ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.

2003දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ ජෝන් කොඑට්සි, මෑන් බුකර් සම්මානය දෙවරක්ම දිනූ ලේඛකයෙකි. ඔහු ප්‍රබන්ධ දහසයක් පමණ ලියා තිබෙන අතර, Waiting for the Barbarians, Disgrace, Age of Iron, Life and Times of Michael K වැනි නවකතා විෂිශ්ට ගණයෙහි ලා සැලකේ. ඔහු කතා කීමෙහි විශේෂඥයෙකි. කොඑට්සි සාහිත්‍යය උගන්වන පන්තියක ඉගෙනගැනීමේ වාසනාව තමන් නොලද බව වරක් නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං පැවසුවාය. කොඑට්සි ඉතාම අරපරෙස්සමින් වචන තෝරා බේරාගෙන ලියන්නකු වන අතර, භාෂාව හැසිරවීමේදී ඔහු දක්වන කුසලතාව පුදුමාකාරය.

මෙහි දැක්වෙන්නේ ජෝන් කොඑට්සි ලියූ ඉතා කෙටි කෙටිකතා ගනයට වැටෙන කෙටිකතා හතරකි. කොඑට්සිගේ මේ කතා කිහිපය ප්‍රබන්ධ රචනයට ඇල්මක් දක්වන නවකයන්ට අනුප්‍රාණයක් ලැබීමට මෙන්ම, අධ්‍යයනයට ලක් කළහැකි ලිවීම් වේ.

බොරු

“ ‘නියම ඇත්ත’: එයයි ඇගේ බලවත් ඉල්ලීම, නැතිනම් ආයාචනය.
සැබෑ සත්‍යය කුමක්දැයි මා මෙන්ම ඇයත් ඉතා හොඳින් දනියි, ඉතින් එය වචනයෙන් කීමට අපහසු විය යුතු නැත. එහෙත් මා ඊට කෝපවී සිටියෙමි – කෝපය නම්, ඔබටවත් හෙලන්ටවත් මටවත් ස්තුතියක් ලොවෙත් නොලැබෙනු ඇති රාජකාරියක් ඉටුකරන්නට මෙතරම් දුරක් එන්නට සිදුවීම ගැනය.

එහෙත් මට බැරි වුණි. මට මෙතැන, මේ දැන්, ඔබට ලියන්නට කිසිදු අපහසුවක් නැති දේ, ඇගේ මුහුණට කීමට මට බැරි වුණි: නියම ඇත්ත, ඔයා මරණාසන්නයි. නියම ඇත්ත, ඔයා ඉන්නෙ වළ පයයි ගොඩ පයයි තත්වෙක. නියම ඇත්ත, ඔයා දැනටමත් මේ ලෝකේ අසරණ වෙලා ඉන්නෙ, හෙට වෙනකොට ඔයා මීටත් වැඩිය අසරණ වේවි, දවසින් දවස ඔය විදියට වෙවී යාවි කිසිම සරණක් නැති දවස උදා වෙනකම්ම. නියම ඇත්ත, ඔයා ඉන්නෙ කොහෙත්ම හෙට්ටු කරන්න පුළුවන් තත්වෙක නෙවෙයි. නියම ඇත්ත නම්, ඔයාට බෑ ‘බැහැ’ කියල කියන්න.

ඔරලෝසුවේ වෙලාව දුවන්න එපා කියන්න ඔයාට බෑ. මැරෙන්න එපා කියන්න ඔයාට බෑ. මරණය ඇවිත් වරෙන් කියල කිව්වම ඔයා හිස නමලා යන්න ඕන. ඒ හින්දා පිලිගන්න. හා කියන්න පුරුදුවෙන්න. ඔයාට ඉන්න ස්පාඤ්ඤයේ හදාපු ගේ දාල එන්න කියල මම කිව්වම, ඔයාට හුරු පුරුදු දේවල් තියල එන්න කියල කිව්වම, ඔව් – ග්වාදලූප්වල හෙදියක් උදේට දොඩම් වීදුරුවකුයි ප්‍රබෝධමත් සුබපැතුමකුයි (කෙල් බෝ ජූ මැඩම් කොස්ටෙලෝ!) එක්ක ඔයාව ඇහැරවන ආයතනයක ඇවිල්ල ජීවත් වෙන්න කියල කිව්වම, ඔරවන්න එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. කියන්න, හා කියල. කියන්න, මම එකඟයි කියල. කියන්න, මම ඔබට බාරයි කියල. උපරිම ප්‍රයෝජනය ගන්න ඒකෙන්.”

බල්ලා

‘කිසිම විශේෂයක් නැතිකමක්’ ඈ මුහුණෙන් පෙන්වූවද, ඈ ඌට බියවන බව බල්ලා දන්නේ කොසේද? උත්තරය: මන්ද, ඈ වෙතින් බිය වහනය වන බැවිනි, එය සඟවා ගැනීමට ඈට බැරි හෙයිනි. බල්ලා ඈ වෙතට වේගයෙන් පැමිණෙන හැම විටෙකම ඇගේ පිට සීතල වන අතර, ඇගේ සමෙන් එක්වරටම ගන්ධයක්, බල්ලා ක්ෂණිකව ග්‍රහණය කරගන්නා ගන්ධයක්, නිකුත් වෙයි. ගේට්ටුවෙන් අනිත් පැත්තේ සිට එන ඒ ගන්ධය ඌව ප්‍රහර්ෂණීය වියරුවකට ඇද දමයි.

ඈ ඌට බියවන්නීය, ඒ බව ඌ දනී. ඌට බියෙන් පසුවන, ඒ බිය සඟවාගත නොහැකිවන, බැල්ලියක තම ලිංගික ගන්ධය විහිදුවන්නා සේ භීතියේ ගන්ධය විහිදුවන මේ සත්වයාගේ යාම-ඊම දවසකට දෙවතාවක් ඌට දැනෙයි.

ඈ ඔගස්ටීන්ව කියවාගෙන තිබුණි. අප ඇදවැටුණු සත්වයන් බවට ඇති පැහැදිළිම සාක්ෂිය ඇත්තේ, අපට අපගේම ශරීරවල චලන පාලනය කරගැනීමට ඇති නොහැකියාව තුළ බව ඔගස්ටීන් කියයි. විශේෂයෙන්ම, මිනිහෙකුට තම පුරුෂ අවයවයේ චලන පාලනය කරගන්නට බැරිය. ඒ අවයවය හැසිරෙන්නේ ඊටම වෙන්වූ මනසක් තිබෙන්නාක් මෙනි; විටෙක එය ආගන්තුක සත්වයකුගේ මනසින් ක්‍රියාත්මක වන්නක් ලෙසින්ද හැසිරෙයි.

කන්ද පාමුල නිවස, බල්ලා සිටින නිවස, තිබෙන තැනට පැමිණෙත්ම ඈ ඔගස්ටින් ගැන සිතන්නීය. මේ වතාවේ ඈට තමාව පාලනය කරගත හැකිවේද? භීතියේ නින්දාසහගත ගන්ධය පිට වීමට නොදී තමාව ආරක්ෂා කරගත හැකි තරම් මානසික ශක්තියක් ඈ සතුව තිබෙනු ඇත්ද? බල්ලාගේ උගුරේ ගැඹුරින් පිටවන, වියරුවේ මෙන්ම ආශාවේ ගිගිරුමක්ද වියහැකි ගෙරවුම ඇසෙන වාරයක් පාසා, උගේ සිරුර ගේට්ටුවේ දැඩිව වදින ශබ්දය ඇසෙන වාරයක් පාසා ඈට ඇගේ උත්තරය ලැබෙයි: අද බැහැ.

ගැහැනියකගේ වියපත්වීම

“මං වයසට යද්දි වෙන භයානකම වැඩේ තමයි,” යනුවෙන් ඈ සිය පුත්‍රයාට කියන්නී, “කාලෙකට ඉස්සර වයසක මිනිස්සු කියනවා මට ඇහිච්ච, මම නං කවදාවත් කියන්නෙ නැහැයි කියල දිවුරපු වචන මගේ කටින් පිටවෙන එක.” මොනවද මේ වෙන්නේ වගේ දේවල්. උදාහරණෙකට කිව්වොත්: ‘වේවි’ කියන ක්‍රියාපදේට අතීතකාලයක් තියෙනවය කියල කිසි කෙනෙකුට දැන් මතක නැහැ වගේ – මොනවද මේ වෙන්නේ – මිනිස්සු පීට්සා කකා පාරවල් දිගේ යනවා ඉයර්ෆෝන්වලට කතා කර කර – මොනවද මේ වෙන්නේ?”

ඒ නීස්හි ගතකරන ඔහුගේ පළමු දිනයයි, ඇගේ තෙවැන්නයි: පැහැදිලි, උණුසුම් ජූනි දිනයක්, සේරටම වැඩිය, එංගලන්තෙ වැඩක් පළක් නැති සල්ලිකාරයන්ව මේ වෙරළ තීරයට ගෙන්නන්න පුළුවන් විදියේ දවසක්.‍ ඉතින් බලන්න ඔන්න ඒගොල්ල ඉන්නව, දෙන්නත් එක්ක ප්‍රොමනාද් දෙසොංග්ලෙ වල ඇවිදිනවා හරියට ඉංග්‍රීසිකාරයෝ අවුරුදු සීයකට එපිටදි මුතුකුඩ ඉහලගෙන දාරතොප්පි දාගෙන ඇවිද්දා වගේ, හාඩි මහත්තයගෙ නවතම වෑයම හෙළාදකිමින්, බෝයර්ලාට ගරහමින්.

“හෙළාදැකීම” ඈ කියනවා: “මේ කාලෙ වැඩිය ඇහෙන්නෙ නැති වචනයක්. මොන විදියෙ හරි හදවතක් තියෙන කිසි කෙනෙක් හෙළාදකින්නෙ නැහැ. වැඩ තහනමට ලක්වුණ වචනයක්, වැඩ තහනම් වෙච්ච ක්‍රියාවක්. මොනවද ඉතින් මිනිහෙක් කරන්නෙ? හැම දේම උහුලගෙන ඉන්නද? හැම හෙළාදැකීමක්ම, ඒ මිනිහා තවත් නාකියො ටිකක් එක්ක තනිවෙලා ඒ උහුලගත්තු ඔක්කොම නිදහසේ පිටකරලා දානකං?”

තාරුණ්‍යය

මහ රෑ, මධ්‍යම රාත්‍රිය පහුවෙලා. දකුණු අප්‍රිකාවෙන් අරගෙන ආපු පාට පිච්චුණ නිදන බෑගය ඇතුළට වෙලා, බෙල්සිස් පාක්හි පිහිටි සිය මිතුරු පෝල්ගේ තනි කාමරේ පුංචි කුලී නවාතැනේ තියෙන සෝෆාව උඩ ඔහු දිග ඇදිලා. කාමරේ අනිත් පැත්තෙ, නියමාකාර ඇඳක නිදියන පෝල් ගොරවන්න පටන් අරගෙන. දම් කවලම් වෙච්ච සෝඩියම් තැඹිලි පාට රෑ අහස ජනෙල් තිරයේ විවරයකින් ඇහිපිල්ලන් නොහහ බලාගෙන ඉන්නවා. කොට්ටයකින් ආවරණය කරගෙන හිටියත් ඔහුගේ දෙපා අයිස් වගේ සීතලයි. ප්‍රශ්නයක් නෑ: ඔහු ඉන්නෙ ලන්ඩන්වල.

ජීවිතේ උපරිමට ජීවත්වෙන්න පුළුවන් තැන් දෙකයි, නැත්තං තුනයි ලෝකෙටම තියෙන්නෙ: ලන්ඩන්, පැරිස්, සමහර විට වියෙනාව වුණත්. පැරීසිය තමයි අංක එක: ආදරයේ නගරය, කලාවේ නගරය. ඒත් පැරීසියේ ජීවත් වෙන්න නම් කෙනෙක් ප්‍රංශ භාෂාව උගන්නන ඉහළ පැලැන්තියේ ඉස්කෝලෙකට ගිහින් තියෙන්න ඕන. වියෙනාව ගැන කියනව නම්, තමන්ගෙ උප්පත්ති උරුමය හොයාගෙන ආපහු එන යුදෙව්වන්ට තමයි වියෙනාව තියෙන්නෙ: තර්කානුකූල ධනාත්මකභාවය, දොළොස්තාන සංගීතය, මනෝවිශ්ලේෂණය. ඉතිරි වුණේ ලන්ඩනය, දකුණු අප්‍රිකානුවන්ට ඇතුළුවෙන්න ලියකියවිලි අවශ්‍ය නැති, ඉංග්‍රීසියෙන් කතාකරන මිනිස්සු ඉන්න තැනක්. ලන්ඩන් කියන්නෙ ගල්වෙච්ච, වංකගිරිය වගේ පාරවල් තියෙන, සීතල තැනක් වෙන්න පුළුවන්, ඒත් එහේ ඇතුළුවෙන්න බැරි ප්‍රාකාර ඇතුළෙ මිනිස්සුයි ගෑනුයි වැඩ: පොත් ලියනවා, චිත්‍ර සායම් කරනවා, සංගීතය නිර්මාණය කරනවා. මිනිස්සු ඔවුන්ගේ රහස මොකක්ද කියල අනුමානයක්වත් කරන්නෙ නැතුව දිනපතාම වීදිවල ඔවුන්ව පහුකරගෙන යනවා, ප්‍රසිද්ධ සහ ප්‍රශංසනීය බ්‍රිතාන්‍ය ස්වේච්ඡා හමුදාව හින්දා.

තනි කාමරයයි, ගෑස් උදුනයි, සීතල වතුර එන සින්ක් එකයි (උඩ තට්ටුවෙ තියෙන නානකාමරෙයි වැසිකිලියයි තමයි මුලු ගෙදරටම සේවය සපයන්නෙ) තියෙන පුංචි කුලී නවාතැනෙන් බාගයක් බෙදාගන්නවට ඔහු පෝල්ට සතියකට පවුම් දෙකක් ගෙවනවා. ඔහු දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු මුළු සේසතම පවුම් අසූ හතරයි. ඔහු රස්සාවක් හොයාගන්න ඕන දැන්මම.

-පරිවර්තනය මොහාන් ධර්මරත්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment