සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…

සිල්වියා ප්ලාත් ගේ (Sylvia Plath) කියමනකින් ම ප්‍රවිශ්ටයක් ගන්නේ, ඇය විසින් සිය කෙටි ජීවන ගමන තුල උපයාගත්, සපයා දුන් නිර්මාණවලින්  මැවූ විස්මය  නිසාවෙනි. 1932 ඇමරිකාවේ ඉපැදෙන ප්ලාත් 1963 දී නික්ම යන්නීය.  ඇගේ ‘Daddy’ සහ ‘Lady Lazarus’ යන කාව්‍යයන් මෙන්ම ‘The Bell Jar’ යන නව කතාව ද එවකට සාහිත්‍ය ලොව ගිනි පුළිඟු ඇවිළු අනර්ඝ ලේඛනයෝ වෙත්.

විසිවන සියවසේ විසු  ඇමෙරිකානු කාන්තාවන් ගේ විසල් ජීවන වපසරි තුළින් මනහරව හා අරපරෙස්සමින් ඛණ්ඩනය කර ගන්නා ලද පැතිකඩ ඇගේ ලේඛන තුළ ප්‍රතිබිම්බ ගත කළා වැනිය. ප්ලාත් සිය කෙටි දිවි සැරිය තුළ අත්විඳී, බිඳුනු මානසිකත්වය හා රැඳුනු ව්‍යාකුල බව සමනය පිණිස රෝහල්ගත වීම වැනි සැබෑ සිදුවීම්, වදන් වල බහාලමින් ‘The Bell Jar’ ලියන්නී ය. එම ප්‍රබන්ධය, ඇගේ තථ්‍ය ජීවිතය හා සමාන්තර දිවෙන අතර ඇය එය ප්‍රකාශයට පත් කරන්නේ, ‘වික්ටෝරියා ලූකස්’ යන අන්වර්ථ නාමයෙන් එංගලන්තයේ දීය.

ප්ලාත් ගේ කාව්‍යකරණය පාපෝච්චාරණ වාදී (confessionalism) කැටගරියට අයත් අතර ඇය ඈන් සෙක්‌ස්ටන් (Anne Sexton) නම් පැරණි, කුසලතාපූර්ණ කිවිඳිය සමඟ එක පෙළට තැබිය හැකි බව විද්වත් මතයයි.

ප්ලාත් ඇය ආදරය කළ කිවියර ටෙඩ් හග් (Tedd Hugh) සමඟ විවාහ වන නමුදු ඔහුගේ අන් පෙම් සබඳතාවක් හේතුවෙන් ළසොවින් තැවුනා ය; දැවුනා ය. එනයින් ඇය ජීවිතය ගෙන ගියේ දැඩි මානසික පීඩනයකිනි.

චිත්ත දෝමනස්සයන්, අනගි නිර්මාණ වල මූලයෝ වෙත්. ඇය සතු වූ මුළුමනින් ම හුදකලා ආත්මය ඇය සිය නිර්මාණ  ඔස්සේ රූගත කළාය.

ඇගේ කාව්‍ය අතරින් ඇය ස්ත්‍රීත්වය පිළිබඳ නැවුම් අර්ථ කතන සොයා යන්නී ‘Lesbos’ යන කාව්‍ය තුලිනි.

එහි තේමා වදන ම එයට යම් අර්ථයක් පුරුද්දයි. ‘Lesbos’ යනු කවියේ මව ලෙස හැඳින්වෙන ‘Sappho’ ගේ නිජ බිමයි. එමෙන්ම  එය මානව ආකර්ෂණයට හසු වූ මනරම් ග්‍රීක දිවයිනකි. එබැවින් ‘Lesbos’ යම් භූගෝලීය බිම් කඩකි. එමෙන්ම එය හා ඈඳුනු මනඃකල්පිත ස්වරූපයක් ද ඇත.

ප්ලාත් ‘Lesbos’ අරඹන්නේ ද යම් ව්‍යාකූල තානයකිනි.

Lesbos
Viciousness in the kitchen
The potatoes hiss,
It is all Hollywood, windowless,
The fluorescent light
Wincing on and off
Like a terrible migraine,
Coy paper strips for doors,
Stage curtains, a widow’s frizz

ලෙස්බොස්
අර්තාපල් පිඹින
කුස්සියේ කුරිරුකම
ජනෙල් රහිත හොළිවුඩයකි මුළුමනින් ම
අතරින් පතර දිලිහෙන ප්‍රතිදීප්ත පහන්,
ඉරුවා රදයකි භයානක,
දොරවල් සඳහා ලැජ්ජාශීලී කොල තීරු,
වේදිකා තිර, තනිකමකි
වැන්දඹුවක ගේ

(පරිවර්තනය උද්යෝගී පලිහක්කාර.)

ඇය සිය මුළුතැන්ගෙය ‘Lesbos’ නමින් හැඳින්වීම ම  යම් උන්ප්‍රාසයක් දනවයි. ඇය ආදරය කළ සැමියා, සොඳුරු කැදල්ලක් විය හැකිව තිබූ ඔවුන්ගේ කුටුම්බය විසුරුවාලමින් ගෙන යන පෙම් සබඳතාව හමුවේ ප්ලාත් දැවෙමින් එහෙත් නොසඟවමින් වදන් ගවසන්නීය. ඇය මුළුතැන්ගෙය සාම්ප්‍රායිකව ගැහැනියට උරුම කලාපයක් සේ දකී. එමෙන්ම එය කාව්‍යයන් මෙළැවෙන, කාන්තාවකට සිය වියමන් අතර ලියමන් මතු කරවිය හැකි අපූරු අවකාශයකි. එයට ක්ෂුද්‍ර විශ්වයක් (microcosm) ලෙස ද පැවතිය හැකිය.

එනමුත් සිල්වියා ප්ලාත් ‘Lesbos’ ලෙස ඇය කවියට නැගී සිය මුළුතැන්ගෙය ගෙය තුල දීම,  වේදනාත්මක මරණයක්, සිය කැමැත්තෙන් ම කැඳවා ගැනීම, එම අපූර්වත්වයේ ඛේදාන්තයයි.

ප්ලාත් ගේ කාව්‍යයන් අතරින් ‘Lesbos’ වෙන අවධානය යොමු කරන්නේ, එහි ඇති යම් අසාමාන්‍යතාවක් නිසාය. ප්ලාත් ගැහැනියක වීම තුලින්, සිය අත්දැකීම් ප්‍රකාශනය තුල සියුම් ව දනවන්නේ, මානව සබඳතා වල ගැඹුරු බව වීම, එම සුවිශේෂීතාවයයි. ගෘහීය කටයුතු: ගෘහීය හිංසනය; ගෘහීය ප්‍රචණ්ඩත්වය: ගෘහීය දූෂණය ආදි සෘණාත්මක කරුණු එකලස් ව ඇති ගෘහය, ගැහැනියක ගේ ඉවසුම්; සැනසුම් මෙන්ම රිදවුම් කළාපය ද බව ඇය කියන්නීය. ඇය ඛණ්ඩනය වූ ප්‍රකාශ ඔස්සේ අප එහි අරුත් සොයා යන ගමනකට සේන්දු කරවනවා මිස, සිය ජීවිතය එතුල බහා, පළිඟුවක පැහැදිලි බවින් අපට නොපෙන්වන්නීය.

අනෙක් අතට සම්මානිත පුවත්පත් කළාවේදිනි, ඩෙබෝරා නෙල්සන් (Deborah Nelson) පවසා ඇත්තේ නූතන ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රම, කාන්තාවකට සිය ගෘහය තුල ඇති පෞද්ගලික අවකාශ සීමා කර ඇති බවයි.

ප්ලාත් සිය ගැලවුමක් නොමැති අභ්‍යන්තරික අර්බුදය තුළින් නිදහසක අවශ්‍යතාව පතමින් ශාංකා බරිත වන්නීය.

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි මෙය ආදර හසුනක නැමියාවකින් යුක්ත ය. එසේ නම් එහි පිරි ඇත්තේ ආදරය නොව, අත්‍යන්ත ප්‍රේමයක් වැරදි දෑතකට ගොනු වීමෙන් අත් වූ ඛේදවාචකයක ආත්මීය ප්‍රකාශනයයි.

‘Lesbos’ දිග කවක්. මා ඉන් උකහා ගත් පරිමාණය හරිම සීමිතයි. ඉන් ඇගේ මුළු කවම රස විඳින්නට යම් පෙළඹවීමක් ඇති වුණා යයි හඟිමි.

මගේ පසු සටහන:

‘ගබ්සා’
කුස්සියක්; පටු තීරුවක්
අම්මලාට, අක්කලාට, නංගිලාට
බත් තම්බමින්,
පළා ලියමින්.
ගැහැණියක වූ බැවින්,
ඇගේ කවි,
උදුනේ දැවේ ගිනියමට,
නො එසේ නම්,
උදෑසන බස් රථේ, දුම්රියේ,
නිදා වැටේ.
නොදැන එයට යා හැකි සොඳුරු මං පෙත්.
එ කව්,
හැකිළේ, හවස කළබලේ.
මගතොටේ; වැඩ පළේ,
නොලැබ සිසිලක්,
එක සීරුවට යනෙන අතර
ගැහැනුන්,
ගෙදර නම් හතරැස් අච්චුවට.
නොදනී ඇය ගබ්සා වන,
බැව් ඇගේ කව් කම්,
වේදනාවෙන්,
ඇගේ කඳුළු හා දහදිය සමඟ,
තුනී කළල ලෙසින්
හඬක් නොනඟාම……


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment