විශ්වය පුරා සැරිසරන ආදරය

“විශ්වය පුරා ඉතිරී පැතිරී යන ආදරයට අප ආදරය කරන්නෙමු. එම ආදරය සමහරකුට සඳ එළියකි. තවකෙකුට සැඬ හිරු එළියකි. තවකෙකුට එය චණ්ඩ මාරුතයකි. තවකෙකුට ගනාන්ධකාරයකි. තවකෙකුට මේ සියල්ල කැටි කර ගත්තකි. විශ්වය පුරා සැරිසරන මෙම ආදරය ‘විසඹසරයි’. කොතරම් දිවියට දුක, සංතාපය, භීතිය, ශෝකය ගෙනාවද විසඹසරෙහි අප වෙළී ඇලී ගැලී සිටින්නෙමු.” (10 පිටුව)

දර්ශනා ශම්මි විජේතිලක රචනා කරන සෑම නවකතාවකින්ම කිසියම් විශේෂිත චරිතයක් පාඨක මතකයේ රඳවන්නීය. අසනඟ වැසි නවකතාවේ ‘ආලත්ති අම්මා’, ගිරඟ සසල විය නවකතාවේ ‘ෆිලොමිනා’ වැනි චරිත මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙවර ඇය පාඨක හදවත් දිනූ චරිතය බවට පත් කර ඇත්තේ සසඳරාගේ චරිතයයි. සසඳරාගේ චරිතය විශේෂ වන්නේ ඇය නාගරික පරිසරයෙන් වියුක්තව උපත ලබා, සාම්ප්‍රදායික අකුරු ශාස්ත්‍රය පවා ඉගෙන නොගෙන ජීවිතයට ධෛර්යයෙන් යුක්තව මුහුණ දුන්, දරා ගැනීමේ ශක්තියෙන් පිරිපුන් චරිතයක් වන බැවිනි. කතුවරිය මෙම නවකතාවෙන් පාඨකයාට ආරාධනා කරන්නේ නාගරික කටුක පරිසරයෙන් අත්මිදී සොබාදහමත් සමග අත්වැල් බැඳගන්නට නොවේද?

“පන්සල්වල මිනිස්සු රැස් කනව. බොරු විච්චූරණේට සාදුකාර තිය තියා පන්සල් එනව. මලක් පහනක් පූජා කරල බුදුන් වඳින්නෙ නැහැ. පලතුරු වට්ටි ගණං බිම අතුරගෙන මල් වට්ටි බිම අතුරගෙන චෛත්‍යවලට රෙදි අන්ද අන්ද බහුරු කෝලං නටනව. උන්ට නුහුගුණේ පුතේ. කැලෑ කොළේ සතා සීපාවට ආදරෙන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එකයි සිරිත. කාසි මහ හුඟක් ඕන නැහැ ජීවත් වෙන්න. උඹට තාම තේරෙන්නෙ නැහැ කූඹිත්තියේ.” (28 පිටුව)

නවකතාව කියවන පාඨකයාගේ සිත නිතැතින්ම නතර වන්නේ සසඳරාලා ජීවත්වන සොඳුරු පරිසරය අබියසයි. සසඳරාගේ අප්පච්චි පවසන කාරණා සැබෑවක් නොවේද? අප ආගම හරි තැනින් අල්ලාගෙන සිටින්නේද යන්න අප නැවත සිතා බැලිය යුතුය. සිදු කළ යුතු දෑ පසෙක තිබියදී, අප වෙහෙසෙන්නේ මිරිඟුවක් පසුපස දුවන්නට නොවේද? නූතන සමාජයේ ජීවත් වීමට මිල මුදල අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ අප සැම පිළිගන්නා කරුණකි. නමුත් සසඳරාගේ වැනි පවුල්ද අප මේ දිවිගෙවන වත්මන් සමාජයේ සිටිය නොහැකිද? සසඳරාගේ නිවෙස පිහිටි පරිසරය ගැන ලෝකය දැනගන්නේද ගංගාදර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බැවිනි. මිල මුදල යහමින් නොමැතිව වුවද දිවි ගෙවිය හැකි බව නොවේද කතුවරිය නවකතාව මුළුල්ලේම අපට පවසන්නේ?

“මීමැස්සො මීවද බඳින හැටි, කුරුල්ලො කූඩු තනන හැටි, බාංවැලක් කපල තිබහට වතුර බොන හැටි, බෙහෙතට ගන්න කොළයක් වැලක් අලයක් ටක්කෙටම තියන ඉසව්ව එක්ක කියන්න සසඳරා දන්නව. ගහකොළවල නංගං මේ හැමදේම සසඳරාට කියල දීල තියෙන්නෙ.” (39 පිටුව)

සාම්ප්‍රදායික දැරියක ලබන විධිමත් අධ්‍යාපනය සසඳරාට නොලැබුණද, ඇයගේ පියා සොබාදහම පිළිබඳව ඇයට ලබා දෙන අවිධිමත් අධ්‍යාපනය ඇයගේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් විය. සසඳරා බොහෝ දේ උගත්තේ එලෙසය. ඇයට කුඩා කළ ලබා ගත නොහැකි වූ අකුරු ශාස්ත්‍රය ඇය උගෙන ගන්නේ ඇගේම පුත්‍රයාගෙනි. ඇය අංගම් සටන් කලාව උගත්තේ ඇගේ සැමියාගෙනි. ඇය ගැහැනියක ලෙසින් දත යුතු ශිල්ප, සොබාදහම් දියණියක ලෙසින් දත යුතු ශිල්ප, ආත්මාරක්ෂක සටන් ශිල්ප, විශ්වය පුරා සැරිසරන ආදරය පිළිබඳ දැනුම මෙන්ම පොදුවේ මානවයාගේ ගති ස්වභාවයන් පිළිබඳ දැනුමද ලබා ගන්නේ අත්දැකීම් ආශ්‍රයෙනි.

“කසාදෙ හරි ගියොත් එහෙමයි. නැති වුණොත් මෙහෙමයි. අපායයි දිවිය ලෝකෙයි දෙකක් තියෙනව නෙව අපිට මැරෙන්න මතු යන්න. ඒකම තමයි කසාදෙත්. හොඳ එකෙක් ලැබුණොත් දිව්‍යලෝකෙ. නරක එකෙක් ලැබුණොත් අපායෙ.” (43 පිටුව)

කිරිඅම්මා විවාහ ජීවිතය පිළිබඳව සිය අත්දැකීම් ආශ්‍රයෙන් පවසන්නීය. සසඳරා විවාහ ජීවිතය පිළිබඳව උගත්තේ ඇයගෙනි. පසුව ඇය කිරිඅම්මා පැවසූ දේ ස්වකීය අත්දැකීම්වලින්ම වටහා ගත්තාය. කිරිඅම්මාගේ මෙම ප්‍රකාශය කියවන විට මට සිහිපත් වූයේ මකරානන්දය නවකතාවේ රන්මැණිකා පවසන පෙරහැරේ ගිනිබෝලකාරයින්ගේ කතාවයි. වර්තමානයේ අපට බහුලව දක්නට ලැබෙන්නේ න්‍යෂ්ටික පවුල් ඒකකය. නමුත් අතීතයේ බොහෝ නිවෙස්වල පැවතියේ විස්තෘත පවුල් ඒකකයි. විස්තෘත පවුල් ඒකකයක් පැවතීමෙන් දරුවෝ විධිමත්ව ලබන පාසල් අධ්‍යාපනයට පරිබාහිර බොහෝ වටිනා දේ උගත්තෝය. සසඳරාගේ ජීවිතය ශක්තිමත්ව ගොඩනැඟීමට අප්පච්චි, අම්මා සහ කිරිඅම්මා යන චරිතවලින් ලැබුණු දායකත්වය සුළුපටු නොවේ.

“අප්පච්චි උඹවයි අපිවයි පරෙස්සං කොරන්නෙ ඇහේ මූණේ දාගෙන. ඒත් පුතේ උඹ ගාව තියන වටිනාම වස්තුව පරෙස්සං කරගන්න පුළුහං උඹටම විතරයි පුතේ. ඒ වස්තුව නැති වුණොත් ආයෙ මොන මිල දීලවත් ගන්නව බොරු…” (58 පිටුව)

සෑම දරුවෙකුට කිරිඅම්මා කෙනෙකු සිටිය යුතුය. විශේෂයෙන් ගැහැනු දරුවෙකුට කිරිඅම්මා කෙනෙකු අත්‍යවශ්‍යය. ජීවිතයේ බොහෝ දේ ගැන හරි අපූරුවට උගවන්නට කිරිඅම්මාවරු සමත් වීම එයට හේතුවයි. කිරිඅම්මා සසඳරාට මේ පවසන්නේ වටිනා දෙයකි. මෙම ප්‍රකාශය මට සිහිපත් කළේ සෙංකොට්ටං නවකතාවේ කිරිඅම්මාගේ ප්‍රකාශයයි. නමුත් එහිදී ඇය මේ කරුණ පවසන්නේ ඉතා අමුවෙනි.

“අපි රට්ටුන්ගෙන් ගම්මුන්ගෙන් වෙන් වෙලා නිස්කලංකෙ හිටියට රටම ගිනි අරං තියෙන්නෙ මේ වෙලාවෙ. තමුනුත් සැනසිල්ලෙ ඉඳගෙන අනුන්ටත් උදව් පදව් කරගන අදහන ආගමක් අදහගන නිවීසැනසිල්ලෙ ඉන්නෙ නැතුව මොන එහෙකට යුද්ද කරනවද ආණ්ඩු පෙරළන්ට. රට කරගන ඉන්න එවුන්ට ඒව කරගෙන ඉන්න ඇරල තම තමන් හොඳ වුණාම ඉබේම මුළු රටම හොඳ වෙනව නෙව…” (107 පිටුව)

නවකතාව කියවන පාඨකයාට මුලදී කතාවේ කාල මානය පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකි වුවද, නවකතාවේ මෙම අර්ධයේදී කතාව ගලායන කාල සීමාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ සැලසෙයි. ඒ 88/89 භීෂණ සමයයි. රටම ගිනිගන්නා අවස්ථාවක ඒ බව සසඳරාලට තදින් නොදැනෙන්නේ ඔවුන් මිනිස් අවකාශයෙන් වියුක්තව දිවි ගෙවූ බැවිනි. නමුත් ආයුධ සන්නද්ධව ඔවුන්ගේ නවාතැන අසල කැලයට පැමිණෙන විප්ලවවාදී තරුණ කැළ ඔස්සේ රටේ පවතින භීෂණ උණුසුම ඔවුන්ටද ළඟා කරති. මෙහිදී සසඳරාගේ අප්පච්චි පවසන ප්‍රකාශය සමග කෙනෙකුට එකඟ විය හැකි අතර කෙනෙකුට එයට එකඟ නොවී ප්‍රශ්න කිරීමටද හැකිය. පුද්ගලයින් වශයෙන් තනි තනි ව්‍යායාම ඔස්සේද රටක් මෙන්ම පොදු සමාජ ආකල්පද වෙනස් කළ හැකි බව පිළිගත හැකිය. නමුත් එය හුදෙක් හුදෙකලාවම සිදු කළ නොහැකි කටයුත්තකි. තනි තනි පුද්ගලයින් වශයෙන් සමාජයක් වෙනස් කරන්නටද යම්කිසි පුද්ගල කණ්ඩායමක එකමුතුවක් අවශ්‍ය වේ. තනි පුද්ගල ප්‍රයත්නයකට වඩා සාමූහික ප්‍රයත්නයකින් ළඟා කරගත හැකි ප්‍රතිලාභවල ධාරිතාව ඉහළය. නමුත් රටේ සිදුවන පොදු අසාධාරණයක් දෙස ඇස් කන් නොයොමා බලා සිටීමද යුතු නොවේ. නාමල් ජයසිංහගේ ගැලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යයේ සඳහන් ප්‍රකාශයක් මෙහිදී සිහිපත් වේ. එහි සඳහන් වන්නේ පායනා කාලෙදි වනාන්තර එළිපෙහෙලි කළ අයටත්, ඒ දෙස ඇස් කන් පියා බලා සිටි ජනයාටත් වැසි කාලයේදී කන්ද එකම හැන්දෙන් සැලකූ බවයි. අනෙක් අතට අප්පච්චිගේ මෙම ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ සමාජයෙන් හුදෙකලාව ඔහු දිවි ගෙව්වද, රාජ්‍ය දෘෂ්ටිවාදය තම අරමුණු වෙනුවෙන් තරුණ සංවිධාන බිලීබා ගන්නා ආකාරය පිළිබඳව ඔහුට යම්කිසි අවබෝධයක් පැවති බවයි. නවකතාවේ ආරම්භයේ සිටම දේශපාලන පැලැන්තියේ ගති ස්වභාවයන් පිළිබිඹු වේ. ඒ සසඳරාලාගේ ඉඩම වෙත ඔවුන් හෙළන කුරුමානම් ඔස්සේය.

“ගෑනු පිරිමින්ට වඩා හයියයි පුතේ. පිරිමින්ට ප්‍රශ්නයක් උනාම හිත දියවෙලා යනව. ගෑනුන්ගෙ හිත පදං කරපු මැටි පිඬක් වගෙ ඕන ඕන අතට තළල හදල ගන්න පුළුහං. ගෑනියෙක්ගෙ හයිය බලාගන්න ආයාමයක් වෙන්න ඕන. ආයිමයක් උනාම තමයි ගෑනියෙක් හංගගෙන ඉන්න හයිහත්තිය එළියට එන්නෙ. පිරිමියෙක්ගෙ හවුහරණෙ නැති උන ගමන් පත්තිනි අම්ම වගේ හිටිය ගෑනු කාලි අම්මල වෙනව පුතේ. ඕන දුකක් කරදරයක් විඳගන්නට වගේම දුකට පත් උන එව්වන්ට පිහිටත් වෙනව.” (125 පිටුව)

සසඳරාට තමන්ගෙ අම්මා ගැන ඇති වුණේ විමතියක්. අප්පච්චි රෝගී වුණ ගමන්ම අම්මා පවුලේ පිරිමියගේ චරිතය රඟපාන්න ගත්ත එක තමයි ඒකට හේතුව. මෙම සංසිද්ධිය බොහෝ පවුල් ඒකකවල අපට දකින්නට ලැබෙන්නකි. ගැහැනිය හිතින් පමණක් නොව ගතින්ද ශක්තිමත් බව ප්‍රකට වන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය. සමස්ත නවකතාව ඔස්සේම නොයෙකුත් ආකාරයෙන් කතුවරිය උත්සාහ කර ඇත්තේද ගැහැනුන්ගේ මෙම දරා ගැනීමේ ශක්තිය පිළිබිඹු කිරීමටය. කතුවරියගේ සෑම නවකතාවකම මෙම ගුණය දකින්නට ලැබේ.

“ජීවිතේ දුකයි පුතේ. හැම මනුස්සයකුටම දුක සැප සමෝ සමව දීල තමයි අපිව මවල තියෙන්නෙ. අපි හිතනව සල්ලිකාරයා දැක්කම මොන දුකක්ද සල්ලි තියෙනවනේ කියල. සල්ලිවලට නිවන්න බැරි දුක් ගින්දර අපමණයි පුතේ.” (135 පිටුව)

ජීවිතය පිළිබඳව කිරිඅම්මා සතුව පැවති පරිඥානය මෙහිදී වෙසෙසින් කතා කළ යුතුය. සසඳරාද තම ජීවිත පරිඥානය පුළුල් කරගන්නට යෙදුණේ කිරිඅම්මාගේ මෙම උපදෙස්වලිනි. ඇය පවසන යථාර්ථය අපි එදිනෙදා ජීවිතයේදී අත් දකින්නෙමු. මිල මුදල තිබූ පමණින් ජීවිතයක් සාර්ථක නොවන බව අපි හොඳාකාරවම දනිමු. දුප්පත්-පොහොසත් බව සාපේක්ෂ බවකින් යුක්තය. මිල මුදලින් ආඩ්‍යව සිටින්නෙකු ආකල්ප, ගතිගුණ අතින් දුප්පතෙකු විය හැකිය.

“දැන් මේ සටන් කලාව අච්චාරුවක් වාගෙ. හැම රටෙන්ම ටික ටික අරගන යන්තං අත ගාල හොයාගත්ත සිංහල හටන් ටිකක් ඈදල රූප පෙට්ටිවල බොරුබින්න දෙසා බානව…” (281 පිටුව)

නවකතාවේ වංගීසගේ චරිතය ඔස්සේ පුරාණ ලාංකේය අංගම් සටන් කලාව පිළිබඳව තොරතුරු හෙළි වේ. කතුවරිය ස්වකීය නවකතාව රචනා කිරීමේදී අංගම් සටන් කලාව, වෙද ශාස්ත්‍රය සම්බන්ධව අධ්‍යයනයක නියැලී ඇති බවද ප්‍රකට වේ. රූපවාහිනිය ඔස්සේ අංගම් සටන් කලාව පිළිබඳ විවිධ ටෙලිනාට්‍ය සහ සිනමාපට නිර්මාණය වී තිබේ. එහිදී ඔවුන් පෙන්නුම් කරන්නේ සැබෑ සටන් කලාවක්ද යන ප්‍රශ්නය මතු වේ. ලංකාවේ බොහෝ පෞරාණික ශාස්ත්‍රවලට අත්වී ඇත්තේ මෙම ඉරණමයි. සියල්ල වාණිජකරණය වූ සමාජයෙහි මෙවැනි වටිනා ශිල්ප ශාස්ත්‍රද වාණිජකරණයට හසු වී ඇති අතර වංචනිකයන්ගෙන්ද පිරී පවතී. සැබෑ ශාස්ත්‍රය හඳුනාගැනීමට මෙමගින් අවකාශ නොලැබී ඇත.

“හදවතට ප්‍රීතිය ගෙන එන්නා වූ යමෙක් මගේ නෙතට උත්සවයක් වීද ඒ සඳ බඳු තැනැත්තා කාලයාගේ ඇවෑමෙන් ගින්නක් බවට පත්විය…”

අපේ ජීවිතවලට බොහෝ පුද්ගලයෝ අනාරාධනාවෙන් පැමිණෙති. ඔවුහු අපගේ ජීවිතය ආනන්දයට පත් කරන්නාහ. වරෙක ආලෝකමත් කළ ජීවිතයම අඳුරට පමුණුවා නොදන්නවාම අවසානයේ බැස යන්නාහ. ජීවිතයේ සැබෑ යථාර්ථය මෙපරිදිය. සසඳරාගේ ජීවිතයට වංගීස බලපෑම් කළේද මෙපරිද්දෙන්ය. නමුත් අවසානයේ කාලයාගේ ඇවෑමෙන් ගින්නක් වූ තැනැත්තාටම එම ගිනි නිවා ගැනීමට නැවත පැමිණීමට සිදු වීමද දෛවෝපගතය. නාගරික ජීවිතයේ සංකීර්ණත්වය සහ භයානකත්වය යුවරාජ් දැරණියගලගේ චරිතයෙන් අපට කතුවරිය පැහැදිලි කරන්නීය. නාගරික පරිසරයේදී බොහෝ චරිත අනෙකාගේ උවමනාකම් වෙනුවෙන් පරිහරණය වෙති. අප විටෙක තදබල විශ්වාසය තබා පිහිටවන්නන් පෙරළා අපගේ ජීවිතවලට ගිනි තැබිය හැකිය. කතුවරිය සෘජුව වින්සිගේ චරිතයට ඇඟිල්ල දිගු නොකළද රාජිනී වන්නේ වින්සිම නොවේද? යුවරාජ් දැරණියගලව නිර්මාණය කරන්නේ ඇය නොවේද? නවකතාවේ සුවිශේෂත්වයක් වනුයේ නවකතාව අවසානයේ පාඨකයාට සිතන්නට යමක් ඉතිරි කිරීමයි. කතුවරිය යම් යම් ඉඟි ලබා දුන්නද සෘජුව කිසිවෙකු වෙත ඇඟිල්ල දිගු නොකරන්නීය. නමුදු සවිඥානික පාඨකයා වහා ඒ බව වටහා ගන්නේය. ගංගාදරගේ චරිතය පරමාදර්ශී චරිතයක් ලෙසින් කතුවරිය නිර්මාණය කර ඇත. විධිමත් අධ්‍යාපනය ලබන ඔහු පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන්ද කටයුතු කරන්නේය.

තරමක් දිගු නවකතාවක් වන ‘විසඹසර’ ආයාසයකින් තොරව කියවිය හැකි නවකතාවකි. කතුවරියගේ භාෂා භාවිතයෙහි පවත්නා නිපුණත්වය එයට හේතුවයි. ඇය මෙහිදී භාවිත කර ඇත්තේ කථන ව්‍යවහාරයයි. කතුවරිය නවකතාව කොටස් පහකට බෙදා ඇත. නවකතාව කියවන පාඨකයින්ගේ සිතෙහි සොබාදහම පිළිබඳ යම් ලාලසාවක් ඇති කිරීමට කතුවරිය සමත් වී ඇති අතර නාගරීකරණයෙන් අත්මිදී ග්‍රාමීය ජීවිතයක් ගත කිරීමටද අවසානයේ ඇය අපට ඇරයුම් කරන්නීය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

One thought on “විශ්වය පුරා සැරිසරන ආදරය

Leave a reply to Nilakshi Bandara Cancel reply