පුද්ගල සාර්ථකත්වය පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා අතර පවතින්නේ ලොකු උනන්දුවකි. එම විෂය ක්ෂේත්‍රයට අදාළ ප්‍රමුඛ විශේෂඥයෝ පවා ලෝකයේ සිටිති. අද මම කතාකරන්නෙ ඒ වගේ පුද්ගල සාර්ථකත්වය පිළිබඳව ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු රචිත ඉතා ජනප්‍රිය කෘතියක් පිළිබඳවයි. ඔහු නමින් රොබින් ෂර්මා. ඔහුගේ ‘The Monk Who Sold His Ferrari’ කෘති මාලාව රටවල් තිස්හයක් පුරා ප්‍රකාශයට පත් වී ඇත. 1999 වසරේදී ඔහු රචිත ‘Life Lessons From the Monk Who Sold His Ferrari’ කෘතියේ පිටපත් මිලියන හයකට වඩා අලෙවි වී තිබේ. මෙම කෘති මෙතරම් පාඨක ජනයා අතර ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? අපි අද අපි ඒ ගැන කතා කරමු. මෙම කෘතිය උපාලි රත්නායක ‘ජීවිතයට පාඩම් සියයක්’ නමින් සිංහලට පරිවර්තනය කර ඇති අතර සුසර ප්‍රකාශනයක් ලෙසින් ඔබ අතට පත් කරන්නේ 2017 වර්ෂයේදියි.
සාර්ථක පුද්ගලයා කවරෙක්ද යන්න නිර්වචනය කිරීම තරමක් අසීරු කටයුත්තකි. කෙසේ වුවද, යම් ක්ෂේත්‍රයකින් ලෝකය වෙනස් කිරීමට දායක වූ, එම අභිලාෂය සපුරා ගිනිමින් දියුණුවට පත් පුද්ගලයා ‘සාර්ථක පුදගලයා’ ලෙසින් අපට හැඳින්විය හැකිය. ඔබත් සාර්ථකත්වය අපේක්ෂා කරන, එය ළඟා කරගත හැකි මාවතක් සොයන්නෙකු විය හැකිය. එසේ නම් ඔබට ඒ අරමුණ වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීමක් අවශ්‍යය. රොබින් ෂර්මාගේ කෘතියේ ඵලදායිතාවය අවශ්‍ය වන්නේ මෙම පියවරේදීය. ෂර්මා මෙම කෘතිය රචනා කරන්නේ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම අවධියක බව පවසයි. ඔහු පවසන අන්දමට සහ අප කවුරුත් දන්නා අන්දමට විපත්තිය යනු හොඳම සේවකයෙකි. එය අප ලෝකයෙහි ඇති අනවශ්‍ය ආකර්ෂණවලින් ඉවතට ඇද සැබවින්ම වැදගත් දේවල් වෙත අපව යොමු කරවයි. ෂර්මා මෙම කෘතිය රචනා කළ අරමුණ මුලින්ම හඳුනා ගනිමු.
“…මා මේ පොත ලිවීමේ අරමුණ වූයේ ඔබ උපතින් රැගෙන ආ කුසලතා ප්‍රකාශයට පත්වීමෙන් ඔබව වළකා ආපස්සට අදින යදම්වලින් ගැලවීම සඳහා ඔබට උදව් දීම සඳහාය. එම යදම්වලින් මිදුණු පසුව ඔබට විශාල දේවල් කරවා ගත හැකිය; අනාගත පරපුර ඔබ ගැන කතා කරන ජීවිතයක් සැබවින්ම ගත කළ හැකිය.” (පෙරවදන)
ඔබ මෙතෙක් කියවා ඇති පොත්පත් අතර පුද්ගල සාර්ථකත්වය පිළිබඳව කොතෙකුත් පොත් ඔබ කියවා ඇති බව නිසැකය. එම පොත් අතර ෂර්මාගේ මෙම කෘතිය විශේෂ වන්නේ ඇයි? ඔහු මෙම කෘතිය ඔස්සේ මිනිස් ඉතිහාසයේ අප දන්නා සියලු ශ්‍රේෂ්ඨ දර්ශනවල චින්තකයින්, සාහිත්‍යකරුවන් සහ විවිධාකාර බුද්ධිමතුන්ගේ සහ මානව සම්පත් පිළිබඳ විශේෂඥයින්ගේ අදහස් ඉදිරිපත් කරයි. එම අදහස් පදනම් කරගනිමින් එලඹෙන නිගමන සිත්ගන්නා අයුරින් පුද්ගල සාර්ථකත්වය උදෙසා යොදාගත හැකි අන්දම පැහැදිලි කිරීමට රොබින් ෂර්මා සමත් වී තිබේ. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු මෙම කෘතියේදී ඉහත අදහස් පළ කරනුයේ හුදු න්‍යායික කාරණා ලෙස නොවීමයි. ඒවා අපගේ ජීවිතයට ප්‍රායෝගික පාඩම් ලෙසින් යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන අන්දම ආකර්ෂණීයය. මෙම කෘතියේදී ඔබට පරිච්ඡේද/පාඩම් 101ක් හමුවේ. එම පාඩම් ඔබ පිළිවෙළින් කියවිය යුතු නැත. පොතේ කවර පිටුවක් පෙරළා හෝ ඕනෑම පාඩමක් කියවිය හැකි වීම මෙහි විශේෂත්වයකි.
“මා වැඩෙමින් සිටි අවධියේදී මගේ පියා කී යමක් මට කිසිදාක අමතක නොවේ. “පුතා, ඔයා ඉපදුණු වෙලාවෙ ලෝකයම සතුටු වෙද්දි ඔයා ගොඩක් ඇඬුවා. ඒත් ඔයා මැරෙන දවසෙදි ලෝකයම අඬද්දි ඔයාට සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න” (15 පිටුව).
ෂර්මා මෙම පාඩම් ඉදිරිපත් කිරීමේදී ස්වකීය ජීවන අත්දැකීම් පවා එයට පාදක කරගනියි. ඔහු පවසන්නේ අපට මිනිසකු හඳට යැවීම පහසු බවත්, එහෙත් අලුත් අසල්වැසියෙකු හමුවීම සඳහා පාර මාරු වීම අපහසු බවත්ය. නූතනයේ අප අත්දකින ගැටලුවක් වන්නේ පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවයයි. ඩිජිටල් තාක්ෂණය දියුණුව පැවතියද, මානව සම්බන්ධතා දූරස්ථ වී ඇත. මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් උපුටා දක්වන ෂර්මා පවසන්නේ, “ඔබේ ලෝකය තළ ඔබ දැකීමට ආශා කරන වෙනස ඔබ තුළම ඇති කර ගන්න” යන්නයි. සාර්ථක පුද්ගලයෙකු වීමට බලාපොරොත්තු වන තැනැත්තෙකු තුළ ලෝකය පිළිබඳ දැක්මක් පැවතිය යුතුය. බොහෝ වෙලාවට අප ආත්මාර්ථයෙන් අප ගැන සිතනවා විනා අප සමීපයෙහි සිටින අනෙකා පිළිබඳව නොසිතයි. අප තුළ වගා කළ යුතු යහපත් පාඩම් පිළිබඳව ෂර්මා අපට පැපැහැදිලි කරනුයේ පැරණි කතා පුවත් ආශ්‍රයෙනි.
“සටහන් පොතක් පවත්වා ගෙනයාම මගින් පෞද්ගලික වර්ධනයද, අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීම මගින් පෞද්ගලික වර්ධනයද, අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීම මගින් ප්‍රඥාවද ඇති වේ. එයම ඔබේ අතීතය උපයෝගී කරගෙන වඩාත් සාර්ථක අනාගතයක් සඳහා අවශ්‍ය තෙරපුම ලබා දෙයි. දවසකට විනාඩි 15ක් තරම් සුළු කාලයක් වුවත් දින සටහන් ලිවීමට යොදා ගැනීම සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමට පවා හේතුවන බව වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත” (25 පිටුව).
අතීතයේ බොහෝ දෙනා දින පොත් (Diary) රචනයෙහි නියැළුණහ. වර්තමානයේදී මෙය දක්නට නොලැබේ. එහෙත් ෂර්මා මෙහිදී පවසන්නේ අප දන්නා දින පොත් රචනය පිළිබඳව නොවේ; දින සටහන් ලේඛනයක් පවත්වාගෙන යාම පිළිබඳවයි. මෙම ලේඛන ද්විත්වය අතර වෙනසක් පවතී. දින පොතෙහි අප කරන්නේ දවසේ සිදුවීම් වාර්තා කර තැබීමයි. දින සටහන් ලේඛනයේදී සිදු වන්නේ එලෙස වාර්තා කිරීමෙන් නොනැවතී එම සිදුවීම් විශ්ලේෂණය කර තක්සේරු කිරීමය. වෛද්‍ය පර්යේෂණ අනාවරණද පාදක කරගනිමින් ප්‍රායෝගිකව දිනපතා තමා උගත් පාඩම් ඔස්සේ දිනෙන් දින බුද්ධිමත් වන ආකාරය ෂර්මා මෙහිදී පැහැදිලි කරයි.
“පුරාණයේදී සතියේ හත්වන දවස හඳුන්වන ලද්දේ සබත් දිනය ලෙසිනි. ඒ දිනය වෙන් කරන ලද්දේ පොදුවේ නොසලකා හරිනු ලබන නමුත් ජීවිතයේ ඉතාම වැදගත් දේවල් වෙනුවෙනි” (34 පිටුව).
වර්තමානයේ අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන්නෙමු. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට කාලය වෙන් කරගැනීම අපහසු කටයුත්තක් බවට පත් වී තිබේ. ෂර්මා පවසන්නේ පුරාතනයේ පැවති සබත් දිනය පිළිබඳවයි. සෑම සතියකම සත්වන දිනය වෙන්වූයේ පවුලේ අය වෙනුවෙනි. එවැනි දිනයක අවශ්‍යතාව නූතනයේදී ඉතා වැදගත්ය. මාපිය-දූදරු සබඳතා සහ අඹු-සැමි සබඳතා දූරස්ථ වීමේ ගැටලුව සංසිඳවීමට එය වැදගත්ය.
“මේ කලබලකාරී ලෝකයේ කටයුතුවලින් හෙම්බත්ව අපෙන්ම ඈත් වී සිටින විටක හුදෙකලාව ඉන්නට ලැබීම කෙතරම් අගනේද?” (48 පිටුව).
මෙය ප්‍රකට ඉංග්‍රීසි කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ප්‍රකාශයකි. වර්තමනයේ අපි සැවොම කාර්යබහුල ජීවිත ගත කරන්නෙමු. එහිදී අප සිතා බැලිය යුත්තේ අප කාර්යබහුල වන්නේ කුමක් සඳහාද යන්නයි. නිහඬව සිටීම සඳහා අප නිතිපතා කාලය වෙන් කරගත යුතු බවත්, නිහඬව සිටීමට ඉගෙන ගත යුතු බවත් පැවසීමට ෂර්මා මෙහිදී යොදාගන්නේ කතන්දර සහ ප්‍රකාශයන්ය. ප්‍රායෝගිකව ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අපගේ අසල්වැසියන් අවශ්‍ය වේ යැයි පැවසුවහොත්, ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? මෙහිදී ෂර්මා පවසන්නේ අපගේ නිවෙස් අවට සිටින අසල්වාසීන් නොවේ; අපගේ නිවෙස් අවට සිටියේ නම් හොඳ යැයි සිතන අසල්වාසීන් පිළිබඳවය. අපට එවැන්නන්ගේ නාම ලේඛනයක් සකසා ගත හැකිය. මෙම කෘතියේ ඔහු සකසා ඇති නාම ලේඛනයට ග්‍රන්ථ කතුවරු, විශිෂ්ට ගායකයින්, විශිෂ්ට නායකයින් සහ ක්‍රීඩකයින්ද ඇතුළත්ය. ඔබටද එවැනි ලැයිස්තුවක් සකසා ගත හැකිය.
“ලෝකයට වැඩි වටිනාකමක් එකතු කළ හැකි හොඳම මඟ නම් ඔබ වඩාත් වටිනාකමක් සහිත පුද්ගලයකු බවට පත් වීමය. වෙනත් කිසිවකුට නොමැති කුසලතාවක් වර්ධනය කර ගන්න. වෙනත් කිසිවකු නොකියවන පතපොත කියවන්න. වෙනත් කිසිවකු නොසිතන සිතිවිලි සිතන්න.” (151 පිටුව)
අප බොහෝ විට උත්සාහ කරන්නේ තවෙකකු අනුකරණය කිරීමටය. නැතිනම්, බොහෝ දෙනෙකු සතුව පවතින කුසලතාවක් වර්ධනය කරගන්නට, පොතපත කියවන්නට සහ සියලු දෙනාම සිතන පොදු රාමුවකට කොටු වී සිතන්නටය. නමුත් ඔබ මොහාතකට සිතන්න. ඔබගේ සිතිවිලි පරාසය, ඔබගේ කියවීම් ධාරිතාව සහ ඔබගේ කුසලතා අනෙක් පොදු අයට සාපේක්ෂව වෙනස් නම් ඔබ ඔවුන් අතර සුවිශේෂ පුද්ගලයෙකු බවට පත් නොවන්නේද? ඔවුන් අතර ඔබ ගෞරවනීය නොවන්නේද?
“යමෙක් පරිසරය දෙස බැලීමට, එය ආඝ්‍රාණය කිරීමට සහ එහි වියමනේ ස්වභාවය විඳ ගැනීමටද, ඒ තුළ හුදකලා වීමටද උගත් විට ලෝකය අප සිතන තරම් නරක තැනක් නොවන බව පෙනෙනු ඇත. ලෝකය සමඟ මෙසේ හිතවත් වීම හෙවත් ඔබ කුඩා ළමයකුව සිටි කාලයේදී පරිසරය තුළින් ඔබට දැනුණු ඒ අද්භූත සතුට සහ පුදුමය යළි අත්විඳීම සක්මනක අරමුණ වේ.” (200 පිටුව)
රොබින් තමන්ගේ ජීවන අත්දැකීම් සහ විවිධ පොතපත ඔස්සේ කරුණු පැහැදිලි කරයි. මෙහිදී ඔහු යොදාගෙන ඇත්තේ ඔහුගේ පියා ඔහුට කලකට පෙර තැපෑලෙන් එවූ ඇලන් ඩෙවෝ 1946දී රචිත ‘Getting the Most Out of Life’ කෘතියයි. මෙම කෘතියේ එක් පරිච්ඡේදයක සඳහන් වන්නේ “ඇවිද යන්නේ කෙසේද?” යන්නයි. මෙහිදී ඇවිදීම ඔස්සේ අපට පරිසරයත් සමග සම්බන්ධ වීමේ අවකාශය සැලසෙයි. නූතනයේ අප නගරීකරණය සහ කාර්මීකරණය හමුවේ සොබාදහමින් වියුක්තව සිටින බව රහසක් නොවේ. සොබාදහමට මුසු වෙමින්, සොබාදහමට ඇහුම්කන් දීමේ හැකියාව ඔබ සතුව පවතිනවා නම් ඔබගේ ජීවිතය වඩාත් සුන්දර වනු ඇත.
“ජීවත් වීමේ කලාව පිළිබඳ විශේෂඥයා තම වැඩ කටයුතු සහ තම විනෝද ක්‍රීඩාද, ඔහුගේ වෙහෙසීම සහ විවේකයද, ඔහුගේ මනස සහ සිරුරද, ඔහුගේ ජීවිතය සහ ආගමද අතර මහා වෙනසක් පවත්වා නොගනියි. ඔහුට මේ එකිනෙක අතර වෙනසක් නොපෙනෙන තරම්ය. ඔහු කරන්නේ තමා වැඩ කරන්නේද විනෝද ක්‍රීඩාවක නිරත වන්නේද යන්න විනිශ්චය කිරීමට සෙස්සන්ට ඉඩ හැර, ඔහු කරන දෙය විශිෂ්ට ලෙස කිරීමේ සිය ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කිරීම පමණි. ඔහුට අනුව නම් ඔහු වැඩ කරන අතරම එයින් විනෝදයක්ද ලබා තිබේ.” (217 පිටුව)
ජීවත් වීමේදී කළ යුතු බොහෝ කාර්යයන් රැසක් තිබේ. ඉගෙනීම, රැකියාවක නියැලීම, නිවසේ වැඩ කටයුතු කිරීම ආදී කවර කාර්යයක ඔබ නියැළුණද එය ඔබට සතුටින් සහ විනෝදයෙන් කළ හැකි නම් එය ඔබට කිසිවිටෙක ආතතියක්, පීඩනයක්, වේදනාවක් ඇති නොකරනු ඇත. ඔබට එදිනෙදා ජීවිතයේදීද එවැනි පුද්ගලයන් හමු වී තිබෙන්නට පුළුවන. ඔවුන් තමන්ට නියමිත රාජකාරිය නිවැරදිව සිදු කරන අතර එය සතුටින් සහ විනෝදයෙන් සිදු කරයි. එලෙස අපටත් වැඩ කළ හැකි නම් දවස අවසානයේ අපට මහත් පීඩාවක් නොදැනෙනු ඇත. බොහෝ විට අප කාර්යයක් සිදු කර අවසන් වූ විට විඩාව දැනෙනුයේ ගතට වඩා මනසටය. අප ඒ කටයුත්ත සතුටින් සහ විනෝදයෙන් ඉටු කළේ නම් මනස නිරවුල් වනු ඇත.
“මට අවශ්‍ය මා මිය යන මොහොත වන විට මුළුමනින්ම මිනිස් වර්ගයා වෙනුවෙන් කැප වූ අයෙකු වීමටය. එබැවින් මා වේගයෙන් වැඩ කරන තරමට මම වඩාත් ජීවත් වෙමි. මට නම් ජීවිතය යනු කෙටි ඉටිපන්දමක් නොවේ. එය දසත එළිය කරන මහා විලක්කුවකි. මේ මොහොතේදී මම එය දරාගෙන ඉහළට ඔසවාගෙන සිටිමි. එය මගෙන් පසුව එන අනාගත පරම්පරාවන්ට භාර දෙන තෙක් මම එය හැකි තාක් දීප්තියෙන් යුතුව දල්වාගෙන සිටිමි.” (221,222 පිටු)
අපගේ ජීවිතයේ සැදෑ කාලයට එලඹුණු පසු ගෙවී ගිය අතීත ජීවිතය ගැන කල්පනා කර සතුටු වීමට හැකි නම් එය කෙතරම් අගනේද? අපගේ බාල විය, තරුණ විය සහ මැදි විය සාර්ථකත්වයට පත් කර ගැනීම උදෙසා අප අද පටන් වැඩ කටයුතු ආරම්භ කළ යුතුය. එය අප අද ගෙවන ජීවිත කාලසටහන තරමක් වෙනස් කිරීමෙන් සකසාගත හැකි වනු ඇත. ජීවිතය සැමවිටම සුන්දර නොවේ. අසුන්දර වන අවස්ථාද පවතී. එබැවින් අප අපගේ ජීවිතයට පැමිණෙන සියලු අභියෝගයන්ට අභීතව මුහුණ දිය හැකිය.
ජීවිතයට පාඩම් සියයක් කියාදෙන රොබින් ෂර්මාගේ මෙම කෘතිය ඔබගේ ජීවිතය බොහෝ වෙනස් කරනු ඇත. මෙහි පරිච්ඡේද කෙටිය. ඉතා ප්‍රායෝගිකය. මෙහි අන්තර්ගතය සිත්ගන්නා සුලුය. සුපාඨනීය බවකින් යුක්තය. අද ඔබගේ සාර්ථකත්වත් ජීවිතයේ පළමු දවස කරගන්න. ඔබ ප්‍රමාද නැත. අද සිට පටන් ගන්න. හෙටට කල් නොදමන්න.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
