දැති රෝදෙන් උපන් බුදුන්: ටෙනිසන් පෙරේරා
සෑමවිටම බුදුන් හෝ බුදුවීම යන සංකල්පයන් සමගින් අප සිතට පැමිණෙන කාලවකවානු පසුතලය වන්නේ, රාජ පාලනයක් පවත්නා අතීත සමයක් බව නොකිවමනායි. ගෞතම බුදුන් සම්බන්ධ පසුතලය තරමටම පැහැදිලි චිත්‍රයක් නොමැවෙතත්, ආදි කස්සප බුදුන්, ආදි දීපංකර බුදුන් හෝ ආදි තන්හංකර බුදුන් වුව අප සිතට පැමිණෙන්නේ මෙවැනිම කාල වකවානු පසුතලයන් සමඟින් නොවේදැයි අප ඇසිය යුතු වෙයි. මෙසේ වූ බුදුවරුන් මෙතෙක් පහළ වූ කාලයන් හා දීපයන් පිළිබඳ සංකල්පයක් අප සිත තුළ ඇඳී ඇතත්, මෛත්‍රීය බෝසතාණන් බුදුබවට පත්වන කාලයේ, දීපයේ සහ දේශයේ හැඩතලය කෙසේ වනු ඇතිදැයි පැනයක් අපට කෙදිනක හෝ සිතට පැන නැගී තිබේ ද? මෛත්‍රී බුදුන් පහළ වනු ඇත්තේ වර්තමානයේ අප දකිනාකාරයේ ගැහැටින්, ජීවන තරඟයෙන් පිරි හුරුපුරුදු ලෝකයකටද? නැතිනම් තාක්ෂණයෙන් අග්‍ර ප්‍රාප්ත වූ දුර ඈත ග්‍රහලෝකයන්හි මිනිසා කොළණි පිහිට වූ යුගයකට ද? එසේත් නැතිනම් සමාජයේ මූලික සාරාර්ථ පවා වැනසී ගියා තාක්ෂණික දියුණුවක් තිබුනත් මිනිස් දියුණුව නෂ්ටව ගොස් පවත්නා සයිබර් පන්ක් වර්ගයේ ලෝකයකටද? එසේත් නැතිනම් මානව ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය පශ්චාත් ඇපොකැලිප්ටික දිස්තෝපියාවකටද?
ජීවන තරඟයේ වෙහෙසින් මිරිකී මැඩී ගිය සමාජයක තවත් පීඩිත කම්කරුවකු, කෙදිනක හෝ කර්මාන්තශාලාවෙන් නගිනා දුම් කඳන්, ග්‍රීස් සුවඳ, රත් වූ පොළොව, දැවැන්ත යන්ත්‍ර සූත්‍රයන්ගේ පොළව දෙදරවන ඝෝෂාව, මිනිසකු පවා පහසුවෙන් කපා කොටා ගිල දැමීමට නොපැකිලෙන දැවැන්ත වානේ තල හා දැතිරෝද අතුරින් ශුන්‍යතාවය වටහාගනු ඇතිද යන්න “දැති රෝදෙන් උපන් බුදුන්” කියවා අවසන සිතට නැගී ව්‍යාකූල සිතිවිලි අතරින් පැහැදිලිවම මතුවූ අදහසයි.
දශක ගණනාවක් පුරා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කියැවුණු නාමයක් වන ටෙනිසන් පෙරේරා ප්‍රවීණ සාහිත්‍යවේදියා විසින් ‘දැතිරෝදෙන් උපන් බුදුන්’ ලියන්නේ 1967 වැනි ඈත කාලයකදීයි. කෙසේ නමුත් ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තුළින් බුදුදහම ද්වේශ සහගත ලෙසින් සමච්චලයට නැතිනම් විවේචනයට ලක් කළේය යන චෝදනාව මත, ටෙනිසන් පෙරේරාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යොමු කෙරේ. එසේම, කෘතිය ද තහනමට ලක් කෙරේ. පසුකාලීනව සම්මුඛ සාකච්ඡාවකදී කතුවරයා කියා සිටින්නේ, සමාජය හා ශාසනය පරිහානියට ලක් වෙමින් ඇති යුගයකදී විකල්ප බුදුවරයෙකුගේ උවමනාවක් චිත්‍රණය කරමින් තමන් එය ලියූ බවයි. කෙසේ වෙතත් ආගමික මතවාදයන් දෘෂ්ටිවාදයන් නැවත පරිකල්පනයට ලක් කිරීමට සාහිත්‍යකරුවාට ඇති හැකියාව වර්තමානයේදී වුවත් යම්තාක් අභියෝගයකට ලක් වෙමින් තිබුණත්, එය තහනම් වන යුගයක් තවත් නැති බවට අපි විශ්වාස කරමු. එනිසාම අහස ප්‍රකාශනයක් ලෙසින් ‘දැති රෝදෙන්උපන් බුදුන්’ නැවත මුද්‍රණය වී තිබේ.
අප වැනි අනූව දශකයේ හැදී වැඩුණු පුත්‍රයින් හා දූහිතෘන් කනින් කොනින් අසා ගැනීමෙන් හා සාහිත්‍ය කෘති පරිශීලනයෙන් පමණක් හඳුනාගෙන සිටි හැටේ දශකය තුළ ශ්‍රී ලංකාව තුළ තිබෙන්නට ඇති සාපේක්ෂ ගතානුගතික සමාජය සම්බන්ධයෙන් මෙම කෘතියට එවකට අත් වූ ඉරණම, මොනවට පවසා සිටි. එසේම එවැනි කාලයකදී ටෙනිසන් පෙරේරා විසින් මෙවැනි කෙටිකතා සංග්‍රහයක් රචනා කිරීම සඳහා නිර්භය වීමද ප්‍රශංසා කටයුතු වේ. මේ හැටේ දශකය යනු ලෝකය පුරාම පවත්නා ක්‍රමයට එරෙහිව විකල්ප මතවාදයන් හා ව්‍යාපාරයන් මල්ඵල ගැන්වෙමින් තිබූ යුගයක් බවද මෙහිදී සිහියට පැමිණීම වැළැක්විය නොහැක.
දැති රෝදෙන් උපන් බුදුන් කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා හයක් තිබේ. මේ එකිනෙකට වෙනස් කෙටි කතා වුවද, එක් මොහොතකදී පාඨකයාට හැඟී යනු ඇත්තේ මේ සියල්ලම එක් දිගු කතාවක් නැතිනම් එක් ආඛ්‍යානයක් නියෝජනය කරලා විවිධ කොටස් ලෙසිනි. මෙහිද අරුමයක් නැත්තේ මෙම කෙටිකතා සියල්ලටම පසුතල වන්නේ, ජීවිතය දැඩි තරගයක්, අනවරත දිවීමක්, නැතිනම් අසීරු අරගලයක් වී ඇති සමාජයක් වන හෙයිනි. එසේම ආගමික සංස්ථාවන් හෝ සමාජ අධිකාරීන් ප්‍රජා පීඩක භූමිකාවක් රඟ දක්වන්නා වූ සමාජයක් වන හෙයිනි.
මෙහි පළමුවැනි කෙටි කතාව වන දැති රෝදෙන් උපන් බුදුන්, සැබවින්ම නැවුම් ආකෘතියක් උපයෝගී කරගනිමින්, නිරීක්ෂණමය ස්වරූපයකින් සමාජයේ යම් යම් තලයන් කිහිපයක සිදුවීම් වල ප්‍රතිබිම්බයක් කැටපතක් වෙමින් විදහා පායි.
මෙහිදී මහජන පුස්තකාලය පැත්තකින්, පුස්තකාල කැන්ටිම ඉදිරිපිට ඇති විසල් සියඹලා ගහට පිටදී මෛත්‍රී බෝසතාණන් බුදුවනු ඇතැයි කීම, මෙම අපගේ කාලයේ පහළ වන්නේ නම් පහළ විය යුතු බුදුවරයා මෙසේ වනු ඇතැයි බවට ඉඟියකි. මේ කොළඹ බව කොතනකවත් කියා නැතත් සැබවින්ම මෙම කථාන්‍තරය පටන් ගන්නේ කොළඹ මහජන පුස්තකාලයෙන් බවට සැකයක් පැන නොනගිනු ඇත. සැබවින්ම මෙම සියඹලා ගසට පිටදී බුදුවන්නට නියමිත නූතන මුනිවරයා පිළිබඳව සැබෑ හැඟීමක් දැනෙන්නට නම් ඔබ කොළඹ මහජන පුස්තකාලයට ආගිය අයෙකු, නැතිනම්, පුස්තකාල කැන්ටිමේ නැත්නම් පුස්තකාල පරිශ්‍රයේ ගසක් යට සිදුවන විවිධ සල්ලාපයන්ට අනවසරයෙන් හෝ සවන් දී ඇත්තෙකු විය යුතුය. පුස්තකාලය ඉදිරිපිට බස් නැවතුමේ, නැතිනම් පුස්තකාලය වටකරමින් සතර අතට දිවෙනා මහා මාර්ගයේ, නැතිනම් පුස්තකාලයට යාබද විහාර මහා දේවියේ හිඳ තමන්ගේ ඒකාකාරී ජීවිත දිගහරින්නේ පුහුදුන් අසරණ ලෝක සත්ත්වයායි. පුස්තකාල කැන්ටිමේ හිඳ දහසකුත් ජීවිත විවරණය කරන්නේද පුහුදුන් අසරණ ලෝක සත්ත්වයායි. මෛත්‍රී බුදුන්ගේ ආගමනය තමන්ගේ සසර දුක කෙළවර කිරීමට හේතුවනු ඇතැයි කියා සිය කෙටි ජීවිතය තුළ වුවත් දෑස් දල්වා බලා හිඳින්නේ ද තවත් අසරණ පුහුදුන් සත්වයෙක්ම වේ. මේ අතරේදී මතු බුදුවන්නට නියමිත බෝධිසත්වයෙකු, කුණු දහදිය වැකී කළුවන් ගැන්වුණු මුහුණින් යුතුව, තෙරක් නොපෙනෙන යන්ත්‍ර සූත්‍රයන්ගෙන් ආකූල වුනු මහා කර්මන්ත ශාලාවක් තුළ, සිත් පිත් නැති ලෝමුවා ලීවර, තල, දැති රෝද හා ඔට්ටුවෙමින්, කම්කරුවෙකුගේ වේශය ගෙන දහදිය වගුරුවමින් සිටිනු ඇතිද?
දැති රෝදෙන් උපන් බුදුන් කෙටිකතාව ඔස්සේ ටෙනිසන් පෙරේරා, සමාජයේ විවිධ ඉසව් වෙත පාඨකයාව ගෙන යමින්, අපි දකිනා අපේ බුදුන් යනු, දිව්‍යමය ව්‍යාමප්‍රභාලෝක විරෝචනයෙන් විලස් වූ මහා ශාන්තුවරයෙකු නොව, ගතානුගතික සමාජය තුළ අසරණ සතගේ හිත සුව පිණිස වෙහෙවෙන ශක්‍යතාවෙන් යුතු, මහා කරුණාවෙන් යුක්ත තවත් එක් මනුෂ්‍යයෙක්ම නොවන්නේදැයි අපෙන් අසා සිටී. අවසන, කතුවරයා විසින් වසර දෙදහසකට පෙර හුන් ශාක්‍ය මුනීන්ද්‍රයන් වෙතද අපව ගෙන ගොස් දැති රෝදයෙන් උපන් බුදුන් කෙටිකතාව අවසාන කරයි. එම අවසානය සැබැවින්ම විමුක්තිය සොයා යෑමේ ආධ්‍යාත්මික පිපාසයෙන් පෙලෙනා පාඨකයකුගේ සිතට බලාපොරොත්තුවක් ලබා දෙන්නක් නොවන්නේ ද?
මෙම කෙටිකතා සමුච්ඡයේ එන “ඉතිහාසයේ වීරයා” කතාවෙන්ද මෙම විකල්ප බුදුවරයකුගේ ආගමනය ටෙනිසන් පෙරේරා විසින් තව දුරටත් ඉඟි කරයි. එපමණකුදු නොව එම ආඛ්‍යානය තවත් දුරකට ගෙනයමින්, සමාජ ආකූලත්වය සමාජ අසාධාරණය, සහ එයින් උපන් සමාජ වෛරයක් ඔස්සේ සත්‍ය පසක් කරගන්නා බුදුවරයෙකු හෝ මුනිවරයෙකු විසින්, මෙතෙක් ලෝකයේ සිටි කිසිම බෞද්ධයකුගේ මනසට ගෝචර නොවන වෙනස්ම වූ සත්‍යයක් පිරිසිඳ දැනගැනීම විය නොහැක්කක්දැයි ප්‍රශ්න කොට සිටී. සිය නිවසේ එල්වා ඇති දේව රූප විනාශ කොට නිවසින් පැන යන මොහු, යකඩ දැති රෝද, තඹ කම්බි, තහඩු ආදියෙන් විලි වසා ගනිමින් නගරයට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන උන්මත්තකයකුගේ වේශයෙනි. ඔහු උමතුවකින්, භ්‍රාන්තියකින් පෙලෙන්නෙක්ද නැතිනම් ආධ්‍යාත්මික ගවේෂණයක යෙදෙන්නෙකු, සත්‍යය පසක් කරගත්තෙකු ද යන්න එක්වරම තීරණය කළ නොහේ. සැබැවින්ම, අද දවසේ බුද්ධත්වයට හෝ යම් සම්බෝධියකට පත්වූ අයෙකු නුවර මධ්‍යයට වැඩම කළ විටකද, පුහුදුන් අප සැම විසින් එවැන්නකු උන්මත්තකයෙකු ලෙසින් නොසලකනු ඇති දැයි ටෙනිසන් සිය පාඨකයාගෙන් ප්‍රශ්න කොට සිටී.
මෙම ඉතිහාසයේ වීරයා කතාව තුළ විවිධ නුවරුන් විසින් එම පුද්ගලයා පිළිබඳව දක්වන අදහස් ද වේ. එහිදී අරවින්ද නම් අයකු කියා සිටින්නේ, “ඔහු මම ප්‍රිය කරමි, තේරුම් ගැනීමට වැර වෑයම් කළ යුතුය” යනුවෙනි. සැබවින්ම මෙම නුවර වාසි අරවින්ද වනාහි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේ එන මහා ගූඪවාදියා වන අරවින්දයන්ම නොවන්නේ ද? මෙම කතාන්තරයට විරාගයේ අරවින්දයන්ව ගෙනඒමෙන්, ටෙනිසන් එම කතාවට වඩාත් ගැඹුරු යටි පෙළක් එක් කොට තිබේ.
දැති රෝදෙන් උපන් බුදුන් කෙටිකතා මාලාවේ එන අනෙකුත් කතන්දරයන්ද මෙසේ මෙම විකල්ප නූතන බුදුවරයකුගේ, මුනිවරයෙකුගේ සංකල්පය පිහිටුවීම සඳහා, එවකට (?) පැවති සමාජයේ හරස්කඩ විවිධ තැනින් ඡේදනය කොට ගෙන පාඨක අපට විදහා දක්වයි.
“හිරු නැග එන විටත් බැස යන විටත් ඔහුගේ සෙවනැල්ල මේ මහා පොළොව මතය හා මෙහා ඇදෙනු පෙනිණි. දුක් වේදනා පමණක් නොව ජයග්‍රහණය හා විමුක්තියද ඔහුගේ මුව මඬලෙහි සටහන්ව තිබිණි.”
“සත්‍යයේ පසක් කර ගැනීම සඳහා වීර්යය වැඩිය යුතුය!” එය ලෝ මුවා දැති රෝද, තඹ කැබලි වලින් විලි වසාගත් උන්මත්තකයා නැතිනම් බුදුවරයා මට කියූවක්ද, නැතිනම් පුස්තකාල කැන්ටිමේ මෛත්‍රී බුදුන් පහළ වනතුරු බලා සිටිනා අසරණයාට මවිසින් කිව යුත්තක් ද යන්න මම තවමත් කල්පනා කරමි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.

බුදු වරු උපදින්නේම සැබෑ මිනිසෙකුගේ අචින්ත වූ මහා කරුණා ගුණ සමුදායට තෝතැන්නක් වන නිරපේක්ෂ චින්තනයක ම්ස, කාල දීප කුල හෝ ගර්භාෂ අදාළ නැත. අබුද්දස්ස කාලය යනු මෙය තේරුම් ගත නොහැකි ලෙස චින්තනය මොට කරන සමාජ අවකාශයකි.
LikeLike