නිර්මාණයක් සතු සමාජ කාර්යභාරයක් තිබෙන බව මම නිරන්තරයෙන් ලියා තියෙනවා. සමාජයේ නොයෙකුත් අවනඩු, අසාධාරණකම් ගැන හෙළි කරන්න වගේම ඇතැම් විට දේශපාලනිකව රටක් යන දිශානතිය ගැන සත්‍යය හෙළි කිරීමට, සාමාජීය විප්ලවයක් කිරීමට පවා කලා නිර්මාණවලට ඇති හැකියාව ගැන අප ඉතිහාසයෙන් උගෙන, කියවා තිබෙනවා. බොහෝ කලා නිර්මාණවලට නරඹන්නා හෝ පාඨකයාගේ චින්තනය නැවුම් මාවතකට යොමු කරන්නට, ඔවුන්ගේ අවබෝධය පුළුල් කරන්නට හැකියි. ඒ සමාන අදහසක් ෆිලිප් සිඩ්නි නම් කවියා තමන්ගේ An Apology for Poetry ලිපියේ සඳහන් කරනවා. ඕනෑම නිර්මාණයක් තුළ චින්තන විප්ලවයක් සටහන් වෙනවා. වාලම්පුරි චිත්‍රපටය ද පෙරකී සමාජ කාර්යභාරය ඉටු කරමින් නිර්මාණශීලීව සූක්ෂමව මහ පොළොවේ යථාර්තය තිරය මත දිග හරිනවා.
මේ චිත්‍රපටය ගැන කතා කරද්දී රට ගැන වෙනමත්, පුද්ගලයන් ගැන වෙනමත් යනුවෙන් දිශා දෙකක් ඔස්සේ සිතිවිලි ගොඩ නැගෙනවා. මේ පෙන්වන්නේ අවුරුදු ගණනාවක් අපේ රට තුළ බල තණ්හාව, මුදල් තණ්හාව, ඉඩම් හෝ නොයෙක් වස්තු තණ්හාවන් සහ රැවටීම් නිසා රටක් තුළ ඇතිවූ දේශපාලනික ආගමික සහ සාමාජීය චින්තන වෙනස තුළින් ගොඩ නැගෙන පුරවැසියන්ගේ ස්වභාවය බව පෙනෙනවා. අද වන විට අපට ඇහෙන්නට දකින්නට ලැබෙන දේශපාලන හෝ සමාජ සිදුවීම් සමග මේ තත්ත්වය පැහැදිලි කරගත හැකියි. චිත්‍රපටය පටන් ගන්නෙත් අපට හුරු පුරුදු දේශපාලන නායකත්ව තුළින් එළිබට කතා සමඟ ඒ පිළිබඳ ඉඟියක් ලබා දෙමින්.
වාලම්පුරියක්! සැප සම්පත්, කවදා හරි ගොඩයන්න බලන් ඉන්න මිනිස්සු රොත්තක් එක්ක මේ පෙන්වන්නේ වර්තමාන සමාජයේ කැඩපතක් කියා සිතෙනවා. මෙච්චර ඉගෙනගෙන මෙච්චර ලොකු රස්සාවල් කරගෙන ඉන්න ලොකු මහත්තුරු ඇයි මේ කොහෙවත් තියන සිප්පි කටුවකට නැහෙන්නේ කියා එක් තැනකදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වුණ ආර්ථික අතින් පහළ මට්ටමක ඉන්න ගම්වල ටීටර් පෙන්නලා ජීවිකාව කරගන්නා නළුවෙක් වූ කථානායක චරිතය විසින් අහනවා. ඒ අහන්නේ සමාජයේ ඉහල තලයක වැජඹෙන පොලිස් ලොක්කෙකුගෙන්. ඔහු ඊට දෙන පිළිතුර තව ප්‍රශ්න ගණනාවක් මතුකරනවා.
රාජ්‍යයක හෝ රට කරවන තැන, මහජනයා වෙනුවෙන් පැවතිය යුතු ආයතන, අංශ හෝ සේවා මේ හැම දෙයක්ම මේ ඕනෑම තැනක් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් “වාලම්පුරියක්” හෙවත් යම් පිරිසකට හෝ කෙනෙකුට පමණක් ධනය ගලන උල්පතක් බවට පත්කර ගන්න පුළුවන්කම තිබෙන බව පෙනෙනවා. ඇතැම් කණ්ඩායම්වලට පවුල් වලට රටක් කියන්නෙත් වාලම්පුරියක් වගේ කියලා හිතෙන්න පුළුවන්. අතින් අත මාරුවුණ මේ වාලම්පුරි, පුරවැසියාට වාසිදායක ලෙස සහනදායක ලෙස කැරකෙන්නේ කවදාද කියලා මේ මහපොළොව මත බොහෝ දෙනා අදටත් බලා සිටිනවා. තමන්ගේ ශ්‍රමය, ධනය සතපහක් වැය නොකර අනුන්ගේ පහනෙන් එළිය බලන, වස්තු උපයන එකත් මාර කලාවක් වෙලා තියෙන කාලයක, නොයෙක් කණ්ඩායම් විසින් තමන්ගේ බල, ධන, වස්තු තණ්හාව එක්ක තමන්ටම පමණක් ගොඩයන්න ධන උල්පතක් බවට පත් කරගන්න උත්සාහ කරන බව පෙනෙන්නත් තියෙනවා.
“ඇතැම් මිනිසුන්ට හම්බ කරලා හම්බ කරලා ඇතිවෙන්නේ නැද්ද ?” කියන දෙබස, “මිනී මරන අදහස් ඇති vegetarians ” ලා ගැන යන දෙබස මේවා සියුම් ව සමාජයේ හැංගිච්ච කතා දහසක් හෙළි කරනවා. නිධන් හාරන කතාවේ සිට ඒවා සාධාරණීකරනය කරමින් උසාවියෙන් එළියට එන තැන කතා කරන දෙබස් ටික සාමාජීය සහ සදාචාරාත්මක සෝදාපාළුව පෙන්වනවා.
ඕනෑම ජිල්මාට් එකක් ගහලා රටම මුලා කරන චරිත අපිට හැබෑ ලෝකෙත් පෙනෙන්න තියෙනවා. සිඩ්නි, දික්ඔය ළමයා සහ නම මතක නැති අනෙක් කිහිප දෙනා ඇතුළු මේ චිත්‍රපටය තුළත් ඉන්නේ එහෙම පිරිසක්. ලංකාවේ අද ජීවත්වන වැඩිහිටියන් තරුණයින් ඇතුළු බොහෝ දෙනා පීඩනයෙන් යුතු නොනවතින අරගලයක සිටිනවා. නොනිමි ආශාවන් සන්තර්පනය කිරීමට මෙන්ම එදා වේල හරි හම්බ කිරීමට මතු දවසක සැප විඳින්න බලාපොරොත්තුවේ ඕනේ දෙයක් කරන්න පෙළඹෙන මිනිසුන් රොත්තක් මේ මේ චිත්‍රපටය තුළ දකිනවා. මෙවන් චින්තනයක් සහිත මිනිසුන් බිහිවෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නය සෑහෙන කාලයක සිට අප සාකච්ජා කරනවා. අපි අපේ රටේ සමාජ සේවා පුරවැසියන්ට සහන සලසන ලෙස සකස් නොවීම ගැන නිතර කතා වෙනවා. පුරවැසියා වෙනුවෙන් නිර්මිත රාජ්‍යයක් යැයි හැඟෙන රටක සිට වාලම්පුරි නරඹා නැවත අපේ රට දිහා බලා සුසුම් හෙලන්න සිදුවී තිබෙනවා. රටට සුගතියක් නැති සංවර්ධන ව්‍යාපෘතිවල සිට කොමිස් ගසා ගැනීම දක්වාත්, බොරුව වංචාව සහ රැවටීම කියන මේ දේවල් ගැනත් අපට දිනපතා පුවත් මගින් පෙනෙනවා.
‘හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කළාම ජීවිතේ ගොඩ’ කියලා කාලයක් අපේ රටේ මිනිස්සු හිතාගෙන හිටියා. අපිට ඉගැන්නුවේත් එහෙමයි. එහෙම ඉගෙන ගෙන අපි රජයේ රස්සාවකට ගියා. “රජයේ රස්සා” ඒවා ගැනත් අපි ඉගෙන ගත්තේ කෙනෙක්ට වෙන්න පුළුවන් හොඳම දෙයක් ලෙසයි. සාධාරණ, සත්‍යවාදී, අවංක මනුෂ්‍යයෙක් වෙන්න! හොඳ පුරැවැසියෙක් කියන්නේ එහෙම අයෙක්ට, ඔන්න ඔහොමයි අපි ඉගෙන ගත්තේ, එනමුත් අපි දැක්කේ මොනවා ද? මේ රටේ කාටද සුගතියක් වුනේ? ගෑස් පෝලිම් තෙල් පෝලිම් එක්ක අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා පවා සපයාගන්න නොහැකිව ආර්ථික බංකොලොත්භාවය ප්‍රකාශ වුණාම තමයි අවංක සාධාරණ පුරවැසියන්ට පවා තේරුණේ “අපි හම්බ කළොත් අපි කෑවා” මානසිකත්වයෙන් තමන් පමණක් සාදාරණව හම්බ කළාට ජීවත්වුණාට රටක් පවතින්නේ නෑ කියන එක. රටේ සමස්ත ආර්ථිකයක කඩාවැටීම හැමෝටම අවුල් කියන එක.
එතකොට මේ රට මේ තත්ත්වයට පත් වුණේ කොහොමද ? කවුද වගකියන්නේ? කවුද වගවෙන්නේ? මේ චිත්‍රපටය නිසා ලියන්න ගත් සිතුවිලි ඔස්සේ ගොඩ නැගෙන මගේ වචන, ඒත් මේ තමයි ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරියෙන් පස්සේ ඇතිවන චින්තන විප්ලවය.
පුරවැසියා කෙරෙහි සහන ගෙනෙන, සුවදායී, අර්බුද රහිත ස්වෛරී රාජ්‍යයක් බිහි වෙන්නේ කොහොමද? ආර්ථික ස්ථාවරභාවය තුළින් පමණ ද? මිනිසුන් රවටන්නේ නැතිව, හොරකම් කරන්නේ නැතිව ජීවත්වීම, අනුන්ගේ දේ කඩාවඩා ගන්නේ නැති ජීවන ක්‍රමයක් සකස් කරගැනීම වැනි සදාචාරාත්මක ගුණධර්ම වර්ධනය වීම සහවේදනය යන මේවා මිනිසුන් තුළ වැඩෙන්නේ කොහොමද? පිරිසක් හෝ පවුලක් පමණක් මහජන මුදලින් වැජඹෙන රාජ්‍ය ක්‍රමය අවසන් කරන්නේ කොහොම ද? පාසැල් අධ්‍යාපනයෙන් ද? ආගමික ඉගැන්වීම් තුළින් ද? අද මේ පවතින තත්ත්ව වෙනස් වෙන්නේ කොහොමද?
එදාවේල සපයාගන්න නොයෙක් ආකාරයේ ක්‍රියාවන්වල යෙදෙමින් “ගේමක් ගසන” සාමාන්‍ය වැසියාගේ සිට ඉහළ ම ස්ථරයේ සිටින මහා ලොක්කන් සොක්කන් ගේ ජීවිතයේ “ආසාවන්” සහ සමාජයේ යථාර්ථයන් මනාව එකට කැටි කොට පෙන්වූ අතර අවසානය පවා නරඹන්නා තුළ කුකුස කුතුහලය ඇති කරන මේක මාරකයක් නොවේ, සමාජ ක්‍රමයේ වෙනස වෙනුවෙන් චින්තන විප්ලවයක් ඇති කළ හැකි චිත්‍රපටයක්!
චිත්‍රපටය ඉවර වුණාට කතාව ඉවර වුණේ නෑ. එක තාම අපේ හිත් තුළ අපේ පරිකල්පනය එක්ක සරඹ කරමින් ඉන්නවා. නරඹන්නා තුළ කුතුහලය ඒ වගේම හිතන්නට පැති ගණනාවක දොරටු විවෘත කරලා තියලා කාංසාමය තැනකින් තමයි චිත්‍රපටය නතර වුණේ.
මෙහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න, නිෂ්පාදක අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා ට වගේම ස්වීඩන් ගෙන ආ ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමය, සංවිධායක මණ්ඩලයට ද මගේ සුභාශිංසන සහ ස්තුතිය ලියා තබනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
