“මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

‘The Passionpreneur Exclusive’ යනු පොත්පත් ලිවීමට සහ කියවීමට ඇති ආශාව නිසා ප්‍රකාශන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක රැඳී සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් පිළිබඳ The Asian Review හි ඉංග්‍රීසි බසින් පළවන සම්මුඛ සාකච්ඡා මාලාවකි. Passionpreneurs සම්මුඛ සාකච්ඡා මාලාවට සහභාගීවන්නේ ආචාරධාර්මික පිළිවෙත්වල නියැලී සිටින, සිය උපන් රටෙහි සහ ඉන් පිටත කැපී පෙනෙන වැඩකොටසක් ඉටුකර ඇති සහ ලෝකයේ ප්‍රකාශක ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ග්‍රන්ථ ප්‍රකාශකයන්ය.

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තාවක්. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ග්‍රන්ථ ප්‍රකාශනය සහ ලිවීමට තමා තුළ ඇති ආශාව අනාවරණය කරගත්තාය. කාංචනා ප්‍රියකාන්ත යනු ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ විශාලතම සිල්ලර පොත්හල්වලින් එකක් වන KBOOKS සහ, ඊ-පොත් සහ ශ්‍රව්‍යපොත් (audiobooks) යන දෙකම ලබා දෙන KReader.lk නැමැති ඩිජිටල් කියවීම් වේදිකාවේ සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාය.

කාංචනා සිය පාසල් අවධියේ සිටම සාහිත්‍ය කටයුතුවල ගැඹුරින් නියැළී ඇති අතර, විවිධ ශානරයන් ඔස්සේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාද්වයෙන්ම පොත් දොළහක් ලියා ඇත. ඇයගේ සාහිත්‍යමය ජයග්‍රහණ අතරට ශ්‍රී ලංකාවේ සම්මානයට පාත්‍ර වූ ඇගේ නවතම කෙටිකතා සංග්‍රහය වන “සිහින අල්ලන්නෝ (Dream Catchers)” ජාතික වශයෙන් පිළිගනු ලැබීමද ඇතුළත් වේ. ඇයගේ ඇතැම් කෘති සාහිත්‍ය සම්මාන සඳහා කෙටිලැයිස්තුගත වීමත් සමඟ විවිධ භාෂාවලින් විහිදෙන ඇගේ ලේඛන අවධානය දිනා ඇත. එපමණක් නොව, ඇගේ ලේඛන ඉංග්‍රීසි, දෙමළ සහ නේපාල භාෂාවලට පරිවර්තනය වී තිබේ.

ඇය ඉන්දියාවේ SAARC ලේඛකයන්ගේ සහ සාහිත්‍ය පදනමේ (FOSWAL) උපදේශකවරියක සහ සම්බන්ධීකාරකවරියක වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

2023 දී ඉන්දියාවේ සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනම මගින් කාංචනාට සාර්ක් සාහිත්‍ය සම්මාන සහ ෆොස්වාල් සාහිත්‍ය සම්මාන පිරිනමන ලදී.

කැපී පෙනෙන මට්ටමේ නව්‍ය චින්තනයක් සහ පසු නොබසින අධිෂ්ඨානයකින් හෙබි, තම රටට සහ එය අයත්වන භූගෝලීය කලාපයට ඉහළ සේවයක් කළ ශ්‍රී ලංකාවෙන් නැගී එන කාන්තා ව්‍යවසායිකාවක Asian Review හරහා හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු.

Q: ඉගැන්වීම යනු දැනුම බෙදා ගැනීමයි, පොත්පත්ද කරන්නේ එයමයි. ගුරුවරයෙකුගේ සිට ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ නැගී එන ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය වීම පිළිබඳ ඔබේ කතාව ගැන අපගේ 25,000 කට අධික දෛනික පාඨකයන්ට පැවසිය හැකිද?

A: ඔබ යා යුතු මාර්ගය ගැන අවිනිශ්චිත වූ විට නිවැරදි දේ ඔබ ඉදිරියේ දිග හැරෙන බව මම සැමවිටම විශ්වාස කරනවා. ගුරුවරයෙකු සහ ව්‍යවසායකයෙකු වීම මගේ සිහිනවල කොටසක් නොවුණත්, ලිවීම මගේ සදාකාලික ආශාව වුණා. මම හැදී වැඩුණේ කොළඹින් සෑහෙන දුර පිහිටි කුඩා නගරයක, විවිධ සම්පත් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීම සුඛෝපභෝගී දෙයක් වූ කාලයක. සමාජ මාධ්‍යවලට එතකොට ලොකු හඬක් තිබුණේ නෑ, අපට තිබුණේ සීමිත ලෝකයක්.

දෛවෝපගතව, ලිවීමට තිබූ මගේ දක්ෂතාවය ස්වාභාවිකවම පොත් නිර්මාණයට සම්බන්ධ වුණේ නෑ. ගුරුවරියකගේ භූමිකාවට ජීවිතය මාව අනපේක්ෂිත ලෙස දිග හැරුණු ගමනක් රැගෙන ගියා. මට උගන්වන්න වුණේ ඉංග්‍රීසි භාෂාවට අවම නිරාවරණයක් ඇති ළමයින්ට. ඉංග්‍රීසි භාෂාවට ඇති ඔවුන්ගේ බිය අඩු කිරීමට මට තිබූ ආශාව නිසා, ඔවුන්ගේ කියවීමේ සහ අවබෝධකරගැනීමේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැඩපොතක් මා අතින් බිහිවුණා.

කෙසේවෙතත්, ප්‍රකාශකයෙකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වුණා. මම කතා කළ ප්‍රකාශකයන් කිහිප දෙනෙකුම කීවේ සමාලෝචනය සඳහා අත්පිටපත ඉදිරිපත් කරන ලෙසයි. ඒ වෙනුවට මම වෙනත් මාර්ගයක් ගත්තා, KSP Publishers නමින් ස්වාධීනව එය ප්‍රකාශයට පත් කළා, පසුව KBOOKS ලෙස නැවත නම් කළේ එයයි. මුලදී මගේ නිර්මාණවලට පමණක් අවධානය යොමු කරන්න තමයි සැලසුම තිබුණෙ, ඒත් ජීවිතයට තිබුණේ වෙනත් අදහස්.

කාලයාගේ ඇවෑමෙන්, KBOOKS විවිධ ලේඛකයින් සඳහා වේදිකාවක් බවට පරිණාමය වුණා. අද වන විට, සම්මානලාභී සහ කෙටි ලැයිස්තුගත පොත් අසූ පහකට වඩා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇති අපි ආඩම්බර වෙනවා. ගමන එතැනින් නතර වූයේ නැහැ – අපි KReader යටතේ ඊ-පොත් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සමඟ ඩිජිටල් ක්ෂේත්‍රයට ද පිවිසුුුණා.

සාරාංශයක් ලෙස ගත්තොත්, ඔබේ ආශාව පසුපස ලුහුබැඳීම කළ යුතුවන ගමන්ම, ඔබ කරන දෙයින් තෘප්තිමත් වීමෙනුත්, මතුවී තිබෙන අවශ්‍යතාවලට අනුගතවීමෙනුත් ඒ හා සමානම ප්‍රතිලාභ ගෙන දෙනවා. KBOOKS සහ KReader අද පවතින තත්වයට හැඩගස්වා ඇත්තේ ඒ පිළිවෙත විසිනුයි – ඒ ඔබ නොදන්නා මාවත වැලඳගත් විට මතුවිය හැකි අනපේක්ෂිත සුන්දරත්වය පිළිබඳ සාක්ෂියක්.

Q: ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන පරිසර පද්ධතියේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු ලෙස, කර්මාන්තයක් ලෙස ග්‍රන්ථ ප්‍රකාශනයට පමණක් නොව කෙටි, මධ්‍ය හා දිගුකාලීනව රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයටද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

A: ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය අවාසනාවන්ත වූවක් බව ප්‍රතික්ෂේප කළ නොහැකියි. එය බොහෝ කර්මාන්ත හා ජීවනෝපායන් කෙරෙහි බලපානවා. ආර්ථිකය අස්ථායීව පවතින නිසා දෛනිකව උත්සන්න වන මූලික අවශ්‍යතාවල නොවැළැක්විය හැකි මිල ඉහල දැමීම් හේතුවෙන් පුරවැසියන්ගේ මිලදී ගැනීමේ ශක්තියට බලපෑම් ඇතිවෙනවා.

මෙම ආර්ථික ආතතිය ප්‍රකාශන කර්මාන්තයට සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනවා. බොහෝ විට අර්ධකාලීන හෝ විනෝදාංශයක් ලෙස ලිවීමේ යෙදෙන බොහෝ ශ්‍රී ලාංකීය ලේඛකයින්ට ඉහළ වටිනාකමක් ඇති සාහිත්‍ය කෘති බිහිකිරීම දුෂ්කර අභියෝගයක් වෙලා. මිලියන 23 ක ජනගහනයක් සිටින රටක, සෑම පුරවැසියෙක්ම උද්යෝගිමත් පාඨකයෙකු නොවන විට, එය පාඨක විභවය තවදුරටත් සීමා කරනවා.

පෙරදී මිලදී ගැනීම් හරහා ලේඛකයින්ට සහ ප්‍රකාශකයන්ට සහාය වූ රජයේ මුලපිරීම් අයවැය සීමාවන් හේතුවෙන් අඩු වෙලා. එහි ප්‍රතිඵලයක් හැටියට පැනනගින වැඩිමනත් ආයෝජනයේ අවශ්‍යතාව නිසා ප්‍රකාශකයන් අධෛර්යමත් විය හැකියි. පුද්ගලයන් විකල්ප කර්මාන්ත සහ රැකියා කාණ්ඩ වෙත මාරු වීම මේ තත්වයට අනපේක්ෂිත බවක් එක් කරනවා.

අධික බදු පැනවීම් මගින් නිත්‍ය පාඨකයින් පොත්පත් සඳහා වියදම් කිරීමෙන් අධෛර්යමත් කර, හානිකර චක්‍රයක් නිර්මාණය කරලා. මේ සන්දර්භය ශිෂ්ට සමාජයක පරමාදර්ශවලින් බැහැර වන උචිතෝන්නතික ගතිකත්වයක් දෙසට තල්ලු වෙනවා.

ආර්ථික අර්බුදය, ප්‍රකාශන කර්මාන්තය සහ සාහිත්‍ය භූමිය වසා පැතිරුණු සෙවනැල්ලක් දමලා. මෙම අභියෝගාත්මක කාලයේ සැරිසැරීමට නම් ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව, සහ වර්තමාන අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ කර්මාන්තයේ පැවැත්ම සහ පුනර්ජීවනය සහතික කිරීම සඳහා සාමූහික උත්සාහයන් අවශ්‍යවනවා.

Q: ලෝකයේ වැඩිම ඒක පුද්ගල දළ මුද්‍රිත පොත් සංඛ්‍යාව සඳහා වාර්තාව දකුණු ආසියාව සතුයි; කෙසේ වෙතත්, කතුවරුන්ට හොඳ වැටුපක් ලැබෙන්නෙ නැහැ, බොහෝවිට ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වෙනවා වගේම, ප්‍රකාශකයින් ඔවුන්ගේ කතුවරුන් සඳහා ආයෝජනය කරන්නෙ නැහැ. සාහිත්‍ය පරිසර පද්ධතිය තුළ නැගී එන ව්‍යවසායකයෙකු ලෙස, විශේෂයෙන් තරුණ පරම්පරාවේ කෙනෙකු ලෙස මෙම තත්ත්වය පිළිබඳව ඔබේ අදහස කුමක්ද? කර්මාන්තයේ මෙම අහිතකර ප්‍රවණතා වෙනස් කිරීම සඳහා ඔබේ දැක්ම කුමක්ද?

A: නිසැකව ම, ඒක පුද්ගල වැඩිම මුද්‍රිත පොත් සඳහා වාර්තාව දකුණු ආසියාව සතු නමුත් කර්තෘ ගෙවීම් ප්‍රමාණවත් නොවීම, ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම, සහ ප්‍රකාශක ආයෝජන ප්‍රමාණවත් නොවීම වැනි ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේය යන මතය ගැන අදහස් දැක්වීමේදී, ලේඛකයෙක් සහ ප්‍රකාශකයෙක් හැටියට මගේම අත්දැකීම් මත පදනම්ව සියුම් ඉදිරිදර්ශනයක් සැපයීමට මම කැමතියි.

කර්මාන්තය තුළ අයහපත් ලෙස සැලකීමේ චෝදනා, කටකතා හෝ උපකල්පන මත පමණක් රඳා නොපැවතිය යුතුය. ඒ වෙනුවට මම කරුණු සහ සංඛ්‍යා මත පදනම් වූ සාධාරණ ඇගයීමක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඇතැමුන් ප්‍රකාශකයන් සූරාකන්නන් හැටියට පින්තාරු කරන්න පුළුවන්, ඒත් ග්‍රන්ථ ප්‍රකාශනයේ ව්‍යාපාරික පැත්ත සංකීර්ණ බව හඳුනා ගනිමින් විනිවිදභාවයෙන් හා සත්‍යයෙන් මෙයට ප්‍රවේශ වීමට මම කැමතියි.

මගේ පෞද්ගලික ගමන සලකා බැලුවොත්, දශකයකට පෙර මුද්‍රණය කරන ලද කෙටිකතා සංග්‍රහයක් වුණ මගේ ආරම්භක සාහිත්‍ය කෘතිය, අලෙවියේදී අභියෝගවලට මුහුණ දුන්නා. ප්‍රකාශකයා සැලකිය යුතු ලෙස ආයෝජනය කළ අතර, පිටපත් බලාපොරොත්තු වූ පරිදි අලෙවි නොවුණත්, එය මගේ සාහිත්‍ය ගමනට මග පෑදුවේ, පිළිගැනීම සහ අවස්ථා මා වෙත ළඟා කරමින්. ලේඛකයෙකු වශයෙන් මගේ කෘතඥතාව කර්තෘභාග ගෙවීම්වලින් ඔබ්බට ගොස්, මා ලේඛකයකු හැටියට ලද පිළිගැනීම සහ කීර්තිනාමය යන මිල කළ නොහැකි දේවලටද හිමිවනවා.

මෙම හවුල්කාරිත්වයේ ද්විත්ව වගකීම පිළිගැනීම ඉතා වැදගත්. ප්‍රකාශකයෙකුගේ කාර්යභාරය නිසි ලෙස බෙදා හැරීම සහ ප්‍රවර්ධනය සහතික කරන එකයි, ලේඛකයන් තමන්ගේ සන්නාමය ගොඩනැගීම සඳහා ක්‍රියාකාරීව ආයෝජනය කළ යුතුයි. එය සාහිත්‍ය කෘතියක සාර්ථකත්වයට දෙපාර්ශවයම දායක වන සහජීවන සම්බන්ධතාවක්.

සාධාරණ ව්‍යාපාර පිළිවෙත් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති කෙනෙක් හැටියට, සාර්ථකත්වය යනු ද්වි-මාර්ග මාවතක් බව මම අවධාරණය කරනවා. ප්‍රකාශකයෙකුට එරෙහි චෝදනාවලට සුදුසුකම් ඇත්නම් සාධාරණ විනිශ්චයක් සඳහා නිසි සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. කැපී පෙනෙන ලෙස, ස්ථාපිත සහ වැඩියෙන්ම අලෙවි වන කතුවරුන් බොහෝ විට ඔවුන්ගේ ප්‍රකාශකයින් සමඟ විශ්වාසනීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා වගේම, ඒ වෙනුවෙන් යෙදවුණු කාලය සහ ශ්‍රමය ඇතුළු බහුවිධ ආයෝජන හඳුනා ගන්නව.

ප්‍රකාශකයන් සූරාකන්නන් ලෙස දකිනවාට වඩා, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමයි අත්‍යවශ්‍ය. ලේඛකයන් සූරාකෑමට ලක්වන බවක් හැඟෙනවානම්, ඔවුන්ගේ ප්‍රකාශන ආයතනය පිහිටුවීමෙන් කර්මාන්තයේ ඇති සංකීර්ණතා පිළිබඳ පළමු අවබෝධය ලබා ගත හැකියි. එමගින් දෙපාර්ශවයේම හවුල් උත්සාහයන් සහ ආයෝජන හඳුනා ගනිමින්, අවසානයේ වඩාත් සමබර සහ සමෘද්ධිමත් සාහිත්‍ය පරිසර පද්ධතියකට දායක වීම සිදුවෙනවා.

Q: ශ්‍රව්‍ය සහ ඊ-පොත් වෙළඳපොළට පැමිණීම සහ මුද්‍රිත පොතේ අනාගතය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ලේඛකයන්ගේ කෘති ආරක්ෂා කිරීමට ඩිජිටල්කරණය දායක වන්නේ කෙසේද?

A: නිරන්තරයෙන් පරිණාමය වන සාහිත්‍ය භූදර්ශනය තුළ, ගෝලීය වශයෙන් තාක්‍ෂණය දෙසට සිදුවන මාරුවීම සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වෙන්න ඕන. ඉහළ පෙළේ මෘදුකාංග සංවර්ධකයින් සිටියත්, මෙම දියුණුව සම්පූර්ණයෙන්ම වැළඳ ගැනීමට තරමක් ප්‍රවේශම් සහගතව ප්‍රවේශවීමක්, සමහර විට අකමැත්තක් තිබෙන බව පේනවා.

ඊ-පොත් සහ ශ්‍රව්‍ය පොත් ගෝලීය ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රධාන අංග බවට පත්ව ඇති බව ඔබ දන්නවා. සංවර්ධිත රටවල පොතක් වෙළඳපොළට ආවම, එය ත්‍රිත්ව සංග්‍රහයක් වගේ – මුද්‍රිත, ශ්‍රව්‍ය සහ ඩිජිටල් මාදිළියෙන් ලබා ගන්න පුළුවන්. ඔවුන් එය ලබා ගන්නවා; පාඨකයන්ට විවිධ රුචි අරුචිකම් තියෙනවා. සමහරු පොතක ස්පර්ශ අත්දැකීමට ප්‍රිය කරන අතර තවත් සමහරු සවන් දීමට කැමැත්තක් දක්වනවා.

එය සිතන්න හොඳ දෙයක්; ඊ-පොත් සාම්ප්‍රදායික මුද්‍රණ වෙළඳපොළට බලපාන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකාවේ කනස්සල්ලක් තියෙනවා. ඒත් බලන්න, ග්‍රන්ථ ප්‍රකාශනය ප්‍රධාන කර්මාන්තයක් වන රටවල එහෙම බාධාවක් නැතිව සියලුම ආකෘති ඇතුළත් කරනවා.

දැන් අපි ඩිජිටල් පොත් ගැන කතා කරමු. ඒවා සාහිත්‍යයේ සුපිරි වීරයන් වගේ – දැරිය හැකි, අතේ ගෙන යා හැකි, අමතර ගමන් මලු නොමැති, සහ යෙදුම පවතින තාක් කල් අප සමග එය රැඳී ඉන්නවා. ලේඛකයෙකු ලෙස, මම මගේ නිර්මාණ සෑම ආකෘතියකින්ම ලබා ගන්න කැමැතියි. සමහර විට, භෞතික පිටපත් පිරුණු රාක්ක හිස් නොවන්නේ නම් අපි නැවත මුද්‍රණය කරන්නෙ නෑ, නමුත් මට මගේ නිර්මාණය පැවැතීම අවශ්‍යයි. ලේඛකයන්ට සහ පාඨකයන්ට ප්‍රයෝජනවත් වන පරිදි ඩිජිටල් පොත් මගින් එය කරන්න හැකියි. එය දෙපැත්තෙන්ම එන හොඳම දේ වැළඳගන්නා ජයග්‍රහණයක්.

Q: K-Books යනු මුලින්ම ශ්‍රී ලංකාවේ පොත් සඳහා ඩිජිටල් වෙළඳපොළක් වූ අතර, දැන් ඔබ KReader නමින් Nook සහ Kindle වැනි ඊ-පොත් කියවනයක් හඳුන්වා දී තිබෙනවා. මේවා ශ්‍රී ලංකාවේ පොත, පාඨකයා, ලේඛකයා සහ ප්‍රකාශකයාව වෙනසකට භාජනය කරන්නේ කෙසේද?

A: නිසැකවම, එය අපට ප්‍රීතිමත් පරිණාමයක්. KBOOKS පදනම මත ගොඩනැගෙන KReader, ශ්‍රී ලංකාවේ සාහිත්‍ය භූදර්ශනය අලුතින් අර්ථ දැක්වීමට සූදානම්. අපි මුද්‍රණයෙන් ඉවතට හැරෙන්නේ නෑ; ඒ වෙනුවට, අපි සාහිත්‍යයට සැමට ළඟා විය හැකි පුළුල් ප්‍රවේශයක් කරා යනවා.

ඩිජිටල් පොත් ලෝකය ඔබේ ඇඟිලි තුඩුවලට අරගෙන එන KReader, කාලය, ශක්තිය සහ පිරිවැය-ඵලදායීතාවයට ප්‍රමුඛත්වය දෙමින් පාඨකයන්ට අසමසම පහසුවක් ලබා දෙනවා. අපි පාඨකයන්ට අසීමිත පොත් එකතුවක් පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට දායකත්ව පදනම මත කියවීම හඳුන්වා දෙනවා. එය තනි පුද්ගලයෙක්, පවුලක් හෝ ආයතනික දායකත්වයක් වුනත්, එකී විවිධ අවශ්‍යතා සපුරාලීමට හැකි පිරිනැමීම් අප සකස් කර තිබෙනවා. යෙදුම විශේෂාංගවලින් පොහොසත්වන අතර පුද්ගලාරෝපිත කියවීමේ අත්දැකීමක් සහතික කරමින් පිටු සලකුණු කිරීම, උද්දීපනය කිරීම, සටහන් ගැනීම සහ රුචි පරිදි අකුරු හැඩ වෙනස්කිරීම වැනි පහසුකම්වලින් සමන්විත වෙනවා.

ලේඛකයාගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට KReader කියන්නේ ඩිජිටල්, ශ්‍රව්‍ය සහ මුද්‍රණ ආකෘති හරහා එහි ප්‍රේක්ෂකයින් පුළුල් කරන නව ආදායම් ප්‍රවාහයක්. ඔබේ සම්පූර්ණ එකතුවට, එය පොත් 10ක් හෝ 1000ක් වේවා, බාධාවකින් තොරව එක තැනකින් ප්‍රවේශ වීමට හැකි බව සිතන්න. මෙය ලේඛකයන්ට මෙන්ම පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත්. වක්‍ර ප්‍රවර්ධනය සහ සෘජු ගිවිසුම් සඳහා ඇති විභවයන් සමඟ, ප්‍රකාශකයන්ද ප්‍රතිලාභ ලබනවා, විශේෂයෙන් ඔවුන් තනි අයිතිය රඳවා ගන්නවා නම්.

සාරාංශයක් ලෙස, KReader යනු විද්‍යුත් කියවනයක් පමණක් නෙවෙයි; එය කියවීමේ අත්දැකීම පොහොසත් කරන, ලේඛකයින් සඳහා අවස්ථා නිර්මාණය කරන, ප්‍රකාශකයන් සඳහා ප්‍රවර්ධන මාර්ග විවෘත කරන ගතික වේදිකාවකි. අපි සතුටුයි මේ පරිවර්තනීය ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ප්‍රබෝධමත් සාහිත්‍ය සංස්කෘතියක් පෝෂණය කරන්නේ කොහොමද කියලා දකින්න.

Q: ඩිජිටල් කියවීමට හුරුවූ මුල් පිරිස සහ ඩිජිටල් කියවන නිපදවූවන් බොහෝවිට ප්‍රතිරෝධයට මුහුණ දුන්හ. ඔබේ ව්‍යාපාරය, විශේෂයෙන්ම KReader, ශ්‍රී ලංකාවේ පාඨකයන් විසින් වැලඳගෙන තිබෙන්නේ කෙසේද?

A: සැප්තැම්බර් අගදී අපි අපගේ MVP (අවම ජීව්‍ය නිශ්පාදිතය) ආඩම්බරයෙන් දියත් කළා, ප්‍රතිචාරය අතිවිශිෂ්ටයි. මෙතරම් කෙටි කාලයක් තුළ මුදල් ගෙවන ගනුදෙනුකරුවන්ගේ ශක්තිමත් පදනමක් ගොඩනගාගැනීම සැබවින්ම ජයග්‍රහණයක්. පාඨකයන්ට පහසු KReader යෙදුම ධනාත්මකව පිළිගැනීම පිලිබඳව සැලකිය යුතු තරම් දැනුම්වත්බවක් ඇතිවී තිබෙනවා. පාඨකයින්, ලේඛකයින් සහ ප්‍රකාශකයින්ගෙන් ලැබෙන දිරිගැන්වීම් සහ සහයෝගය නිසා, භාවිත හැකියාව වැඩිදියුණු කිරීමටත්, ප්‍රවේශ්‍යතාව සඳහා වන අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහාත් අප වඩාත් කැප වෙනවා., ඕනෑම වේලාවක දායකත්ව අවලංගු කිරීමට පරිශීලකයින්ට ඉඩ දෙන අපගේ නම්‍යශීලීභාවය, පරිශීලක තෘප්තිය සඳහා අපගේ කැපවීම අවධාරනය කරනවා.

කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය මධ්‍යයේ, සමාජ මාධ්‍යයට ඇලී ගැලී සිටින ඇතැමුන්ගෙන් කැපී පෙනෙන ප්‍රතිරෝධයක් එල්ල වෙනවා. ඩිජිටල් ලෝකයේ ගිලී සිටියත් ඔවුන් ඩිජිටල් කියවීමට ඇති අකමැත්ත ප්‍රකාශ කිරීම හරි අමුතුයි. එසේ වුවද, ඔවුන්ටත් ඩිජිටල් ග්‍රන්ථ ප්‍රකාශනයේ වටිනාකම හඳුනාගන්න ලැබේවි. ගමන යනු බාධක බිඳ දැමීමයි, අපි එයට සූදානම්.

Q: සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය සඳහා ප්‍රවේශය තුළ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පෙනෙනවා. 2022 වන විට දිවයිනේ ග්‍රාමීය ජනගහනය 80.97% ක්. මුද්‍රිත පොත් පවා සමහර ග්‍රාමීය ප්‍රදේශවල සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියටයි තිබෙන්නෙ. එවැනි සන්දර්භයක් තුළ අපට විද්‍යුත් පොත් හරහා පාඨකයන් වෙත කෙතරම් දුරට ළඟා විය හැකිද? ඊ-පොත සැමට ලබාගත හැකි දෙයක් වීමට කොපමණ කාලයක් ගතවේද?

A: මුද්‍රිත පොත් සඳහා ප්‍රවේශය සුඛෝපභෝගී දෙයක් ලෙස සලකන ලෝකයක, ඩිජිටල් පොත් වෙළඳ භාණ්ඩයක් ලෙස ඉස්මතු වන අතර, මෙම සුසමාදර්ශ වෙනස ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ විශේෂයෙන් පැහැදිලිව පේනවා. මා නියෝජනය කරන KReader වේදිකාව, දේශීය භාෂා පාඨකයන් සඳහා දැරිය හැකි මිලකට කියවීමේ විකල්ප ලබා දීමෙන් ප්‍රවේශ්‍යතා අභියෝගවලට මුහුණ දෙනවා. සෑම දෙනාවම ඇතුළත් කරගැනීම සඳහා අපගේ කැපවීම, ආර්ථික බාධා නිසා කිසිවෙකුට කියවීමේ ප්‍රීතිය අහිමි නොවිය යුතු බව සහතික කිරීමේ මෙහෙවර නොසැලෙන එකක්.

වර්තමාන භූ දර්ශනය තුළ, ආර්ථික වශයෙන් අභියෝගයට ලක් වූ කුටුම්බවල පවා ස්මාර්ට් දුරකථනය සාමාන්‍ය දෙයක් වෙලා. මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ වුණත් පුද්ගලයන් ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ දත්ත කාඩ්පතක් හිමිකර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන නිසා ඩිජිටල් අන්තර්ගතයට ප්‍රවේශ වීම වඩාත් පහසුයි. විශේෂයෙන්, වසංගතය මෙම ප්‍රවණතාවය වේගවත් කරමින්, විවිධ අත්‍යවශ්‍යතා සඳහා ස්මාර්ට්ෆෝන් ලබා ගැනීමට බොහෝ දෙනෙකුට බල කෙරුණා.

KReader හි දැරිය හැකි මිල ගැන කතා කරනවා නම්, අපගේ මාසික දායකත්වය එක් උපකරණයක් සඳහා රුපියල් 750 යි. එම මුදලින් මුද්‍රිත පොත් මිලදී ගැනීමට හැකිවන්නේ දෙකක් හෝ තුනක් පමණයි. ඒ නිසා මෙම පිරිවැය සංසන්දනය බලවත්. අපගේ නම්‍යශීලී දායකත්ව ආකෘතිය, ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමට සහ අලුත් කිරීමට ඉඩ සලසමින්, පරිශීලකයන්ගේ මූල්‍ය තත්ත්වයන්ට අනුවර්තනය වීම සහතික කරන එකයි වැදගත් වන්නේ.

KReader හි මිල පාරිභෝගිකයාගේ ධාරිතාවට එහා යන බව මම තරයේ විශ්වාස කරනවා. ගමන් වියදමක් නැතිවීම, කාලය ඉතිරි කිරීම සහ ශ්‍රමය අඩු කිරීම මගින්, වඩාත් ආර්ථික වශයෙන් අවාසි සහගත පුද්ගලයන්ට පවා KReader කියවීමට ප්‍රවේශ වෙන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත්, අපගේ වේදිකාව දුප්පත්ම පුද්ගලයාට සාහිත්‍යයේ පරිවර්තනීය බලය වැළඳ ගැනීමට හැකියාව ලබා දෙන එකක්.

Q: බොහෝ රටවල, සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල, බොහෝ අධ්‍යාපනික ද්‍රව්‍ය සහ පොත්පත් බදුවලින් නිදහස් කර තිබෙනවා. මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාව පොත් සඳහා බදු පැනවූවා. ශ්‍රී ලංකාව තිරසාර ආයෝජන දෙස බැලිය යුතු තීරණාත්මක අවස්ථාවක රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ප්‍රතිපත්ති හඳුන්වා දීම කෙතරම් ප්‍රගතිශීලීද?

A: මුද්‍රිත ද්‍රව්‍ය, විශේෂයෙන්ම පොත්පත් සඳහා බදු පැනවීමේ මෑත කාලීන තීරණයට මම තරයේ විරුද්ධයි. ප්‍රතිපත්ති සම්පාදකයින් පොත් යනු හුදු වෙළඳ භාණ්ඩයක් නොව දැනුමේ සහ අධ්‍යාපනයේ භාජන බව හඳුනා ගනිමින් ඔවුන්ගේ තේරීම් වලදී සංවේදී බව ප්‍රදර්ශනය කරන්න ඕන. ඒවා විචාරශීලී චින්තනය පෝෂණය කිරීමේදී වැදගත් වන අතර දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය දේවල්.

මම විශ්වාස කරන්නේ ආහාර, නවාතැන්, ආරක්‍ෂාව සහ අධ්‍යාපනය වැනි ඇතැම් මූලික අංග කිසිවිටෙක සුඛෝපභෝගී ලෙස නොසැලකිය යුතු බවයි. මුද්‍රිත ද්‍රව්‍ය, විශේෂයෙන්ම පොත්පත් සඳහා බදු පැනවීම මේ කර්මාන්තයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනවා., දැනුම ව්‍යාප්ත කිරීම සඳහා තීරණාත්මකව දායක වන ග්‍රන්ථ ප්‍රකාශකයන් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකිය. මෙම බදු ප්‍රතිපත්තිය නිසා නව පොත් සඳහා ආයෝජනය කිරීම අධෛර්යමත් කරන්න ඉඩ තිබෙනවා වගේම, පාඨකයන්ට සහ ලේඛකයන්ට අහිතකර ලෙස බලපාන හිස් බවකුත් ඇති කරනවා.

එවැනි තීරණ නැවත සලකා බැලීමට සහ, මීට වඩා අර්ථාන්විත බදු විකල්ප කෙරෙහි අවධානය යොමු කරන ලෙස මම රජයට කියන්න කැමතියි. අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය මත බර පැටවීම වෙනුවට විශාල ආයතන විසින් කරන බදු පැහැරහැරීම්වලට විසඳුම් ගෙන ඒමට උත්සාහ කරන්න ඕන. බදු අය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන අයිතම ඉලක්ක කර ගැනීම වඩාත් සාධාරණ ප්‍රවේශයක්. පොත් සඳහා බදු පැනවීම සාහිත්‍ය පරිසර පද්ධතිය අනතුරේ හෙළන සහ සමාජ ප්‍රගතියට බාධා කරන ප්‍රතිගාමී පියවරක්. තිරසාර ආයෝජන ප්‍රමුඛ වන තීරණාත්මක අවස්ථාවක, අධ්‍යාපනය, දැනුම සහ සමස්ත ජාතියේ යහපැවැත්ම පෝෂණය කරන තීරණවලට ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රමුඛත්වය දිය යුතුයි.

Q: අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද?

A: මෙම තීක්ෂණ බුද්ධිමත් සම්මුඛ සාකච්ඡාවට සහ මනස කළඹන ප්‍රශ්න ඇසීම වෙනුවෙන් මම ආසියානු සාහිත්‍ය සාමූහිකයට (The Asian Group of Literature) මගේ කෘතඥතාව පළ කිරීමට කැමැතියි. පරිණාමය වන ග්‍රන්ථ ප්‍රකාශන භූදර්ශනයක් හමුවේ, සහයෝගිතාව කියන දේ ඉතා වැදගත්. මෙම කාලෝචිත සාකච්ඡාව, ඉදිරියේ ඇති අභියෝග මත ආලෝකයක් පතිත කරවනවා වගේම, මේ කර්මාන්තය තුළ එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. ඔබ වැනි වේදිකාවලට ස්තූතිවන්ත වන්නට, අපට මේ පරිවර්තනීය අවධිය තුළ සාහිත්‍යය සඳහා සවිමත්, සමෘද්ධිමත් අනාගතයක් සහතික කරන සාමූහික මානසිකත්වයකින් යුතුව සැරිසැරීමට හැකි වෙනවා.

-සාකච්ඡාව ප්‍රමුදිත් ඩී. රූපසිංහ විසිනි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment