තම වෘත්තීය ජීවිතය, පවුල සහ කලාව කියන පරාස තුනම සමපාත කරමින් කවි ලියන වෛද්‍යතුමියක් අපට හමුවෙනවා. ඇය නමින් මංජුලා පියුමාලි ද සොයිසා. මේ වන විට කවි පොත් දෙකක් රචනා කර තිබෙන ඇය කවියට අත්පොත් තබන්නේ මුහුණු පොතේ කවි ලියමින්. මුහුණු පොතින් ඇරඹි ඇගේ කාව්‍යකරණය අද වන විට සුවහසක් පාඨක ජනාදරය දිනා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඒ ඇයගේ තිත් සහ කොමා කාව්‍ය සංග්‍රහය සහ බන්ධන කාව්‍ය සංග්‍රහය හේතුවෙන්. අද අපේ කතා බහ දිග හැරෙන්නේ ඇය සමඟ.
Q: කතාබහ ආරම්භයේදී මං කැමතියි මුලින්ම ඔබ, ඔබ ගැන කෙටියෙන් සඳහන් කරනවානම්?
A: නම, වීරක්කොඩි මංජුලා පියුමාලි ද සොයිසා. ගම මීගමුව. මූලික අධ්‍යාපනය මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් ලබාගෙන, රාගම වෛද්‍ය පීඨයෙන් (කැළණිය විශ්ව විද්‍යාලය) වෛද්‍ය උපාධිය ලබාගන්නවා. වෛද්‍යවරියක් හැටියට දැනට මාරවිල මූලික රෝහලේ සේවය කරනවා. ඒ වගේම මං විවාහකයි, දරුවෙක් සිටිනවා. මට සහෝදරයො තුන් දෙනෙක් හා එක් සහෝදරියක් ඉන්නවා. මම පවුලේ දෙවැන්නා.
Q: මං මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්, පාසල් කාලයේ ඔබගේ සාහිත්‍ය නැඹුරුව මොනවගේද?
A: පුංචි කාලෙ ඉඳන්ම කවි කියවන්න නම් කැමතියි, හැබැයි කියන්න ටිකක් විතර කම්මැලියි. ඒත් කවි ලියන්න ඉස්සර ඉඳන් හරිම ආසයි.. පාසලේ කවි තරඟවලින් පුංචි පුංචි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ හැර විෂය බාහිරව සාහිත්‍ය ගැන ලොකු හැදෑරීමක් කරලා නෑ පාසල් කාලයේ. හැබැයි සාහිත්‍යට හරිම කැමතියි.
Q: ඔබගේ පවුල් පසුබිමේ කලාත්මක ලැදියාව කොහොමද? අම්මා තාත්තා හෝ පරම්පරාවේ කවුරුන් හෝ නිර්මාණකරණයෙහි හෝ වෙනත් කලා මාධ්‍යයකට සම්බන්ධද?
A:මගෙ පවුලෙ කිසිවෙක් කලාවට සම්බන්ධ පුද්ගලයින් නම් නෙවෙයි. මම හැර පවුලේ කවුරුත් කවි පදයක්වත් ගලපන් නෑ. හැබැයි නිර්මාණයක නිරත වෙන්න අවශ්‍ය නිදහස් මානසිකත්වය මට, පරිසරය සහ වටපිටාවෙන් ලැබුණා.
Q: කවි ලියන්න පෙළඹවීම ඇතිවුණේ කවදාද, කොහොමද?
A: පුංචි කාලෙ ඉඳලම හරිම ආසයි කවි ලියන්න. පාසලේ කවි ලියන්න කීවොත් ලියනවා. හැබැයි හරියට කවිය ගැන හැදෑරීමක් කරන්නේ මැසෙන්ජර් සමූහයක් හරහා. සිංහල කවි ගැන, කවි විරිත් ගැන සහ ලියන කවි විචාරය කිරීම තුළින් “කවිය” යන්තම් හෝ හඳුනගන්න උත්සාහ කරනවා. මෙහිදි විශේෂයෙන් සඳහන් කරන්න ඕන, මම කවියේ ගුරුවරුන් හැටියට හඳුන්වන රජීව දසනායක සහ චමින්ද සෙනෙවිරත්න යන මහත්වරුන්. ඒ දීපු දැනමුතුකම් එක්ක මම කවියට ආදරය කරන්න ගත්තා කීවොත් නිවැරදියි. ධර්මසිරි වීරක්කොඩි මහත්මා, විරිත් පිළිබඳ ලබා දුන් දැනුම වෙනුවෙන් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ දැනමුතුකම් ඔස්සේ මම ලියූ කවිය සමාජය කරා ගෙනයන්නෙ නදීරා කුරුප්පු මහත්මිය සහ ධනූ ජයසුන්දර මෙනවිය.
ඒක තමයි කවි ලිවීමේ හැරවුම් ලක්ෂය වුණේ. දිවයින පත්‍රයේ වටමඬල සංස්කාරක රුවන් ජයවර්ධන මහතා කවිය වෙනුවෙන් ලබා දුන් දිරිදීමත් ගෞරවයෙන් මතක් කරනවා.
Q: ඔබ වගකීම් සහගත වෘත්තියක නිරතවන තැනැත්තියක්, ඒ වගේම බිරිඳක්, ආදරණීය අම්මාකෙනෙක්. මේ කියන භූමිකා තුනටම ඔබ සාධාරණයක් කළ යුතුයි. එහිදී පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
A: පවුලෙන් නම් කිසිදු බාධාවක් නෑ. හැබැයි පුංචි පුතා එක්ක හරිම කාර්යබහුලයි. මම ලියන කියවන දේවල් ඉතිං අහං ඉන්න එකම ඇති කියලයි මං හිතෙන්නෙ.
Q: නිර්මාණයකදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවා ගැනද?
A: සරලවම කීවොත් නිර්මාණයක් ගෙඩි පිටින් නොදී ඉන්න යි උත්සාහ කරන්නෙ. ඒ කියන්නේ ව්‍යංගයෙන් හදවතක උපදින හැගීම්වලට අපූර්වත්යක් එක්කර අකුරු කරන්න තමා වෑයම. ඒකට ආකෘතිය බාධාවක් කරගෙන නෑ. සදැස් නිසදැස් දෙකම ලියනවා. හැබැයි සදැස් ලියද්දී කාව්‍ය රීතින් රැක ගනිමින් අලංකාර යොදාගනිමින් ලියන්න උත්සාහ කරනවා. පද හතර ඇමිණීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක අර්ථ පූර්ණ රහ “කවියක්” කිරීම අතිශයින් අමාරුයි. අපූර්වත්යෙන් හා විශිෂ්ට පරිකල්පනයකින් පිරිපුන් කවියක් ඉදිරිපත් කරන තැනට දවසක එන්න අදටත් සතතාභ්‍යාසයන්හි නිරත වෙනවා. ඒත් මම තවම ඒකෙ මුල්පොත් කියවන ගමන් කියල හිතෙනවා.
Q: ඔබ නිහතමානි කිවිඳියක බව කිව යුතුමයි. ඒත් එක්ක මං දැනගන්න කැමතියි කාව්‍ය උපක්‍රම සම්බන්ධයෙන් ඔබේ අදහස සහ ඔබගේ නිර්මාණවල ඒවායේ භාවිතය මොනවගේද කියලා?
A: කාව්‍ය උපක්‍රම පිළිබඳව මගේ මතය කීවොත් මම විශ්වාස කරනවා කාව්‍යොපක්‍රම තමා කවියකට වටිනාකමක් එක් කරන්නෙ කියලා. ඒක තාලයට කියවන ලියමනක් නොවෙන්නෙ උපක්‍රම ඇති නිසා. මම බොහෝවිට උත්සාහ කරනවා මගෙ කවිවලදී වක්‍රෝත්ති සමඟ වෙනත් අලංකාර භාවිතයට. කෙටි කවි බොහෝවිට සංකේත ඇසුරින් ගෙනියන එක පහසුයි. එතකොට ඒක තම අත්දැකීම්වලට අනුව පාඨකයා තමන්ගෙ කර ගන්නවා.
Q: ඔබගේ නිර්මාණවල ප්‍රේමය, විරහව වගේ තේමා බහුලව දැකගන්න පුළුවන්, එය සිතා මතා සිදු කළාද, ඒ ගැන අදහසක් දැක්වුවොත්?
A: ප්‍රධානම හේතුව තමයි ඒ තේමා අපි සංවේදීම මාතෘකා. කෙනෙක් රහටම ලියන්නෙ හොඳටම දැනෙන දේවල් නේ.
Q: ඔබ කියූ සංවේදී මාතෘකා අතරේ මං දැකපු විශේෂත්වයක් තමයි ඔබගේ ඇතැම් කවි ඉතිහාස පුවත් මතකයට නඟනවා. එය ආයාසයෙන් සිදු වූවක්ද, ඒ සම්බන්ධයෙන් ඔබ යමක් කීවොත්?
A: ඇත්තටම ඉතිහාසයේ සිදුවූ සමහර දේවල් මට දැනෙන විදිය තමා කවිවලට යොදලා තියෙන්නේ. ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ.
Q: ඔබට දැනෙන අයුරින් ඔබ ලියූ බොහෝ කවිවල එකී ඉතිහාසය මතක් කිරීම සිදු වන්නේ එක් වදනකින් වෙන්න පුළුවන්, සංකේත, රූපකාර්ථ සහ බහ්වර්ථ මතු කිරීම ගැන ඔබේ අදහස කොයි වගේද?
A: කවි නිර්මාණයේදී එවන් උපක්‍රම භාවිතය බුද්ධිමත් පාඨකයාට තිළිණයක්. මනස තුළ විශාල අවකාශයක් මවන්න එය හේතුවක් වෙනවා. තමන්ට කැමති ගැළපෙන අත්දැකීමක් එතන වනන්න පුළුවන්. බොහෝ පාඨකයින් එතුළින් ඒ කවි තමන්ගේ කර ගෙන කියවාවි.
Q: ඔබ කවි ලිවීම හිතා මතා සුදානම් වී සිදු කරනවද, නො එසේ නම් සිතට එන ඕනෑම අදහසක් ඕනෑම අවස්ථාවක ලියනවද?
A: මුල් කාලේ නම් ඔව්. හිතාමතාම ලීව්වා. ඒක විනෝදාංශය. ඒක එක්තරා භාවනාවක්. හැබැයි දැන් නෑ. සිතිවිල්ලක් ආවහම, දෙයක් දැක්කහම, දෙයක් දැනුණහම, ඒක හිතෙන් දකින්න පුංචි උත්සාහයක් ගන්නවා. එහෙම හිතේ තියා ගත්ත සිතිවිල්ල නිවාඩු පාඩුවේ ඉන්න ලැබෙන වෙලාවක කවියක අතුරන්න හදනවා.
Q: ඔබට කවි සිතිවිලි පහළවන වටපිටාව ගැන කිව්වොත්?
A: විශේෂත්වයක් නෑ. ඕනෑම තැනක ඕනෑම මොහොතක. හැබැයි හිස සහ හිත නිදහස්ව තියෙන්න ඕන.
Q: ඔබ භාෂාවෙන් හරඹ කරන දක්ෂ කිවිඳියක්, කාව්‍ය නිර්මාණවල භාෂාව භාවිතයේදී ඔබ දක්වන සැලකිල්ල කවරාකාරද?
A: මම විශ්වාස කරන දේ තමා කවිය කියන්නෙ කෙනෙක්ට යමක් දනවන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක්. එතකොට කට වහර කවට මුසු කිරීම තමා සාර්ථකම කියන එක තමයි මගෙ අදහස. කියන දේ හදවතකට සමීප කරවන්න පුළුවන් විදියකට දෙන්න අනවශ්‍ය බර බර වචන නැතිව අපූර්වත්වයෙන් විශිෂ්ට කවි ලියන කවියො ඉන්නවා. හැබැයි කවියක් නම් භාවිත කරන බස නිසා කවිය සුගායනීය වෙන්න ඕන. වචන තුළින් කර්කෂභාවය ඉස්මතු නොවෙනවා නම් හොඳයි කියල විශ්වාස කරනවා. (ඇතැම් තැනක එහෙම මතු විය යුතු කවිත් තියෙන්න පුළුවන්) මගෙ කවිවලදී වියත් බස් වහරට වඩා , කට වහර යොදන්න උත්සාහ කරනවා.
Q: ඔබේ පළමු කාව්‍ය සංග්‍රහය කෙටිවලට වඩාත් නැඹුරුයි. දෙවන කාව්‍ය සංග්‍රහයෙහි ඊට සාපේක්ෂව දිගු කවි රටාවක් පෙනෙනවා. කාව්‍ය විෂයෙහි විරිත් භාවිතය සහ ආකෘතිය ගැන සඳහන් කරනවානම්?
A: කවිවල ආකෘතිය කවියක අර්ථය ඔප් නැංවීම පිණිසම විය යුතුයි කියන එක විශ්වාස කරනවා. සමහර විරිත් තියෙනවා, කවියකට භාවයක් ලබා දෙන. ජීවයක් ලබාදෙන. ප්‍රවීණයෙක්ට ඒ කවියේ පරමාර්ථය ඉස්මතු වෙන අන්දමට විරිතක් තෝර ගැනිම අපහසු නෑ. හැබැයි ආකෘතිය හෝ විරිත තුළ කවියා සිර නොවිය යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. කුමන ආකෘතියකින් හෝ පාඨකයාට වඩාත් හොඳ රසවින්දනයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඒකට ගැළපෙනම ආකෘතිය. ඉතිං මගෙ කවිවලත් අත්හදා බැලීම් කරනවා. කෙටි කවි ප්‍රබලයි. හැබැයි ලිවීම අපහසුයි. තේරුම් ගැනීමත් අපහසුයි. මම ආස කෙටි කවියට. දෙවෙනි පොතේ කෙටි කවි ප්‍රමාණය අඩු බව පිළි ගන්නවා. තව කෙටි කවි එක්විය යුතුව තිබුණා තමයි. ඒකට හේතුව මමත් තවම හොයනවා.
Q: නවක ලේඛකයන් සහ නවතම කාව්‍ය ප්‍රවණතා ගැන ඔබගේ අදහස?
A: ප්‍රතිභාපූර්ණ නවක කවීන් මෙන්ම කිවිඳියන් බොහොමයක් ඉන්නවා. සදැසට වඩා නිසදැසට බරයි ඔවුන්. නව අත්හදා බැලීම් කරනවා. ඒක සුබ කාරණයක්. නව නිර්මාණ අත්හදාබැලීම් කලාවේ උන්නතියට වැදගත් බව විශ්වාස කරනවා. හැබැයි අපට උරුම කවිය පිළිබඳව අධ්‍යයනය කරන අය නම් අඩුයි.
Q: ආධුනික නිර්මාණකරුවන්ට යමක් කිව්වොත්?
A: මමත් ආධුනිකයිනෙ තවම. කවියකින් පුළුවන් කෙනෙක්ට සමාජයෙ පෙරළියක් කරන්න. (විවිධ අංශ වලින්) කෙනෙක්ව කියවන්න හිතන්න පුරුදු කරන්න. කෙනෙකුට ජීවත් වෙන්න උගන්වන්න. ඒ නිසා ගුණාත්මක නිර්මාණ දායක කරන්න උත්සාහ කරමු, කියලා යෝජනා කරනවා.
Q: අවසාන වශයෙන් දැනගන්න කැමතියි, නිර්මාණකරණය අතින් ඔබගේ අනාගත ආපේක්ෂා මොනවාද?
A: කවිය වෙනුවෙන් දෙයක් කරන්න තිබ්බොත් ඒ දේ උපරිමයෙන් කරනවා. මියෙන තුරුම කාව්‍ය නිර්මාණකරණයේ නියැලෙන්න කැමතියි. ඒ ඇරුණම ලොකු ලොකු බලාපොරොත්තු නෑ දැනට.
අවසාන වශයෙන් ඔබට බොහෝමත්ම ස්තුතිවන්ත වන අතරම ඔබගේ අනාගත බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උගත්කමත් එක්ක කවිකම වත්කමක් කරගත් නිහතමානි කිවිඳියක වන ඔබට The Asian Review Sinhala අපි සුබපැතුම් එක්කරනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
