අඩක් මේරුව ගැබක්

මනෝරි ගමගේ ලියූ කවි කියවන්න ලැබෙන්නේ වසර ගණනාවක සිට ය. එකල සිට මේ වෙනකම් ඒ කවිකම් අපට ළඟය, ළෙංගතු ය, ළබැඳි ය, හුරු පුරුදු ය. සෑම මසකම ලන්ඩන් කවි සඟරාවේ පළ වන ඇගේ කවිය නිරන්තරයෙන් අපේ හදවත වෙලා ගනී. විටක එය ගැහැණු කඳුළක පැහැ ගනී, විටෙක දරු වියොවෙන් කකියන මව්වත් හදවතක හැඩ ගනී, විටෙක ඒ කවි සමාජයේ දකින විඳින අනේක කම්කටොළු රැඳි හිත් කෙරෙහි සහවේදනයෙන් පැතිරෙන මානුෂීය ගුණ සුවඳ විහිදේ. සෞම්‍ය, ළගන්නා සුළු වචන තාලයකට කියැවෙද්දී හද බසෙහි රිද්මය දැනේ. ඇගේ තුන් වන කවි පොත වන “අඩක් මේරුව ගැබක්” හෙවත් මෑතක එළි දැක්වූ නව කවි පොතේ සියලු කවි පන්තී අතරින් තෝරා ගත් කිහිපයක් ගැන මගේ සිතුවිලි මෙසේ ලියමි.

ඇගේ වෘත්තිය තුළ ඇයට මේ ලෝක ධර්මතාවයන් අප්‍රමාණව දකින්න විඳින්න ලැබෙන අතර ජීවිතයේ යතාර්ථයන් වෙසෙසින් පිළිබිඹු කරනා කවි පන්ති අතර 41 “මෙතෙක් නොකී කතාවක්” කවි පෙළ කියවද්දී ජීවිතයේ හිමි අහිමි වියෝ දුක් පිළිබඳ උපේක්ෂාව පෙරදැරිව පද ගෙත්තම් වේ. “Whatever happens, the Life goes on” කියා අප අසා තිබෙන, ඒ මොනවා සිදු වුණත් ජීවිතය ඉදිරියට යනවා, පවතිනවා, කාලය ගෙවෙනවා යන නිරපේක්ෂ සිතුවිලි මේ කව කියවද්දී මා මනසෙහි ඇති වේ. සම්පූර්ණ කවි ය මෙහි උපුටා නොදක්වන්නේ පොත කියවන අය වෙත කරන අසාධාරණයක් නිසා ය. “39. කිරි කාමරේ කඳුළු” කවි පන්තිය ද ඒ සහවේදනයේ හැඩතල කැටි කරගත් කවිය කි. මේ කවි පෙළින් එක කවියක් හෝ සඳහන් නොකර යෑම මට කළ නොහැකි මේ කියවන ඔබට මේ කවි පෙළහරේ රැඳුණු මානුෂීය ගෙත්තම කෙරෙහි යම් හෝඩුවාවක් දිය යුතුම නිසා ය. මා ද ළමා වාට්ටුවක, නොමේරූ ළදරු ඒකකයක, නව ජන්ම ඒකකයක වෛද්‍යවරියක ලෙස කාලයක් සේවය කළ නිසා මේ විඳීම්, තැලීම් කම්පන තුරුල් කරගත් මව්වරුන්ගේ යසෝ ගිනි එලෙසින්ම අත් දැක තියෙන නිසා මේ කව එවන් ලිහිණියන්ගේ යාදිනි එකට කැටිකොටගත් කවක් බව දැනේ. එහි එක් කවියක් මම මෙහි උපුටා දක්වමි…‍

තවත් ඉවසන් ඉන්න බැරි තැන කන්ද කඳුළැලි හෙලනවා

අදත් ඊයේ වගෙම ආයිත් පැල්ලමක් ඉන් ඇඳෙනවා

අතක් පපුවට තියාගත්තම ටිකක් ඒකෙන් වැහෙනවා

හිතත් ගලකර සමකරන් මං හෙමින් ඉවතට දොවනවා

මනෝරි ගමගේ (අඩක් මේරුව ගැබක් )

ඉන් පසු කිවිඳිය තම කාව්‍යමය බසින් අප රටේ පවුල්බර දරුබර උර තියා හදේ සඟවාගත් මහා විසල් කතාවක් කවි කිහිපයකින් ගෙන හැර දක්වන්නී ය. මා දකින සුවිශේෂී ගුණය මේ කවි සියල්ල එළි සමය සහ විරිතක් අනුව ලියවී රිද්මයක් තාලයක් සහිතව කියවිය හැකි වීම ය. අත්වැල කවියේ පළමු පද පෙළ පහළට බංග, හංග වංග තුංග ලෙසින් ද අවසන් කවි පද පෙළ න්න… සහිත පද වලින්ද සමන්විත වේ. අසීරු විරිතක් වූ අර්ධ බ්‍රමණ බන්ධන විරිතට අනුව පද බැඳි “දැනුණා” නම් 28 වෙනි කවිය ඇයගේ කවි බසෙහි සූරත්වය මනාව පෙන්වා දේ. මේ කවිවල හැඩතල වඩා විචාරන්නට සඳැස් කවිය පිළිබඳ මගේ දැනුම අල්ප හෙයින් මේ විස්මිත කවිකම් කියවා බලන්නට මෙය කියවන ඔබට ආරාධනා කරමි.

ටී. එස්. එලියට් යෝජනා කළ පරිදි, කවියාට යුතුකමක් ඇත්තේ විනෝදාස්වාදය ලබා දීමට පමණක් නොවේ. ඔහු මතුකරන එක් කාරණාවක් තමා බස පෝෂණය කිරීම. එමඟින් “සමාජයේ වෙසෙන්නන් ගේ කථනය, සංවේදීතාව සහ ජීවී බව කෙරෙහි බලපෑම් කරන බව ඔහු ලියූ කාව්‍ය විද්‍යාව සහ ඇදහිල්ල ( 2011) හි සඳහන් වේ. මෙම අර්ථයෙන්, කවිය කිසි විටෙකත් එහි සමාජ සන්දර්භයෙන් හුදකලා නොවේ. ඒ වෙනුවට, එය තුළින් ලියන සහ කියවන ලෝකය පෝෂණය කරේ, පිළිබිඹු කරේ, හැඩගැස් වේ, වෙනස් කෙරේ.. කවියා තම අවට සිදුවන දෑ කෙරෙහි තම ඇස යොමු කරන්නේ තම පරිකල්පනය ඔස්සේ සමාජයට ඒවා ග්‍රහණය කරගන්නට හැකි ලෙස වෙනස් කරමිනි. කවියක සමාජ කාර් යය භාරයක් ඇති බවද හැම කවියෙක්ටම තමන්ගේ කවි තුලින් සමාජයට වින්දනයට වඩා යමක් කළ හැකි බව මීට අවුරුදු 74 කට පෙර ටී. එස් එලියට් ගේ social function of poetry යන කාව්‍ය පිළිබඳ දේශනයේදී පැහැදිලි කර තිබේ. කවියෙක් තමන් ලියන අකුරු කෙරෙහි එයින් ජනිත කරන්නාවූ සංවේදන කෙරෙහි අවංක විය යුතු බව මම විශ්වාස කරමි. එවන් මානුෂීය සහවේදනය ඇති හිත් තුළින් එළිය දකින කවි පද සමාජය තුළ යහපත, සුවය සැනසීම වර්ධනය කරති. ඇගේ “අඩක් මේරුව ගැබක්” කවි පොත එවන් වූ සමාජ අවබෝදයක්, සමාජ සාදනයක් සහිත දහමක් අප වෙත ගෙන එන්නාවූ කවි පන්ති වලින් අනූන බව මට හැඟේ.

දරුවන් අත් තටු විදා කැදැල්ල හැර ගිය පසු එහි තනිවන දෙමාපියන් වෙත දැනෙනා වූ සාංකාමය පාළුව ඇයගේ 18 වෙනි කවිය, Empty Nest (මාතෘකාව පමණක් ඉංග්‍රීසි) හි අපූරුවට ගෙත්තම් කර තිබේ. අද වන විට ලංකාවේ බොහෝ නිවෙස් වල තත්ත්වය මෙයාකරයි. ඉන් කවියක් මෙහි සඳහන් කරමි.

දුන්නෙමි මවක සෙනහස අඩුවක් නොකර

යන්නෙමි මතක මත දිගු කරවන සසර

ගන්නෙමි දරා තනිකම මැද සේ කතර

ඉන්නෙමි පැටව් එනතුරු ඉඩ ලද අතර

මනෝරි ගමගේ (අඩක් මේරුව ගැබක්)

විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාදිපතිනිය ලෙස ද කළුබෝවිල ශීක්ෂණ රෝහලේ මහාචාර්‍ය ඒකකයේ විශේෂඥ ළමා වෛද්‍ය මහාචාර්‍ය තුමිය ලෙසද ඉතාම කාර් යය බහුල වෘත්තීය ජීවිතය අතරතුර කවියෙන් බස දෙස රැස පෝෂණය කරනා මහා විසල් වෘක්ෂයක් මෙන් ඒ අසළ එන යන හැමට ආශිර්වාදයක් සෙතක් සෙවනක් වන මනෝරි ගමගේ නම් කිවිඳියට, මහාචාර්‍යතුමියට මගේ සුභාශිංසන පිරිනමමි.

බෝධිනී සමරතුංග


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment