“කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

සුමිත්‍රා රාහුබද්ධගේ “කන්දක් සේමා” නවකතාව තුළින් 80 දශකයේ දේශපාලන ආර්ථික සමාජ සහ සංස්කෘතික වටපිටාව මනාව ස්පර්ශ කරමින් ප්‍රේමය, විරහව, වේදනාව, අනාචාරය, ගබ්සාව, සිය දිවි නසා ගැනීම සහ ලිංගිකත්වය ආදී සමාජීය කරුණු මැනවින් නිරූපණය කරයි. නවකතාව ආරම්භයේදීම දක්වන්නේ ප්‍රේමදාස මහතාගේ රැස්වීම් සහ කතා ආදියයි. පසුවට සිදුවන සිදුවීම් සියල්ල ප්‍රේමදාස මහතා විසින් බත්තරමුල්ල කොස්වත්ත හන්දියේදී කරන ලද කතාවෙන් අනතුරුව සිදුවන ඒවා ලෙස දක්වා තිබීම තුළින් පෙනීයන්නේ 80 දශකය ස්පර්ශ කරමින් “කන්දක් සේමා” කෘතිය රචනා කර ඇති බවයි.

ප්‍රේමය වූ කලී සියලු සත්ත්වයන්ට පොදු වූ ධර්මතාවයකි.එය පුද්ගලයන් විසින් විඳින, විඳවන සහ පුද කරනු ලබන ආකාරය මෙන්ම අනෙකාගෙන් ප්‍රේමය අපේක්ෂා කරන ආකාරයද එකිනෙකුට වෙනස්ය. මෙම කෘතිය තුළ එන නූපාත්, මසායා සාන් තුළත් ඇත්තේ පරමාදර්ශී ප්‍රේමයකි. මෙහි එන නූපාගේ පෙම්බරා යනු පරමාදර්ශී අපේක්ෂාවක් වන අතර මසායා සාන් ගේ පෙම්බරී යනු පරමාදර්ශී මතකයකි. පරමාදර්ශය සහ යථාර්ථය අතර දෝලනයෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඉච්ඡාභංගත්වය කන්දක් සේමා කෘතිය තුළ අපූරුවට නිරූපණය කර ඇත.

ලාංකේය සමාජ සහ සංස්කෘතික ව්‍යුහය තුළ ප්‍රේමය සහ ලිංගිකත්වය කියවාගන්නා ආකාරය එකිනෙකට වෙනස් ය. ගතානුගතික සංස්කෘතික සමාජය තුළ ප්‍රේමය උතුම්කොට සලකමින් පූර්ව-වෛවාහක ලිංගික සේවනය ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකගේ කන්‍යාභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් මෙකී ලක්ෂණය පවතින බව දැකිය හැකි මුත් අද වන විට ප්‍රේමය හුදෙක් ලිංගික ගණුදෙනුවකට සීමාවූවක් බවට පත් ව ඇත. කන්දක් සේමා කෘතිය තුළ එන නූපා වියපත් ජපන් ජාතිකයෙක් වූ මසායා සාන් සමඟ විවාහ වීමට සිත් දැඩි කරගන්නේ මෙකී ප්‍රතික්ෂේපිත පූර්ව ලිංගික සේවනයෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙසය.

ලාංකීය පහළ පාන්තික දුගී පවුලක උපත ලද නූපා ජීවිතයේ සැප විඳීම නම් සිහිනය සිය පවුල තුළින් සාක්ෂාත් නොවන තැන පිරිමින් හරහා එය සාක්ෂාත් කර ගැනීමට උත්සහ දරයි. ජයනාථගේ ලිංගික අවශ්‍යතාවයන් හමුවේ සිය කන්‍යාභාවය පුද කරමින් පරාජයට පත් වූ නූපා, දෙවනුව වියපත් ජපන් පිරිමියෙකු වූ මසායා සාන් ගේ ජීවිතයේ සන්ධ්‍යාභාගයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිය මුළු ජීවිතයම කැපකරයි. එය නූපාගේ ආත්මකථනයන් තුළින් මොනවට ගෙනහැර දක්වයි.

“ජයනාථ හා මසායා !
 ජයනාථ හෝ මසායා යන දෙදෙනාම ඉදිරියෙහි සිටින ආතුරයා මම වෙමි. නුඹ දෙදෙනාම රාම නොවෙති. රාවණාද නොවෙති.මම කිසිවෙකු ළඟ වැතිර සිටින්නට කැමැත්තෙමි… මගේ හය ප්‍රේමය ඉල්ලා කළහ කරයි… නුඹ මගේ පිට පිරිමදින තුරු බලා සිටිමි. නුඹ මගේ දෑසට ළංවී තොරක් නොදකින සිතුවිලි සොයා යන හැටි බලා සිටිමි.” (59 පිටුව)

පූර්ව-වෛවාහක ලිංගික සේවනයත්, ගබ්සාවත් යනූ නූතන යුගයේ සුලබව අසන්නට, දකින්නට ලැබෙන්නකි. පහළොස් හැවිරිදි නූපා, විසිපස් හැවිරිදි ජයනාථ හා ඇති කරගත් ප්‍රේමණීය ගණුදෙනුවේ අතුරු ප්‍රතිඵලය වූයේ ගබ්සාවට ලක්වීමයි. කන්දක් සේමා කෘතිය තුළ එන නූපා, චන්දනා වැන්නවුන් මෙකී නූතන යුගයේ අසාධාරණයට පත්වන ස්ත්‍රීන් නිරුපණය කරන සංකේතයක් ලෙස හඳුනාගත හැකිය. දෙදෙනාම එක්ව කරන වරදට අවසානයේ බැටකන්නට සිදු වන්නේ කාන්තාවටම ය. ජයනාථ හා සිදුවන ආලිංගනය නිසා අවසානයේ අසාධාරණයට පත්වන්නේ නූපා ය.

“මට බයයි”
“ගෑනු බය වෙන්නේ ඔක්කොම ඉවර උනාට පස්සේ.”
“දුර්වල තැනකට මන් විසින්ම පත්වෙලා හිටපු හින්දා මං හිතේ තිබුණ කිසිදෙයක් කිව්වේ නැහැ. මේ වගේ පාහරයෙකුට දෙන නම මොකක්ද කියලා විතරක්ම මගේ යටි හිතෙන් ඇහුවා. චන්දනක්කට වෙච්ච දේ මමත් කරගත්තා.”

නූපා ජපානයට විසිවීම තුළින් නිරූපණය වන්නේ ආසියාතික කාන්තාවට මුහුණදෙන සමාජ සහ සංස්කෘතික තත්වයන්‍ ය. ජයනාථ හා නූපා මුල්වරට හමුවන්නේ ප්‍රේමදාස මහතා බත්තරමුල්ල කොස්වත්ත හන්දියේ දි කරනු ලැබූ දේශපාලන කතාවකදී ය. එකී හමුවීම නූපා නීගතාවට ගෙන යනු ලැබීය.

“නීගතාවට පාර පෙන්නුවේ ප්‍රේමදාස මහත්තයා.” (06 පිටුව)

ආසියාතික සමාජයේ කාන්තාවන් මුහුණදෙන කන්‍යාභාවය පිළිබඳ සංස්කෘතික කාරණාව පිළිබඳ කතාව තුළ තවදුරටත් කතිකාවට ලක් කරයි. ජයනාථ හා එක්වීම නිසා ගැබ්ගන්නා නූපා සිය කළලය විනාශ කරගන්නා අතර ඒ තුළින් පැහැදිලි වන සමාජ යථාර්ථය නම් ආසියාතික සමාජ ව්‍යූහය තුළ විවාහයකින් තොරව සිදුවන ලිංගික ගණුදෙනුව ප්‍රතික්ෂේප කරන ලද බවයි.

“කොහොමහරි මේ රාහුලයගෙන් මිදෙන්න ඕන. මේක මහා දුකක්. බැඳීමක්. මේ බැඳීමෙන් මම මාව ගලවාගන්න ඕන… අවුරුදු දාහතක අම්මා කෙනෙක් හොයාගත්තේ ඇයි? කසාද නොබැඳපු අම්මා කෙනෙක් හොයාගත්තේ ඇයි? ගන්ධබ්බයෙක් උනත් අම්මා වෙන්න යන්නෙ පැනලා යන්න හදන පියෙක්ගේ ලෙයින් කිලිටිවෙච්ච අවුරුදු දාහතක කෙල්ලෙක් නේද කියලා හිතන්නෙ නැත්තේ ඇයි?” (21 පිටුව)

පළමු වතාවේ ජයනාථගෙන් සිදුවූ අත්වැරැද්ද, දෙවන වතාවේ සුමල්ගෙන් සිදුවීම තුළ සිය දරුවා බිහිකිරීමට අවසර ඉල්ලීමට මසායා සාන් ඉදිරියේ බැගෑපත් වන්නට සිදුවෙයි. පළමුව ජයනාථ නිසා ලැබුණු කළලයත්, දෙවනුව සුමල් නිසා ලැබුණු කළලයත් විනාශ කර දමන්නට නූපා පෙළඹෙන්නේ සමාජ රාමුවෙන් එපිට කරන ලද සමාජ අසම්මතයන් ලෙස පිළිගත් කරුණු නිසාය.

“පළමුවැනි වතාවේ මේ දේම සිද්ධ වෙනකොට මගේ වයස අවුරුදු දාහතයි. එතකොට හිටියේ ලංකාවේ. ඉස්කෝලේ යන කාලෙ. ඒකයි මුල. ඒක විතරකුත් නෙවෙයි තව හුඟක් දේවල්. මේ දෙවනි වතාව.” (01 පිටුව)

බටහිර සංස්කෘතියේ දක්නට ලැබෙන්නා වූ ඒක පුද්ගලබව, ආදරය, සම්බන්ධතා සහ එකිනෙකා අතර පවත්නා වූ අනෝන්‍ය සම්බන්ධය පිළිබඳව මෙන්ම විදේශයක් වෙත යන ලාංකිකයන් පිළිබඳව මෙරට පුද්ගලයන් හෙළන දෘෂ්ටිය, නන්නාදුනන රටක භාෂාව නොදන්නාකම සහ නුපුරුදු සමාජ සංස්කෘතියකට හුරුවීමේ දී අත්විඳින්නට වන කටුක අත්දැකීම් මේ කතාව පුරා අපූරුවට දක්වා ඇතිබව දැකිය හැකිය.

“මසායා සාන් වැඩට යනවා. එනවා. කොහෙද වැඩට යන්නෙ කියලා කියන්න ගැළැපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නෑ. කොහෙද වැඩට ගියේ කියලා අහන්න ජපන් වචන මං දැනගෙන හිටියේ නෑ.” (06 පිටුව)

මෙම නවකතාව ඔස්සේ විවාහය පිළිබඳව ද සමාජ කතිකාවතක් නිර්මාණය කර ඇත. විවාහය වූ කලී සමාජ යුතුකම් ඉටුකරමින් පවුලක් ලෙස සමාජයක් තුළ ගොඩ නැගෙන්නා වූ වැදගත් ඒකකයකි. විවාහයක් සහතික කරමින් දෙන්නා වූ “විවාහ සහතිකය” පිළිබඳව අතීතයේ එතරම් වැදගත් ලෙස පිළිනොගත්ත ද, නූතන යුගය තුළ එය වැදගත් සාධකයක් ලෙස සැළැකූ බව දැකිය හැකිය. එය පියාගේ සහ පොඩි ප්‍රේමාගේ විවාහය පිළිබඳ සිද්ධිය ඔස්සේ ගෙනහැර දක්වයි.

“තාත්තා ගෑනු දෙන්නෙක් ගත්තා කියලා හැමෝම අපිට හිනා වෙනවා. තාත්තා අම්මව කසාද බැඳලත් නැහැල්ලු. කසාඳ බඳින්න කියන්න දැන්වත්.”
“ඔය ආණ්ඩුව පවුල් පිටින් බන්ඳන්නෙත් ඕක හන්දනේ” (11 පිටුව)

මෙයාකාරට විවාහය සම්බන්ධ වර්තමාන සමාජ භාවිතාව මේ තුළින් ගෙනහැර දක්වයි.

නූපා සහ මසායා සාන් අතර සිදුවන්නේ අන්තර් වාර්ගික විවාහ හෙවත් ජාතීන් දෙකක් අතර සිදුවන විවාහයකි. එහිදි ජපානය සහ ලංකාව අතර පවතින්නා වූ භූ දේශපාලනමය ව්‍යාජ විවාහය ද මොනවට ඉස්මතු කරවයි. මෙහි එන පවුල් පසුබිම් විධිමත් බවෙන් තොර වූ, අදර්ශමත් බවෙන් තොර වූවක් සේ දැකිය හැකිය. නූපාගේ පවුල දරුවන්ට අවැසි වූ සෙනෙහස හරිහැටි නොලැබූ බව දැකිය හැකිය. ඒ පිළිබඳව නූපාගේ ආත්මකථනය තුළින් පැහැදිලි වේ.

“ළමයින් හුරතල් කරන පුළුල් පසුබිමක අපි නොසිටි නමුදු මල්ලී පවුලේ සුරතලා වූවේය.” (187 පිටුව)

මෙවැනි පවුල් තුළින් ලැබෙන ආල්ප ආදරය මුල්කර ගනිමින් දූෂිත ගති ඇති පුද්ගලයන් බිහිවෙන අතර, එවැනි දරුවන් සමාජයට පිළිලයක් වන්නට බොහෝ ඉඩකඩ පවතී. සුජාතා, චන්දනා, නූපා, රංගන හා රූබට් චරිත තුළින් ඒ පිළිබඳව පැහැදිලි වේ. ඉගෙනීමට ඇති අසමත්කම නිසා නවය ශ්‍රේණියේදීම අධ්‍යාපනය නතර කර දමන අතර, චන්දනා විවාහයටත් පෙර ඇති කරගන්නා ලිංගික සම්බන්ධකමක ප්‍රතිඵලයක් ලෙස දරුවෙක් කුස තුළ දරාගනී. රංගන ගැහැනියක් නිසා ආකාලයේ මිය යයි. ජීවනාවබෝධයේ අල්ප බව සහ ජීවිතය යථාර්ථවාදීව දැනීමට නොහැකිවීම මීට හේතූ ලෙස හඳුනාගත හැකිය.

“ගැහැනියෙකුයි ළමයි දෙන්නෙකුයි අතෑරලා දාලා යන්න තරම් හිත දැඩි කරගත්ත ද? මවිල් ඔක්කොම හැලිච්ච බල්ලෙක් උනත් ජීවත්වෙන්න පොර කනවා. උඹ යස තරුණයෙක් නේ. ඇයි මැරෙන්න හිතුවෙ.” (162 පිටුව)

නූපා යනු තුන් වරක්ම ජීවිතය වරද්දාගත් තැනැත්තියකි. ධනේෂ්වර ලෝකය තුළ සියල්ල මුදලට සිමාවී ඇති සමාජයක නූපාගේ අධ්‍යාපන මට්ටම මෙන්ම, ආර්ථික මට්ටම ද ධනේෂ්වරයේ අතකොළුවක් බවට පත්වෙයි. සිය අනාගත ස්වාමි පුරුෂයා වූ මසායා සාන් ගේ මුහුණ පවා නොදැක ඔහු හා විවාහ වීමට නූපාට සිදුවන්නේ එබැවිනි. මනුෂ්‍ය සම්බන්ධතාවල ව්‍යාජත්වය මෙම කෘතිය හරහා මොනවට ඉස්මතු කරවයි. සුමල් හරහා නූපා සොයායන්නෙ ප්‍රේමයකි. නමුත් සුමල් හා නූපා අතර පවතින්නේ හුදු ලිංගික සම්බන්ධතාවයකි. සුමල්ගේ ලාංකික පෙම්වතිය වූ මතින්ද්‍රිට සත්‍ය ප්‍රේමවන්තයෙකු ලෙස සැළකුව ද ඔහු නීගතාවට වී නූපාගේ සබඳතාවයේදි කරන්නේ රඟපෑමකි.

“මේ මගේ විවාහයේ දරුවෙක් නෙවෙයි. ආදරයෙන් බැඳුණා තමයි. ඒත් නූපා මේ විවාහය නෙවෙයිනෙ. විවාහයෙන් පිට දරුවෙක් හදන්නේ කොහොමද?… මතින්ද්‍රි මම එනකල් මඟ බලාගෙන ඉන්නවා. මමයි, මතින්ද්‍රියි තව වයස යන්න ඉස්සෙල්ලා දරුවෙක් හදන්න ඕන.” (222 පිටුව)

නූපා සැබෑ දාරක ස්නේහයෙන් යුතු මවක් ලෙස තවදුරටත් මෙම කතාව තුළ නිරූපණය කරයි. සුමල්ගෙන් ලැබුණු දරුවා ගබ්සා කර දැමීමට ඇය අකමැති වන්නේ එහෙයිනි. සියදිවි හානි කරගන්නට ගිය තැන සිය දියණිය වූ කසුමි වෙනුවෙන් නූපා පැමිණෙන්නේ ද එහෙයිනි. සියලු දුක්පීඩා අවසානයේ නූපා මසායා සාන්, කසුමි එක්වූ පවුල නම් ඒකකය සැබෑම ස්නේහයෙන් පිරී යනු දැකිය හැකිය. එය “කන්දක් සේමා” කෘතිය අවසානයේ ගෙනහැර දක්වයි.

“මට හාද්දක් දෙන්න.” මා දුබල හඬින් ඉල්ලා සිටියා.
“හාදූ නම් කොච්චර දෙන්න බැරිද?”
“ඉතින් දෙන එකක්යැ”
මං චං වෙව්ලන දෑත් එක්කොට මගේ දෑත අල්ලා ගත්තා. අතීතයයි, අනාගතයයි බෙදා වෙන්කර ගන්නට අඳින ඉරක් මත අප දෙදෙනා ඔවුනොවුන් දෙස බලා සිටියා. (270 පිටුව)

මෙයාකාරයට හැත්තෑවන දශකයේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වටපිටාව මනාව ස්පර්ශ කරමින් සදාතනික සමාජ යථාර්ථය තුළ දක්නට ලැබෙන ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය, සියදිවි නසාගැනීම ආදී වූ සමාජීය කරුණු රාශියක් “කන්දක් සේමා” කෘතිය තුළ නිරූපණය කර ඇති බව හඳුනා ගත හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

2 thoughts on ““කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

Leave a reply to Nilakshi Bandara Cancel reply