විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

බෙංගාලි ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයෙකු ලෙස සැලකෙන විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය විසින් රචිත පොථෙර් පංචලී, අපරාජිතයෝ ආදී කෘතීන් මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් සහ අපූගේ ලෝකය නමින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ චින්තා ලක්ෂ්මි සිංහආරච්චි විසිනි. ක්‍රි.ව.1937 – 1939 කාලය තුළ විභූතිභූෂණ විසින් රචිත “ආරණ්‍යක්” කෘතිය චින්තා ලක්ෂ්මි සිංහආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ “අරණකට පෙම් බැඳ” නමිනි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වනගත වතු යායක් පසුබිම් කොට ගනිමින් රචිත “අරණකට පෙම් බැඳ” කෘතිය තුළින් මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාවය අපූරුවට විදහා දක්වා ඇති ආකාරය හඳුනාගත හැකිය.

ක්‍රි.ව.1924 – 30 කාල සීමාව තුළ භගල්පූර්හි පිහිටි වනගත වතු යායක් නොහොත් ලොබ්ටූලියා සහ බයිහාර් ප්‍රදේශය තුළ වතු කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් විභූතිභූෂණ ලබාගත් අත්දැකීම් මෙම කෘතිය පුරාවට ගෙත්තම් කර ඇති බව හඳුනාගත හැකිය.කතාව පුරාවටම ප්‍රධාන කථානායකයා බවට පත්වන්නේ වනාන්තරයයි. මෙහි එන “සත්‍යචරණ” නම් චරිතය වනාන්තරය පසුබිම් කොට ගත්තා වූ සමස්ත කතා ප්‍රවෘත්තිය පාඨකයා වෙත ගෙන ඒමට යොදාගත් අතුරු චරිතයක් ලෙස ද හඳුනාගත හැකිය. කතා වස්තුව පුරාවටම ඒ ඒ පරිච්ඡේද තුළ විවිධ චරිත පාඨකයා වෙත ගෙන එන විභූතිභූෂණයන් “වණ අරණ” සමස්ත කතා පුරාවටම පාඨකයා අභිමුවෙහි තබයි. කල්කටාවේ පදිංචිව බෙංගාලයේ වෙසෙන ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙමින් රැකියාවක් සොයමින් සිටින සත්‍යාචරණ නම් තරුණයාට සිය මිතුරෙක් විසින් අනපේක්ෂිත රැකියාවක් ලබා දෙන්නේ වනගත කලාපයක වතු පාලකයකු වශයෙනි. එතැන් පටන් වන මැද පිහිටි පිදුරු හෙවිල්ලූ කාර්යාලය සහ වනාන්තරය සත්‍යාගේ ලෝකය බවට පත්වෙයි.

නූතනත්වය සහ නූතනත්වය නොවන දෑ අතර සම්මුඛ වීම හෙවත් පෙරදිග ජීවිතය බටහිර ආඛ්‍යාන රාමුවක් දක්වා පරිවර්තනය වීම සත්‍යාචරණගේ චරිතය යොදා ගනිමින් ඉස්මතු කර ඇති ආකාරය හඳුනාගත හැකිය. එනම් නවකතාව තුළ සත්‍යාගේ චරිතය වනාන්තරය සහ ඊනියා ශිෂ්ට සම්පන්න බාහිර ලෝකය සමඟ සම්බන්ධ කරනු ලබන පාලමක් ලෙසද හඳුනාගත හැකිය. මුල් කාලීනව නාගරික ජීවන රටාව තුළ තවදුරටත් සිතින් ජීවත්වන ඔහු හුදෙකලා වනාන්තර ජීවිතයට එරෙහිව කැරලි ගසයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් වනාන්තරය සත්‍යාගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙයි.

වැඩි කාලයක් මා ගත කර තිබුණේ ජනාකීර්ණ කල්කටාවේ ය. වනගත ප්‍රදේශයේ පාළු බව මගේ හදවත මතට ගලක් පටවා ඇතැයි මට දැනෙන්නට විය… අවරට යන හිරු තුරු හිස් මත රතු සිංඳූර් සලකුණු තවරයි. වන මල් වලින් සහ තන පඳුරු වලින් හමන සුවඳ සැඳෑ සුළඟේ රැඳෙයි. සෑම පඳුරක්ම කුරුලු කිචි බිචියෙන් දොඩමළු වෙයි.”

මේ වෙලාවට මට සිතෙන්නේ මෙහිදී දකින සෞන්දර්ය වෙන කොතනකදීවත් මා දැක නැති බවයි. අවට ඇති සියල්ල මගේ යයි සිතේ. පෙනෙන තෙක් මානේ සිටින එකම මිනිසා මම වෙමි. මගේ පාළුව බිඳීමට කිසිවෙක් නොඑති. පාළු සන්ධ්‍යාවේ නිදහස් වූ අහස් තලය යට සිටින මම ඈත දිගන්තයේ සීමා රේඛාව දක්වා මගේ කල්පනාව විහිදුවාලීමි.”

මානව කේන්ද්‍රවාදය හේතු කොටගෙන මිනිසා සහ සොබාදහම අතර චිත්තවේගීත්වයට එහා ගිය තාර්කික මෙන්ම බුද්ධිමය මෙන්ම ස්වයං-නැඹුරුතාවයකින් යුක්ත වූ සම්බන්ධයක් ගොඩනැගී ඇති බව හඳුනාගත හැකිය. දිගු කාලයක් කල්කටාවේ ජීවත් වූ සත්‍යචරණ ඔහුගේ ඊනියා ශිෂ්ට ජීවන රටාවන්ගෙන් මිදී රැකියාව උදෙසා වනාන්තර ප්‍රදේශයට පැමිණීම තුළ සත්‍යචරණට සොබාදහම  සම්බන්ධයෙන් යම් කිසි චිත්තවේගීය ප්‍රතිචාරයක් දැකිය නොහැකි වුවද, ඔහුගේ සේවා කාලය ගෙවීයත්ම ස්වභාවදහම සත්‍යාගේ ජීවිතය කෙරෙහි කරන ලද බලපෑම විභූතිභූෂණයන් සත්‍යාගේ විවරණය කිරීමේදී ගෙනහැර දක්වයි. ස්වාභාව-සංස්කෘතික ද්විත්වවාදය ඉවත දමන විභූතිභූෂණයන් ස්වාභාව සෞන්දර්යයේ ජීවත්වීම තුළ පුද්ගලයාට ලැබෙන අසීමාන්තික බලය හෙවත් බලපෑම පිළිබඳව ගෙන එන්නේ මනෝරම්‍ය ආකාරයෙන් ආකර්ෂණීය භාෂා ශෛලියක් භාවිතා කරමිනි.

නිහඬ ආරණ්‍ය භූමියේ, පාළු ජන ශූන්‍ය පරිසරයේ සඳ රැසින් නැහැවුණු රාත්‍රියේ සුන්දරත්වය ගැන නට වචනයෙන් විස්තර කළ නොහැක. මා කිසි දිනක එවැනි ඡායාවලින් තොර වූ සඳ ඇති රැයක් දැක නැත… සුදෝ සුදට දිලෙන වැලි සහිත පොළොවක් එහි විය. හිරු රැසින් අඩක් වියළුණු ඉලුක් වනයට සඳ රැස් වැටී සිතේ ගැස්මක් ඇති කරවන තරම් වූ මායාකාරී සෞන්දර්යයක් නිර්මාණය කර තිබිණ. උදාසීන, බන්ධන හීන, නිදහස් හැඟීමක් ඇති වී මගේ හදවත සැලෙන්නට විය.”

තුන්වන ලෝකයේ පරිසරවේදීන් පෙන්වාදෙන්නේ ඉන්දියාව වැනි රටවල දුප්පත් ප්‍රජාව සඳහා දැවැන්ත දරිද්‍රතාවයක් සහ විශාල ඉඩම් හිඟයක් පවතින විටදී සොබාදහමේ වනාන්තර සංරක්ෂණය කිරීම සහ ආරක්‍ෂා කිරීම තේරුම් රහිත දෙයක් බවයි. විභූතිභූෂණ නවකතාව තුළ පෙන්වා දෙන කරුණ නම් ඉන්දියාවේ වන විනාශය නොහොත් වනාන්තර එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීමක් සිදු නොවුණේ නම් ජනයාගේ නැසීයාම හෙවත් ගිරිධාරිලාල් වැනි අයට සියල්ල පසෙකලා සිය මූලික අවශ්‍යතා සපුරාලීම සෑම කාලයකටම පොදු න්‍යාය පත්‍රයක් වන බවයි. මානවකේන්ද්‍රීය පුද්ගල චින්තනය තුළ සොබා දහම සහ සතුන් මිනිසුන්ගෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන අතර මෙහිදී පුද්ගලයන් සොබා දහමේ විවිධත්වය තේරුම් ගන්නා ආකාරයක් දැකිය නොහැකිය. මිනිසා විසින්ම නිර්මාණය කරන ලද පරිසර දූෂණය සතුන්ගේ මෙන්ම මිනිසාගේද ජීවිත කෙරෙහි බලපාන අතර “ආරණ්‍යක්” කෘතිය තුළින් කතුවරයා ඊනියා ශිෂ්ට සම්පන්න ජනතාව වනගත භූමියට සිදුවන දූෂණයන් සහ තර්ජනයන් කෙරෙහි දක්වන උද්දාසීනත්වය මෙසේ ගෙනහැර දක්වයි.

‘චට-පට’ හඬින් වනය ගිනිගන්නා හඬ මට දුරට ඇසුණි. එහි තිබුණු ශෝභා සම්පන්න වූ ලතා මණ්ඩප කීයක් විනාශ වී ගොස් ඇත්දැයි ඈතින් හිඳගෙන කල්පනා කරන්නට වීමි… මිනිසාට සදාකල්හිම සතුටක් ළඟා කරවීමට සමත් වූ අපේ දේශයේ පිහිටි මෙතරම් විශාල සම්පතක් ධාන්‍ය ටිකක් ලබා ගැනීම සඳහා විනාශ කිරීමට සිදුවී ඇත.”

“ඔවුන් පැමිණ ඇත්තේ සතුන් දඩයම් කරනු බලන්නටය. හාවුන්, කුරුල්ලන්, මුවන් ආදී ඔවුන්ගේ තුවක්කුවේ වෙඩි පහර කෑමේ අපේක්ෂාවෙන් මග බලා සිටිනු ඇත… ඔවුන් යද්දි හිස් කිරි ටින් සහ ජෑම් ටින් කිහිපයක් අතහැර දමා ගොස් තිබුණි. ලොබ්ටූලියා වනාන්තරයේ තුරුගොමු යට විසිරුණු ඒ ටින් කබල් ඒ පරිසරයට කොතරම් නොගැලපෙන බවක් පළ කරන්නේදැයි මම සිතුවෙමි.”

වන විනාශය වැළැක්වීමට සත්‍යා අපොහොසත් වන්නේ ඔහු ද එම ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රමුඛ මෙවලමක් බවට පත් වී සිටි නිසාවෙනි. සමස්ත කතාවම අතීතාවර්ජනයක ස්වරූපයෙන් ඉදිරිපත් කරන නවකතාකරුවා තුළ මතකයක් පිළිබඳව දක්නට ඇත්තේ සතුටුදායක අත්දැකීම් වලට වඩා දුක්ඛිත අත්දැකීම් සමුදායකි. සත්‍යා යනු සොබාදහමට ආදරය කරන විභූතිභූෂණයන්ගේ ප්‍රකාශකයාය. නමුත් මේ හරහා වනාන්තරය උත්කර්ෂයට නැංවීම මෙන්ම සොබාදහම සූරා කෑම යන කරුණු දෙකම විදහා දක්වයි. සොබාදහමට ප්‍රේම කරන්නා සේම පරිසර සංහාරයට දායක වූවෙක් ලෙස සත්‍යා විසින්ම පිළිගනු ලබන්නේ ද එබැවිනි.

“එනමුත් ඒ මතකය මට ගෙන එන්නේ සතුටක් නොව දුකකි. ඒ නිදහස් ස්වභාවික සෞන්දර්යයෙන් යුක්ත වූ පරිසරය මගේ දායකත්වය ඇතිව විනාශ වී ගියේය. වනයේ දෙවි දේවතාවුන් මට ඒ ගැන කිසි දිනක සමාවක් නොදෙනු ඇත.”

නවකතාව පුරාවටම විවිධ චරිතයන් ගෙන එන කතුවරයා ඒ හරහා මානව අන්තර් සම්බන්ධතාවයන්හි ස්වභාවය ඉස්මතු කරන්නට සමත් වී ඇත. පිරිමින් මෙන්ම කාන්තාවන්ද එකිනෙකාගේ පැවැත්ම සඳහා වනාන්තරය මත යැපෙන අතර කුන්තා, මංචි භානුමතී වැනි කාන්තාවන් ඔවුන්ගේ ස්වභාවිකත්වයන් වනාන්තරය සුන්දර කිරීමට භාවිතා කරයි.නන්දතාල් වැන්නවුන් ගේ චරිත විවරණය කරන්නේ තම ආත්මාර්ථකාමීත්වය උදෙසා ස්වභාදහම සූරා කන අය ලෙසයි. මෙහි එන කාන්තාවන් වූ කලී ස්වභාවදහම සමඟ ඒකාබද්ධ වූ සමීපත්වයකින් ඉදිරිපත් කරනු ලබන කතුවරයා ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් නොමැති කම සහ අශිෂ්ඨ ජීවන රටාවන් හේතු කොටගෙන මුහුණ දීමට සිදුවන අර්බුදයන්ද මේ හරහා මනාව ඉස්මතු කරවයි.

“මංචිගේ ආගන්තුක සත්කාර විඳ ආපසු එද්දී මට හැඟුණේ ඇය ප්‍රීතියේ ප්‍රබෝධයේ හා අහිංසක බවේ ප්‍රතිමූර්තිය බවය. ඒ වනගත භූමියට ඇය වන ලක්ෂ්මියකි. ඇය මෝඩ බොළඳ බාලිකාවක සේ හැසිරුනත් පරිපූර්ණ යෞවනයෙන් ද, ජීවයෙන් ද, ප්‍රබෝධයෙන් ද යුක්ත වූවාය.”

“වසූරිය හැදුන ළමයෙක් අපේ පවුලේ හිටපු නිසා අපට එහේ ඉන්න දෙන්න බෑ කිව්වා. ඒ දවස්වල රාජ්පුත් කොල්ලෙක් මංචිට ඇහැ ගහගෙන හිටියා. අපි එහෙන් ආපු දවසේ රෑ ඉඳලා මංචි කොහේ ගියාද දන්නේ නෑ. මන් එදා උදේ අර කොල්ලා අපේ ගේ ළඟ කැරකෙනව දැක්කා… මංචි කල්කටාව බලන්න ඕන කිය කියානේ හිටියේ. මන් හිතන්නේ එක්ක යනවා කියලා රවට්ට ගන්න ඇති.”

නවකතාකරුවාට ස්වභාවධර්මය යනු අද්භූත ආයතනයක් වන අතර ඒ හරහා මිනිස් සන්තානයේ දිගු කාලීන හැඟීම් ඉතිරි කරන්නට ඔවුන් සමත් වී තිබේ. මේ සඳහා කතුවරයා යොදාගත් චරිතයක් ලෙස “යුගල් ප්‍රසාද්” හඳුනාගත හැකිය. යුගල් ප්‍රසාද වූ කලී සොබා දහමට ප්‍රේම කරන ආත්මයකින් යුක්ත වූවකි. ඔහු වනාන්තරය පුරා බීජ විසුරුවා හරිමින් මෙන්ම ඒවා සිටුවීම තුළින් කිසිවිටෙකත් ආත්මාර්ථකාමී ලාභ පූරණය කර ගැනීමට උත්සාහ නොදරන අතර සොබා දහමේ සුන්දරත්වයට ආත්මාර්ථකාමී වන පෙම්වතෙක් ලෙස හඳුනාගත හැකිය.එනයින් කතුවරයා තවදුරටත් සොබාදහමේ අවට සූරා කෑමක් වුව දරා ගත නොහැකි පරිසර විද්‍යාත්මක නැඹුරුවකින් යුක්ත යුගල් ප්‍රසාද්ගේ චරිතය නිර්මාණය කර ඇති බව හඳුනාගත හැකිය.

“මං පූර්ණියා වලදී දැක්ක එක සුදු මහත්තයෙකුගේ වත්තේ රටින් ගෙනැවිත් පැල කරපු අපූරු මල් වැලක් තියෙනවා. ඒක ලස්සන රතු මල් පිපිලා තිබුණා.මං ඒ ජාතියේ ඇට ටිකකුයි තවත් එක එක විදිහේ මල් ඇට ජාතියි දුර ඉඳලා එකතු කරගෙන ගෙනාවා. මෙහේ කැලේ ඒ ජාතියේ මල් වැල් නෑ. ඒ හින්දයි මං ඒවා හිටෙව්වේ.මේවා පැල වුනොත් අවුරුදු දෙකක් ඇතුළත පඳුරු දාල ලස්සනට වැඩෙයි.”

“ගස් සිටුවීමේ පරමාර්ථය ගැන අසා මා තුළ ඔහු ගැන ගෞරවයක් ඇති විය. ඔහු ආත්මාර්ථය ගැන නොසිතා බොහෝ දුරකට පැතිරී ඇති වන භූමියේ සෞන්දර්ය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් තමාගේ මුදලත් කාලයත් වැය කොට ඇත.”

අරණකට පෙම් බැඳ කෘතිය තුළ වනාන්තරය ප්‍රමුඛ කොට ගත්තා වූ ආධ්‍යාත්මික මිත්‍යාවන් යොදාගෙන ඇති ආකාරය දැකිය හැකිය. තවදුරටත් මිථ්‍යා කතා හා ජනප්‍රවාදයන් විස්තර කරන කතුවරයා කැලෑ අවතාරය පිළිබඳව විවරණය කරනු ලබන්නේ හැඩය වෙනස් කළ හැකි ජීවියකු වනාන්තරයේ පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, එය කාන්තාවකගෙන් බල්ලෙකුට පරිවර්තනය වී මිනිසුන් මරා දමන බවත්ය. හුදු යථාර්ථවාදී ධාරාවෙන් තොර වූ මෙකී මිථ්‍යාවන් හරහා සමස්ත කතාව කෙරෙහි මායාත්මක සහ භීතිකාමය ස්වරූපයක් ආරෝපණය කරමින් මායාකාරී වනාන්තරයක ස්වරූපයක් පාඨකයා හමුවට ගෙන එයි.

“හදිසියේ සද්දයක් ඇහිලා ඔලුව උස්සලා බැලුවම මිනින් දොරු මහත්තයා නිදාගෙන හිටිය මැස්ස යටට මොකෙක්දෝ රිංගනවා දැක්කා. පාත් වෙලා මැස්ස යට බැලුවම මං ගැස්සිලා ගියා. අඳුරයි එළියයි මැද මං දැක්කා ගෑනියෙක් මැස්ස යට ඉඳගෙන මං දිහා හිනා වෙවී බලන් ඉන්නවා… මං දැක්කා ලොකු බල්ලෙක් පැනලා යනවා. ඌ නං සුදුම සුදුයි සර්. උගේ ඇගේ කලුපාට ළකුණක් වත් නෑ.”

මීට අමතරව ගෝත්‍රික ආදිවාසී ජනතාව පරිසර පද්ධතියේ මානව නොවන නියෝජිතයන් සමඟ කරන්නා වූ අන්තර් රඳා පැවැත්ම මෙන්ම අන්තර් සම්බන්ධතාවයන්ද විභූතිභූෂණයන් පෙන්වා දෙයි. මේ පිළිබඳව තවදුරටත් විවරණය කිරීම සඳහා “භානූමති” ගේ චරිතය යොදා ගන්නා කතුවරයා, සත්‍යාට ලොබ්ටූලියාව ඇතුළු සමස්ත වනාන්තර පද්ධතියේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට නොහැකි වූවා සේම, ඔහුට ස්වාභාවදහමේ ම සංකේතයක් වන් වූ බානුමතීගේ ආදරණීය හැඟීම් ප්‍රතිනිර්මාණය කිරීමට ද කිරීමටද නොහැකි වෙයි. ලොබ්ටූලියාවෙන් පිටවී යාමට පෙර භානුමතීගේ නිවසට ගිය විට එය ඔවුන්ගේ අවසාන හමුවීම බව සත්‍යා පවසා නොසිටින්නේ ද එබැවිනි.

“එහි පැමිණෙන අවසන් වාරය එය බවත් මට නැවත එහි ඒමට නොලැබෙන බවත් මට සිහි විය… ධංජරී පර්වතය මත සුපුෂ්පිත වූ සප්තපර්ණි තුරු වදුලෙන් ද, භානුමතීගෙන් ද, සදහටම සමුගන්නට මට සිදුවේ. වසර හයක් දීර්ඝ වූ වන වාසී දිවිය අතහැර කල් කටා නගරයට යාමට මට සිදුවනු ඇත.”

“භානුමතී සමඟ කථා කරන්නට මට සිතිණ. මා ආපසු නොඑන බව පැවසුවොත් ඇය කුමක් කියන ඇත්දැයි දැනගැනීමට මට ආශාවක් ඇති විය. එනමුත් අහිංසක ගැමි කෙල්ලකට පලක් නැති දෙයක් කියා වැඩක් තිබේද?”

සමස්ත කතාව නිර්මාණය කිරීමෙහිලා භාෂාව විචිත්‍ර ලෙස යොදාගෙන ඇති කතුවරයා, ගැඹුරු සංකේතාත්මක චින්තන පරාසයන් උපමා රූපක ආදිය යොදා ගනිමින් ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන ඇති ආකාරය “අරණකට පෙම් බැඳ” කෘතිය පුරාවටම දක්නට ලැබේ. ලොබ්ටූලියා වනාන්තරය වේගයෙන් අතුරුදහන් වෙමින් තිබියදී සත්‍යා කෙරෙහි තිබූ චමත්කාරය ක්‍රමයෙන් අඩුවීමට පටන් ගන්නේ ද එහෙයිනි. ලොබ්ටූලියාව, නාඪා බයිහාරය අතහැර යාමට අවසන් තීරණය ගන්නා ඔහු සමාව අයදිමින් කතා වස්තුව ආරම්භ කරන්නේද, මතක ශේෂයක් ලෙස කතා වස්තුව අවසන් කරන්නේ ද එබැවිනැ’යි සිතිය හැකිය.

“මතකයෙන් ඈත්වීගෙන යන නාඪා බයිහාරයේ හා ලොබ්ටූලියාවේ වනගත මිටියාවත මාගේ අනුදැන්ම ඇතිව විනාශ වී ගියේය. සරස්වතී වැව අසල ඒ අපුරූ තුරු වඳුළු පිළිබඳ මතකය සිහිනයක් ලෙසින් පැමිණ මා දුකට පත් කරයි.”

“අරණකට පෙම් බැඳ” නවකතාව හරහා සොබා දහමට සමීපව මිනිසාගේ මානවකේන්ද්‍රීය ආකල්පයන් ඉවත් කරන ආකාරය පෙන්වා දෙන කතුවරයා විවිධ චරිත සහ සිදුවීම් යොදා ගනිමින් තවදුරටත් හුදු ආත්මාර්ථකාමී ලෝකයක් තුළ සොබාදහමත් මිනිසාත් අතර ආධ්‍යාත්මික සම්බන්ධතාවය ගොඩනැගීමේ අවසාන බලාපොරොත්තුව “යුගල් ප්‍රසාද්” විය හැකි බවට බලාපොරොත්තුවක් තමයි.

මෙනයින් චින්තා ලක්ෂ්මි සිංහආරච්චි විසින් පරිවර්තනය කරන ලද “අරණකට පෙම් බැඳ” කෘතිය පුද්ගල සන්තානය තුළ ගැඹුරු මානසික වෙනස්කම් ඇති කළ හැකි ගද්‍යමය කාව්‍ය ආඛ්‍යානයක් සහිත විශිෂ්ටතම කෘතියක් ලෙස පෙන්වා දිය හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

2 thoughts on “විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

  1. සඳුනි නිසංසලා ධනපාල, your review on translation by චින්තා ලක්ෂ්මි සිංහආරච්චි is outstanding. Among the critics of Sinhala literary works, your writings have shown rare honesty and rejection of unworthy praise, which is the dominant cult of the “gurukulaya” now busy in producing “photocopy” reproductions of “award-winning” rubbish.

    Liked by 1 person

    1. Thank you so much for your kind words.I only try to express what I see with honesty and respect for the craft. If that brings value to the conversation on Sinhala literature, I’m deeply grateful.😊💐

      Like

Leave a comment