“කලාව සැමවිටම සමාජ වෙනසක් ඇති කිරීම සඳහා වූ ප්‍රබල මෙවලමකි…”

බෝධිනී සමරතුංග ශ්‍රී ලාංකේය ලේඛිකාවකි. විවිධ ජන සමාජ සමඟ වැඩ කරන වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ඇය සතු පුළුල් අත්දැකීම් මගින් ඔපවත් වූ ඇයගේ ලේඛන කලාව සමාජ වෙනසක් ඇති කිරීම කෙරෙහි දැඩි ලෙස කේන්ද්‍රගත වී ඇත. හුදු වින්දනයෙන් ඔබ්බට ගිය සමාජ සාධනයක් ලේඛනය තුළින් අරමුණු කරන බව ඇය ප්‍රකාශ කරයි.

The Asian Review විසින් ඇයව “The Opinion” නම් පූර්ණ-දීර්ඝ සම්මුඛ සාකච්ඡා මාලාව සඳහා ඉදිරිපත් කරනු ලබයි. ඉංග්‍රීසි සාකච්ජාව අමන්දා ක්ලෝප් විසින් 2024 නොවැම්බර් මස  දී පළ කළ අතර මේ එහි සිංහල පරිවර්තනය යි

ප්‍රශ්නය: ඔබ වසර ගණනාවක ලේඛන අත්දැකීම් ඇති වෛද්‍ය වෘත්තිකයෙක් වන අතර, දැන් ඔබ වෘත්තීය කතුවරයකු ලෙස The Asian Literary Agency මගින් නියෝජනය වේ. මෙම වෘත්තීන් දෙකෙහි ස්වභාවය සහ අන්තර්ක්‍රියාව ඔබ විස්තර කරන්නේ කෙසේද? වෛද්‍යවරයකු ලෙස ඔබේ භූමිකාව ලේඛකයෙකු ලෙස ඔබේ අනන්‍යතාවය යටපත් කළ අවස්ථාවලට ඔබ මුහුණ දී තිබේද? එසේ නම්, ඔබ එම තත්ත්වයන්ට මුහුණ දුන්නේ කෙසේද?

පිළිතුර: සාහිත්‍යය මට සැමවිටම වෘත්තියකට වඩා වැඩි දෙයක් වුණා. ලිවීම කුඩා කල සිටම මගේ ජීවන රටාවේම කොටසක්. අපේ පරම්පරාව කුඩා කාලයේ සිටම පොත් කියවීමට හුරු වූ පරම්පරාවක්. අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් හෝ පරිගණක නොමැති වීම නිසා අපි නිරායාසයෙන්ම පොත් කියවීමට පුරුදු වුණා. මම වයසින් වැඩෙත්ම ලිවීමට සහ කියවීමට ඇති මගේ ආශාව තවත් වැඩි වුණා. වෛද්‍ය විද්‍යාව සහ සාහිත්‍යය එකිනෙකට බද්ධ වී ඇති බවයි මගේ වැටහීම. සාහිත්‍යය සමාජයේ අභිවෘද්ධියට දායක වන අතරම, ලේඛකයාගේ මානුෂීය සහ සංවේදී පැතිකඩයන් වර්ධනය කිරීමට එය උපකාරී වන බව මම තරයේ විශ්වාස කරනවා.

සාහිත්‍යය සහ දර්ශනවාදය තුළින් අසනීප, දුක් වේදනා, මරණය සහ සුවය ඇතුළු ජීවිතයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් පිළිබඳ මගේ අවබෝධය පුළුල් වුණා. වෛද්‍යවරයෙකු සහ ලේඛකයෙකු ලෙස මගේ ගමන පුරාම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිතයන්හි මනෝ-සමාජීය මානයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සාහිත්‍යය බෙහෙවින් ඉවහල් වුණා. ‘වෛද්‍ය කරුණු ආශ්‍රයෙන් කතන්දර කීමේ’ (medical storytelling) වැදගත්කම මම හඳුනා ගත්තේ මගේ වෘත්තීය ජීවිතයේ මුල් අවදියේදී ශ්‍රී ලංකාවේ උතුරේ පශ්චාත් යුද ප්‍රදේශවල සේවය කළ කාලය තුළයි.

වෛද්‍යවරුන් වශයෙන් අපි නිරන්තරයෙන් රෝගීන් පවසන දේට සවන් දෙනවා. එහිදී සෞඛ්‍ය තොරතුරු පිළිබඳව අපේ සමාජයේ ඇත්තේ අල්ප උනන්දුවක් බව මට වැටහෙනවා. එනිසා මම සෞඛ්‍ය තොරතුරු රැගත් කතන්දර ලියන්නට පෙලඹුණා. එහිදී සමාජ කාරණා ගැනත් නිරායාසයෙන්ම කියැවුණා. සාමාන්‍ය ජනයා කියවීමට වැඩි කැමැත්තක් දක්වන නිසා මම මේවා කතන්දර ආකාරයෙන් ලිවීමට තීරණය කළා.

වෛද්‍යවරයා මා තුළ සිටින ලේඛකයා යටපත් කරනවාද කියා ඔබ ඇසුවා. පසුගිය කාලයේ නවකතා වැනි සෞඛ්‍යමය නොවන අන්තර්ගතයන් ලියන විට පවා, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් සෞඛ්‍ය තොරතුරු පැහැදිලි කිරීමට උත්සාහ කිරීම මගේ ප්‍රබන්ධ ලේඛන තුළින් මම දුටුවා. මා තුළ ඇති වෛද්‍ය තොරතුරු ලියන පුරුද්ද නිර්මාණාත්මක ආඛ්‍යානයකදී පවා ඉස්මතු වන අතර, එය මඟ හැරීමට විශාල උත්සාහයක් දැරිය යුතු වුණා. මගේ ලේඛන තුළ සාහිත්‍යය සහ වෛද්‍ය වෘත්තියෙන් ලද දැනුම සමබරව පවත්වා ගැනීමට මම උත්සාහ කරනවා. ඒ වගේම ඇතැම් විට වෛද්‍ය දැනුම නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණයට පවත්වා ගැනීමට මම කටයුතු කරනවා. උදාහරණයක් ලෙස මගේ නවතම ප්‍රබන්ධයේ ඖෂධ මාෆියාව සහ සමාජයේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ සමකාලීන සාහිත්‍යය නිදහස ලැබීමෙන් පසු ජනතාව මුහුණ දුන් අභියෝග සමීපව පිළිබිඹු කරයි. වසර 75 කට පසු, යටත් විජිත ගැති දේශපාලන ප්‍රභූන්ගෙන් ඈත් වෙමින් සාමාන්‍ය ජනතාව අතරින් නායකයෙකු ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමට ශ්‍රී ලාංකිකයන් සමත් වී ඇත. මිනිසුන් සවිබල ගැන්වීම ගැන ලියන කතුවරයකු ලෙස, මෙම වෙනස පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: 

මම විශ්වාස කරන්නේ ජනතාව තමන් දකින යථාර්ථය සහ විශ්වාසයන් මත පදනම්ව රටේ පැවති ක්‍රමයේ වෙනසක් සඳහා දැඩි ස්ථාවරයක් ගත් පළමු අවස්ථාව මෙය බවයි. මෙතුවක් කාලයක් පුරවැසියා රටේ දියුණුවක් අපේක්ෂා කළ ද එය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. දශක ගණනාවකට පසු දේශපාලන රටාවන් පෙර නොවූ විරූ ආකාරයෙන් වෙනස් වී සැලකිය යුතු වෙනසක් ඇති වුණා. දේශපාලන ව්‍යාපාරවලට සහ සමාජයේ ප්‍රශ්නවලට බලපෑම් කිරීමට පුරවැසියන්ට ඇති බලය ගැන මා විශ්වාස කරන නිසා මම මේ ගැන මගේ අදහස් දිගින් දිගටම ලියමින් බෙදාගත්තා. පුරවැසි බලය තුළින් සිදු කළ හැකි බලපෑම විවිධාකාර වුවත්, පාලකයන් තෝරා ගැනීමට මිනිසුන්ට ඇති ඡන්ද බලය මූලිකවම මේ වෙනස කෙරෙහි බලපෑවා.

මගේ ලේඛනවල මා අවධාරණය කර ඇති පරිදි, මහජනයා තම නායකයින් තෝරා ගැනීමට ඇති බලය හඳුනාගෙන, රටට සහ පුරවැසියන්ට අවශ්‍ය පරිසරයක් තනා ගැනීමට පුරවැසි වගකීම බැරෑරුම් ලෙස වටහා ගත යුතුයි. දශකයකට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කර ඇති මම, මූලික අවශ්‍යතා හෝ සේවාවන් ප්‍රමාණවත් නොවන විට පවා ජනතාව කොතරම් ඉවසා දරාගෙන දුක් විඳිනවාද යන්න දුටුවා.

රටක් පාලනය කළ යුතු ආකාරය ජනතාව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ඔවුන් සක්‍රීයව දැනුම ලබා ගැනීම සහ විකල්ප ගවේෂණය කළ යුතුයි.

කියවීම අත්‍යවශ්‍යයි! වැරදි තොරතුරු සහ ඉතිහාසයේ විකෘති අනුවාදවලින් බොහෝ පරම්පරා නොමඟ යවා ඇති ආකාරය අපි නිරන්තරයෙන් දැක්කා. අද තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින්, දැන් එසේ පහසුවෙන් නොමඟ යැවීමට හැකියාවක් නැහැ.

අපේ ජීවිත කාලය පුරාම අපි නිතරම මැසිවිලි නැඟුවේ රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටී ඇති බවත්, රට පාලනයට වැරදි පුද්ගලයන් තෝරා ගන්නා බවත්ය. 2022 ජනතා විරෝධයෙන් පසුව, ජනතාව පුරවැසියන් ලෙස ඔවුන්ගේ බලය හඳුනා ගැනීමට පටන් ගත්තා. පුද්ගලයන් සවිබල ගැන්වීමේදී දැනුම හුවමාරු කර ගැනීම වැදගත්. පොත් පත් සහ ලිපි මගින් මහජනතාව දැනුවත් කළ හැකි අතර, මිනිසුන්ට සංකල්ප මතක තබා ගැනීමට නම් ඒවා කතන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය වසර ගණනාව පුරාම මා ලිවීම තුළින් කළේ එයයි.

වෙනස්කම් ඇති කිරීමට මිනිසුන්ට ඇති හැකියාව තේරුම් ගැනීමට හැකි වන පරිදි, ‘අද පවතින සමාජීය අවුල් සහගත තත්ත්වය’ පිළිබඳ සත්‍යය බෙදා ගැනීම වැදගත් බව මම විශ්වාස කරනවා. තමන්ගේ එදිනෙදා ජීවිතයෙන් ඔබ්බට ගිය විශාල අරමුණක් තමන්ට ඇති බව පුරවැසියා තේරුම් ගත යුතුයි.

ප්‍රකට කියමනක් තිබෙනවා, ‘අපි හම්බ කළොත් අපි කනවා’ කියා. බොහෝ අය මේ කියමන පවසමින් තමන් ගැන පමණක් සිතනවා. දේශපාලන හෝ සමාජීය ප්‍රශ්නවලින් වැළකී සිටීමට මෙය භාවිතා කරනවා. නමුත් අපි අමතක කරනවා, අපේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නම් මුලින්ම රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් තිබිය යුතු බව.

බලයේ සිටින්නේ කවුරුන් වුවත්, රට වැසියා වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්ථාවර සහ ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ජනතාව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය වන්නේ මෙහිදීය. ලිවීමෙන් සහ කතන්දර මගින් පාඨකයාගේ දැක්ම වෙනස් කළ හැකි බව මම විශ්වාස කරනවා. මගේ වෛද්‍ය කතන්දර තුළින් මම ඒ බලපෑම දුටුවා. ඒ අනුව “මගේ පස්සෙන් එන්න” කෘතිය ලිවීම ද පුරවැසියන් දැනුමෙන් සවිබල ගැන්වීමේ අරමුණ ඉටු කිරීමක්.

ප්‍රශ්නය: ඔබේ අත්දැකීම් අනුව, ස්වාධීනව කටයුතු කරන කතුවරයකු සහ සාහිත්‍ය ඒජන්සියක් මගින් නියෝජනය වන කතුවරයකු අතර වෙනස කුමක්ද?

පිළිතුර: පොත් ලිවීමේ සිට ප්‍රකාශකයන් සොයා ගැනීම සහ පොත ප්‍රවර්ධනය කිරීම දක්වා සියල්ල ආරම්භයේදී මම තනිවම කළ අතර එය කිසිසේත්ම පහසු වුණේ නැහැ. කෙසේ වෙතත්, 2023 වසරේ සිට සාහිත්‍ය ඒජන්සියක් මගින් මා නියෝජනය වන අතර, මේ වසරේ මගේ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේදී එය මට විශාල සහයෝගයක් වුණා. පරිවර්තන, සිනමා අනුවර්තන සහ ඩිජිටල් වේදිකා වැනි දිගුකාලීන ව්‍යාපෘති සඳහා වන කොන්ත්‍රාත්තු සහ කර්තෘ අයිතිවාසිකම් පිළිබඳව දැන් මම වඩාත් දැනුවත්. මීට පෙර මම උපායමාර්ගික ඉලක්ක සහිතව වැඩ නොකළත්, දැන් මට අත්පිටපත් පිරිපහදු කිරීමේ සිට අලෙවිකරණය දක්වා මගපෙන්වීම් ලැබෙනවා. මෙය මගේ කාර්යයට විශ්වසනීයත්වයක් එක් කරන අතර, ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට ද උපකාරී වෙනවා.

ප්‍රශ්නය: ඔබ සමාජ වෙනසක් උදෙසා ලියන බව ප්‍රකාශ කළා. ධනාත්මක සමාජ පරිවර්තනයන් ඇති කිරීමට කලාව සතු විභවය පිළිබඳ ඔබේ අවබෝධය පැහැදිලි කළ හැකිද? විශේෂයෙන්ම, මෙම ඉලක්කය සපුරා ගැනීමට කලාව සමත් වන අයුරු සහ එය අපහසු වන අවස්ථා මොනවාද?

පිළිතුර: කලාව සැමවිටම සමාජ වෙනසක් ඇති කිරීමේ ප්‍රබල මෙවලමක්. දැනුවත්භාවය ඇති කිරීමට, මහජන මතය වෙනස් කිරීමට සහ හඬක් නොමැති අය වෙනුවෙන් හඬ නැගීමට කලාව භාවිතා කළ හැකියි. ධනාත්මක සමාජ පරිවර්තනයන් ඇති කිරීම මගේ නිර්මාණවල මූලික අරමුණක්.

මම වෛද්‍යවරයෙකු ලෙස මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ දා සිට, දැනුම බෙදා ගැනීමට ලිවීමට මම දැඩි උනන්දුවක් දැක්වූවා. මම යොවුන් වියේ සිට ඓතිහාසික විප්ලව ඇති කළ සහ සමාජ ක්‍රමය වෙනස් කළ පොත්, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවීම් කියෙව්වා. පාඨකයන්ගේ සිතුවිලි නැවත හැඩගස්වන නවකතා, කෙටිකතා සහ කවි මට හමුවුනා. කථා ශෛලියෙන් සහ අන්තර්ගතයෙන් වෙනස් වුවද, නිර්මාණාත්මක ලිවීම් හෙවත් විස්තරාත්මක ගද්‍ය, දුක්ඛිත විලාප හෝ විකට දර්ශන වැනි විවිධ ආකාරයේ ලියැවීම් හරහා  හරහා ප්‍රේක්ෂකයින් වෙත ආස්වාදයක් ලබා දීමට හැකිය එහෙත් ලේඛකයෙකුගේ ඉලක්කය විය යුත්තේ හුදු රසවින්දනයට වඩා ගැඹුරු අවබෝධයක් ඇති කිරීමයි. බොහෝ ලිවීම් ප්‍රධාන වශයෙන් විනෝදාස්වාදය ලබා දීමට උත්සාහ කරන ලෝකයක, සමාජීය සහ පුද්ගල වෙනසක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මගේ ලිවීම යොමු කිරීමෙන් මම හිතාමතාම වෙනස් මාර්ගයක් තෝරා ගත්තා.

පොතක්, ගීතයක්, කවියක් හෝ චිත්‍රපටයක් වේවා, සෑම නිර්මාණාත්මක කෘතියකටම සමාජීය කාර්යයක් ඇති බව මම විශ්වාස කරනවා. සෑම කලා කෘතියකටම එහි සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමට හැකියාව ඇති අතර එහි බලපෑම පරම්පරා ගණනාවකට දැනෙනවා. මගේ ලිවීමේ මූලික අරමුණ වන්නේ පාඨකයාගේ මනසෙහි යහපත් වෙනසක් ඇති කිරීම, යහපත කිරීමට ඔවුන්ව පෙළඹවීම, ඔවුන්ගේ විශ්වාසයන් වෙනුවෙන් පෙනී සිටීමට දිරි දීම සහ වඩා හොඳ පුරවැසියන් වීමට ඔවුන් දිරිමත් කිරීම යි.

ශ්‍රී ලංකාව දැනට අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටින අතර, මා කලින් සඳහන් කළ පරිදි, අපේ රටට බලපාන පුළුල් ගැටළු සලකා බැලීමෙන් තොරව මට මගේ ලේඛනයෙහි නිරතවිය නොහැක. වර්තමාන තත්වය තුළ සමාජයේ ප්‍රගමනය කෙරෙහි ක්‍රියාකාරීව සම්බන්ධ නොවී, සියල්ල හොඳින් ඇති බව බොළඳ ලෙස විශ්වාස කරමින් හෝ එය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරමින්, හුදෙක් රසවින්දනය හෝ විනෝදාස්වාදය සඳහා පමණක් මට සාහිත්‍යය නිර්මාණය කරන්න බැහැ. මගේ අත්දැකීම් අනුව, සාහිත්‍යයට මහජන මතය හැඩගැස්විය හැකි බව මම විශ්වාස කරනවා. ලේඛකයෙකු ඔවුන්ගේ අරමුණ රසවින්දනය හෝ විනෝදාස්වාදය සැපයීම පමණක් ලෙස සලකන්නේ නම්, මම එය විවේචනය කරන්නේ නෑ. කෙසේ වෙතත්, ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට ඇති සෑම අවස්ථාවක්ම ඔවුන්ගේ සිත් තුළ මෙන්ම සමාජයේ වෙනසක් ඇති කිරීමට ද අවස්ථාවක් බව මම සලකනවා.

මා සඳහන් කළ පරිදි, මගේ ඉලක්කය වන්නේ මගේ ලේඛනය හරහා ජීවිතය, සෞඛ්‍යය සහ සමාජීය ගැටළු පිළිබඳව පාඨකයින් දැනුවත් කිරීමයි. විනෝදාස්වාදය කෙරෙහි පමණක් ලේඛනයේ යෙදීම පිළිබඳව මට කිසිඳු අවුලක් නැති අතර විවිද ආකාරයේ ලේඛන ස්වභාවයන් තිබීම සමාජයට අවශ්‍ය යි කියා හිතෙනවා, විශේෂයෙන් පොත් කියවීමට බෝහෝ කැමැති කෙනෙක් ලෙස,මේ විවිදත්වය මා අගය කරනව. කෙසේ වෙතත්, ලේඛකයින් වශයෙන්, අපගේ ලිවීම හරහා අන් අයට ධනාත්මකව බලපෑම් කිරීමේ අපගේ වගකීම අප හඳුනාගත යුතුයි කියා සඳහන් කරනු කැමැතියි. එයට හේතුව අප භාවිතා කරන වචන, ක්‍රියාවන් සඳහා බලවත් උත්ප්‍රේරක වන නිසායි.

ප්‍රශ්නය: මුද්‍රිත මාධ්‍යයට පිවිසීමට පෙර ඔබ බ්ලොග් සහ සමාජ මාධ්‍ය හරහා ඔබේ ගමන ආරම්භ කළා. බ්ලොග්කරණය සහ සමාජ මාධ්‍ය ඔබව ලේඛකයෙකු ලෙස හැඩගස්වා ඇත්තේ කෙසේද? මෙහිදී ඔබ මුහුණ දුන් වාසි සහ අභියෝග මොනවාද?

පිළිතුර: මම 2006 දී පමණ අන්තර්ජාලය හරහා ලිවීම ආරම්භ කළා. පෞද්ගලික බ්ලොග් පිටු මගින් රටින් බැහැරව සිටියදීත් මගේ නිර්මාණ පළ කිරීමට අවස්ථාව ලැබුණා. මාර්ගගත ලිවීම මට පාඨකයන් සමඟ සජීවීව සම්බන්ධ වීමට ඉඩ සැලසූ අතර එය නිතිපතා ලිවීමට මාව දිරිමත් කළා.

මාර්ගගත ලිවීම සම්පූර්ණයෙන්ම ධනාත්මක යැයි මට පැවසිය නොහැකි වුවද, එය මගේ ලේඛනයෙහි ශක්තිමත් සහ වටිනා ආරම්භයක් වුනා. බ්ලොග් සහ සමාජ මාධ්‍ය ලොව පුරා පාඨකයින් සමඟ සම්බන්ධ වීමට ආරම්භක වේදිකාවක් ලබා දුන්නා. රටේ දරුණු සෞඛ්‍ය අර්බුදවලදී ජන සමාජය දැනුවත් කිරීමට සන්නිවේදනය කිරීමේ මෙවලමක් ලෙස මම අන්තර්ජාල සමූහ සහ සමාජ ජාලා භාවිතා කළා.  

මගේ වෛද්‍ය කරුණු ආශ්‍රයෙන් කතන්දර කීම (medical storytelling) ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍යවල සිදු වූ අතර, එහිදී මිනිසුන් මගේ ලිවීම බෙදා ගන්නා විට එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අවධානය දිනා ගත්තා. ඒ නිසාම 2018 සිට 2020 දක්වා, මම ලේක් හවුස් එකේ රැස නම් ජාතික පුවත්පතක් සඳහා සතිපතා සෞඛ්‍ය තීරුවක් ලියා තිබෙනවා. කතන්දර කීමේ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමෙන්, එම පුවත්පත මුද්‍රිත ප්‍රකාශනය නතර කරන තුරු සායනික සටහන් නොවේ නමින් සතිපතා එම සෞඛ්‍ය තීරුව ලියන්නට මට හැකි වුනා.

නිර්මාණාත්මක ලිවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී වාසි මෙන්ම අවාසිද තිබෙනවා.  එක් සැලකිය යුතු වාසියක් වන්නේ ක්ෂණිකව විශාල පිරිසක් සමඟ තොරතුරු බෙදා ගැනීම සඳහා අවස්ථාවයි, එමඟින් ලේඛකයින්ට තම ප්‍රේක්ෂකයින් සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වීමට ඉඩ සලසනවා. එසේ ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව ඔවුන්ගේ ලේඛනය සංශෝධනය කිරීමට හෝ වැඩිදියුණු කිරීමට ලේඛකයින්ට හැකියාව ලැබෙනවා.. ඊට අමතරව, සමාජ මාධ්‍යය ඔස්සේ ලියන ලිපි හෝ කතන්දර විශාල පාඨක පිරිසක් වෙත ළඟාවන බව මා නිරීක්ෂණය කර තිබෙනවා. ප්‍රකාශකයින්, සංස්කාරකවරුන් සහ සෙසු කතුවරුන් වැනි සාහිත්‍ය ක්ෂේත්‍රයේ ලේඛකයින් සහ වෘත්තිකයන් අතර සම්බන්ධතා සඳහා සමාජ මාධ්‍ය පහසුකම් සපයන බවත්, එමඟින් වටිනා මාර්ගගත ජාලයක් නිර්මාණය කරන බවත් මම විශ්වාස කරනවා.

සමාජ මාධ්‍යවල සජීවී ලෙස පාඨකයා සහ ලේඛකයා සම්බන්ද වීම සහ සම්බන්ධතා ජාලයක් ඇතිවීම වාසිදායක විය හැකි නමුත් එයට එහි අවාසි ද ඇත. එක් සැලකිය යුතු ගැටළුවක් නම් එය කෙනෙකුගේ නිර්මාණ කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි. සමාජ මාධ්‍යය තුළ පක්ෂග්‍රාහී විවේචන, ට්‍රොල් කිරීම සහ නිර්මාණ මංකොල්ලය වැනි දේ සිදුවිය හැකියි.  මේ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට මෙන්ම පරිස්සම් වීමට ඉගෙන ගැනීමට මට යම් කාලයක් ගත වුණා.

මා දකින ප්‍රධාන අවාසියක් නම්, බොහෝ විට ප්‍රමාණවත් බුද්ධිමය දේපළ ආරක්ෂණ නීති අනපනත් නොමැති බැවින්, ඕනෑම කෙනෙකුට නිර්මාණාත්මක කෘති පිටපත් කිරීමට හෝ අනිසි ලෙස භාවිතා කිරීමට හැකි වීමයි. මගේ නිර්මාණාත්මක අන්තර්ගතය සොරකම් කිරීම මම පෞද්ගලිකව අත්විඳ ඇති අතර එවැනි සිදුවීම් වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ නොමැතිකම නිසා සමහර විට අසරණ බවක් දැනුනා. 

සමාජ මාධ්‍ය මගින් ප්‍රේක්ෂක ප්‍රමාණය ගණනය කළ හැකි වුවත්, එහි ගුණාත්මකභාවය ප්‍රශ්නකාරී විය හැකියි. මුද්‍රිත මාධ්‍යවල ප්‍රමිතිය ඉහළ යැයි අප සිතුවත්, මෑතකදී මම දුටුවේ සියලුම ප්‍රකාශකයින් එම ප්‍රමිතීන් පවත්වා නොගන්නා බවයි.

ප්‍රශ්නය: ඔබේ මුල් කෘති කිහිපයක් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සිදුවීම් මත පදනම් වී තිබෙනවා. යුද සාහිත්‍යය බොහෝ විට ආත්මීය කථනයක් වන අතර, ඔබ ඔබේ නිර්මාණ දකින්නේ කෙසේද? විවිධ පාර්ශ්ව ඔබේ නිර්මාණ භාරගෙන ඇත්තේ කෙසේද?

පිළිතුර: පශ්චාත් යුධ සමයේදී මම ශ්‍රී ලංකාවේ උතුරේ වන්නි ප්‍රදේශයේ සේවය කළා. මෙම ගැටළු පිළිබඳව අප දැන සිටි දේ සහ අපට පෙන්වූ ආඛ්‍යානය භූමියේ යථාර්ථයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් බව මට එහි ගිය පසු වැටහුණා. අපි යුද්ධයෙන් විනාශ වූ සමාජයක හැදී වැඩුණු, රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කරන ලද ප්‍රවෘත්ති පමණක් කියවාගත් පරම්පරාවකි. ඒ කාලේ අන්තර්ජාලය සාමාන්‍යයෙන් ගෘහ ආශ්‍රිතව පාවිච්චි නොවූ අතර ස්මාර්ට්ෆෝන් ද නොතිබුණි. අපගේ ප්‍රධාන තොරතුරු මූලාශ්‍ර වූයේ රූපවාහිනිය, පුවත්පත් සහ සඟරා වැනි ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යයි එනිසා අපි එම නාලිකා හරහා දුටු දේ විශ්වාස කළා.

මම හැදී වැඩුණු පරිසරයේ තිබූ ඇතැම් පක්ෂග්‍රාහී, සාම්ප්‍රදායික අදහස් මා තුළත් තිබුණා. නමුත් ඉගෙනීම පිණිස යුරෝපයේ ගත කළ කාලය තුළ අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට ලැබුණු අවස්ථාව මගේ දැක්ම පුළුල් කළා. වාර්ගික, දේශපාලනික සහ ආගමික බෙදීම් ඇති වූ ආකාරය මම තේරුම් ගත්තා.

හිපොක්‍රටික් දිවුරුම සහ වෛද්‍ය ආචාර ධර්ම පිළිපදිමින් වෛද්‍ය වෛද්‍යවරයකු වීමේ මගේ ගමන ආරම්භ කරන විට, මම නිවැරදි තොරතුරු වලින් සන්නද්ධ වීමට උත්සාහ කළා. මෙම කැපවීම මට ශිෂ්ට සම්පන්න, මානුෂීය සහ අපක්ෂපාතී වෛද්‍ය වෘත්තිකයෙකු බවට පත්වීමට උපකාරී වූ අතර, එය මගේ සාහිත්‍ය ගමනට ද බෙහෙවින් බලපා ඇති බව මම විශ්වාස කරනවා.

මම ශ්‍රී ලංකාවේ උතුරේ රෝහල් දෙකක සේවය කළේ ඉතාමත් තීරණාත්මක හා විනාශකාරී කාලවලදී. මාව කම්පනයට පත් කළ, කම්පනයට පත් කළ සහ දශක ගණනාවක් පුරා පැතිර ගිය යුද්ධයක ගැඹුරින් මුල් බැසගත් ගැටලුව තේරුම් ගැනීමට මට උපකාර කළ සිදුවීම් කිහිපයක් තිබුනා. යුද්ධය අවසන් වී තිබුණු නමුදු ඔවුන්ගේ කෝපය එහි සේවය කළ අප වෙත එල්ලවුණු අවස්ථා එමට තිබුනා. එහි දී ඇතැම් රෝගීන්, මට කෙළ ගසා, කෑ ගසා, පහර දී තිබෙනවා. නමුත් එම තත්වයන මගේ සංවේදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ඉවසීම වැඩි දියුණු කිරීමට උපකාරී වුණා. මගෙන් ඔවුන්ට කරුණාව මිසක් විරෝදයක් එල්ලවූ නැති නිසා, අනෙක් පුද්ගලයාගේ, විශේෂයෙන් සිංහලයන් කෙරෙහි කෝපයක් දැරූ දෙමළ සිවිල් වැසියන්ගේ දෘෂ්ටිය වෙනස් කිරීමට මට හැකි වුණා. එවැනි හමුවීම් සහ මගේ අත්දැකීම් සෞඛ්‍ය තොරතුරු සමඟ මගේ වෛද්‍ය කතාවල ලියා තිබෙන අතර, එක් පොතක් වන “සායනික සටහන් නොවේ” පොත ඉන්දියාවේ වම්සි ප්‍රකාශන විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලදී. එය “මරිත්තුවක් කුරිප්පුගල් අල්ලතවෙයි” ලෙස හැඳින්වෙනවා.

ප්‍රශ්නය: ඔබේ නව කෘතිය වන “මගේ පස්සෙන් එන්න” (Follow Me) සමාජ ගැටළු පෙන්වන වෙනස්ම සාහිත්‍ය ශෛලියක් අනුගමනය කරනවා. මේ සඳහා ඔබට ආශ්වාදයක් ලැබුණේ කෙසේද?

පිළිතුර: මගේ ලිවීම සැමවිටම සමාජීය අරමුණක් ඉටු කර තිබෙනවා. මගේ තරුණ අවධියේ සිට, මගේ ලිවීම වගේම ක්‍රියාවන් තුළින් සමාජ සාදනීය දෙයක් ඉටුකිරීම වෙනුවෙන් අරමුණු වුණා, දැන් එය පුරුද්දක් බවට පත් වෙලා. මගේ ලිවීම හරහා, සමාජීය ගැටළු ආමන්ත්‍රණය කිරීමට සහ පුළුල් ප්‍රේක්ෂකයින් පිරිසක් වෙත ළඟා වීමට මට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මගේ පාඨකයින් සඳහා සමාජීය වශයෙන් සහ සදාචාරාත්මකව වැදගත් මාතෘකා ඉස්මතු කිරීමට මම උත්සහ ගන්නවා.

මම 2006 දී වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී ‘මගේ පස්සෙන් එන්න’ කෘතිය මාර්ගගතව ලිවීමට පටන් ගත්තා. සංවර්ධනය වෙමින් පවතින රටක තිබෙන බොහෝ සමාජ ගැටළු මම දුටුවා. අනාගතයේදී රට දියුණු වනු ඇතැයි මම බලාපොරොත්තු වුණා නමුත් අවාසනාවකට මෙන්, මගේ තරුණ කාලයේ එවන් දේ අත් දුටුවේ නැති තරම්.

රටක පුරවැසියන්ට තම දේශයේ සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන බොහෝ වගකීම් තිබෙනවා. ඔවුන් වෙනසක් බලාපොරොත්තු වෙනවා එනමුත් ඒ වෙනස වෙනුවෙන් කටයුතු කරන්නේ නෑ.  විශේෂයෙන් ඔවුන් දුෂ්කර දෛනික ජීවිතයට මුහුණ දෙන විට, එය ඔවුන්ගේ කර්මයට හෝ ඉරණම ලෙස අර්ථ ගන්වයි. මේ පවතින සමාජ ක්‍රමය තුළ සැලකිය යුතු තරම් අසාර්ථකත්වයක් ඇති බව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ, පවතින ක්‍රමය එක්තරා පිරිසකට පමණක් සාර සුබ වෙලා බව පෙනෙනවා. සියලුම පුරවැසියන් සඳහා සුවය සහනය සහ වැඩිදියුණු කළ වඩා යහපත් ජීවන තත්වයන් සැපයීම සඳහා රාජ්‍යය වගකිව යුතු බව අපේ රටේ පුරවැසියන් තේරුම් ගන්නේ නෑ. මෙම මානසිකත්වය වෙනස් කිරීම සහ ජනගහනයේ, විශේෂයෙන් තරුණයින් අතර හිතකර නොවන ආකල්ප ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා.

 සහවේදනය පිළිබඳ සමාජයේ පුරුද්දක් නැති වීම නිසාම ලෝකය වඩ වඩාත් අවුල් සහගත වෙන බව පෙනෙනවා. බොහෝ උගත්, ඉහළ දක්ෂතා දක්වන වෘත්තිකයන් – ලේඛකයින්, කවියන් සහ සෞඛ්‍ය සේවකයන් තුළින් සහවේදනය සහ චිත්තවේගීය බුද්ධිය පිලිබඳ භාවිතාවන් නොමැති බව පෙනෙනවා. මේ අනුව, මම මගේ ලිවීම පටන් ගත්තේ මගේ කථා තුළින් ක්‍රියාවන් සහ සිතුවිලි සමාජයට බලපාන ආකාරය තේරුම් ගැනීමට උපකාර කළ හැකි බව තරයේ විශ්වාස කරමින්.

මා දැනට ජීවත් වන ස්වීඩනයේ, ළමයින්ට සහ නොයෙක් අවදානම් වලට ලක්විය හැකි ජන කණ්ඩායම් සඳහා සුවපහසු ජීවන රටාවක් නිර්මාණය කිරීම සඳහා සමාජ ක්‍රමයක් ස්ථාපිත කර තිබෙනවා. දරුවන්ගේ ජීවිත පහසු කිරීම සඳහා, ඔවුන්ට අනිවාර්ය කළ අධ්‍යාපනයක්, සුවපහසු පාසල් මෙන්ම සමාජ පරිසරයක් සහ හොඳ සෞඛ්‍යයක් තිබිය යුතුයි. සමාජය ගැන කතා කරන අතරතුර, අපට සෞඛ්‍ය ගැටළු නොසලකා හැරිය නොහැකියි. අන්තර්ජාලයේ බ්ලොග් අඩවියක ලියූ නවකතාවක් වන ‘මගේ පස්සෙන් එන්න’’ හි ප්‍රතිසංස්කරණය කරන ලද සහ යාවත්කාලීන කරන ලද කතාව මුද්‍රිත නවකතාවක් ලෙස නිකුත් කරන ලද අතර, එය කලින් සඳහන් කළ ගැටළු පිළිබඳ මගේ වැටහීම්, උත්සහකිරීම්, සිතුවිලි සහ අත්දැකීම් ඔස්සේ ගොඩ නගා තිබෙනවා. සමහර විට තරමක් දෙබස් වැඩි, සංවේදී සිදුවීම් බහුල වුවද, මෙම නවකතාවේ චරිත සහ සිදුවීම් හරහා එවැනි ගැටළු සඳහා විසඳුම් ද මම යෝජනා කරනවා.

කතාව ගොඩ නැගෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු, ඔහුගේ මිතුරන් සහ තරුණ වෛද්‍යවරියක වටා වන අතර ඔවුන්, තමන් ජීවත් වන සමාජයේ පවතින අගතිගාමී ක්‍රියා සහ නරක භාවිතයන් තුරන් කිරීමට ක්‍රම සොයා ගැනීමෙන් බොහෝ අංශවලින් සමාජයට ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්රැස් වෙනවා. ඔවුන් මුහුණ දෙන ගැටුම් සහ අභියෝග ඕනෑම සංවර්ධනය වෙමින් පවතින රටක අප දකින හෝ අත්විඳින දේට තරමක් සමානයි.

සමහර විචාරකයින් පැවසූ පරිදි, පොත ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සමාජයට එවැනි සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන තීරණාත්මක කාලයක දී.

ප්‍රශ්නය: පාඨකයන්ට පොත් පිළිබඳ අදහස් ඇති අතර, ලේඛකයින් ප්‍රතිචාර නිර්මාණාත්මකව පිළිගත යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ, ලේඛකයින් එකිනෙකාගේ පොත් පිළිබඳ අදහස් අන්තර්ජාලය හරහා බෙදා ගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. මේ කාරණය සම්බන්ධයෙන් ඔබේ අවංක අදහස කුමක්ද?

පිළිතුර: පොතක් පිළිබඳ ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් ලේඛකයෙකුට ප්‍රයෝජනවත් බව මම විශ්වාස කරනවා. මිත්‍රශීලී විචාරකයින්ගේ සමාලෝචන අපි ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඊට අමතරව, විනෝදාස්වාදය සඳහා කතුවර කීර්තිය සහ විශ්වසනීයත්වය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු ය කියා මම සිතනවා, මන්ද එය ලේඛකයෙකුගේ කෘතියක සැබෑ අරමුණ නොවන බව මට හැඟෙනවා. මගේ පොත ගැන දැනටමත් මා දන්නා පාඨකයන් හෝ හඳුනන අය සමඟ පමණක් සාකච්ඡා කිරීමට වඩා මම කැමති පෞද්ගලිකව නොදන්නා පාඨකයන්ගෙන් විවේචන ලැබීමට. සැබවින්ම වැදගත් වන්නේ පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණයයි.

පොතක් එහි ප්‍රේක්ෂකයින් සමඟ ස්වාධීනව අනුනාද විය යුතු බව මම විශ්වාස කරනවා. ‘ලේඛකයින් තම මිතුරන් සඳහා පොත් ලිවිය යුතු නැත’ යනුවෙන් සඳහන් වන කියමනක් මට හමු වී තිබෙනවා. මගේ ලිවීම හුදෙක් විනෝදාස්වාදය හෝ පෞද්ගලික වීමට වඩා විශාල අරමුණක් ඉටු කරන නිසා මම මෙම හැඟීමට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. මම මගේ ප්‍රේක්ෂකයින් ගැන සැලකිලිමත් වන අතර පුළුල් මට්ටමකින් පාඨකයින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා.

කෘතියේ ඉදිරිපත් කර ඇති අදහස්වලට පටහැනි පෞද්ගලික දේශපාලනික මත දැරුවත්, පාඨකයින් පොතේ දෘෂ්ටිවාදය, චරිත සහ නාට්‍යමය අංග සම්බන්ධයෙන් විවෘත මනසකින් ප්‍රවේශ වෙන්නේ නම් හොඳයි. ලේඛකයාගේ හෝ ලේඛන විලාසයේ රසිකයන් වූ පමණින් ඔවුන් අන්ධ ලෙස රැවටිලිකාර වනු ඇතැයි මම අපේක්ෂා කරන්නේ නැහැ. එවැනි විවේචනාත්මක නොවන ආකල්පයක් පොතක වටිනාකමට හානි කළ හැකියි. පාඨකයන්ගෙන් ලැබෙන සාරවත් විචාරයක්, සමාලෝචනයක් හෝ ප්‍රතිචාරයක් නිර්මාණය කියවීමේ අත්දැකීම අතිශයින් පොහොසත් කරනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව වෙළඳපල ප්‍රමාණය අනුව කුඩා විය හැකි නමුත්, එය ලොව පුරා පිළිගත් කැපී පෙනෙන ලේඛකයින් බිහි කර ඇත. මෙම කතුවරුන්ගෙන් බොහෝ දෙනෙක් ලියති. ඉංග්‍රීසි භාෂාවෙන්  ඔවුන්ගේ කෘති ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රකාශයට පත් කෙරේ. සිංහල භාෂාවෙන් ලියන කතුවරුන්ට ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමට උපකාර කිරීම සඳහා රටේ ප්‍රකාශන කර්මාන්තයට අවශ්‍ය යැයි ඔබ සිතන්නේ කුමන වැඩිදියුණු කිරීම්ද?

A: දේශීය කතුවරුන්ට ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වීමට උපකාර කිරීමේදී පරිවර්තන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂාවලින් කෘති සිංහල හෝ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නැඹුරු වුවද, දේශීය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ මෙම දේශීය භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන සිදු වූ අවස්ථා සාපේක්ෂව ඇත්තේ ස්වල්පයක්.

උසස් තත්ත්වයේ පරිවර්තකයින් සහ මුද්‍රණය කළ හැකි ඩිජිටල් වේදිකා හරහා ගෝලීය බෙදා හැරීම සහ ප්‍රවේශ්‍යතාව බෙහෙවින් වැඩි දියුණු කරනවා. ලොව පුරා ප්‍රේක්ෂක පිරිසක් ලබා ගැනීම සඳහා කීර්තිමත් ආයතන හෝ සාහිත්‍ය සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙය මා දැනට ප්‍රතිලාභ ලබන අවස්ථාවක්.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ සමකාලීන සාහිත්‍යය නිදහස ලැබීමෙන් පසු එහි ජනතාව මුහුණ දෙන අභියෝග සමීපව පිළිබිඹු කරයි. වසර 75 කට පසු, යටත් විජිත ගැති රදල පැලැන්තියෙන් පැවත එන දේශපාලන ප්‍රභූන්ගෙන් ඈත් වෙමින් සාමාන්‍ය ජනතාවගෙන් නායකයෙකු ප්‍රජාතන්ත්‍රවාදීව ශ්‍රී ලාංකිකයන් තෝරාගෙන ඇත.  මිනිසුන් සවිබල ගැන්වීම ගැන ලියා ඇති කතුවරයකු ලෙස, මෙම වෙනස පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : මම විශ්වාස කරන්නේ මිනිසුන් තමන් දකින යථාර්තය සහ විශ්වාසයන් මත පදනම්ව රටේ පැවතුනු ක්‍රමයේ වෙනස්කමක් කිරීම සඳහා දැඩි ස්ථාවරයක් ගත් පළමු අවස්ථාව මෙය බවයි.  මෙතුවක් කාලයක් පුරවැසියා රටේ දියුණුවක් අපේක්ෂා කළ ද එය ක්‍රියාත්මක වුණේ නෑ.  දශක ගණනාවකට පසු දේශපාලන රටාවන් පෙර නොවූ විරූ ආකාරයෙන් වෙනස් වී සැලකිය යුතු වෙනසක් ඇති වුනා.  දේශපාලන ව්‍යාපාරවලට සහ සමාජයයේ ප්‍රශ්න වලට බලපෑම් කිරීමට පුරවැසියන්ට ඇති බලය ගැන මා විශ්වාස කරන නිසා මම මේ ප්‍රශ්න ගැන මගේ අදහස් දිගින් දිගටම ලියන්න ඒවාගෙම බෙදාගන්න සමත් වුණා.

පුරවැසි බලය තුළින් සිදු කළ හැකි බලපෑම බොහෝ ආකාරවුවද, ඡන්දය ප්‍රකාශ කිරීම හෙවත් පාලයකන් තෝරා ගැනීමට මිනිසුන්ට ඔවුන්ගේ මනාපයන් ප්‍රකාශ කිරීමට ඇති බලය මූලිකවම මේ වෙනස කෙරෙහි බලපානවා.

මගේ ලේඛනවල මා අවධාරණය කර ඇති පරිදි, මහජනයා තම නායකයින් තෝරා පත් කර ගැනීමට ඇති බලය හඳුනාගෙන, රටට සහ පුරවැසියන්ට අවශ්‍ය පරිසරයක් තනා ගැනීම සඳහා, පුරවැසි වගකීම බැරෑරුම් ලෙස  වටහා ගත යුතුයි.  රාජ්‍ය අංශයේ දශකයකට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කර ඇති මම මූලික අවශ්‍යතා හෝ සේවාවන් ප්‍රමාණවත් නොවන විට පවා අප කෙතරම් ඉවසන දරාගෙන දුක් විඳින  හැටි දුටුවා.

රටක් පාලනය කළ යුතු ආකාරය ජනතාව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.  ඒ සඳහා ඔවුන් සක්‍රීයව දැනුම ලබා ගැනීම සහ විකල්ප ගවේෂණය කළ යුතුයි.

කියවීම අත්‍යාවශ්‍යයයි!  වැරදි තොරතුරු සහ ඉතිහාසයේ විකෘති අනුවාදයකින් බොහෝ පරම්පරාවන් නොමඟ යවා ඇති ආකාරය අපි දිගින් දිගටම දැක්කා.  අද, අපගේ ඇඟිලි තුඩුවල දුරින් තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින්, දැන්  එසේ පහසුවෙන් නොමඟ යවන්න හැකියාවක් නැහැ.

අපේ ජීවිත කාලය පුරාම අපි නිතරම මැසිවිලි නැඟුවේ රාජ්‍ය යාන්ත්‍රණය හෙවත් ක්‍රමය බිඳ වැටී ඇති බවත්, අපේ රට පාලනය කිරීමට වැරදි පුද්ගලයන් තෝරා ගන්නා බවත්. 

2022 දී ජනතා විරෝධයෙන් පසුව, ජනතාව පුරවැසියන් ලෙස ඔවුන්ගේ බලය හඳුනා ගැනීමට පටන් ගත්තා.  පුද්ගලයන් සවිබල ගැන්වීමේදී දැනුම හුවමාරු කර ගැනීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.  පොත් පත්, ලිපි සහ විවිධ ආකාරයේ තොරතුරු මගින් මහජනතාව දැනුවත් කළ හැකි අතර, මිනිසුන්ට සංකල්ප වඩා හොඳින් මතක තබා ගැනීමට නම් ඒවා කතන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය අවුරුදු ගණනවේම මා ලිවීම තුළින් කළේ එයයි.

වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මිනිසුන්ට ඇති හැකියාව තේරුම් ගැනීමට හැකි වන පරිදි ‘අද පවතින සාමාජීය අවුල් තත්ත්වය’ පිළිබඳ සත්‍යය බෙදා ගැනීම ඉතා වැදගත් බව මම විශ්වාස කරනවා.  ඔවුන්ගේ එදිනෙදා ජීවිතයෙන් ඔබ්බට වඩා විශාල අරමුණක් ඔවුන්ට ඇති බව පුරවැසියා තේරුම් ගත යුතුයි.

ප්‍රකට කියමනක් තිවෙනවා: ‘අපි හම්බ කරොත් අපි කනවා’ කියලා. බොහෝ අය මේ කියමන කියලා තමන්ගේ ගැන විතරක් බලාගෙන ඉන්නවා. එම කියමන සත්‍යයන්ට මුහුණ දීමෙන් හෝ දේශපාලන හෝ සමාජීය ප්‍රශ්නවල නියැලීමෙන් වැළකී සිටීමට භාවිතා කරනවා.  ඒත් අපි අමතක කරනවා, අපගේ දෛනික ආහාර වේල උපයා ගැනීමට නම්, අප මුලින්ම අපේ රට තුළ සත්‍යවාදී පැවැත්මක් සහිත  ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත යුතු බව.

බලයේ සිටින පුද්ගලයින් කවුරුන්  වුවත් – එය දේශපාලන, ආගමික හෝ ආර්ථික වේවා – රට වැසියා කෙරෙහි ඵලදායී ලෙස ක්‍රියාත්මක වන ස්ථාවර සහ ස්වාධීන මෙහෙයුම් පද්ධතියක් රාජ්ය යාන්ත්‍රණයක් තුළ තිබිය යුතුයි. 

ජනතාව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය වන්නේ මෙහිදීය.  ලිවීම මගින් අප ලියන කතන්දර මගින්  පාඨකයාගේ දැක්ම සහ විශ්වාසයන් වෙනස් කළ   හැකි බව මම තරයේ විශ්වාස කරන අතර, මගේ වෛද්‍ය කතන්දර තුළින් මෙම බලපෑම මම දුටුවා.  මේ අනුව, “මගේ පස්සෙන් එන්න” ලිවීම ම පුරවැසියන් එම දැනුමෙන් සවිබල ගැන්වීමේ අරමුණ ඉටු කිරීමක්.

ප්‍රශ්නය: ඔබ දැනට ලියමින් ඉන්නා අලුත් කෘතියක් තිබේද? එසේනම්, අපගේ 50,000කට අධික පාඨකයින්ට ඒ ගැන ඉඟියක් ලබා දිය හැකිද?

පිළිතුර: මම දැනට මගේ අතීත අත්දැකීම් මත පදනම් වූ නොකියූ කතා කිහිපයක් සකස් කරමින් සිටින අතර, ඒවා අපේ සමාජයේ බහුලව හමුවෙන කියවන කතා නොවන බව මම විශ්වාස කරනවා. තරුණ පරම්පරාවන්, විශේෂයෙන් 2000 න් පසු උපන් අය, අප අත්විඳි යුද්ධය හෝ ජනවාර්ගික ගැටුම් අත්දැක නැහැ. මේ නිසා, අපගේ සාකච්ඡාවල බොහෝ පක්ෂග්‍රාහීත්වයන් සහ වැරදි තොරතුරු පවතින බව මම දකිනවා.

අවදානමට ලක්විය හැකි සහ පීඩිත ප්‍රජාවන්ට සේවය කරන අතරතුර මා ලැබූ අත්දැකීම් ගැන ලිවීමෙන්, අතීතයේ ප්‍රශ්න ගැන අපට ඇති අවබෝදයේ හිඩැස් පියවා ගැනීමට සහ වරදවා වටහාගැනීම් නිවැරදි කිරීමට හැකි බව මම විශ්වාස කරනවා. මගේ ලිවීමේ අරමුණ වන්නේ බහු සංස්කෘතික ශ්‍රී ලාංකික සමාජය තුළ සහවේදනය වර්ධනය කිරීම සහ ගැටළු විසඳා ගැනීමේදී වඩා මානුෂීය විසඳුම් සඳහා ප්‍රවේශයන් ඇති කිරීමයි. පශ්චාත් යුධ සමයේදී මම ශ්‍රී ලංකාවේ උතුරේ සේවය කළ අතර, මගේ පෙර පොත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මෙම “ජීවිත කාලයට වරක්” ලැබෙන පුද්ගලික අත්දැකීම් කෙරෙහි.

කාලයත් සමඟ, මම ලෝක සාහිත්‍යයට සහ ශාස්ත්‍රීය ලිවීමට නිරාවරණය වීමෙන් මගේ සීමා පුළුල් වී ඇති බව වැටහෙනවා. එය ලේඛකයෙකු ලෙස මට වර්ධනය වීමට උපකාරී වී තිබෙනවා. මගේ නව නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන අතර, ඉතා ඉක්මනින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමට මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය: සාකච්ජාව අවසාන කිරීමට මත්තෙන් අවසාන වශයෙන් කිවයුතු යමක් තිබේ ද?

අපගේ පාඨකයන් සඳහා අප නිර්මාණය කරන සතුට සහ විනෝදාස්වාදය මධ්‍යයේ අපට ඉටු කිරීමට සමාජ වගකීමක් ඇති බව මම තරයේ විශ්වාස කරනවා. ජීවිතයේ අස්ථිර බව වටහා ගැනීමට සමාජයේ බහුතරයකට නොහැකි වන්නේ මන්දැයි මම කල්පනා කරනවා. අපි සදහටම ජීවත් වෙන්නෙ නැහැ. යුද්ධයෙන්, අරගල හෝ අර්බුදවලින් හෝ ගැටුම්වලින් තම දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් ගොඩනඟා ගත් සියල්ල අතහැර දැමීමට සිදු වූ විවිධ ජාතීන්ගේ පුරවැසියන් මෙකල මට හමුවෙනවා. වසර ගණනාවක් සහ දශක ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කර ගොඩනගාගත්  දේපළ, රැකියා තත්ත්වයන් හෝ  නිවාස, රටක අස්ථාවර අවුල් සහගත තත්වයන් ඇති වූ විට ඒ සියල්ල අර්ථ විරහිත වෙනවා . ඒ සියල්ල සැනෙකින් අතහැර දැමීම හෝ අහිමි වීම කෙසේ දැනෙනු ඇත්දැයි සිතා බලන්න.

‘සයනික සටහන් නොවේ’ හි ලියූ මගේ අත්දැකීම් සමග මේ ගෝලීය තත්වයන් සමපාත වෙනවා . අපි හැදී වැඩුණේ යුද්ධයක් පැවති සමාජ පරිසරයක ය, පාසැලේදී පවා හදිසි තත්ත්වයකදී ක්‍රියා කරන්නේ කෙසේදැයි  පුහුණු වෙමින් සහ පිපිරීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඉගෙන ගනිමින් ගතකළ මගේ ළමා සහ යොවුන් විය මට මතක් වෙනවා. සැමවිටම ආරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ බොහෝ දෙනෙකු හට මෙය වටහාගැනීමට අපහසු යි. මම දැන් ස්කැන්ඩිනේවියානු රටක ජීවත් වෙන්නෙ. මේ රටේ දී, ගැටුම් අත්විඳ නැති අනෙකුත් දරුවන් සහ වැඩිහිටියන් මට මුණ ගැසෙනවා. ඔවුන්ගේ ජීවිත ඉතා පිළිවෙල යි, කලබල රහිතයි. රටක පුරවැසියා වෙත ලැබිය යුතු එවැනි ජීවිතයක් යැයි මම විශ්වාස කරනවා. එනිසා මගේම අත්දැකීම් ගැන නිහඬව හෝ උදාසීනව සිටීමට මට නොහැකි යි.

අපෙන් සමහරෙක් අපගේ ජීවිත කාලය පුරාම මිනිසුන් සුවපත් කරන්නන් ලෙස සේවය කර ඇති අතර, එම භූමිකාව අප ජීවිතකාලය පුරා ඉටු කරනවා. අපේ ලිවීම තුළින් වගේම සමාජ හැසිරීමේදී  නිර්භය ක්‍රියා සහ නිර්භීත වචන බලගැන්වීම තුළින් සමාජ වෙනසක් ඇති කළ හැකි අතර එය බොහෝ ජීවිතවලට ආලෝකය සහ සහනය ගෙන එනවා.

ස්ටීවන් කිං වරක් පැවසූ පරිදි, ‘පොත් යනු සුරතින් ගෙන යා හැකි අද්විතීය ඉන්ද්‍රජාලික බලයක් ඇති දෙයක්’. එනම් මැජික් එකක් ! කතුවරුන් ලෙස, අපි දැනුවත්ව හෘද සාක්ෂියට එකඟව එම ඉන්ද්‍රජාලික බලය නිර්මාණය කිරීම කෙරෙහි නිතර අවධානය යොමු කළ යුතු බව මම විශ්වාස කරනවා.

ඉංග්‍රීසි සාකච්ජාව අමන්දා ක්ලෝප් විසින් 2024 නොවැම්බර් මස  දී පළ කළ අතර

මේ එහි සිංහල පරිවර්ථනය යි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment