සමකාලීන ලාංකික කාව්‍ය ක්ෂේත්‍රය තුළ පෙර කවර කාලයකටත් වඩා කවිය පිළිබඳ විශාල උද්යෝගයක් ඇතිවී තිබුණත්, වසරකට කවි පොත් 200 පමණ ප්‍රමාණයක් මුද්‍රණද්වාරයෙන් නිකුත් කරනු ලැබුවත්, ඇත්තෙන්ම කවිය පොදු මහජනතාව සමග අවියෝජනීය බැදිමක් ඇතිකරගෙන තිබේද?
කවියන් කිවිඳියන් කවි ලියනමුත්, ඔවුනගේ හිතවතුන් සහ සහෝදර කුලකයේ අය හැරුනුවිට පොදුවේ කවිය ලංකාවේ අනෙකුත් සාහිත්‍යයන්; උදා: නවකතා, කෙටිකතා, පරිවර්තන කෘති මෙන් මහජන අවධානයෙන් බැහැරව ඇත්තේ ඇයිද යන්න සොයාබැලිය යුතු කරුණක්.
එහෙත්, කියවූවත් නැතත් කවියෝ කවි ලියති.
පොත් දොරට වැඩීම්, කවි සංවාද, අදහස් ප්‍රකාශ කිරීම්, කවි රසාස්වාදනයන් (විචාර නොවේ), ආදී වශයෙන් කවියේ ප්‍රගමනය උදෙසා නොයෙක් උත්සාහයන්හි නිරතවීමට කවියට පෙම්බැඳි බොහොමයක් කවියන් කිවිඳියන් පෙළඹීම පැසසිය යුතුය.
කවිය යනු කුමක්ද? අනෙකුත් සාහිත්‍ය ප්‍රවර්ග මෙන් කවියට මහජන අවධානය දිනාගැනීමට ඇත්තෙන්ම නොහැකිව ඇත්තේ ඇයි?
ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මකවීම තුළ ගිලිහී යන පරමාදර්ශයන් නැවත නගාසිටුවන්නේ කෙසේද යන්නත්, කලාකරුවා සමකාලීන සමාජ ප්‍රශ්න හමුවේ කොතරම් සංවේදීතාවක් දක්වනවාද යන්නත් විමසීම වටී. බොහොමයක් කලාකරුවන් සමාජ යථාර්ථයට දුරස්ව සම්බන්ධතා දක්වන්නන් බවට අද පත්ව ඇත. කලාකරුවා යනු සමාජයේ ඇති නිෂේධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා වෙනුවට, පවතින වෙළදපොල ආර්ථිකය තුල පරිභෝජනවාදය තුල අනන්‍ය පිරිසක් බවට ඇදවැටීමත් එහි භක්තිමත් අනුගාමිකයන්ව සිටීමත් අද අපට අත්දකින්නට හැකි සත්‍යයකි.
බිඳවැටුණු සමාජ පරමාදර්ශයන් ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කෙසේද? කවිය ඒ සදහා අවංක උත්සාහයන් ගෙන තිබේද? එසේනම් එය කෙබඳුද? සමකාලීන සමාජ ප්‍රශ්න හමුවේ කවියා තම නිර්මාණ තුළින් මැදිහත්වී ඇත්තේ කෙසේද? මේ තුළ කවියාගේ ආස්ථානය කෙබඳුද? යන්න තුළ කවියේ සාර්ථකත්වය විමසිය හැක.
කවියේ ප්‍රගමනය උදෙසා විචාරකයන් විවිධ මැදිහත්වීම් කරනු ලැබුවත්, එවා පරයා ජනප්‍රියවාදී රසාස්වාදයනට වැඩි බරක් තැබීමට සමාජයක් ලෙස පුරුදුවී ඇති බව විද්‍යමාන වේ. එහිදී, කවිය බුද්ධියෙන් විචාරනු වෙනුවට එහි දේශපාලනමය මානයෙන් සෞන්දර්යය තුළට ගමන්කිරිම නිසා, බොහෝ කවියන්ද ඇතුළුව පොදුවේ කලාකරුවන් කලාව තුළ අතරමං වුණා යැයි කීම වඩාත් නිවැරදිය.
වර්තමාන තරුණ කවීන් අතුරින් බොහොමයක් දෙනාගේ ඉහත කී අංගවලට අනුගතව ලියන ලද කවි පොත් අතරින්, මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වු කවියෙකි, රුවන් බන්දුජිව.
බන්දුජිවගේ කවිය අපි තේරුම් ගන්නේ කෙසේද? පිළිගත් විචාර සංකල්පවලට අනුව කවියාගේ ආස්ථානය කෙබඳුද?
දැන් අපි කවිය පිළිබඳව විචාරක අදහස් පිරික්සා බලමු.
කවිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දරන්නේ ජනප්‍රියවාදී මතයකය; එනම් කවියාගේ අභිප්‍රාය යනු කුමක්ද කියා සෙවීමට උත්සාහ ගැනීමයි. මෙම වෙහෙසීම තුළ කවියා අධිනිෂ්චය වන අතර, රෝලන්ඩ් බාත් කතුවරයාගේ මරණය සමග පාඨකයා නිර්මාණකරුවෙක් බවට පත්වෙන හැටි පෙනන්වාදීම තුළ විසංයෝජනය කලේ එයයි.
එහෙත් මෑතකාලීන කවීන් බොහෝදෙනෙක් අතුරින්, රුවන් බන්දුජිවගේ කවිවලින් ඵළියට පනින අභිප්‍රාය වූකලී තමාම වදයට පත්වීම බව ඔබට ඔහුගේ අඵත්ම කවි පොත වන ධූමලාවන්‍යාගාරය තුලින් සොයාගත හැකිනම්, ඉන් සාම්ප්‍රදායික කාව්‍ය විචාරකයන් විසින් තමාම ව්සංයෝජනයක් කර ගැනීමක් බවට පත්වේ.
ඇත්තෙන්ම කවි ලිවීමම යනු තමා කෙරෙහි මෙම වද වේදනා පමුණුවාගනු ලැබීමයි.
අපි කව් යනුවෙන් ඇත්තෙන්ම කියවන්නේ ඉහත කී කවියාගේ වේදනාවයි. මෙය මනෝවිෂ්ලේශණීය අර්ථයෙන් කියනු ලබන්නේ නම් කවියාගේ ප්‍රමෝදයයි. ඒ තුළින් අපට ඔහුව අල්ලා ගත හැක. එය අප වධයක් ලෙස ගන්නේ නම් එහි කෙලවර ඇත්තේ වේදනාවයි.
අපි රුවන් බන්දුජිවගේ කවිවලට වඩාත් ආසාකරන්නේ ඇයිද යන්න දැන් පැහැදිලියි.
එසේම කවිය ගැන අදහස් ප්‍රකාශ කරන හැමෝම භාෂාව ගැන කථාකරන්න අමතක නොකරති. භාෂාව මකුළු දැලක් නම් බොහෝදෙනා එයට හසුවෙති. ඉහත කී කවියා නැවත උත්ථානය ලබන්නේ හරියටම කිවහොත් මෙතනින්. ඇත්ත, කවියාට භාෂාවක් අවශ්‍යයි. භාෂාවේ වහලෙකු නොවී කවිය සමග කරන ගනුදෙනුව සොයාබලන්නේ නම් එය තව දුරටත් අපට වැදගත් වනු ඇත. කවි ලිවීම ම කවියා වධබන්ධනයකට ලක්කරන්නේ නම්, ඔහුට එලෙස වද දෙන්නේ කුමක්ද? ඒ නම් භාෂාවයි. කවි ලිවීමට පටන්ගත් සැනෙන් කවියා ඇතුළු වන්නේ ඉහත කී භාෂාව නැමැති වධකාගාරයටය.
කවියාට භාෂාව නොමියේම ලැබෙන දෙයක්. කවියාට ලැබුණු මෙම ත්‍යාගය පිළිගත් වහා කවියා ඊට යටත්වේ. එනම් භාෂාවට යටත්වේ.
එසේම මෙය තුල නොයෙක් දේ සැඟව පවතියි.
අවශ්‍ය වන්නේ භාෂාවේ වහලෙකු නොවී, එහි නියාමනයන්ට ප්‍රතිපක්ෂව කවිය පිහිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව සවිඥාණික වීමයි.
රුවන් බන්දුජිවගේ ‘මීළග මීවිත’ කවි පොත මුද්‍රණ වාර හතක් එළිදක්වා තිබීම අහම්බයක්ද යන්න ඉහත කී කවියේ විචාර තුලින් මනාව පැහැදිලිවේ.
රුවන් බන්දුජිව තමන් තමන්ගෙන්ම නිදහස්ව ඇති අන්දම ඔහුගේ මීළග මීවිත කවි පොත තුල අඩංගු කව් අතරින් එන පහත කවි නිරික්ෂණය කිරිමෙන් පැහැදිලි වන අන්දම බලන්න.
‘සැළලිහිනියෝ උඹට කොහොම සතුටක් ඇත්ද?’ කව්පන්තියේ අවසන් පැදිපෙල:
මේ අසාපන් මිතුර මං ගෙදර නැති අතර
ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගෙ ගෙදර
පොඩි දුවගෙ පියාපත් බිම තිබුණි හැම තැනම
ඒ දුකට ළය පැලි මිය ගිහින් මගෙ සොඳුර
උලකුඩය දේවියත් රජතුමත් හිමි නමත්
සෝක පණිවුඩ තුනක් එවා තිබුනා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්
කියා යන්නට කියා ආවෙ නෑ මළ ගෙදර
එසේම ‘ඇහෙනවද ඒ සිනා සද්දේ’ කවිය බලන්න:
නිමිත්ත: බසයක් ප්‍රපාතයකට පෙරලියැමෙන් රියදුරු ඇතුලු 8 ක් මරුට, 29 කට බරපතළ තුවාල.
ඉන් පදපේලි කිපයක්:
දකුණු පස කන්නාඩි පලුවෙන්
පාර විමසූ වරක් ගානේ
පෙරෙයිදා තුන් මාසේ දන දුන්
බ්රිද පමණයි ඔහුට පෙනුනේ
කඳුළු පිරි කදු වළලු මැද්දේ
අර පෙනෙන බෑවුම් ලන්දේ
සිනා සෙන්නට තවම පුලුවන්
එක තැනක් තියනවා නන්දේ
ඇහෙනවද ඒ සිනා සද්දේ
බන්දුජිව ගේ කවිය තුළ මිනිස් සබඳතාවල ව්‍යාඡත්වයන් මෙන්ම ගැඹුරු සහකම්පනයන් ඇතිකරන්නටත් කවිය කොතෙක් දුරට යොදාගෙන ඇත්දැයි ඔබට දැන් පැහැදිලිය. නමුත්, කවියට ආශක්ත බොහෝ දෙනෙක් බන්දුගේ දේශපාලනමය මානය තුල ඔහුව සොයා යාම වෙනුවට, ඔහුගෙ සෞන්දර්යය මුසු ප්‍රේමනීය කවිවලට ආසා කරන්නේ අහම්බයකින්ද? කුරිරු යථාර්ථය වෙනුවට ගොඩනගන ෆැන්ටසි තුළ සනීපෙට, කරදර නැති සැහැල්ලු ජීවිතයකට අකමැති කවුද?
ඔහුගේ ‘ධූමලාවන්‍යාගාරය’ කව් පොතෙන් මෙන්න සිසිර නිද්‍රාවෙන් අපව ඇහැරවන අපුරුව:
නදියක් දුටු තැන නවතා
ලලිත ලතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන් ඇමතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
ඉතින්, දැන් කවුරුත් බන්දුජිව වෙන්න යන්න එපා. තමන් තමන්ගෙන් නිදහස් වෙන්න කවි ලියන්න පටන්ගන්න.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
