භූගත ගංගාව

ප්‍රබන්ධයක් යනු තථ්‍ය ලෝකය සහ අතථ්‍ය ලෝකය අතර පවතින්නා වූ යම්කිසි සිද්ධියක් හෝ සිද්ධි දාමයක් පාඨක ප්‍රජාව වෙත ප්‍රත්‍යක්ෂ ලෙස ගෙනහැර දැක්වීමය. පියැසි කවුළුව, කන්දේ වීදිය සහ සැප්තැම්බරයේ දිග දවසක් ආදී කෘති රචනා කරන ලද කපිල කුමාර කාලිංගගේ “අදිසි නදිය” කෘතිය යථාර්ථය ඉක්මවා ලූ ගුප්ත, ෆැන්ටසිමය ආරයෙන් රචනා වූවක් ලෙස හඳුනාගත හැකිය.

“අදිසි නදිය” යන්නෙන් වාච්‍යාර්ථයෙන් අතුරුදන් වූ නදියක් පිළිබඳව ගෙන එන කතාවක් ලෙස දැක්වුවත්, නවකතාකරුවාගේ අරමුණු රාශියක් කෘතිය පුරාවටම දිවෙන ආකාරයක් හඳුනාගත හැකිය. නමක් නැති රටක, නමක් නැති නගරයක් වටා ගෙන මෙහි බහුතරයක් වූ ජනතාවටද නමක් හෝ නිශ්චිත  අනන්‍යතාවක් පවතිනු හඳුනාගත නොහැකිය. සිතන්නට, අදහස් ප්‍රකාශ කරන්නට හෝ නගරයෙන් පිටවී යාමට පවා අවසර අහිමි වූ පසුබිමක ඔවුන් ඒවටම අනුගත වෙමින් ජීවත්වන ස්වරූපයක් දැකිය හැකිය. සත්‍ය සහ කල්පිතය අතර සහසම්බන්ධයෙන් නිම වූ මෙකී ආඛ්‍යානයට මුල් වූ කල්පිතය හෙවත් අදහස පිලිබඳව නවකතාව ආරම්භයේදීම මෙසේ ගෙනහැර දක්වයි.

මාතලේ නගරයේ යටින් ගලා බස්නා භූගත ගංගාවක් ඇති බැවින් මතු යම් දවසක එම නගරය ගිලා බැස විනාශයට පත් වනු ඇතැයි කතාවක් පවතී. එසේ ම කඳුකරයේ දුම්රිය නගරයක් ආසන්නයේ ඇති කන්දක් නාය යෑමෙන් යම් කිසි දිනක නගරය සහමුලින්ම වැසී වැනසී යනු ඇතැයි ද විශ්වාසයක් ඇත.”

නමක් නැති රටක, නමක් නැති නගරයක් වටා ගෙතෙන කතා ආඛ්‍යානය තුළ බහුතර ජනතාවට සිය අනන්‍යතාවයන් අහිමි වුවද, ඒ නගරයේ පාලක පංතියට නම් සහ අනන්‍යතාවයන් පවතින බව දැකිය හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ගේ නිදහස සීමා කිරීම හේතුවෙන් සිදුකර ඇති මොළ සෝදනයන් මගින් මිනිසුන් හීලෑ කර ඇති අතර, ඉහළ නිලධාරී මඩුල්ලට විශේෂ අවස්ථා හිමිවීම, මාධ්‍ය නිදහස සීමා කිරීම මෙන්ම මාධ්‍යවේදීන්ගේ නිර්මාණ ශක්තියෙන් විවිධාකාරයෙන් අඩපණ කිරීම ආදී දීර්ඝ කාලීන ලක්ෂණයන් මෙම නගරය තුළ දැකිය හැකිය. මැක්ස් එක්සෙල් නම් සංචාරකයාගේ පැමිණීමත් සමග කතාව ආරම්භ කරන නවකතාකරුවා නගරයට හා එහි විවිධ පුද්ගලයන්ට නම් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් සහ ඇතැම් අවස්ථාවල අක්ෂර හෝ සංඛ්‍යා නාමාවලින් සකසා ගන්නා ලද නම්-ගම් භාවිතා කිරීම තුළින් කතාවේ ගුප්ත බව තවදුරටත් ආරක්ෂා කිරීමට උත්සාහ ගෙන ඇත.

පුදුමයකට මෙන් අතීතයේ සිටම එ නුවර වැසියන්ට ද හරිහමං නම් ගම් නො තිබිණි. ඔවුන්ගෙන් සමහරු අක්ෂර හෝ සංඛ්‍යා නාම වැනි දෑ තමන් හඳුන්වනු පිණිස යොදා ගත්හ.”

මැක්ස් එක්සෙල් නම් මානව විද්‍යාඥයා “අදිසි නදිය” නවකතාවේ ප්‍රධාන කථානායකයා ලෙස හඳුනාගත හැකි අතර, ඔහු නගරයට පිටතින් පැමිණෙන්නේ එකී නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති අවතානම් සහගත තත්ත්වයන් මතය. නගරයේ පාලන තන්ත්‍රය මගින් පනවා ඇති අසීමාන්තික නීති රීති මාලාව හේතුවෙන් නගරයෙන් කිසිවෙකුට පිටවී යාමට අවස්ථාවක් නොමැති අතර, නගරය ගිලා බැසීමට ආසන්න බැවින් නගර වැසියන් බේරා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමට මැක්ස් උත්සාහ දරයි. නමුත් පාලන පන්තිය තුළ දැකිය හැක්කේ මීට හාත්පසින්ම ප්‍රතිවිරෝධී වූ අදහස් සමුදායකි. පාලන තන්ත්‍රය විසින් සිය බලය පවත්වාගෙන යාමේ අරමුණින් ඊට විරුද්ධ වන සෑම පුද්ගලයකුටම මරණ දඬුවම ලබාදීම හෝ සිරබාරයට ගැනීම ආදී වූ අසීමාන්තික ඒකාධිපති පාලන ක්‍රමයක් අනුගමනය කළ ආකාරයක් හඳුනාගත හැකිය.

අපි සදාකාලික හරිත නගරයක්. මුළු ලෝක ධාතුවම විනාශ වුණත් මේ නගරය පවතිනවා. එහෙමයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. පොළොව යට ගංගාවක් තියෙනවා නම් ඔහේ තිබුණාවේ. මොකක්ද ඒකෙ භයානකකම. මොනවද මේ දොඩවන්නේ?.”

නගරයෙන් පලා යෑමට තැත් කළ තරුණයකු වෙඩි පහරින් මරුට. තවත් සිව් දෙනකු අත්අඩංගුවට.”

කපිල කුමාර කාලිංග විසින් යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද “අදිසි නදිය” නම් ප්‍රබන්ධයෙන් සමස්තයක් වශයෙන් සමාජ දේශපාලනික කතිකාවක් පාඨකයා ඉදිරියේ නිර්මාණය කරන ආකාරයක් දැකිය හැකිය. කල්පිත නගරයක නාමික අනන්‍යතාවයකින් තොරව ජීවත්වන ජනයා අත්විඳින්නා වූ දුෂ්කරතාවයන්ට එරෙහිව හඬක් නැගීමට පවා නොහැකි වී තිබෙන්නේ ද පවත්නා දේශපාලන බල අධිකාරිත්වය හේතුවෙනි. අශුභවාදී සියල්ල ශුභවාදී ලෙස ජනතාව ඉදිරියේ අර්ථකථනය කරන පාලක පැලැන්තිය ප්‍රවෘත්ති මෙන්ම ජන මතයද පාලනාධිකාරිය විසින්ම පාලනය කරන ලද්දක් ලෙස හුවා දක්වයි. සිය අදහස් ප්‍රකාශ කිරීමට පවා සීමා මායිම් වැටුණු මෙකී යුටෝපියානු නගරයේ ජනතාවට සිය අදහස් පවා බෙදා ගැනීමට සිදුවූයේ රාත්‍රී නින්දට ගිය අවස්ථාවේ රහසින් බව කතුවරයා තවදුරටත් ඉස්මතු කරයි.

ඊයෙ රෑ හිම වැටුණා කියලා අද කිව්වොත් අපි ඒක පිළිගන්න ඕනෙ.”

මෙවැනි කාල වලදී නගරයේ තැන තැන සවිකර ඇති කට කථා වීමත් යන විමර්ශන ඒකකයේ රහසිගත මයික්‍රෆෝන ක්‍රියාත්මක වන බව ඔවුහු දැනගෙන සිටියහ. ඔවුන් තම සිත් තුළ ඇති අදහස් පිට කරගත්තේ නිවසේ නිදන කාමර තුළදීය. දෙමව්පියන්ගෙන් දරුවනට පවා නොඇසෙන සේ එය සිදුකෙරිණි.”

භූගත ගංගාවක් යනු සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් භූ පෘෂ්ඨයකට යටින් දිවෙන ගංගාවකි. Jules Verne රචනා කරන ලද “Journey to the center of the earth” නවකතාව තුළද මෙයාකාර භූගත ගංගාවක් සහිත පරිසර පද්ධතියක් හමුවේ. කපිල කුමාර කාලිංග විසින් මෙකී භූගත ගංගා පිළිබඳ සංකල්පය නිර්මාණය කරන ලද්දා වූ කල්පිතයක් නොව තථ්‍ය ලෝකයේ ඇතැම් විට හමුවන්නක් ලෙස ද හඳුනාගත හැකිය. මෙකී භූගත ගංගාව පිළිබඳ පාලන තන්ත්‍රයට කරන ලද දැනුවත් කිරීම් ඉවතලන ඔවුන් තම නගරය පිළිබඳව පවසමින් අනෙකුත් නගරවලින් සහ විදේශයන්ගෙන් ආධාර උපකාරාදිය ලබා ලබා ලබාගන්නේ සිය පාලන බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණිනි. “අදිසි නදිය” වූ කලී හුදෙක් ලාංකීය දේශපාලන, ආර්ථික සහ සමාජීය මොඩලය විවරණය කිරීමේ අරමුණින් ලියූ ප්‍රබන්ධයක් ලෙස ද විවරණය කළ හැක්කේ එබැවිනි.

කෙබඳු තත්ත්වයක් වුව ද, විදේශයන්ගෙන් ආධාර නොලැබිය යුතු බව පුරපතිගේ මතය විය. අපේ ප්‍රශ්න අපට විසඳගන්න පුළුවන්… ආපදාවක් වුණත් ඒක අපේ දෙයක් හැටියටයි අපි සලකන්නේ.”

නගර සභාව බොහොම කැමතියි සුළු ජාතීන්ට උදව් කරනවා ලෝකයට පෙන්නන්න. ඒත් අපි දන්නවා ඒක ඇත්තක් නොවන බව. අපි ටික දෙනාගෙන් පස්සෙ, මේ නගරයෙන් චීන පරපුර වඳවෙනවා.”

මෙකී නගරයේ පාලකයන් නගර වැසියන්ට දැඩි නීතී රීතී පනවමින් ගෙනයන්නා වූ රෞද්‍ර පාලනය තුළ හොයා දක්වන්නේ සියලුම ආකාරයේ ප්‍රශ්න ගැටලු ආදිය මේ හරහා විසඳිය හැකි බවයි. පාලක පන්තියේ මෙකී ප්‍රාථමික පිළියම් තුළින් නගර වැසියන්ගේ ජීවිත තවදුරටත් අවධානමය හෙලන ආකාරයක් හඳුනාගත හැකිය. ධනයට සහ බලයට ඇති කෑදරත්වය, ගැටළු වලට පිළියම් සොයන ආකාරය යනාදී වූ ලාංකීය දේශපාලන භාවිතය තුළද දක්නට ලැබෙන්නා වූ නිරුවත “අදිසි නදිය” කෘතිය හරහා ව්‍යංගාර්ථවත් ලෙස ගෙනහැර ඇති බව හඳුනාගත හැකිය.

දුර්ගන්ධයෙහි යම් අඩුවක් වූයේ නගර සභාව සුවඳ කුඩු විෂ නාසක වරුසාවක් හෙළිකොප්ටර් මගින් නගර අවකාශයෙහි විසුරුවන්නට වූවායින් පසුව ය.”

මේ සියලු ගැටලු වලට විසඳුම සංවත්සර උළෙල මහා ඉහළින් පැවැත්වීම බව නගර සභාවේ අදහස විය.”

මෙම ආඛ්‍යානය තුළ මැක්ස්ට හමුවන අපූර්වතම මිතුරා “රෙක්ස්” ය.ඔහු මන්දමානසික අයෙකු ලෙස වීදි වල සැරි සමරමින් කාලය ගත කරන බැවින් කිසිවෙකුගේ අවධානයක් ඔහු වෙත නොයෙදේ. මැක්ස් සැම විටම සිදුවීමට යන විනාශයෙන් නගරය ගලවා ගැනීමට උත්සාහ දරන අතර පවතින්නාවූ පාලන තන්ත්‍රයට ඇති බිය හේතුවෙන් බොහෝ දෙනෙකු නගරය විනාශ වී යෑම සම්බන්ධව කතා කිරීමට දක්වන්නේ උදාසීන බවකි. සිදුවීමට යන විනාශයෙන් මිනිසුන් ගලවා ගැනීමට මැක්ස් සමග සම්බන්ධ වන්නේ මන්ද මානසිකයකු ලෙස අර්ථකථනයට ලක් වූ “රෙක්ස්” පමණි.අවසානයේ තම ස්වාමියා වූ මැක්ස් වෙනුවෙන් නගරයෙන් පිටතට නොයා ඒ භූමියේම මිහිදම් වන්නට වූයේද ඔහුගේ සැබෑ චරිත ස්වභාවය විදහා දක්වමිනි.

“එය ගෙවල් දොරවල් ගිල දමමින් වේගයෙන් ඉදිරියට ඇදුනේ ක්‍රම ක්‍රමයෙන් පුළුල් වෙමිනි වෙමිනි. වීදිය එක්වරම දෙබෑවනු රෙක්ස් දුටුවේය ඔහු එක්වරම නැඟී සිටියේය. තමා ඉදිරියේ සෑදෙන ගැඹුරු ආවාටය දෙස බලා සිටියේය. එය ක්‍රම ක්‍රමයෙන් රෙක්ස් සිටිනා තැනටද ළං වනු ඇත.”

මෙම ආඛ්‍යානය තුළ හමුවන වෑං සහ වෑං ගේ දියණිය වූ ලිලීද මැක්ස්ට නගරයේ පැරණි මූලාශ්‍ර සොයාදෙමින් සහ භූගත ලෝකය පිළිබඳව තොරතුරු ලබාදෙමින් නගරය බේරා ගැනීමේ මෙහෙයුම සඳහා දායකත්වය ලබාදෙයි. දේශපාලන සමාජ පසුබිම විවරණය වන “අදිසි නදිය” හි අප්‍රකාශිත ප්‍රේම අන්දරයක් ගලා යන ආකාරය මැක්ස් සහ ලිලී යන චරිත අධ්‍යනය කිරීමේදී හඳුනාගත හැකිය.දේහධාරී, කඩවසම් තරුණයෙකු වූ මැක්ස්, වාත්තු කළා වූ සුන්දර සිරුරක් හිමි ලිලී දුටු දිනයේ පටන් මැක්ස් ගේ සිතෙහි නැගුණු සිතුවිලි විවරණය තුලින් හඳුනාගත හැකිය. මැක්ස් ගේ සිතෙහි ලිලී ගැන ඇති වූ සිතුවිලි අවසානයේ පුපුරා යන්නේ ආදරය සහ රාගය මිශ්‍රිත වීමෙනි. නව්‍ය උපමා භාවිතා කරමින් මේ හා සම්බන්ධ සිදුවීම් අවස්ථානෝචිත භාෂා භාවිතයන් තුළින් කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරයක් හඳුනාගත හැකිය.

ලිලිගේ සිරුර උපරිමයට රත්ව දුම් නගින ස්ත්‍රියක් මෙන් මැක්ස්ගේ ගතෙහි දැවටෙයි.”

ඇගේ මුහුණ පළිඟු රෝස පැහැයක් ගත්ත ද අත් පා කිරිගරුඬ මෙන් විය.”

සිදුවන ව්‍යවසනයෙන් බේරීමට නම් නගරයෙන් පලා යා යුතුය යන අදහස සමාජගත කිරීමට මැක්ස් උත්සාහ ගන්නා අතර අවසානයේදී සොබාදහම විසින්ම ජනතාව තුළ එම අදහස ඇති කරලීමට කටයුතු කරයි. නගරයේ දකුණු ප්‍රදේශයේ ඇතිවූ ගිලා බැසීම, මුළු නගරයම අන්ධකාරයට පත්වීම, නගරය පුරා ඉවසිය නොහැකි දුගඳක් පැතිරී යාම ආදී විපර්යාසයන් හේතු කොටගෙන තවදුරටත් මෙකී අදහස නගර වැසියන් තුළ ස්ථාපිත වීම සිදුවේ. නගරයේ ජීවත් වූ ප්‍රභූ පැලැන්තිය නගරය ගිලා බැසීමට පටන් ගත් මොහොතේම නගරයෙන් පලා යෑමට කටයුතු කරන අතර, ආයතන වල සේවකයන්ට සහ දුප්පත් ජනතාවට සිදුවන්නේ ඒ ඒ තැන්වලම මිහිදන් වීමටය. කපිල කුමාර කාලිංග විසින් පවත්නා ලාංකීය දේශපාල යථාර්ථයන් කෙරෙහි එළ කරන ලද අතුල්පහරක් ලෙස අදිසි නදිය කෘතිය හඳුනාගත හැක්කේ මෙකී තත්කාලීන ලාංකීය දේශපාලන, සමාජ යථාර්ථයන්ගේ සම්පින්ඩනය හේතුවෙනි.

ආතර් සහ නීනා ද ඇතුළුව මෙහි පදිංචිව සිටි ආරක්ෂක අංශවල සහ රජයේ උසස් නිලධාරීන් කල්තියාම උපක්‍රමශීලීව පලා ගොස් සිටි බැවින් බොහෝ නිවෙස් පාළුවට ගොස් තිබුණි.”

මෙම කතාව නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ චරිතවලට අමතරව දක්නට ලැබෙන පුරපති, මංගල ආරක්ෂකයන් ආදී දේශපාලනඥයන් හා උගත් වියතුන් ප්‍රභූ පැලැන්තිය පිළිබිඹු කරන අතර නීනා, ආතර් ආදී සෙසු චරිත ද යොදා ගනිමින් සැබෑ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් විවරණය කරන්නට කතුවරයා උත්සුක වී ඇති බව හඳුනාගත හැකිය. කතන්දරය ගලා යෑමේදී විවිධ වූයේ අභව්‍ය සිදුවීම් යොදා ගෙන ගුප්ත ස්වභාවයක් ඉස්මතු කරන්නට මෙහි කතුවරයා සමත් වී ඇත.ඒ පිළිබඳව කතාව අවසානයේ අවසානයේ දී ලිලීට සිදුවන සිදුවීම තුළින් හඳුනාගත හැකිය.

ලිලීගේ දෙපා එකට යාවී මත්ස්‍යයෙකුගේ වරලක් සේ දෙපසට වැඩී තිබුණි. දණහිස තෙක්ම මත්ස්‍ය කොරල් දක්නට ලැබුණි. එක්වරම මැක්ස්ගේ මතකයට නැඟුනේ නමක් නැති නගරයේ ඉතිහාසයේ සඳහන් දිය කිඳුරි වසංගතයයි.”

කපිල කුමාර කාලිංග විසින් “අදිසි නදිය” රචනා කිරීමේ දී සංවාදශීලී ලෙස විවාදාත්මක ආකාරයෙන් භාෂාව යොදාගෙන ඇති බව හඳුනාගත හැකිය කතාව ආරම්භයේ පටන් අවසානය දක්වාම පාඨකයා කුතුහලයට ලක් කරමින් ව්‍යවහාර භාෂාව, සංවාදශීලි අවස්ථාවන් සහ නව්‍ය උපමාවන් භාවිතා කරමින් පාඨකයා කතාව කෙරෙහි ඇද බැඳ තබා ගන්නට සමත් ඇති බව හඳුනාගත හැකිය.

මායාරූපී ප්‍රබන්ධය,අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන ප්‍රබන්ධය සහ විද්‍යා ප්‍රබන්ධය යනාදී සාහිත්‍ය ශානරයන් ඔස්සේ ගලා බස්නා “අදිසි නදිය” කෘතිය කපිල කුමාර කාලිංග විසින් රහස් පරීක්ෂක කතා ශෛලිය සහ ගූඪවාදය වැනි රීතීන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද සැබෑම දේශපාලනමය ෆැන්ටසියක් වශයෙන් ද හඳුනාගතගත හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment