සැබෑ ආදරය කුමක්දැයි ප්‍රශ්න කරන ‘සාෂා’


“ඔව්.! ඒක හරිම සරලයි වගේ පෙනුණට හරිම බරසාර හැඟීමක්. ඒ වගේ ම, ඒක හරියට ම වචනවලින් පැහැදිලි කරන්න මම දන්නේ නෑ. ඒ කොහොම වුණත්, ‘නිදහස..’ කියන්නේ මේ ලෝකෙ තියෙන මිල කරන්න බැරි ම, වටිනා ම මිනිස් අයිතිවාසිකම වෙන්න ඕන. මොකද, කවදාවත් ‘නිදහස’ සල්ලිවලට ගන්න බෑනෙ. කොච්චර කෝටි ප්‍රකෝටිපතියො ඉන්නව ද ජීවිතේ කිසිම නිදහසක් නැති? කිසිම සැනසීමක් නැති..?” (09 පිට)

ජලය, ආහාර සහ ඇඳුම් පැලඳුම් මිනිසාගේ ප්‍රාථමික අවශ්‍යතා බව අප සැවොම දන්නා කරුණකි. එහෙත්, මෙම ප්‍රාථමික අවශ්‍යතා මනුෂ්‍ය ජීවිතයක මරණය දක්වා පවතින කාල පරිච්ඡේදය ගෙවාදැමීම තහවුරු කළ ද, සැබෑ ලෙසම ජීවත් වීම තහවුරු කරන්නේ ද? සැබවින්ම, මනුෂ්‍යයකුට ඉහත කී ප්‍රථමික අවශ්‍යතා මඟින් ලද ජීවිතය ගෙවා දැමිය හැකි මුත්, ලද ජීවිතය අර්ථවත්ව ගත කිරීමට නම් කායික, මානසික හා අධ්යාත්මික සුව සාදාලන ප්‍රස්තුතයක් අවශ්‍යය. එය නම් ‘නිදහසයි.’

පුරා පිටු දෙසියයකට ආසන්නව ප්‍රබන්ධගත වී ඇති සාෂා, නර්මදා රංගොඩගේ ගේ පස්වන නවකතාවයි. ලංකාවේ ජීවත් වෙමින් ජාත්‍යන්තරව තම නම පතළ කළ තරුණ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් කේන්ද්‍ර වූ වූ වස්තු විෂයක් ඔස්සේ සාෂා නිර්මාණය වී ඇත. පුද්ගලයන්ගේ ජාති ආගම් හා වයස් භේදය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, පුද්ගල සබඳතාවල සංකීර්ණත්වය මෙන්ම පුද්ගල නිදහස වැනි සංකීර්ණ හා සංවේදි මාතෘකා පිළිබඳ උපයුක්ත නවකතාව ඔස්සේ කතුවරිය සාකච්ඡාවට බඳුන් කර ඇත.

තවදුරටත්, මිනිසා මිනිසා වීම මත ම ඔහු තවකෙකුගේ විනිශ්චයට ලක් වීම කෙතරම් අසාධාරණ ද, අමානුෂික ද යන්න පිළිබඳව පාඨකයා තුළ ස්වයං විවේචනයක් ඇති කරලීමට කතාව පුරාම නර්මදා රංගොඩගේ උත්සුකව ඇති ආකාරයක් ද දැකගත හැකි ය.

උපයුක්ත නවකතාව ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හික්කඩුව වෙරළ ආශ්‍රිතව ජීවත්වන නිර්ධන පාන්තික දැරියකගේ ජීවිතය වටා ගොඩනැඟී තිබේ. ඇය වයසින් වැඩෙත් ම ඊට සමානුපාතිකව ඈ ලත් අත්දැකීම් ඔස්සේ ජීවිතයේ වැඩීම ද ක්‍රමිකව පිටු දෙසියයකට ආසන්නව දිග හැරේ. නවකතාවේ නිරූපිත තත්කාලීන සමාජයේ විවිධ මිනිසුන් හා සිදුවීම් අතර වන ඝට්ටන පාඨකයා වෙත රෝෂි නොහොත් සාෂා ඔස්සේ කතුවරිය ඉදිරිපත් කර ඇත. බේබදු ධීවර පියෙකුට දාව ඉපදුන රෝෂි (සාෂා) හට නැගණියන් දෙදෙනෙකි. පියා හා මවගේ නිමා නොවන අඬදබර මධ්‍යයේ මුහුද දෙස බලා මනෝලෝකවල ජීවත්වන ඇය අධ්‍යාපනය හමාර කළ වහාම වෙළඳසැලක රැකියාවට යෑමට තීරණය කළා ය. එහි දී නිරතුරු හමුවන විදේශිකයෝ අතරේ ඇගේ ජීවිතය නම්, දුර්වර්ණ වූ කැන්වසය ඇය ද බලාපොරොත්තු නොවූ ලෙස වර්ණවත් කිරීමට හැකියාවක් ඇති සිත්තරෙක් ඇයට හමු විය. රුසියන් ජාතික ඔහු නමින් සාෂාය. නින්දේ දී පමණක් සිහින දුටු රෝසිව අවදිව සිටියදිත් සිහින දැක ඒවා හඹා යාමට ධෛර්යමත් කළ ඔහු, ඇය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් බවට පත් කිරීමේ පළමු පුරෝගාමියා ය.

රෝෂි, සාෂා නමින් ක්ෂේත්‍රයට පිවිසීම, ප්‍රතාප් මංචනායක, මේඝ මනුජිත් පතිරණ ඇගේ ජීවිතයට පැමිණීම සහ ඉන් පසු ඇගේ ජීවිතය විඳිමින්, විඳවමින් එනමුත් ශක්තිමත්ව ප්‍රබන්ධය තුළ ගලා යන්නේ තත්කාලීන සමාජ ගැටලු ද අවධාරණය කරමිනි. තමා ජීවත්වන සමාජයේ විශ්වාස හා අගය පද්ධතිවලින්, තම අනන්‍යතාව ප්‍රයත්න දරා යටපත් කර නොගෙන, ව්‍යාජ ප්‍රතිරූප නඩත්තු නොකරමින් තම ජීවිතය පවත්වාගෙන යෑමටත්, අව්‍යශ විට අනුවර්තනය වීමට හෝ පරිවර්තනය වීමට රෝෂි (සාෂා) සැමවිට ම ප්‍රයත්න දැරූ තරුණියකි. ඇගේ ජීවිතය බොහෝ අවස්ථාවල අංශක එකසිය අසූවක විපර්යාසයකට ලක්කරන්නට වූයේ ද ඈ සතු වූ එකී අනන්‍යතාවයි.

ආදරය යනු, මනුෂ්‍ය ජීවිතය තුළ ශ්‍රේෂ්ඨතම සහ පරාර්ථකාමී ම හැඟීමයි. ආදරය විශ්වීය සනාතන දහමකි. එහෙත්,සාෂා නවකතාව තුළ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හා පුද්ගල සබඳතා, සමාජය තුළ මෙය මෙය ම යැයි කියා පෙන්වන සාම්ප්‍රදායික සීමාවෙන් බැහැරව හුදු මනඃසෘෂ්ටිවලින් තොරව පවතින යථාර්තයෙන් අංශුවක් ලෙස ගෙන, කලාත්මකව නවකතාව තුළ ජීවාත්මක කිරීමට කතුවරිය පරිශ්‍රමයක් දරා තිබෙන බව පෙනෙන්නට තිබේ.

“ආදරේ කියන්නෙම ගනුදෙනුවක් රෝෂි…”

ආයෙමත් මේඝගේ සුපුරුදු වචන මාලාව මගේ ඔළුව තුළෙන් නාද නින්නාද වෙන්න පටන් ගත්තා.

“මං හොඳාකාරව ම දන්න දෙයක් ඔයාට කියන්නේ මේ. ආදරේට වඩා අර්ථවත් දේවල් මේ ලෝකේ තියෙනව රෝෂි..මොකද ආදරේ කියන්නේ කොච්චර පරාර්ථකාමී කිව්වත් මහා ආත්මාර්ථකාමී දෙයක්. මම හිතන්නේ ඔයාම ඒක අත්විඳල තියෙනව..” (42 පිට)

කතාව පුරාම ආදරය යනු කුමක්ද? යන්න නර්මදා රංගොඩගේ, රෝසිගේ වික්ෂිප්ත චරිතය ඔස්සේ මතු කරන පැණයයි. ආදරය යනු හතරැස් රාමුවක මෙය මෙය ම යැයි කියා සීමා සහිතව හැඳින්විය හැකි දෙයක් ද නොවන බවත්, එය පුද්ගලානුබද්ධ අත්දැකීම් හා විශ්වාස පද්ධති මත පුද්ගලයා වින්දනය කරන හැඟීමක් බවත් රෝෂි හෙවත් සාෂාගේ චරිතය අපට කියා දෙන්නට සමත් ය.

“මම කිව්වේ තිත්ත ඇත්තක්. ඒ වෙනකොට හිතපු නැති තරම් ඉක්මනට මේඝගෙත් මගෙත් අතරෙ ඇතිවුන සම්බන්ධය මානසික වගේ ම කායික බැඳීමක් දක්වා දුරදිග ගිහිල්ල තිබුණා. ජීවිතේ කවදාවත් නොවිඳපු අමුතු නැවුම් හැඟීම් පිරිල තිබුණු ඒ බැඳීම ඇතුළෙ සමහරවිට මේඝ ඇත්තට ම මට ආදරේ කළා වෙන්න ඇති. නමුත් මට ඕන වුණේ ආදරය කරනවට වඩා, ඒ වෙනස් හැඟීම් අත්විඳින්න. කුතුහලය සන්සිඳවගන්න.” (43 පිට)

“ප්‍රතාප්ගෙ පැත්තෙන් මට ඇතිවෙන්න ප්‍රේමය ලැබුණා. මේඝගෙ පැත්තෙන් විවාහය ගැන ඕන තරම් ඉඟි ලැබුණා. ඒත් මට හැමතිස්සෙ ම හිතුණෙ ම මට දැන් ඕන ප්‍රේමයක හෝ විවාහයක පැටලෙන්න නෙමේය කියන එක. මොකද මම අවුරුදු කීපයකට කලින් මැලේෂියාවෙ ඉගෙනගන්න කාලෙ ඕපන් රිලේෂන්ෂිප් එකක හිටපු නිසා, ප්‍රේමය කියන්නේ අපේ ගොඩක් අය හිතාගෙන ඉන්න විදියට කොටු ගහල, ඉරි ගහල බෙදල කොළවල ලියල මගෙ කියල අයිති කරගන්න පුලුවන් එකක් නොවන බව මම දැනගෙන හිටියා.” (46 පිට)

ජීව විද්යාවට අනුව, මිනිසා ආදරයෙන් අනුරාගයෙන් බැඳීම ඔස්සේ පවත්වන ලිංගික සබඳතා තම වර්ගයා බෝ කිරීම හැරුණු විට ආත්ම සන්තර්පණය, කුතුහලය, සමීප වීම, ආතතිය, බිය වැද්දීම, තර්ජනය යනාදී බොහෝ කරුණු අරභයා සිදු වේ. එහෙත්, ශ්‍රී ලංකාව වැනි රටක ආදරය, ලිංගිකත්වය වැනි මිනිස් අවශ්‍යතා විඳගැනීම හෝ ඒ පිළිබඳව කතා කිරීම ද ආගම,සංස්කෘතිය ඔස්සේ ගොඩනැඟී ඇති වාරණ මඟින් සීමා වී ඇත. උපයුක්ත නවකතාවෙන් පාඨකයා හමුවට එන චරිත මෙම සීමා මැඬ තම හැඟීම්, ජීවිතය හා ආත්මීයව ගලා යෑමට ඉඩ දි ඇත. නූතන ලෝකයේ දැකගත හැකි පුද්ගල සබඳතා සංකීර්ණය. වර්තමානයේ දැකගත හැකි ‘විවෘත සබඳතා (Open relationship)’ යන සංකල්පය ද එම සංකීර්ණත්වය තහවුරු කර පෙන්වන්නකි. ඉතා මානූෂීය දෘෂ්ටියක් හෙළමින්, ඉතා සංයමයෙන් යුතුව නර්මදා රංගොඩගේ මේ පිළිබඳව ද පාඨක අවධානය ග්‍රහණය කරගැනීමට සමත් වී ඇත.

කතා සන්දර්භයේ චරිත නිරූපණය විමසා බැලුවහොත්, එහි එක් ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන, රුසියානු ජාතික සාෂා සංක්‍රාන්තික ලිංගික පුද්ගලයෙකි. එහෙත්, කතාංගය පුරාවට ඔහුගේ චරිතය විහි දී යන ආකාරය, ලේබල් නොකර මනුෂ්‍යයා මානූෂීයත්වයෙන් වැළඳ ගැනීමේ දැඩි අවශ්යතාවය සිහි කරවන්නකි. රෝෂිගේ හා මේ රුසියානු ජාතික සාෂාගේ වසර කීපයක් ගලායන සම්බන්ධයෙන් අනතුරුව, සාෂාගේ මරණයේ අළු මතින් රෝෂි ජීවය ලබන්නේ සාෂා ලෙස ය. සාෂා, ප්‍රතාප් මංචනායක සහ මේඝ මනුජිත් පතිරණ තුන්කොන්ව ඈදෙන සබඳතාව, ආදරයේ හරය ශරීර ගණුදෙණුවක් පමණම ද? යන ගැටලුව පාඨකයා වෙත ගෙන එන්නකි. වර්තමානයේ අත්විඳීමට තිබෙන හා අත්විඳීමට ලැබෙන ප්‍රේමය කවිසමයේ හමු වන අලංකාර, ආටෝපයෙන්, රසයෙන් පෝෂිත වූ ශ්‍රේෂ්ඨතම ප්‍රේමය නොවන බව, තවමත් මනඃසෘෂ්ටිවල ජීවත් වන මිනිසාට සාෂා ඔස්සේ පෙනෙන්නට සලස්වා ඇත. ප්‍රේමය යනු, අප ජීවිතයේ ඒ ඒ යුග තුළ අපට හමුවන පුද්ගලයන් හා ගැඹුරින් බැඳීමත් ඔවුනොවුන් එතුළින් තම ජීවිත වර්ධනය කරගැනීම, ප්‍රේමයේ පරම ප්‍රහර්ශය වන ‘නිදහස’ අතිවිඳීමත් බව නවකතාවෙන් හෙළිකරන ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ නිර්වචනයයි. රුසියානු ජාතික සාෂාගේ හා ප්‍රතාප් මංචනායකගේ චරිත ඔස්සේ නර්මදා රංගොඩගේ, එකී ප්‍රහර්ෂය කවරාකාර දැයි මෙසේ පෙන්වා දේ.

“සාෂාගේ ජීවිතයේ අවසාන කාලයේ වුණත් එයා කවදාකවත් මට කිව්වේ නැහැ ‘මම නැතිවුණාට පස්සේ ඔයා අරම කරන්න රෝෂි, නැත්නම් මෙහෙම කරන්න රෝෂි..’ කියලා.සාමාන්යයෙන් ගොඩක් කල් ආදරය කරලා විවාහ වෙලා එකට ජීවත් වෙන යුවළ ක් වුණත් එක අවස්ථාවකදී එක්කෙනෙක් ජීවිතයෙන් සමු ගන්න කොට බලාපොරොත්තු වෙනවා අනිත් කෙනා තමන් වෙනුවෙන් හැම දා ම ඉඳියි කියලා. එයාගෙ ඉතුරු කාලය තනියම ගත කරයි කියලා…” (157 පිට)

“ඔයා කියන්නේ එක තැනක කූඩු කරලා තියාගන්න පුළුවන් කිරිල්ලියක් නෙමෙයි. ඔයාට ඕන නිදහසේ පියාඹන්න. මුල් කාලේ පොඩි දේවල්වලින් මං ඔයාව රඳවගන්න උත්සහ කරල බැලුවත්,පස්සේ මට තේරුණා ඔයාට එක තැනක දි මට වඩා ඔයාගෙ නිදහස තමයි වටින්නෙ කියන එක.” (169 පිට)

අනෙක් පසින් මේඝගේ චරිතය වර්තමාන සමාජය තුළ දැකගත හැකි මනුෂ්‍ය ජීවිත හා හැඟීම් මත කරණම් ගසන, බැටළු හම පොරාගත් වෘකයෙකුගේ සැබෑ ස්වරූපය පාඨකයාට හඳුනාගැනීමට සැලැස්වීමකි. සාෂා, මේඝගේ ව්‍යාජ ප්‍රේමයෙන් මුලා වී සත්‍ය නොදැකීම, අප ජීවිතයේ ගනු ලබන සෑම තීරණයක් ම තුලාවක දුන්න සේ සෘජු වීමට නම්,තුලාවේ එක් පසක් හැඟීම් මූලිකව හෘදයාංගමවත්, අනෙක් පස මොළය මූලිකව තාර්කිකවත් සමබර විය යුතු බව පසක් කර දෙන්නකි.

පුද්ගලයෙක් හරි හෝ වැරදි ලෙස තීරණය කරන්නට තවකෙක්ට හැකි ද? අයෙක් වරදක් ලෙස නිශ්චය කරන දෙය, තවකෙකුගේ ජීවිතයේ නිවැරදි දෙයක් ලෙස නිශ්චය වී තිබිය හැකි ය. හරි වැරැද්ද ගොඩනැගෙන්නේ අපගේ ආත්මීය හර පද්ධති මූලිකව ය. මරණය තෙක් අප ගන්නා අත්දැකීම්, උකහා ගන්නා දැනුම ආශ්‍රයෙන් අප තුළ අපට ම අනන්යය ලෙස නිර්මාණය වන වටිනාකම් හර පද්ධතිය මත සමාජයේ මුල් බැස ඇති පුරුෂාර්ථවල බලපෑම ද නොමඳව හිමි වේ. අප ගන්නා සෑම තීරණයක් තුළ ම මේවායේ බලපෑම නොමඳව පවතියි.

සාෂා ජීවිතයේ නිදහස සොයා යෑම, ළාබාල තරුණියක් ලෙස වෘත්තීය ජීවිතයේ ස්වාධීන වීම, බොහොමයක් ස්ත්‍රීන්ගේ පරම අපේක්ෂාව වන විවාහය දරුවන් හැදීම වැනි දෑ ප්‍රතික්ෂේප කිරීම ආදිය ඇය තුළ ගොඩනැඟී ඇත්තේ, ඇගේ විශ්වාස පද්ධතියේ හෙවණැල්ල වැටීමෙන් විය හැකි ය. එනම්, ඇය කුඩාකල සිටම වැඩුණේ මාපිය අඬ දබර මධ්‍යයේ අඟහිඟකම්වලින් මිරිකෙමිනි. එබැවින් විවාහය, පවුල වැනි සංකල්ප පිළිබඳ ඇගේ අත්දැකීම් සුන්දර වූයේ නැත. ඒ අනුව,තවකෙකුගේ තීරණ, විශ්වාස තවකෙක්ට විනිශ්චය කළ හැකි ද? ඇය තම මුහුණ දුන් අභියෝගවලට මුහුණ දුන් ආකාරය, ගත් තීරණ ඇගේ පාවහන් පැළඳ ඇවිද ගිය අයෙක් මිස තවකෙක් විනිශ්චය කරන්නේ කෙසේද? නර්මදා රංගොඩගේ, මිනිසා මිනිසා ලෙස ම නිශ්චිත අනන්‍යතාවකින් යුත් ජීවියෙක් ම බව තම ප්‍රබන්ධය ඔස්සේ නැවත නැවත විශද කරන්නේ ඒ ආකාරයෙනි.

“ඇත්තට ම මට ඇති වුණේ බයක් නම් නෙමෙයි. මහා කලකිරීමක්. ඒ වගේ ම මං ගැනම ඇතිවෙච්ච දුකක් කලකිරීම ඇති වුණේ එයා මගෙ බෙල්ලෙන් අල්ලපු නිසා ම නෙමෙයි. එයා මං ගැන කියපු කතාව නිසා. තව කෙනෙකුගේ ජීවිත කතාවක් ගැන හරියටම නොදැන අපි කොහොම ද එයාව විනිශ්චය කරන්නේ. මම ඇවිදගෙන ආපු පාරේ, මම ඇවිදගෙන ආපු විදියට ම ආවේ නැති කෙනෙක් කොහොම ද මට අරමයි, මෙහෙමයි කියලා ඇඟිල්ල දික් කරන්නේ.” (164 පිට)

තෝරාගත් වස්තු විෂය ප්රතිනිර්මාණයෙහි ලා නර්මදා රංගොඩගේ යොදාගත් භාෂාව ඉතාම සරල භාෂාවකි. එක් එක් සමාජ සන්ධර්භයන්ට ගැළපෙන ලෙස භාෂාව භාවිත කිරීම ද ඇගයිය යුතු සේම, නවකතාවේ ඇය භාවිත කර ඇති ඇතැම් වර්ණනා, නව්‍ය මෙන් ම ආකර්ෂණීයත්වයෙන් ද අනූන ය.

“ආරක්ෂාව සමඟින් උණුසුම කියන හැඟීම් දෙක ම එකවර ගැහැනු සිතකට එන්නත් කරන්න පුළුවන් පිරිමින් ඉතාමත් දුර්ලභයි. ප්‍රතාප් ඒ දුලබ පිරිමි කුලකයේ ඉහළින් ම සිටින සුවිශේෂී මිනිසෙක්. මම ඒ ස්පර්ශය ඇතුළෙ හැකිළෙමින කුඩා වෙමින්, ක්ෂුද්‍ර ජීවියෙක් වගේ දිය වෙයිමින් හිටියා. ඔහු හරියට අහල පහල තියෙන ඔක්කොම බැටරි ඉබේම චාර්ජ් කරන ප්‍රබල විද්යුත් ශක්තියකින් පිරුණු යන්ත්‍රයක් වගේ. පුද්ගල කැරිස්මාව නොහොත් ආකර්ෂණීය ගුණය ඕනෑවටත් වඩා අන්තර්ගත මිනිසෙක්.!” (24 පිට)

නර්මදා රංගොඩගේ විසින් රචිත සාෂා, තෝරාගත් වස්තු විෂය නිදහස් ලේඛන ශෛලියක් ඔස්සේ නව්‍යත්වය හා ආකර්ෂණීයත්වය කැටි කොට ප්‍රතිනිර්මාණය කොට ඇත. මානව සබඳතා හා මානව හැඟීම් පිළිබඳව සමාජයේ මුල් බැස ඇති ආකෘතිගත කළ විවේචන, හරසුන් කරමින් විවෘත මනසකින් මෘදුව හා සංවේදීව මනුෂ්‍යත්වය ස්පර්ශ කර ඇති නිර්මාණයක් ලෙස සාෂා හැඳින්විය හැකි ය 


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment