සොයායමින්, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද සමග ගැටෙමින් මරියා තමන් තුළින් තමන්වම මතුකර ගැනීමට කරන ලද ගවේෂණයයි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
