අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

බුද්ධිකා අබේසුන්දර ලේඛිකාවගේ කතා මා කියවන්නේ බොහෝ කල් සිටයි. ඇයගේ මුද්‍රිත පොත් කියවන්න කලින් ඇය අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය සමූහ තුළ ලියූ ගැමි බස් වහර සහ සංසිද්ධීන් අලලා ලියැවුණු කතන්දර ඇයටම අනන්‍ය වූ ලේඛන හුරුවක් ගෙන හැර පෑවා. ඒ එක්කම ඇයගේ ඒ කතන්දර එක දිගට නීරස නොවී කියවාගෙන යන්න හැකි බවක් දැනුණා. මහ පොළොවේ පණ ගැහෙන මිනිස් ජීවිත සහ ඒ චිත්ත සංතානයන්හි දෝලනය වන නොයෙකුත් අරුමැසි සිතුවිලි සහ ඒ ඔස්සේ ගොඩ නැගෙන ක්‍රියා බොහොම සරලව ලියා පාන්නට ඇයගේ ලියැවිල්ල තුළ ඇය සමත් වී තිබෙනවා කියා ඒ කතා කියවද්දී වැටහුණා. ඒ නිසාමයි මා ඇයගේ මුද්‍රිත පොත් කිහිපය අරගන්නේ. 

කුරවිසර ඇගේ නවතම මුද්‍රිත පොතයි. තමන්ට උරුම ලැබුණු හෝ හිමි වූ ජීවන ක්‍රමය තුළට අනුගත වෙමින්, ඔහේ ගලාගෙන යන අර්ධ ග්‍රාම්‍ය ජීවිත ගොන්නක් හා බැඳුණු කතා පුවතක් වුණත් මෙහි පටන් ගැන්මේ සිටම යුධ ජයග්‍රහණයෙන් ඔද වැටුණු රටකට ගොඩ බහින හිමිනම ගේ ‘සෙවිල්ල’ නිසාම කියවන්නා තුළ කුතුහලයක් ගොඩ නගන්නට ලේඛිකාව දක්ෂ වී තිබෙනවා. මේ සෙවිල්ල කුමනාකාරයේ අරමුණක් උදෙසාද කියා ඉඟියක්වත් සපයන්නේ නැතිව, ඇය ඉන්පසු මෙහි ප්‍රධාන චරිතයක් වන ශ්‍රියානි තුළින් ගොඩ නංවන අතර, ඒ හරහා සමාජයේ වැඩියෙන් කතා නොකරන පහතරට තේ කර්මාන්තය සහ ඒ ඔස්සේ ගොඩ නැගුණු ජීවන ක්‍රමයන් ගැන තොරතුරු රැසක් ගෙන එනවා. මෙය කියවද්දී මට හිතුණේ ලේඛිකාව ඉතාම හොඳින් ඒ අර්ධ ග්‍රාම්‍ය සමාජය සහ කම්කරුවන්ගේ ජීවිතය සහ රැකියාවේ සවිස්තරාත්මක තොරතුරු ග්‍රහණය කරගෙන තිබෙනවා කියලයි. 

මෙහි පුළුල්ව කතා කරන දෙමාපිය-දූදරු සබඳතාවය සහ සහෝදර බැඳීම් ගැන කතා බහ ඉතාම විශිෂ්ට මානුෂීය ගුණ ධර්ම මෙන්ම මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් හා බැඳුනු අලකලංචි විග්‍රහ කරනවා. මෙහිදී හතලිස් පස් වියැති අවිවාහක තම සහෝදරිය මහගෙදර පියා බලාකියාගෙන ඉන්න අතරේ විවාහක සෙසු සහෝදර සහෝදරියන්ගෙන් උද්ගත වෙන නොයෙකුත් අර්බුද එකින් එක ගෙන හැර පා ඒවා දෙබස් ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් කියවන්නා විවිධ මානයන්ගෙන් මේ කාරණා ගැන සිතීමට ලක් කිරීමක් මා දකිනවා. එකම පවුලේ වුවද විවිධ ගති සිරිත් සහ සමාජ දැක්මක් සහිත දරුවන් මේ පවුල තුළ දකින්න ලැබෙනවා. මේ සමාජ ක්‍රමය තුළ ජීවන අරගලයක යෙදී ඉන්නා නමුදු කිසිම දවසක සැපක් සතුටක් නොවිඳිනා ජීවිතවල හැල හැප්පීම් ලේඛිකාවගේ ලියමනට හසුවී තිබෙනවා.

අවිවාහක ස්ත්‍රිය ගැන සමාජය තුළ පවතින විවිධ ආකල්ප මේ පොතේ මනාව එළිදක්වා තිබෙනවා. ඒවගේම මානව සම්බන්ධතාවයන් කෙරෙහි වයස්ගත වීම හා බැඳුනු නොයෙක් සමාජ ආකල්ප ගැන මෙහි දෙබස් තුළින් පෙන්නුම් කරන්නේ එම ග්‍රාමීය සමාජයට පමණක් පොදු හැසීරීම් නොවේ. එවන් ආකල්ප නිසා තමන්ගේ හැඟීම් දැනීම් සඟවාගෙන ජීවත්වන ස්ත්‍රීන්ගේ සංවේදනා මෙහි අපූරුවට පෙළ ගස්වා තිබෙනවා. මෙහි ශ්‍රියානි නම් චරිතය තමන්ගේ ආදර සම්බන්දතා ගැන පවුල සහ සෙසු සමාජයේ සිතුම් පැතුම් ඉතා දැඩිව ග්‍රහණය කරගෙන හැසිරෙන අයුරුද එනිසාම ඇගේ ජීවිතයේ පසුතැවීම් ද මහත් සංවේගයක් ජනිත කරවනවා. සමාජයේ බොහෝ ස්ත්‍රීන් මේ හුදෙකලා වේදනාවේ ගැලුණු අය නොවෙද?

තමන්ටත් පියාටත් නිතර කරදර කරමින් හැසිරෙන  සහෝදරයාට උදව් කරන්නට ජීවිතේ බොහෝ අපහසුම තීරණ ගන්නා ශ්‍රියාණිද, තමන්ගේ සහෝදරියගේ ජීවිතයේ වෙනස් වීම් ඔස්සේ සතුටු වීම වෙනුවට ක්‍රෝධය, ද්වේශය ඉදිරියට දමාගෙන කටයුතු කරන ඇගේ පවුලේ පිරිස ගැනත්, එක මොහොතකදී සියලු සංවේදනා සිතුවිලි වෙනස් කරගන්නට හැකි ජන සමාජය ගැනත් මේ චරිත ඔස්සේ අකුරින් වියා ඇති අන්දම ප්‍රශංසනීයයි. 

දුක සහ ඛේදවාචක වලින්ම පිරුණු ලියැවීම් කියවන්නට අකමැති නමුදු, කරදර මැදින් තම ජීවිතය අත් නොහැර බදා අල්ලාගෙන අසීරුවෙන් ඒ කාල ගෙවාගන්නා, අටලෝ දහමින් කම්පා නොවන මිනිසුන් මෙලොව ඇති වග මේ පොත පෙන්වන තවත් මානයක්. තමන්ට සිදුවන අකරතැබ්බ හෝ අපහසුතා අනෙක් මිනිසුන්ගේ උදව්වෙන් මගහරවාගන්න කැස කවන චරිත මේ පොතේ හමුවෙනවා. කොයි තරම් උදව් උපකාර කළත්, කළ හොඳ දෙපිටින් යන්නට පෙරළා හතුරුකම් කරන්නට ඉදිරිපත්වන දුස්-චරිත, ඒ මොහොතේදි තමන්ගේ ක්‍රෝධ, වෛර හෝ ඉරිසියාව මුල් කරගෙන අනෙකා කෙරෙහි නොපනත්කම් සිදු කිරීම මේ සමාජයේ බහුලව සිදුවන දෙයක්. මේ පොතේ නොයෙක් තැන ඒ පහත් හැසිරීම් සහ මිනිසුන්ට තරම් නොවන හැසිරීම් ගැන විවිධ සංසිද්ධී අලලා ලියැවීම තුළින් කියවන්නා වෙත තමන් වඩවා ගත යුතු උතුම් ගුණාංග කෙරෙහි දැක්මක් ලබා දෙනවා.

පොතකින්, කවියකින් හෝ මොනයම් නිර්මාණයකින් හෝ කියවන්නා තුළ ජීවිතාවබෝධය ඇති කරනවා. අන්න ඒ අවබෝධය සමග තමන් තුළ මෙතෙක් පවත්නා දොස් සහිත හැසිරීම්, මානුෂීය නොවන හැසිරීම් ගැන වැටහීමක් ඇතිවිය යුතුයි. මම විශ්වාස කරනවා, පොත් තුළින් ඒ වැටහීම ලබා දිය හැකියි කියා. ඉතින් එවැනි පුද්ගල හෝ සමාජ වෙනසක් උදෙසා, මානුෂීය ගුණධර්ම සහ සාරධර්ම ගැන වැඩිහිටි සමාජයේම අව-හැසිරීම් ඔස්සේ කතිකාවක යෙදෙන පොතක් බොහෝ සෙයින් හේතු වෙනවා. ප්‍රබලයා විසින් දුබලයා පෙලීම සපිරි දේශපාලන කෙරුම්කාරකම් එක්ක බැඳුනු ආගමික සංස්ථාවල පැවැත්ම ගැනත් මෙහි බොහෝ ඉවසිල්ලකින් ගෙතුනු වියමන් අතරේ හමුවෙනවා. එමෙන්ම කුරවිසර පොත, එක දිගට කියවාගෙන යා හැකි සරල ලේඛන ශෛලියකින් රචනා කර තිබීම නිසාත්, මුල් පරිච්ජේදයේ එන කුතුහලය පිරි සිදුවීම් නිසාත්, වෙහෙසකින් හෝ ආයසයකින් තොරව කියවගෙන යා හැකි කෘතියක්.

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වැයූම් කළාක් මෙන්, අවට සියල්ලන්ද සමාජයද දුශ්කර දුක්ඛිත කාල පරිච්ජේදයක ගමන් කරද්දී සියල්ල අමතක කර සිහින ලෝකවල ජීවත් වීම කළ නොහැක. මේ සමාජයේ කුණු, කිළිටි, දෝශ දැක ඒවා නිරවුල් කිරීමට මේ සමාජය එක රැයෙන් වෙනස් කිරීමටද නොහැක; එහෙත් එක් පුද්ගලයෙක් හෝ තමන්ගේ සිත සහ ක්‍රියා දිහා බලා ඒ ගැන ස්වයං-විචාරයක යෙදෙන්නේ නම් කෙමෙන් මේ සමාජයේ අපේක්ෂා කරන ගුණවත් බව ඇතිවෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් කුරවිසර වගේම බුද්ධිකා අබේසුන්දර ලේඛිකාවගේ අනෙකුත් නවකතා තුළින්ද මම මේ වෙනස ඇති කළ හැකි සබුද්ධිමත් සංවාද සපිරි ලියැවීම් දකිනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment