ඇනස්ටා විජේසිංහ කිවිඳියගේ කුළුඳුල් කවි පොත නිකුත් වී ඇති නිසා ඇය සමඟ කවිය සහ ජීවිතය පිළිබඳ කළ සාකච්ජාවයි මේ.
වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය ලංකාවේ උතුරේ දුෂ්කර ප්‍රදේශ වල සේවය කර ඇති අතර පසුව ඕමානයේ සේවය කර වර්තමානයේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කරයි. ඇගේ කවි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ලන්ඩන් කවි වෙබ් සඟරාව ඔස්සේද පාඨකයන් වෙත සමීප වේ.
1. බොහෝ කවියන්ව කවිය වෙත සමීප කළ කාරණා තියෙනවා. දීර්ඝ කාලයක් සමාජ ජාල, පුවත් පත් ඔස්සේ කවි ලියූ , ” ආවොතින් ඔයා” කුළුඳුල් කවි සරණිය පාඨකයන් අතට පත් කළ ඔබේ කවි ලිවීමේ ආරම්භය කොතැන ද? ඔබ කලාව සහ සාහිත්‍ය කෙරෙහි බැඳෙන්නට බලපෑ කරුණු කාරණා තිබේ ද?
මගේ කවි ලිවීමේ ආරම්භය කොහෙද කියලා මමත් හොයනවා. දන්න එකම දේ අපේ තාත්තාට කවි ලියන්න පුලුවන්. ඉතිං ආස කරන දේ කවියෙන් ඉල්ලන්න පොඩි කපටි කවි ලියලා තමයි ඉස්සෙල්ලාම පද අමුණනන්න පටන් ගත්තේ. ඒ පොඩි කාලේ ඊට පස්සෙ කලින් කලට යලට මහට කවි ලිව්වෙ පාඩම් වැඩ අතර තුර කම්මැලිකම නැති කරගන්න. පොත් පිටු වල කවි කුරුටු ගෑවා.
කොටින්ම කිව්වොත් සත්ව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉවර වෙලත් කවියක් ලිව්වා. ඒ අසංග අබේසුන්දර සර්ට.
ඒක නිසඳැසක් .
ලොවම කැටි වී
දෙපාමුල වී
මගේ සිත කය වෙව්ලනා
දහක් පැතුමන් අතර තනිවී
මගේ පෑනත් කොදුරනා
මදින් මද ගෙන
නුඹ සිනා වැල
නුඹ කථා වැල අමුණුවා
පෑන් තුඩ මගේ
නොවී වෙහෙසක්
නුඹේ ජවයෙන්
සෙලවුනා
ඔහොම ලියපු මට හම්බුන ජීවන මඟේ කවි නොදන්න සගයා සුරාජ් මම ලියනවට ආස කළා. ඒ නිසාම නොකඩවා කවි කෑලි ලිව්වා. අද ඉතිං පොතක් කළෙත් එහි ප්‍රතිඵලයක් විදිහට. කවියක් ලියලා දවස් දෙක තුනක් ඒක එක්ක ජීවත් වෙන එක මගේ දින චර්යාවේ කොටසක්.
2. ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඔබේ අධ්‍යාපනික මෙන්ම වෘත්තීමය විෂයපථය සහ ඔබේ ලියැවීම් ඒ කියන්නේ කවිය අතර සම්බන්ධතාව ය ගැන කතා කරමු ද? ඔබේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔබේ ලිවීම්වලට බලපා තිබෙනවා ද? වෛද්‍ය වෘත්තිය හා බැඳුණු සිදුවීම් ඔබේ කවියට හේතු පාදක වුණා ද?
වෛද්‍ය විද්‍යාලයේ ඉන්නකොට කවි ලිව්වෙ පාඩම් කරන අතරතුර පුංචි විවේකයට හිත සැහැල්ලු කරගන්න. වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙලා හදවත්වලට ලං වෙනකොට සමහර නිමිති ඉබේම මගේ මතක මල්ලට ඇලුණා. ඒවා බොහෙමයක් හතර පද උනා. වෛද්‍ය වෘත්තිය කියන්නෙම මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. බෙහෙත් තුණ්ඩුව ලියන්න දැනුම වගේම ඒ බේත ලෙඩාට පොවන එක කලාවක්, කියලා මම විශ්වාස තරනවා. ඉතිං සංවේදී දින බොහොමයක් අතර ලැබෙන විවේකයේ කවියක් ලියන්නත් වෙලාව ඉතුරු කරගන්නවා.
3. ඔබේ කුළුඳුල් කවි පොත ගැන කතා කරමු. ඔබ බොහෝ කාලයක් අරගෙන කුළුඳුල් කවි පොත කරන්නේ. කවි පොතේ නම “ආවොතින් එයා” , එය වෙනස්ම ආකාරයේ නමක්. ඒ නම තෝරා ගැනීමට සුවිශේෂ හේතුවක් තිබෙනවා ද? ඔබේ කුළුඳුල් කවි පොතේ ප්‍රධාන තේමාවන් මොනවාද? ඔබේ පොතේ කවි වලට ඒවාට ම අනන්‍ය වූ හේතු සාධක සැපයූ ඉතිහාස කතාවක් තියෙනවා ද?
පොතක් කරන්න ඉක්මනක් තිබුනේ නෑ ඒ නිසා පරක්කුයි කියලා හිතෙන්නේ නෑ.මම හිතන්නෙ මේක.තමයි මගේ කාලය.
පොතේ සෑම කවියකටම වචනයකයම හේතු පාදක වෙච්ච කතාවත් තියනවා. ලියන්න නිමිති අහුලන්නෙ හැම තැනින්ම. මනංකල්පිත කතාවකටත් මම විශ්වාස කරනවා නිධාන කතාවක් තියනවා කියලා. ඒවා තමාගේ නොවෙන්න පුළුවන්.ඒත් ඒවා හිතට දැනුණු හැඟීමක ප්‍රතිඵල. ඉතිං ඒ ගැන මගේ පොතේ 10 වෙනි කවියේ විශේෂයෙන් කියනවා.
මගෙ කවි වල අනන්‍යතාවය ගැන මම දන්නෙ නෑ ඒක බාර පාඨකයන්ට.කොයි ජාතියේ කවියෙක් ද කියලා කියන්න වෙන්නෙ එයාලටයි. මට හිතෙන්නේ මගේ කවි එකම විදිහේ නැති අච්චාරුවක් කියලා. එකිනෙකට වෙනස් මාතෘකා වලින් කවි ලියලා තියන නිසාම මම විරහ කවියෙක්,දේශාභිමානී කවියෙක්,ආගමික කවියෙක් ලෙස නම් කරන්න බැරි වෙයි. බොහෝ දෙනෙක් සරල කවි ලියන්නෙක් වගේම පොදු මාතෘකා වෙනස් විදිහට දකින්නෙක් කියලා කියූ වාර බොහොමයි.ඒත් ඒ ඔක්කොම කියවන ඔයාලට බාරයි.
“ආවොතින් එයා” වෙනස් නමක් තමයි. ඒකෙ තියන කුතුහලය නිසාම ආවේ කවුද කියලා 11 වෙනි කවියෙන් තමයි දැනගන්න වෙන්නෙ. ඔට්ටුයි නොහිතන කෙනෙක් කියලා එයා.
4. පොතේ ප්‍රධාන කවියක් හෝ ඔබේ ප්‍රියතම කවියක් තිබේද ? එයට හේතු පාදක වූ සිදුවීම් හෝ ඒ නිසා ඔබ වෙත ලැබුණු ප්‍රතිචාර ගැන කතා කරමුද?
ආසම කවිය මොකද්ද? ඒක ඒ විදිහටම මම මගේ අම්මගෙන් ඇහුවා එයා කිව්වා මටයි තාත්තාටයි ලියපු කවි දෙක තමයි කියලා.මම ඒ දෙකට මම ලියපු “තොටුපළ ” සහ “රුපියල “කියන කවි දෙක එකතු කරනවා. හැම කවියක්ම මම තරම් රස නිඳපු කෙනෙක් මේ ලෝකේ නැහැ.ඉතිං හැම අකුරකටම මම හරි ආදරෙයි.
දැනටමත් කවි පොතට ප්‍රතිචාර ලැබී තිබෙනවා.
කවි කියන ලියන අයගේ ප්‍රතිචාර මට තවත් නිර්මාණයකදී හරිම වැදගත්.
කවි නොකියවන අය කියවලා දක්වන ප්‍රතිචාර වලදි තවත් කවි කියවන්නෙක් එක් උනා කියන සතුට හරිම රසවත්.
5. හුදෙක් වින්දනය පිණිස ද, සමාජය වෙනස් කිරීම වෙනුවෙන් ද, සාහිත්‍යය පෝෂණය කිරීම වෙනුවෙන් ද, ලෙසින් කවි ලිවීමේ අරමුණු සහ හේතු දැක්විය හැක. ඔබේ කවියේ අරමුණ කුමක් ද ?
ඔබ නිරායාසයෙන් හිතට එන සිතුවිලි ලියනවා ද? පසුව ඔපමට්ටම් කරනවා ද?
අපි ලියන කියන හැමදේකම වගකීමක් තියනවා. ආලය, රාගය ගැන ලිව්වත් ,ඉර හඳ තාරකා ගැන ලිව්වත්, එහි බස හැසිරවීමේදී සංයමයක් අර්ථයක් සමාජ සාධාරණයක් පණිවිඩයක් තිබිය යුතුයි මම විශ්වාස කරනවා.
විවිධ නිමිති හරහා විවිධාකාර කවි ලියන්න මම ආසයි. හිතලා ලියලා නැතිම තරම්. කවි ලියන එක තැනක් නොතැනක් නැති කලාවක්.
වාහනේ නවත්තලා පාර අයිනක කුරුටු ගාපු කවිත් තියනවා.
ලිව්වාම ආයෙ කියවනවා ඔප මට්ටම් කරනවා හිතට හරි යන්නෙ නැති තැන් ආයෙ ආයේ මකමින් ලියනවා ලියමින් මකනවා. on call වැඩ අඩු දවස් වල මහ රෑ Trolley එකක් උඩ ඉඳන්, බස් එකේ කොච්චියේ මෙකී නොකී ඕනෙ තැනක කවි පොලිෂ් කරන්න මට පුළුවන්. මම හරිම ආසයි මම ලියපු කවි ආයෙ ආයෙ කියවන්න.
6. කවි පොත් විකිණෙන්නේ අඩුවෙන් කියා ඇසෙනවා. කවි පොත් මුද්‍රණය කිරීමට පෙළඹීමක් ඇතිවන සුළු ප්‍රතිචාරයක් පාඨක සමාජයෙන් ලැබෙන්නේ නෑ. මේ ගැන ඔබේ අදහස දැන ගන්න කැමතියි.
ඒක හරි වෙන්න පුළුවන් කවි කියන්නෙ හැමෝම අසා කරන දෙයක් නොවෙන්න පුළුවන් කවියක් රස විඳින්න යම් පසුබිම්
දැනීමක් කැමැත්තක් තිබිය යුතුයි. ඒත් කවි නොකියවන අයට කවි රසය කවියේ තෙරුම තේරුම් කලාම ඒ කවි කලාවට ඒ අය ඇබ්බැහි වෙනවා වෙනවාමයි.
එහෙම කවි කියවපු අය අතර ලියන්න උත්සහා කරපු අයත් හිටියා මගේ මහත්තයා සුරාජ්, මගේ මාමණ්ඩි හෙක්ටර් සහ මගේ මිතුරියක වන චරිතත් ඒ අතර විශේෂයි.
7. ඔබ සමාජ ජාල වල කවි ලියන කිවිඳියක්. ඔබේ කවි කියවන පාඨකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඔබට මතක තියෙන විශේෂ ප්‍රතිචාරයක් තියෙනවද? පොත් ලිවීම සහ අන්තර්ජාලය තුළ සමාජ මාධ්‍යයේ ලිවීම ගැන මේ දෙයාකාරය ඔබට දැනෙන්නේ කොහොමද ?
හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුනා. හැකි පමණ කතා කර, ලිපි ලියලා, ඒ වගේම සමාජ මාධ්‍යයේ චිචාර බෙදා හදාගෙන විවිධ විදිහට ලබා දුන් ප්‍රතිචාර හරිම වටිනවා. ඒ හැම දෙයක්ම මට මහ මෙරක්. මා වෙනුවෙන් වියදම් කළ වටිනා කාලයක්. ඉතිං ඒ හැමට ස්තූතියි කියන්නත් මම මේ මොහොත උපයෝගී කරගන්නවා.
කවියක් ලියලා තව කෙනෙකු සමග බෙදා ගත් පසු ඒ කවියේ තනි අයිතියක් නෑ, ඒක කොහෙ කොහේ පාවෙනවද කියලා දන්නෙ නෑ. ඉතිං මාධ්‍ය මොකක්ද කියන් එක මම අදාළ කරගන්නේ නෑ. ආස කෙනෙක්ට ළඟට යන ඕනෑම විදිහක් හොඳ මාධ්‍යයක්. අපි අපේ කාලයේ ක්‍රමයට පොතක සුවඳ ට තාම ඉව කරනවා. ඒත් නව පරපුර අන්තර්ජාලයට ලං වෙනවා. කොයි විදියට හරි කවිය රැක ගැනීම වැදගත් වෙන්නේ ඒක හිත සනසන ධර්මයක් වගේ නිසා.
8. කවි සාහිත්‍යයේ වර්තමාන කියැවීම් ගැන ඔබේ අදහස මොකක්ද? කවි ලිවීමට හැදෑරීමක් අවශ්‍ය ය ද ? අන්‍ය කවි සහ සාහිත්‍යය තුළින් ඔබේ ලිවීමේ ශෛලියට බලපෑමක් වී තිබේ ද?
තවමත් කවිය රකින්නට වෙහෙසෙන එයින් ජීවිතය විඳින්නන් ඉන්නවා. ඉතිං කවිය මිය යන්නෙ නෑ. තව චිරාත් කාලයක් මේක තියේවි. මේ අකුරු නෙවෙයි එහෙම් පිටින්ම හැඟීම්. හැඟීම් අකුරු කරන්නෙ මේ ලියවිලි. හැඟීම් තියන තාක් කවි වලට අකුරු එකතු වෙයි.
කවි ලිවීමට ආසාව තමයි මුල්ම අත් පොත. ඉන්පසු එය හදාරන්නට හිතෙනව. උදාහරණයක් කිව්වොත් කවි ලියන මුල් කාලයේ පටල පටල ලිව්වට. මාත්‍රා ගනන් කිරීම ඉඳලා බොහෝ කවි නීති රීති ඉගෙනුමෙන් රසවත් කවියක් ලියන්න මග පාදනවා. එහෙම පරීක්ෂණ කල කවි මගේ එකතුවේ තියනව.ඒකාක්ශර කවි. හැම පදයකම ඉවර වෙන අකුරෙන් ඊලඟ වචනය පටන් ගැනීම ,ඒ වගේ සහ තවත් කියවලා හොයාගන්න අලුත් විදිහකට ලියන්න උත්සහා කරපු කවි ආවොතින් එයා හී ඇතුලත් කරලා තියනවා. අනිත් නිර්මාණ අනිවාර්යයෙන්ම උදව් වෙනව. ප්‍රස්තුත සපයනව. ඒ ඔක්කොමත් හරි හොඳ කවියකින් එන සුන්දර හැඟීමම තවත් කවි ලියන්න කරන ආරාධනාවක් වගේ.
9. ඔබේ අනාගත ලියැවීම් ගැන දැනගන්න කැමතියි. ඉදිරියේ ඔබ ලියන්න බලාපොරොත්තු වෙන යම් වෙනස් කියවීමක් සහිත යමක් තිබේ ද? ඔබේ සාහිත්‍ය ගමනේ දිශානතිය කවිය ඔස්සේ පමණ ද ? එසේ නැත්නම් එය ගද්‍ය සාහිත්‍ය කෙරෙහිත් යොමුවෙනවා ඇතිද ?
ආසයි කවියට. ඒ වගේම පුංචි කතා එකතුවක් තියනවා. මම ගැටුණු පරිසරයෙන් ඉගෙන ගත් දේ ගැන පුංචි පුංචි හිතට දැණුනු තැන් අකුරු කරපු ලියවිලි. ලංකාවේ උතුරේ දමිළ ජනතාවද දකුණේ සිංහලයන්ද ඕමානයේ මුස්ලිම් ජනතාවද දැන් එංගලන්තයේ විවිධ ජාතීන්ද සමග මම මිනිසත්කම උගෙන තිබෙනවා. ඒ සිදුවීම් එකතු කරන්න අදහසක් තියනවා.කවි ලියන එක නම් නවත්තන්නේ නෑ.

Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
