අඳුරු වනයකි තැවෙන මනස – නෝවීජියන් වුඩ්

සෑම වසරකම නොබෙල් සාහිත්‍ය සම්මාන ප්‍රධානය ආසන්නයට එළඹෙන විට ලොව දසත විසිරී සිටින ඔහුගේ පාඨකයෝ සිය ආදරණීය ලේඛකයාට නොබෙල් සම්මානය හිමිවේවි යැයි දෑස් අයා බලා සිටිති. එහෙත් නොබෙල් සාහිත්‍ය සම්මානය තවමත් ඔහු සොයා පැමිණ නැත. මේ ලේඛකයා අන් කවරෙකුවත් නොව හරුකි මුරකමි ය.

මුරකමිමය යථාර්ථයකින් පාඨකයා වෙනත් ලොවකට කැඳවාගෙන යන ඔහුගේ ලේඛන කලාව තුළ මිනිස් ජීවිතයේ සංකීර්ණ සබඳතා, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු නව ආර්ථික දියුණුවක් ලබාගන්නා ජපන් සමාජය හා එහි මිනිසුන්ගේ හැසිරීම් මනෝ විද්‍යාත්මකව විදහා පායි. ඔහු මේ සඳහා භාවිත කරන අධි යථාර්ථවාදී (Surrealism) ශෛලිය ඔහුටම ආවේණික ය. ඔහුගේ Wind-up bird chronicle, Kafka on the shore, IQ84, Killing Commendatore ආදී නවකතාවන් මේ සඳහා උදාහරණ වේ.

කියෝතෝවේ ජන්මය ලද මුරකමි ඇතිදැඩි වන්නේ ජපානයේ කෝබේ පළාතේය. ඔහුගේ මව සහ පියා යන දෙදෙනාම ජපන් සාහිත්‍යය ඉගැන්වූ ගුරුවරු වූ අතර ඔහුගේ සීයා (පිය පාර්ශවයෙන්) සෙන් භික්ෂුවකි. මුරකමිගේ කතාවන්හි සෙන් බුදුදහමේ සංකල්ප ගැබ්වී ඇත්තේ ඒ ආභාෂය කරණ කොටගෙනය.

බේස්බෝල් ක්‍රීඩා රසිකයෙකු වූ තරුණ මුරකමි වසේඩා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබිමෙන් පසු එවකට ටෝකියෝවේ ජෑස් බාර් එකක් පවත්වාගෙන යමින් ජීවත් විය. 1978 වර්ෂයේ දිනයක බේස් බෝල් තරඟයක් නරඹා ගෙදර පැමිණි විට ඔහුට ලීවීම සඳහා පෙළඹීමක් ඇතිවෙයි. ඒ පෙළඹීම මත ඔහු තම ප්‍රථම නවකතාව වන Hear the wind sing රචනා කරයි. මේ කෘතිය සඳහා සාහිත්‍ය සම්මානයක් හිමිවීමෙන් පසු දිගුකාලීන ලේඛන ජීවිතය ගැන බලාපොරොත්තුවක් මුරකමි තුළ දැල්විය. එනිසාම තමන් සතුවූ ජෑස් බාර් එක විකුණා පූර්ණ කාලීන ලේඛකයෙකු ලෙස සිය ජීවිතය ගෙවාදැමීම මුරකමි විසින් තේරාගත්තේය.

කෙසේ වුවද ඔහු ලියූ තුන්වන නවකතාව වන A wild sheep chase ප්‍රකාශකයන් කිහිප දෙනෙකු අතින් ප්‍රතික්ෂේප වෙද්දි තමාගේ තීරණය නිවරදි එකක්දැයි යළි කල්පනා කර බලන්නට සිදුවූ බව මුරකමි What I am talking about when I am running නම් කෘතියේ දී පවසයි. කෆ්කා, ෆ්ලෝබෙයා, ඩිකන්ස්, කර්ට් වොන්ගට්, දොස්තයව්ස්කි වැනි බටහිර ලේඛකයන්ගේ ආභාෂය ලැබූ මුරකමිගේ කතා කලාවද වඩා සමීප වන්නේ ජපන් සාහිත්‍යයට වඩා බටහිර සාහිත්‍යයටයි.

මුරකමි ලේඛකයෙකු ලෙස වඩාත් කතාබහට ලක්වන්නේ 1987 වසරේදී ප්‍රකාශයට පත්වූ Noruwei no Mori හෙවත් Norwegian wood නවකතාව ප්‍රකාශයට පත්කිරීමත් සමඟයි. ජපානයේ තරුණ පරම්පරාව අතර පිටපත් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් අලෙවි වුවද මේ නවකතාවෙන් පසු තමා ජපන් සමාජයේ වෛරයට පාත්‍රවූ බව මුරකමි වරෙක පැවසුවේය. මෙනිසාම සිය මව්බිම හැරදා යන ඔහු යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කොට අවසානයේදී ජීවත් වීම සඳහා එක්සත් ජනපදයේ තෝරාගනී. 1995 දී ඔහු හැදී වැඩුණු කෝබේහි ඇතිවූ දරුණු භූමිකම්පාවෙන් පසු ඔහු නැවත සිය මව්බිමට පැමිණෙන්නේ එයින් ඇතිවූ කම්පාව හේතුවෙනි.

‘නෝවීජියන් වුඩ්’ නවකතාව ඔහුගේ අනෙක් අධි යථාර්ථවාදී නවකතාවලින් වෙනස් වූ යථාර්ථවාදයට සමීප නවකතාවකි. නවකතාවට පසුබිම් වන්නේ 1960 දශකයේ අග භාගයේ තෝකියෝවේ විශ්ව විද්‍යාල ජීවිතය හා සමාජ පසුබිමයි. ජපානයේ නව ආර්ථික දියුණුවෙන් ප්‍රතිලාභ අත්විඳින පළමු කණ්ඩායම වූයේ මේ පිරිසයි. මුරකමි ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නේ මේ කාලයේදීම වීම සුවිශේෂීය. විශේෂයෙන් පවතින ක්‍රමයට එරෙහිව ජපන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අරගල කරන්නේ ද මේ අවධියේදී ය.

පොත සඳහා නම කතුවරයා ලබාගන්නේ සුප්‍රසිද්ධ Beatles සංගීත කණ්ඩායම ගායනා කරන Norwegian wood ගීතයෙනි. සංගීතඥයෙකු සහ DJ ශිල්පියෙකුද වන මුරකමි සිය කෘතිවලට සංගීතය කෙතරම් යොදාගන්නේද කිවහොත්, ඒ ඇසුරින් යූටියුබ්හි ගීත හා සංගීත නාමාවලිද නිර්මාණය වී තබේ.

කතාවෙහි කතානායකයා වන්නේ තිස්හත් හැවිරිදි ටෝරු වටනාබේ ය. ජර්මනිය බලා ගුවනින් යන අතරතුර ඔහුට සිය විශ්ව විද්‍යාල ජීවිතය මතකයට නැගෙයි. එතැන් සිට ඔහු දිගහරින මතකාවර්ජනය ඔස්සේ කතාව ඉදිරියට ගලායයි. කතාවෙහි ප්‍රධාන කාන්තා චරිත ද්විත්වයකි. ඒ නඕකෝ සහ මිදෝරිය. මේ දෙදෙනාගේ ගතිපැවතුම්, සිතුවිලි, අහසට පොළව වැනිය. කිසුකි නම් තම පෙම්වතා වයස දහහතේදී සියදිවි නසාගැනීම නඕකෝගේ ජීවිතයට දැඩිව බලපානු ලබයි. වටනාබේ, නයෝකෝ හා කිසුකි මිතුරන් වූ අතර ඔවුහු නිතර හමුවූහ. මේ හදිසි සියදිවි නසාගැනීමට බලපෑ හේතුව වටනාබේ අවබෝධ කරගන්නේ පසුවය.

නඕකෝ බරපතල මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණියකි. ඇගේ සහෝදරියද මානසික ව්‍යාධියකින් පෙළුණ අතර වරක් සියදිවි නසාගැනීමටද උත්සාහ කර තිබිණි. මේ රෝගය PTSD ( Post Traumatic Stress Disorder) ලෙස හෝ Solipsism Disorder තත්වයන් දෙකෙන් එකක් ලෙස හඳුනාගනු ලබයි. මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට හැඟීයන්නේ යථාර්ථය සැබෑවක් නොවන බවයි. තනිකම, වෙන්වීම සහ බාහිර ලෝකයට දක්වන උදාසීන හැඟීම් මේ රෝගයේ ලක්ෂණ වෙයි. කතාවෙහි එන නඕකෝට කිසිදු අයෙකු සමඟ ලිංගිකව එකතු වීමට හැකියාවක් නැත. ඒ ලිංගික කාර්යය සඳහා ඇගේ යෝනිය විවෘත නොවීම නිසාය.

කිසුකිගේ සියදිවි නසාගැනීමෙන් පසු වටනාබේ හා නයෝකෝ අතර සම්බන්ධයක් ඇතිවෙයි. එසේ වුවද නඕකෝගේ මානසික ව්‍යාධිය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙයි. මේ නිසාම ඇය එවැනි රෝග වලින් පෙළෙන අය සඳහා වූ සමාජයෙන් හුදකලාව පිහිටි ස්ථානයක වාසය කිරීම තෝරාගනියි. මෙතැනදී ඇයට රිකෝ හමුවෙයි. නඕකෝගේ දුරස්වීමෙන් බරපතල ලෙස අසහනකාරී තත්වයකට පත්වන ඔහු මඳ අස්වැසිල්ලක් ලබන්නේ මිදෝරි හමුවූ විටය. නඕකෝ මෙන් නොව මිදෝරි විනෝදයට බර, කෙළිලොල් ස්වභාවයෙන් යුත් දඟකාර තරුණියකි.

මුරකමි විසින් ඔහුගේ නවකතාවල උද්දීපනය කරණ කරුණු අතර එක් කරුණක් වන්නේ චරිත වල ඇති අඳුරු, හුදෙකලා ස්වභාවයයි. විශේෂයෙන්ම පශ්චාත් ජපන් සමාජය තුළ දකින්නට ලැබෙන තමාගේ ඇතුළාන්තය අන් අයට විවෘත කිරීමට ඇති නොහැකියාව සියුම් ලෙස සිය ලේඛනයේදී මතුකිරීමට මුරකමි සමත්කම් දක්වයි. මුරකමි ජපන් සමාජයේ වෛරයට පාත්‍ර වන්නට මේ කෘතියෙහි ඇති ඒ ස්වභාවය බලපාන්නට ඇතැයි සිතිය හැකිය.

මුරකමි සිය ප්‍රබන්ධයේදි රූපක (metaphor) භාවිත කරයි. ඔහුගේ බොහෝ ප්‍රබන්ධයන්හිදි පතුලක් නැති ළිඳක් ගැන කියවෙයි. මේ නවකතාව සැලකීමේදී , නවකතාවට ඔහු යොදන Noruwei no Mori හි mori යනු කැලයයි. එය ජපන් බසේදී අජීවි වස්තුවකට වඩා ජීවි බවක් පෙන්වයි. නවකතාව පුරාම නඕකෝ ගේ මනස හැසිරෙන ආකාරය මේ රූපකය තුළින් අරුත් ගන්වයි. නයෝකෝගේ මනස කැලයකට සමානය. ඒ කැලයෙහි අතරමං වන වටනාබේ නම් තරුණයාගේ ඉරණම කුමක්ද? පොතෙහි නාමික අර්ථයට එහා ගිය ගැඹුරු බවක් මෙහි වේ. මෙය සිංහලට පරිවර්තනය කරන සිරිල් චන්ද්‍රසේකර මහතා එයට යොදන්නේ ‘හිරු නැගෙන රටේ පෙම් පුවතක්’ යන නාමයයි. සැබවින්ම නම් මේ කෘතිය තුළ පෙම් පුවතක් අඩංගු නොවෙයි. මෙහි පෙම් පුවත ඇරඹෙන්නේ කතාවේ අවසානයට පසුවයි. එය මුරකමි ලියන්නේ නැත. ඔහු එය පාඨකයාට උපකල්පනය කරන්නට ඉඩ තබා කතාව අවසන් කරයි. සාමාන්‍ය පෙම් පුවතක් ලිවීමේ අභිලාෂයක් මුරකමි වන් ලේඛකයෙකුට නොවෙයි. ඔහු ඉදිරිපත් කරන්නේ ආදරයේ ඇති එක් අඳුරු පැතිකඩක ස්වභාවයයි.

නඕකෝ හා වටනාබේ අතර සිදුවන සංවාදය මේ කෘතිය තුළ ඇති අන්තර්ගතය ගැන පැහැදිලි අදහසක් ලබාදෙයි.

‘එය හුඟක්ම ගැඹුරුයි’. නඕකෝ කීවාය. ඇගේ වචන ප්‍රවේශමෙන් තෝරාගත්තා වැනිය. ඇගේ ස්වරය පරික්ෂාකාරි ගතියක් ගත්තේ නියම අරුත කීමට වචන නොවූ නිසයි.

“ ඒ උනාට කවුරුත් දන්නේ නෑ එය තියෙන නියම තැන. ! මා දන්නා එකම දේ නම් එය මේ අවට තැනක තියෙනවා කියන එක විතරයි.” ඇයි කීවාය.

තම ලෝම ජැකට්ටු සාක්කු තුළට දෑතම ඔබාගෙන ඇය මා දෙස බලා සිනාසුණේ “මම කියන්නේ ඇත්තම තමයි වටනාබේ “ කියන්නාක් මෙනි.

“ එහෙනම් ඉතින් එය සිතන්නටත් බැරි තරම් භයානකයි. ”

“… හරිම ගැඹුරු ළිඳක්. ඒත් කවුරුත් දන්නේ නැහැ තියෙන තැන. ඔබ සමහර විට වැටෙන්නට පුලුවන්. ඒ තමයි ඔබේ අවසානය.” මම කීමි.

“ අවසානය ආාාා හ් ! චක් ! ඉවරයි. “

“ඒවගේ දේවල් ඇත්තට සිද්ධ වෙන්න ඕනෑ”

“ඒවා සිදුවෙනවා ඉඳහිට කාලයකට වරක්. සමහර විට අවුරුදු දෙක තුනකට වරක්, හිටිහැටියේම කවුරුහරි අතුරුදහන් වෙනවා එයාව හොයාගන්න කාටවත් බෑ. එතකොට මේ වටාපිටාවේ අය කියනවා ඒ කෙනා දෙනියේ ළිඳට වැටිලා කියලා..”

“මැරෙන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි.” මම කීමි.

මනෝවිද්‍යාත්මක කියවීමක් ඇති මෙවෙනි නවකතා ලාංකීය පොදු පාඨකයාට තරමක් ආගන්තුක බවක් පෙන්වයි.

මේ කතාවේ නමට මූලික වූ Beatles සංගීත කණ්ඩායමේ Norwegian wood ගීතයේ පහත පද පේළි දෙකෙන් මේ සටහන් අවසන් කරන්නට මට සිතෙයි. මන්ද එය අප කතානායකයා වන වටනාබේට හොඳින් ගැලපෙන හෙයිනි.

I once had a girl,

or should I say, she once had me……

රශ්මික මණ්ඩාවල


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment