වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

දෛනික සමාජයේ දරිද්‍රතාවයෙන් බැට කන මිනිසුන්ට සිදුවන සමාජ අසාධාරණයන් පිළිබිඹු කරමින් සමාජීය ප්‍රශ්න ඉතා සියුම් ලෙස විවරණය කිරීමට උත්සාහ ගන්නා මස්ඉඹුල, එවකට කුලවාදය ඉතා හොඳින් ස්ථාපිත වූ රත්නපුර දිස්ත්‍රික්කයේ “රිදී විට” ගම්මානයේ වීරප්පුලි හේනයා ප්‍රමුඛ කොටගත් මල්මාරිදී, පොඩිනා, හීන්රිදී නම්බු හේනයා, බබා හේනයා ආදී චරිත උපයෝගී කොට ගනිමින් සෙංකොට්ටං හරහා කුලවාදයට එරෙහිව දැවැන්ත පහරක් එල්ල කරයි.

කුලවතුන්ගේ රෙදි පිරිසිදු කරමින් සහ කුලවතුන්ගේ කොටහලු උත්සවවලදී අදාළ රාජකාරී ඉටු කරමින් ජීවත් වන රජක කුලයට අයත් මේ පිරිස අතර කුලවතෙකු ලෙස හඳුනාගත හැක්කේ “ගුණ රාලහාමි” ය. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය ලෙස ඉස්මතු වන්නේ වීරප්පුලි හේනයා සහ ඔහුගේ මුණුබුරා වූ බබා හේනයායි. වීරප්පුලි හේනයා, බබා හේනයා සමග සිය රාජකාරී සඳහා ඈත ගම්වල ඇවිදින අතර, නවකතාව ආරම්භයේදීම පැරණි චිත්‍රයක සිරි මවමින් බර කරත්තයක් සහ එය සමඟම ගමන් ගන්නා දෙදෙනෙකුගේ දර්ශනයක් මවා පායි.

“ටාං ටාං ටාං,”
එක්දහස් නවසිය තිස් ගණන්වල එක් සවස් වරුවක පිත්තල බඩු පුරවාගත් තරමක් විශාල බර කරත්තයකින් ඒ හඬ ඇසෙන්නට විය.”

වීරප්පුලි හේනයා යනු සමාජයක සත්‍ය චරිතයකි. ඒ වටා ගෙතුණු කුලභේදය,පන්ති විශමතාවයන් මෙන්ම ඒ හරහා ඔවුන්ගේ ජීවිතවලට විවිධ පීඩනයන් ද එල්ල වෙයි. කුලවාදය පැලපදියම් වූ සමාජයක, සමාජීය මෙන්ම මානසික පීඩනයන්ගෙන් කම්පිත වන වීරප්පුලි හේනයාගේ එකම සැලසුම වන්නේ සිය මුණපුරා වූ බබා හේනයාය. අධිෂ්ඨානයෙන් යුක්ත නිහතමානී චරිතයක් ලෙස නිරූපිත වීරප්පුලි හේනයා අධි මානුෂීය ගුණයෙන් යුක්ත වූ චරිතයක් ලෙසද හඳුනාගත හැකිය. කුලවාදය ප්‍රමුඛ වූ සමාජයක, එකී සමාජ විෂමතාවය හේතුවෙන්ම පීඩාවට පත්වන ආකාරය නිරූපණයට කතුවරයා වීරප්පුලි හේනයාගේ චරිතය උපයෝගී කොටගෙන තිබේ.

“අනේ අනේ තිත්තකඩයිනේ. උඹලා මයෙ කකුල් කඩාල්ලා කඩාල්ලා මොනවදෝ කන්න දේවල් හොයාගන්නවා. මෙතන සක්විති රජතුමා වාඩිවෙලා මෙන්න මෙහෙම පතුල් දියට දාගෙන උන්න නං ඒත් මේ වගේම කඩාල්ල කඩාල්ල කනවා. ආයේ මෙතන ගොවිගම – කරාව – වහම්පුර – බඩහැල – බත්ගම – ගහල – රොඩී කියලා කොයියම් මනුස්සයෙක් උන්නත් උඹලට ඒකේ පංගු පේරුවක් නෑ…”

කතාවක චරිත ජීවමාන ලෙස මෙන්ම සැබෑ ජීවිතයට අනුකූලවන සේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත්ය. එසේ උපයෝගී කොටගත් ප්‍රමුඛ චරිතයක් ලෙස මෙහි එන “පොඩිනා” චරිතය හඳුනාගත හැකිය. රිදීවිට හා වේරහැර දෙගම් මැද්දේ වූ බැද්දේ ගල් තලාවක් මත අනගි හාමි නම් කුලවතෙකුගෙන් ගැහැනියක හා මවක බවට පත්වන පොඩිනා, කතුවරයා කතාව පුරාවටම නිරූපණය කරන්නේ පොදුවේ ස්ත්‍රියක් ලැබීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රේමය සොයා යන, බොහෝ සිදුවීම් කෙරේ නිර්භීත ලෙස මුහුණ දෙන කාන්තාවක් ලෙසයි.

“මං ලොකු උන දවසේ අපේ අම්මා මුළු රැයක් පුරාවටම මගේ ළඟ ඉඳගෙන පරිස්සම් කරගනින් කියාපුවා අද මේ ගල්තලාව උඩදී බොහොම පුංචි වෙලාවකදී උන්නැහේට මං දුන්නා.”

කුලවන්ත අනගිහාමිගෙන් ගැහැනියක වූ තැන නිවට විරූපී නම්බු හේනයා රවටාගෙන තම සැමියා කරගන්නා පොඩිනා, අනික හාමි නිසා පිළිසිඳ ගත් දරුවා සමගින් අනගිහාමි දකින්නට යන්නේ හුදු මානව හැඟීමෙනි. නවකතාකරුවා පොඩිනාගේ චරිතය හරහා ගැහැනියකගේ සිතුම් පැතුම් හා සාධාරණ හැසිරීම් විද්‍යමාන කරවයි. අනගිහාමි පොඩිනා හමුවට එවන්නේ කැලෑ සතා නම් පුද්ගලයායි. ඔහු අතින් පොඩිනා අතවරයට ලක් වූ අවස්ථාව සරල භාෂාවක් යොදා ගනිමින් කතුවරයා ගෙන එන්නේ චිත්ත රූප මැවෙන ආකාරයෙනි.

“තොට උවමනා දේ ඇති පදං දීපිය කියලයි අනගිහාමි උන්නැහේ මාව එව්වේ. දැං මං තනන්නේ තොගේ ඒ රුදාව අරින්න.”

“ඌ ඇය තරයෙන් බදාගෙන කිහිප වරක් දෙපසට සොලවා, ඇයගේ කම්මුල් දෙපසට අතකින් ගසාගෙන සිටියේ ය. ඉන්පසු කෙස් වැටියෙන් අල්ලා එය අඹරවා ඈ දෙපසට තද කොටගෙන එක්වර ම ඇයගේ හැට්ටය කරෙන් ඇද ඉරා දැමුවේ ය. එය අතින් ගුලි කළ කැලෑ සතා එය උඩ විසි කළේ ය.”

පොඩිනාගේ මරණය සහ එහි ප්‍රාප්තිය සෙංකොට්ටං නවකතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුනාගත හැකිය. ඇරිස්ටෝටල් කතා වින්‍යාසයට අනුව චරිත සකස් වන්නේ ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. දෙමහල්ලන් අනුරාධපුර ගිය තැන බබානිස් සමග හීං රිදී පෙම් කෙළින බව දැක පොඩිනා අවවාද කරන අතර, ඒ නොඅසන හීං රිදි සතුන් මරා කන බබානිස් සමග පැන යයි. එක් අවස්ථාවක උකුස්සකු මරණ බබානිස්ට දැකගත හැකි වන්නේ උකුස්සාගේ බඩෙහි නයි පැටියෙකු සිටින බවයි. මෙකී ඛේදජනක අවස්ථාව, තමාට හිරිහැරයක් නොකරන ලද පොඩිනා “කැලෑ සතා” විසින් භයානක ලෙස මරා දැමීමේ සිද්ධිය හා ප්‍රබල හැඟවුම් කාරකයක් ලෙස සම්බන්ධ කරවයි.

සෙංකොට්ටං නවකතාව පුරාම කථකයා සම්පූර්ණයෙන්ම සැඟවීම හෙවත් අතුරුදහන් කර තිබීම විශේෂත්වයකි. එහිදී චරිත පිළිබඳ අභ්‍යන්තර මෙන්ම බාහිර සියලු තොරතුරු ලේඛකයා විසින් සකස් කර පාඨකයා ඒ ඒ චරිත හා සිදුවීම් තුළට රැගෙන යාම සිදුකරයි. එනම් ප්‍රථම පුරුෂ සර්වවේදී පූර්ණ වන මෙහි කතුවරයා වීරප්පුලි හේනයා, බබානිස් පොඩිනා, හීං රිදී, මල්මා රිදී ආදී සෑම චරිතයකටම ප්‍රවේශ වීම සිදුවේ.

සෙංකොට්ටං නවකතාව තුළ සියලු චරිත ඉස්මතු කරවන්නේ ජීවමාන ලෙසයි. සමාජයේ විෂමරූපී බව දැක්වීමටත්, එකී පැතිකඩවල් සියුම්ව විවරණය කිරීමටත් උචිත බස් වහරක් නවකතාකරුවා යොදාගෙන ඇති බව දැකිය හැකිය. නවකතාව තුළ යොදාගෙන ඇති “ඇටකිච්චෝ, අනුරාජපුරේ, රේන්දය” ආදී වචන තුළින් ගැමි බස් වහර සහ ගැමි සංස්කෘතියද මනාව විෂද කරවයි.

කාලයත් සමග කුලවාදය සඟවා තැබීමෙන් බබා හේනයා තම ජීවන අභිවෘද්ධියක් කරා ගමන් කරන්නේ වෙළඳ ව්‍යාපාර රැසක හිමිකරු බවට පත් පත්වී කුලීකරුවන් පවා තමන් යටතේ සේවයට ගනිමිනි. සෙංකොට්ටං කෘතිය හරහා ගෙන එන ඇතැම් සිදුවීම් හරහා බලවතා ඉදිරියේ කුලහීනයන්ගේ ගරා වැටීම මනාව ව්‍යංගාර්ථවත් කරවයි.

“ඔය උකුස්සා – ගැරඬියා – බටගොයා මහ නපුරු ඒ වගේම සත්තිවන්තයෝ ඕකුං හැමදා ම ඔය අසත්පුරුෂ වැඩේ කරලා දිනනවා. පුංචි කුරුල්ලෝ පරදිනවා. ඒත් ඔය පුංචි කුරුල්ලන්ට ලොකු ඇඟක් තිබුන නං ඕක වෙන්නෑ. හැම තැන ම ඔහොම තමයි කොල්ලෝ සක්තිවන්තයා දිනනවා. දුරුවල එකා පරාද වෙනවා.”

නවකතාවේ සම්මත සමාජය සහ සංස්කෘතිය දෙස විවේචනාත්මකව බැලීමට නවකතාකරුවා විසින් යොදා ගන්නා ලද ප්‍රබල සංකේතයක් ලෙස “සෙංකොට්ටං” නාමය හඳුනාගත හැකිය. සෙංකොට්ටං යනු ගෙඩි වර්ගයක් වන අතර රෙදි සේදීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට රෙදි ලබාදීමේදී වෙන් වෙන්ව හඳුනා ගැනීම පිණිස රෙදි මත එබ්බවීමට සෙංකොට්ටං ගෙඩියේ කිරි හෝ කහට භාවිත කරයි. එනම් කතුවරයා පෙන්වා දෙන්නේ සෙංකොට්ටං වලින් සලකුණක් දැමූ විට එය මකාදැමිය නොහැකි සේ ලොව පවත්නා සත්‍යය, අසත්‍යයෙන් වෙන් කර තිබුණද, සැබෑ සත්‍යය සෙංකොට්ටං සලකුණු මෙන් නොමැකී පවතින බවයි.

“පෙත්තරය” ද සංකේතයක් ලෙස යොදා ගන්නා නවකතාකරුවා. ඒ හරහා කුලභේදය, පිඩීත බව මෙන්ම මිනිසුන්ගේ දුක, සතුට ආදී සියල්ල විෂද කරවීම සිදුකරයි. “සැනසුම” සංකේතාත්මකව ඉස්මතු කිරීම සඳහා යොදා ගන්නේ “බෝ පැළය”යි. වීරප්පුලි හේනයා සිය සැනසීම ලබන්නේද බෝ පැළය තුළිනි. අවසානයේ මිය යන්නේ ද බෝ පැළය අභියස ය.

“වීරප්පුලි හේනයා බබා හේනයා කැටුව කුඩා බෝ පැළය අසලට යන විට ද පැවතුණේ අලුයම සුදු එළිය යි. ඒ නමුත් මේ වනවිට ඔහු බෝ පැළය අසල මල්වට්ටියක් තබා පොල්තෙල් පහනක් ද පත්තු කර තිබිණි.”

බබා හේනයා නොහොත් වික්ටර් සූරියතිස්ස යනු තමාගේ ජීවිතය පිළිබඳව සමාජමය අවබෝධයක් සහිතව තම කුලයේ පීඩිතභාවය වෙනුවෙන් හෝ ඒ ක්‍රමයට එරෙහිව චින්තනමය අභියෝගයක් හෝ කළ අයකු නොවේ. කුලභේදය සහිත සමාජ විෂමතාවය තුළ අතීත මතකයන් පිළිබඳ ඔහු තුළ උපදින්නේ කළකිරීමකට වඩා, තමා සිතින් මකා දැමූ අතීතය පිළිබඳව මතකාවර්ජනයකි.

“ආයෙමත් අර සුවඳ දැනෙනවා. රෙදි සෝඩා කලවම් වෙච්ච තම්බපු රෙදි සුවඳ ඒ සුවඳ .ඒ සුවඳ මට හැමදාක ම දැනේවි…ඉදිරියටත් මිය යන්න කලිං ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි.”

කුලය යනු ආරෝපිත තත්ත්වයකි. එනයින් සමාජ ධූරාවලිය තුළ කුලභේදය හේතු කොටගෙන පීඩිතයා අසාධාරණයට පත්වන ආකාරය පෙන්වා දෙන කතුවරයා සෙංකොට්ටං කෘතිය හරහා මිනිස් සන්තානයේ අතිශය ගැඹුරු පහුරු ගෑම් කිරීමට සමත්ව ඇති බව හඳුනාගත හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment