අතුරුදන් වූවන් සොයන ලූනා.

මෙම පොත කියවන්න ගනිද්දී Borges ගේ මේ කවිය ඇයි මට මතක් වුණේ…

“There is a line from Verlaine
I ‘ll never recall.
There is a street nearby
from which
my footsteps
are barred.
There is a mirror
that has looked
its last on my face.
There is a door
I have closed
for the final time.
Amongst the books
in my library
(I can see them now)
there are some l will never
Open again.”

“මට දැන් කෙදින හෝ මතක් කර ගනු නොහැකි
Verlaine ගේ පේලියකි.
ළඟ ඇති වීදියකි,
තහනම් වන මගේ පිය සටහන්..
කැඩපතෙකි අවසන් වරට මා මුව සලකුණු කළ.
ද්වාරයකි මා යළිත් කිසි දින නොහරින.
මගේ පොත් ගුලේ ඇත
මට දැන් දැකිය හැකි
පොත් සමහරක්
මා නැවත නොපෙරලන..

(සරල පරිවර්තනය මගෙන්.)

එදා වැහිබර සැඳෑවක්… සුන්දර මාතර නගරයේ තැනක මොහාන් සිය නවමු පරිවර්තනය, 2024  දෙසැම්බරයේදී දොරට වඩද්දී මට හිතුණේ නැහැ එය මෙතරම්ම මගේ සිත් ඇද ගනීවි කියා. අනෙක් අතට පොතේ කර්තෘ ෂෝං පෝල් ෆෝ, එය ඔහු ගේ ජීවිතයේ යම් වසර කිහිපයක මතක සැමරුම් ගොනු කළ මාතර නගරයේ හා දිවයිනේ අනෙක් අන්තයේ පිහිටි යාපනය ගැන වීම නිසා ඒ කියවීම එක්තරා දුරකට සංක්‍රාන්තියක ජීවත් වීමක්. පොතේ කියැවෙන දෙයත්, අපත් අතර පරතරය ගිනිය නොහැකි තරම් දුරක් පමණයි. එය ද පියැවෙන්නේ මනහරවය. ඒ එසේ වන්නට කතුවරයාට වඩා සිය වැඩ බිම තුළ යත්න දරන්නට ඇත්තේ නිසැකයෙන්ම පරිවර්තකයා විය යුතුයි.

යම් සෙවීමක සේයාවකින් පොතේ ඇරඹුම සනිටුහන් වෙයි. සොයන්නී ‘ලූනා’ය. ඇය සොයන්නේ ‘සන්දනා’ය. ලූනා හා සන්දනා එකිනෙකා දැක නැත; අදෘශ්‍යව ඇසුරක්ද නැත. ඇත්තෙන්ම ඇය සන්දනා හමුවුවහොත් කුමක් කියන්නද පවා නොදන්නීය.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.

ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි.

පොත තුල සන්දනාගේ කතාවට අමතරව “ඩයනා” ද සිය දුක් ප්‍රාප්තීන් සමඟ ඇගේ කතාවද අමුණන්නීය. දෙදෙනාම සිය අහිමිවීම් තුළ මතුකරගන්නා යම් යම් හිමිවීම් පිළිබඳ තෘප්තිමත්දැයි සිතෙන අයුරින් ෂොං කතාව රඳවයි.

“සන්දනා පොන්නම්බලම් ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ඇයට පරිහරණයට ඉඩ දෙයි.  ඇගේ  කතාවේ මෙම සන්ධිස්ථානයේදී ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරන බව මට පසක් වෙයි. ඩයනා කතා කරගෙන යයි. සන්දනා ඔහුගේ රචනා සහ කවි ඇයට හඳුන්වා දෙන අතර ඇය ඒවා කියවයි. ඇය ඒවාට කැමති වෙයි. සන්දනා ඩයනාගේ කතාව ලියන්නට තීරණය කරයි. ඇය එක්වරම ආපසු හැරී බෑගයෙන් කඩදාසියක් රැගෙන මට දෙයි. “මෙන්න මේක! මේක තමයි අහුන්ගල්ල. ඒක තියාගන්න. ඒක පිටපතක්!” ඇය කියයි.

(පි:112)

මම පාසලේ කොරිඩෝවක් දිගේ ඇවිද යමි. පන්ති කාමරයක් ඉදිරිපිට තැනින් තැන වැටුණු කෙස් රොද කියාපාන්නේ පිරිසිදු කිරීමකට ඉඩ ඇති බවම නොවේ; අපේ සිසුන්ගේ විනය පිරිලා යන්න ද නොවේ. යම් වෙනසක් ඇවැසි බවත් එය හුදෙක් කොණ්ඩා රැවුල් වැවීම් හෝ දණහිසෙන් යම් පමණ ඉහළින් නවතින සුදු ගවුම් නොව චින්තනමය පරිවර්තනයක් බවත්ය. එබඳු අදහසක් ලූනා කේසිව්  ද ජනනය කරන්නීය. එයට අනුපාන සපයන්නී ලංකාවේ රිෂානාය.

“ඉස්කෝලවල අධ්‍යාපන ක්‍රමයෙන් නිරූපණය වන්නේ ශ්‍රී ලාංකික සමාජය. ධූරානුක්‍රමික සම්ප්‍රදායවල් සහ පටිපාටි ලාංකික සමාජයේ උරුමයක්. බෞද්ධ දර්ශනය කුලභේදයක් නොතිබුණාට ඒගොල්ලෝ සමාජය තුළ නොනිල කුළ ක්‍රමයක් හදාගෙන. යටත් විජිතකරණයට කිසි දෙයක් වෙනස් කරන්න හැකි වෙලා නෑ. ඒ වෙනුවට මේ ක්‍රමයම තහවුරු කරලා ඒක ප්‍රයෝජනයට ගත්ත එකයි වුණේ.”

(පි:65)

කතා තුළ කතා මෙන්ම ඒ හැටි දිගු නොවූ පරිච්ඡේද සහිත ‘යළිත් යාපනයට’ ගෙන එන්නේ එක්තරා විචිත්‍ර පටලයකින් වැසුණු ප්‍රකෘතියයි.එය හේතුඵල දාමයකින් යුක්ත සෙසෑන්ගේ (Paul Cezanne) සිතුවමකි. සෙසෑන්ගේ සිතුවම් තුළ ඔබ දකින්නේ ගැඹුරු අවකාශයි. මෝස්තරය එතරම් තියුණු නැති නමුදු පින්සල් පහර ප්‍රබලව දිසෙන්නේ පරිකල්පනය විචිත්‍ර කරවමිනි.

මේ ලියන මොහොතේ පවා මගේ මව්බිම ඒ දිගු සිවිල් යුද්ධයෙන් ඉනික්බිතිව ද ගතකරන්නේ යම් ත්‍රාසජනක කාලයකි. සාමාන්‍ය ජන ජීවිතය යනු ඇතැම් විට යුධ වැදීමකි. අනෙක් අතට නිදහස් අධ්‍යාපනික අවකාශයන් සන්ත්‍රාසනීය වී ඇත. දරුවන්ට සිය ජීවිතය ශක්තිමත් කර ගැනීමට අවැසි පිටිවහල වැඩිහිටියන් විසින් පිටුවහල් කර ඇති සේය. එහි යම් පැතිකඩක් ලූනා කේසීව් මෙසේ එළිදරව් කරන්නීය.

“පෙළපොත්වල ලියල තියෙන හැමදේම නිවැරදියි, උචිතයි කියලා පවා සමහරු හිතනවා. මේකත් එක්ක මට ප්‍රශ්නයක් තියෙන බව කියන්න ඕන .ඉස්කෝලෙ මහත්තයගේ සූට් එකෙන් එළියට එන්නේ නැති කෙනෙකුගේ භූමිකාව වෙනස් කරන්න තියෙන උවමනාව සමහර විට දෘෂ්ටි මායාව ක්ද? කෝලම් බැලුවම මට හිතෙන්නේ ලංකාවේ හැම කෙනෙක්ම ඉන්නේ වෙස් මුහුණක් දාගෙන කියල.”

(පි:64)

අපි මෙහි කතුවර ෂං පෝල් ෆෝර් වෙත හැරෙමු. ඔහු යම් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ දිගු රැඳීම ඔහුගේ සංජානනයේ වෙනසක් කළ බැව්.

මිනිසුන් ඇරඹූ යුද්ධය මෙන්ම සොබාදමේ වියරුව – සුනාමියද ඔහු ලංකාව තුළදී අත්විඳ ඇත. ඔහු සන්දනා පොන්නම්බලම් තුළින් අවුළුවන කතාවේ ජවය ද ලූනා කේසිව් හරහා ගෙන එන ද්වන්දාත්මක ස්වරූපය ද, පාඨකයන් වන අපට කතාව අතරමග නතර කළ නොහැකි බව ඒත්තු ගන්වයි. ලූනා කේසිව්, සන්දනා පොන්නම්බලම් සෙවීම අපේ සෙවීමක් බවට ද නිරායාසයෙන්ම පත්වේ.

මා සාමාන්‍යයෙන් මොහාන්ගේ පරිවර්තන කෘති කියවා ඇති නිසා ඔහුගේ පරිවර්තනයන් යාන්ත්‍රික නොමැති බව මගේ හැඟීමයි. භාෂා ද්වයක් දැනගත් පමණින්ම පරිවර්තනයක් නිසි මාත්‍රා සපුරන්නේ නැත. පාඨකයාට සුව පහසු කියවීම් කළාල එළා දෙන්නේද නැත. එය ඉතා සූක්ෂ්ම මෙන්ම නිර්මාණශීලී භාවයද මුසු වුණු වෙනස්; වෙනත් ලිවීමකි. එතැනදී බොහෝ විට පරිවර්තන කෘතිය, ප්‍රතිනිර්මාණය වන්නේ  අදාල සංස්කෘතිමය කලාප හරහා සිදුවෙන ප්‍රාමාණික තරණයෙනි.

‘යළිත් යාපනයට’ පොත ලංකාව පසුබිම් කරගනිමින් ලියැවුනත් යාපනය අපට දුරස්ථ සංස්කෘතිමය කලාපයකි. එමෙන්ම එහි වෙසෙන ‘විශ්වීය මිනිසා’ සන්දනාද ඇත්තෙන්ම අපූර්වත්වයකි. ෂං පෝල් මවන ඒ පරිකල්පනීය සමුච්චයන් මොහාන් එලෙසින්ම  අප වෙත ගෙන එන්නට ඇතැයි සිතේ.

ලූනාද ඇගේ ම නොවුනු කුරුසියක් කර තබාගෙන යන්නියකි. ඇගේ පියාට, අවුෂ්විට්ස් හි දී ඝාතනය කෙරුණු සිය මවුපියන් පිළිබඳ මතකයක් නැතත්, ඔහුගේ පවුල් ගසේ පැතිර ඇති අක්මුල් පිළිබඳ කෙරුණු පර්යේෂණය සෑහෙන දුරට පල දැරූ බව කියන එයට හවුල් වූ ලූනා ‘ඔහු මෙන්ම මමද අතුරුදන් වූවන් කෙරෙහි බයකින් පසුවෙමි.’ යැයි කියන්නීය. එතනින් නොනැවති ඇය ලංකාවේ සිට නැවත ප්‍රංශයට යන්නී, ඇගේ නිවාඩුව කැපකොට සන්දනා ඇතුළු පිරිස සොයා ගන්නට යත්න දරන්නේ සන්දනා පිළිබඳ ඇයට දැනුණු කුතුහලාත්මක ආකර්ෂණයම නිසා ම නොවේ. ස්වභාවයෙන්ම ඇය සොයන්නියකි. ඒ බැව් ඇය තහවුරු කර ගන්නීය.

“සන්දනා සහ ඔහු ගේ දියණිය ජීවතුන් අතර සිටින්නේය, ඔවුන් ප්‍රංශයේ ජීවත්වන්නට වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නේය යන දැනීම අවුරුද්දක් පුරා මසිතේ අරක් ගෙන තිබිණ. මා සුනිල්, රිශානා හෝ ජිම් හමු වූ සෑම විටකදීම අතුරුදන් වූ ඔවුන් පිළිබඳ ප්‍රශ්නය අප අපහසුතාවට පත් කළේය එහෙත්     ඇත්ත වශයෙන්ම ඒ මා මගේ ප්‍රංශ නිවාඩුව කැප කොට කෙසේ හෝ ඔවුන්ව සොයා ගැනීමට අදිටන් කළ දිනය තෙක් පමණි.”

(පි:123, 124)

මා Jorge Luis Borges ගේ “මියුසියම් “පැදි පෙලේ ආරම්භයෙන් මෙහි ප්‍රවිශ්ටය ගත්තාක් මෙන්ම එහි තවත් පැදියකින් අවසන් කරන්නම්.

“We are our memory,
We are that,
chimerical museum of shifting shapes,
That pile if broken mirrors.”

මට Borges ගේ ඒ අදහස  මේ කෘතිය තුළින් දැනෙන්නට ඇත්තේ, නිසැකවම  විවිධාකාර සෙවීම්, ඇලීම්, බැඳීම් තුළ වුව තිර ලෙස පවතින අනියත භවය පිළිබඳ යම් මනෝභාවයක් ඉන් ගෙන එන නිසා විය හැකියි. 

අපේ රැඳීම මෙන්ම අනන්‍යතාවයන් ගැඹුරුව  ගෙතෙන්නේ අපේ සැමරුම් සමඟයි. ඒ මතක දිගු මෙන්ම, ස්ථාවර ඒවා නොවේ. ගලා යන, වෙනස් වන පන්නයේ ඒවාය. යම්  සෙවීමක් තුළ ඔබට හමුවන්නේ ද එලෙසින්ම අවසන් කළ නොහැකි තව තවත් ගැඹුරට ඇදෙන මතකයන්ය; සිහිවටනයන්ය.

” යළිත් යාපනයට” මට එය ඇඟ වූ අයුරු ඔබටත් දැනේ නම්…


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

One thought on “අතුරුදන් වූවන් සොයන ලූනා.

  1. Beautiful review of a French book translated into Sinhala. Quote: ‘යළිත් යාපනයට’ පොත ලංකාව පසුබිම් කරගනිමින් ලියැවුනත් යාපනය අපට දුරස්ථ සංස්කෘතිමය කලාපයකි. එමෙන්ම එහි වෙසෙන ‘විශ්වීය මිනිසා’ සන්දනාද ඇත්තෙන්ම අපූර්වත්වයකි. ෂං පෝල් මවන ඒ පරිකල්පනීය සමුච්චයන් මොහාන් එලෙසින්ම  අප වෙත ගෙන එන්නට ඇතැයි සිතේ.

    Like

Leave a comment