කෙහෙල් ලෙල්ලක අරුමය!

කෙටිකතාවට කෙතරම් අපූරු ලෙස දෘෂ්‍යමය හැඟීම් ජනිතකළ හැකිද? වචන දහස් ගණනකින් විස්තරකොට ලිවිය යුතු යමක් එක් සරල චිත්‍රයකින් කිව හැකි වන්නා සේ, මනස් රූප මාලා භාවිතකොට කතන්දර කීමේ සාස්තරය හොඳින් දන්නා රංගන ආරියදාස කෙහෙල් ලෙල්ලක් මත පාඨකයා වේගයෙන් ලිස්සා යවා ප්‍රඥාවේ කළුගල මත ඔළුව තදින් හැප්පීමෙන් දුලබ ප්‍රඥාවක අත්දැකීමක් දෙන්නට සමත් වෙයි.

පොත් සාප්පුවල කැෂියර් තනතුරු හොබවන්නියන් මුවගට මන්දස්මිත නංවන, පරිගණක පද්ධතියට ඇතුළුකරගන්නට ලෙහෙසි නැති හෙයින්  අඟපසඟ හලා දමා, කැවෙන්ඩිෂ් ලෙල්ලක කොළ පැහැය ඇති මො.ල. පිටකවරය මත ලොකුවට පෙනෙණ ‘කෙහෙල් ලෙලි‘ යන ක්ෂුද්‍ර නාමය බවට නිරායාසයෙන්ම ඌණනය වන, ‘මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත‘ කෙටිකතා සංග්‍රහය වූකලී ලාංකික පාඨකයාට කලාතුරකින් කන්නට ලැබෙන නේත්‍රප්පලමකි. ඇස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස 2022 දී පළ වූ මේ කෙටිකතා සංග්‍රහය ගැන අප අද කතා කරන්නේ ඒ නිසාය.

වීරයන් ජයග්‍රහණය උදෙසාද, මකරුන් ජීවිතය උදෙසාද සටන් කරන බව කෙටිකතාවේ ආරම්භයටත් පෙර සඳහන් කිරීම මගින් එතුළ කෙබන්දක් හමුවීමට ඉඩ ඇත්දැයි පාඨක සිතේ කුහුල අවුලයි. “අසම්පූර්ණ දඩයමක සටහන්“ නමින් රංගන ඉදිරිපත් කරන කතාව කෙටි කෙටිකතා කීපයකින් සුසැදි කෙටිකතාවකි. මකර දඩයමකට හවුල්වීමට යන ගැමි කොල්ලෙක්, ඔහුගේ පියා, සහ ගමේ හයිකාරයෝ ගැන උද්යෝගිමත් ලෙස එහි කියැවේ.

කෙළවරකින් ඇසුණු අණදීම් කිහිපයක් සමග සටන ඇරඹිණි. සියල්ලෝ සමග අප වීරයෝද මකර මන්දිරය තුළට කඩා වැදුණෝය. මකරාටද හිස් දස දහස් ගණනක් විය. මෙපමණ ඔලුගෙඩි ගණනකින් කල්පනා කරන්නට සමත් මකරෙකු කෙතරම් කපටි විය යුතුද? කෙතරම් උපක්‍රමශීලී විය හැකිදැයි සියල්ලන් කල්පනා කළා විය යුතුය. දිනක ඌ මුලු රටම විපතට පත්කරනවාට සැක නැත. ඉතින් ඌ විනාශ කළ යුතුමය. අවාසනාවකට ඔවුන් නොදැන සිටි යමක් විය. එසේ නැතහොත් එය කිසිදා දැනගැනීමට උනන්දුවක් නොතිබූ දෙයක් විය යුතුය. මකර දඩයමේ උන් මකරාට වෙනස්ව මේ මකරා සටන් නොකළේය‍. සැබැවින්ම මකර දඩයම සඳහා සියල්ලෝ එළිබසින මොහොතේම ඌ පරාජය බාර ගෙන තිබිණි. ඉතින් මකරා කරබාගෙන සිටිද්දී පිරිස කිසිදු ආයාසයකින් තොරව උගේ එක් එක් හිස්වලට ගිනි තැබූහ. ඒවා ඉතා ඉක්මනින් දැවිණි. මකරාගේ අවසන් සුසුම් වාතලයට එක්වෙමින් ධවල මන්දිරයේ ජනෙල් කවුළු තුළින් දුම් රොටුද ගින්දර සමගින් පිට විය. සමහර අලු කැටිති උඩු සුළඟට අසු වුණු අතර ඒවා අවුරුදු ගණනාවක් මුළුල්ලේ විටින් විට පොළවට පතිත වුණි. (22 පිට)

මකර රාජධානිය ගිනිබත් කරන ඔවුන්ගේ ජය සමරනුවස් ගමේ පිසෙන කිරිබතට අහසින්  පතිතවන්නේ දැවුණු මකරුන්ගේ අළුය. එහෙත් කිසිවකු විසින් මකරු කිහිපදෙනෙක් හොරෙන් රැගෙනවිත් සඟවාගෙන ඉඳීමට සමත් වෙයි. ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? 1981 සිට 2009 දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ සත්‍ය සිදුවීම් සහ ඔහුගේ පරිකල්පනය තුළ උපන් සිදුවීම් මාලාවක් රංගන මේ අපූරු කෙටිකතාවට පාදක කරගෙන ඇත.

50 දශකයේ සිට ඇරඹී ක්‍රම ක්‍රමයෙන් පරිපාකයට පත්වන විප්ලවවාදියාගේ ඛේදවාචකය ගෙනහැර දැක්වීමට රංගන ගන්නා උත්සාහය “පාරාදීසයේ උද්‍යානය” කෙටිකතාවේදී අපූර්ව පාඨක අත්දැකීමක් බවට හැරෙයි.

අවුරුදු ගණනාවක් සජීවී පිළිමයක් ලෙසින් ගෙවා දැමූ සේවා කාලය විසින් ජස්ටින්ව දක්ෂ ශිල්පියකු බවට පරිවර්තනය කොට තිබිණි. පාදඩයින් පිරිසක් පැමිණ උද්‍යානය ඔබ්බෙහි වූ දෙමළ කඩ පෙළට ගිනි තබන විටදීත්, උද්‍යානයේ ඉදිරිපස පාරේ රේස් ගිය පෞද්ගලික බසයකට පදිකයකු යට වනු දුටු විටත් ඔහුට ඉරියව් වෙනස් නොකර සිටිය හැකි විය. (33 පිට)

සිය රැකියාව අහිමිවන ජස්ටින් නැමැති කම්කරු නායකයා අවසානයේදී විප්ලවවාදියකුගේ ප්‍රතිමාවක් ලෙස සැනකෙළියක පෙනී සිටින්නකු බවට පත්වීම සංවේගය, හාස්‍යය, දුක ආදී රිසි හැඟීම් ඇතිව විඳගැනීමට රංගන පාඨකයාට භාර කරයි.

මේ කෙටිකතා සංග්‍රහයේ එන ‘මනමාලයා‘ කෙටිකතාව, මෑත කාලයේ ලාංකිකයා අසා පුරුදු එක්තරා සුලබ ප්‍රවෘත්තියක ඇතුළාන්තය අපූර්ව ආකාරයකින් ඉදිරිපත් කිරීමකි.

“රුවනො බලාගෙන” ලොකු මුදියන්සේ කෑගසයි.

“ඔව් රුවනො හදිස්සියක් නෑ, අපේ මනමාලය තාම මග වෙන්න ඕන… නැහ්නං මැසේජෙකක් ඒනවා නේ… උඹ නිවාඩුව වැඩේ කරහං.” ඒ වෙරිමත නිසාම තාප්පයට පිටදී සිටි මිල්ටාය.

“නෙදකිං නාකිය… උඹ මැසේජ් එක එනකන් බල බල ඉඳපන්” සුද්දා පහත් හඬින් මිල්ටාට‌ බැණවදී.

“බලන් ඉන්ඩෝන නෑ, මුන් රතිඥ්ඥා ගහන්න ගත්තම දැනගන්න පුළුවන්” මිල්ටා පවසන්නේ අත දිගු කරමිනි. (44 පිට)

පාඨකයා පමණක් නොදන්නා, එහෙත් කතාවේ ජීවත්වන සියළුම චරිතවලට රහසක් නොවන බියකරු සත්‍යයක් අවසානය තෙක් හෙළිදරව් නොකිරීමට කතුවරයා වගබලාගන්නේ The Lottery කෙටිකතාවේදී ෂර්ලි ජැක්සන් කරන පරිදිය (මෙම කෙටිකතාව ‘ලොතරැයිය‘ නමින් රශ්මික මණ්ඩාවල පරිවර්තනය කර තිබේ – “ලොතරැයිය සහ තවත් කෙටි කතා”).

“උඹට ෂොට් ඒකක් දෙන්නද?” රථයේ සිටි යමෙක් ඇසුවේය.

“ඔව් බීපන්! එතකොට ඔය ගැස්ම අඩුවෙලා සැහැල්ලු වෙනවා” තවත් හඬකින් කියැවිණි. රථය තුළ වූ අඳුර හේතුවෙන් මනමාලයාට කිසිවෙකු හඳුනාගත නොහැකිය.

“හා” පහත් අපැහැදිළි හඬකින් පිළිතුරු ලැබිණි.

ඒ පිළිතුර හා සමගින් රථයේ වේගය මඳක් අඩු විය. මග දෙපස වූ තේක්ක කැලය පැහැදිලිව දර්ශනය විය. (49 පිට)

මනමාලයාගේ පොදු කතාව විටින් විට ප්‍රවෘත්තියක් ලෙස අසන කල නොදැනෙන හදවත හිර කරවන ගැඹුරු කම්පනයක් මනමාලයා කෙටිකතාව කියවන පාඨක සිත්හි ඇතිවීම නොවැලැක්විය හැකිවා පමණක් නොව, කතාව කියවූ පසුවද එය සිහි කරන වාරයක් පාසා එම කම්පනය එලෙසින්ම දනවන්නට සමත්වීමෙන් පාඨකයා තුළ සහකම්පනය ඇවිලවීමට කතුවරයා සතු රංගනමය ප්‍රතිභාව පෙන්නුම් කරයි.

“මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත” කෙටිකතා සංග්‍රහයේ එනමින්ම යුත් කෙටිකතාව යන්නේ වෙනස්ම මගකය. ස්වාභාවික අන්තරීක්ෂ සංසිද්ධියක් නිරීක්ෂණය කරන්නට වනාන්තර කඳු මුදුනකට නගින විනෝදකාමී තරුණ පිරිසකට හමුවන ජොනී අයියා නැමැති ගැමියෙකුගේ පාරම්පරික විශ්වාසයන්ට ඔවුහු විද්‍යාත්මකව අභියෝග කරති. විද්‍යාව යනුවෙන් හඳුන්වන දෙය නිවැරදිද, නැතහොත් ගැමියාගේ විශ්වාස නිවැරදිද යන්න පාඨකයා තුළ ගැටුමකට ලක් කිරීම රංගනගේ උත්සාහයයි. ගැමියාට අනුව කිසිවකුටත් ලෙහෙසියෙන් පහසුවෙන් දැකබලාගත නොහැකි දිවා ගුහාව දෑසින් දුටු එකම තැනැත්තා වූයේ සතුරාටද ගරුකරන ප්‍රතිපත්තිගරුක මැරයෙකි.

ජොනී අයියා අප කෑ කෙසෙල් ගෙඩිවල ලෙලි එකතු කළේය.

“මේවට ලෙස්සල වැටෙන්න පුළුවන්,” හෙතෙම පැවසීය.

“පරණ කාලෙ එහෙම වුණාට මේ කාලෙ කිසි කෙනෙක් කෙහෙල් ලෙලිවලට ලෙස්සල වැටෙන්නෙ නෑ ජොනි අයියෙ,” කමල් අයියා සිනාසෙමින් පැවසීය. (64 පිට)

විද්‍යාත්මක දැනුම වෙනුවට වෙනත් දැනුමක් පිළිගන්නා ජොනී කැලේදී වුව කෙහෙල් ලෙලි ඉවත් කිරීමට තරම් ප්‍රතිපත්තිගරුක ගැමියෙකි. පොතපත කියවා ලබන නීරස විද්‍යාත්මක දැනුම වෙනුවට ඔහු කෙහෙල් ලෙල්ලක් මතින් ලිස්සා වැටී පස්ස බිම ඇනී ලබන ප්‍රායෝගික දැනුමට ගරු කරන්නෙකි.

සමහර විටෙක අතරමං වීම වඩා සුන්දර බැව් නොදැන සිටි මම ඒ බැව් පැවසීමට පසුපසින් පඩි බසිමින් සිටි ජොනී අයියා වෙතට හැරෙනවාත් සමගම කඳු පාමුල වූ කෙසෙල් ලෙල්ලක් මතින් පය ලිස්සා ගොස් බිම ඇද වැටුණෙමි. ජොනි අයියා දසන් විදහා සද්දෙන් සිනාසුණේය.

“කෙසෙල් ලෙල්ලකට ලිස්සල වැටුණම පස්ස බිම ඇනෙනව. මොළේ හෙල්ලෙනව, වෙන මොකුත් වෙන්නෙ නෑ.”

ජොනී අයියා කෑගසා පැවසීය. වහා නැගී සිටි මමද ඔහු හා කොක් හඬලා සිනාසුණෙමි. (65 පිට)

මිනිසාගේ ප්‍රායෝගික ඉගෙනීම, කාලය කාදැමීමේ සහ නිරර්ථක කච කචයේ අනවරත අධිවේගී මාර්ගය වන ජංගම දුරකථන කණු සහ ආගමික සීසීටීවී ඇස් යොමා සීමා කර තිබේද යන පැනය මෙහිදී නිරායාසයෙන්ම සිතට නැගෙයි.

රංගන ආරියදාස “මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත” කෙටිකතා සංග්‍රහයේ තවත් කෙටිකතා දෙකකින් වියපත්වීම දෙයාකාරයකින් දැකීමට පාඨකයා රැගෙන යයි. බොහෝවිට හුදෙකලාව සමග අත්වැල් බැඳගන්නා වියපත්වීමේ අත්දැකීම ඔහු ගෙන එන්නේ “හේමන්ත සැඳෑ සක්මන” කෙටිකතාව තුළිනි. ඩන්ස්ටන්ගේ හුදෙකලා ජීවිතයට තැපැල්කාරයා උන්හිටිගමන් ගෙන එන වසර ගණනාවක මතකයන්ගේ කැළඹීම ඔහුට අනපේක්ෂිත පීඩාවක් ඇතිකළේද? ඒකාකාරී හුදෙකලාවට හුරු වූ ඔහුගේ මනස අවුල් කර දැමුවේද?

ෆීනික්ස් මම ඕනෑවට වඩා ජීවත් වෙලා. අරමුණක් නැති මිනිහෙක් ජීවත් වෙන ඒක පාපයක්. (77 පිට)

අවසානයේදී ඔහුගේ හුදෙකලා ජීවිතය වෙනස් කරන්නට ෆීනික්ස්ට හැකි වේද? ඒ ඔබ “හේමන්ත සැඳෑ සක්මන” කියවා සොයාගත යුත්තකි.

බොහෝවිට ශාරීරිකව සහ මානසිකව විද්‍යමාන වන මිනිසාගේ වියපත්වීම නිරූපණය කරන්නේ පැරණිවීමකි, යල්පැනීමකි. එහෙත් කාලයත් සමග ළඟා කරගන්නා යල් නොපනින වියපත්වීම හෙවත් පරිණතිය, බොහෝ විට පුද්ගලානුබද්ධව හා සාමූහිකව සමාජයක් ලෙස නානාවිධ විය හැකිය. “අවසාන තරුණයා” හි රංගන කතා කරන්නේ ඒ ගැනය.

දැන් අපිට තව දුරටත් දුක් වෙන්න හේතුවක් නෑ. මේ භූමියේ පස් තියෙන තාක් අපිට සෙල්ලම් කරන්න පුළුවන්… කොච්චර ලොකු සෙල්ලම් බඩුවක්ද අපිට ලැබිල තියෙන්නෙ. අපි ඔක්කොම මේකට ආදරය කරන්න ඕන. (85 පිට)

බරපතල දේ සෙල්ලමට ගැනීම මෙන්ම සෙල්ලම් බරපතලෙට ගැනීමද සිදුවන්නේ පුද්ගල මෙන්ම සමාජ පරිණතියේ පවතින විවිධ මට්ටම් අනුවය යන්න “අවසාන තරුණයා”ගේ අවසාන හෙළිදරව්ව වන්නේද?

පියවරු ඔවුන්ගේ සිතේ දූවරුන්ට දෙන්නේ පුතුන්ට දෙන තැන නොව, වෙනත් තැනකි. ඒවා දූවරුන් හෝ පුතුන් හෝ කිසි දින දැන නොගන්නා, නොදන්නා තැන්ය. සැබැවින්ම ඒ තැන් දන්නවා ඇත්තේ ඒ පියවරුන්ම පමණි. දූවරුන්ද ඔවුන්ගේ සිතේ තාත්තලා තබාගන්නේ වෙනස්ම තැනකය. “දුවලා දෙන්නෙක් සහ තාත්තලා දෙන්නෙක්” නැමැති රංගනගේ කෙටි කෙටිකතාව පිළිබිඹු කරන්නේ තාත්තලා සහ දූලා අතර පවතින මේ බැඳීමය.

රංගන ආරියදාසගේ “මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත” කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා හත, කතන්දර කියන විධි පිලිබඳ ඔහුගේම පර්යේෂණයකි. දඩයමක අසම්පූර්ණ සටහන්, පාරාදීසයේ උද්‍යානය, මනමාලයා, සහ මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත යන මුල් කෙටිකතා හතර තුළ ඒ පර්යේෂණයේ සාර්ථකත්වය දීප්තිමත්ව පෙනෙයි. ඒවා අතිශයින්ම පාඨක බුද්ධිය කලම්බනසුළුය. කියවා පොත පසෙක තැබූ පසුවද නොකඩවා සිත කොනිත්තන ස්වභාවයක් ඒවායෙහි තිබේ. යළි පොත දිගහැරගෙන නැවත කියවීමට රංගනගේ කෙහෙල් ලෙලි අපට දිවා රෑ දෙකෙහි වධ දෙයි.

-මොහාන් ධර්මරත්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment