වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

අතීත ලාංකේය සමාජය සොයා යමින් නිර්මාණය කරන ලද ඓතිහාසික ශානරයට අයත් නවකතාවක් වශයෙන් විමල් උදය හපුගොඩආරච්චි විසින් රචිත “යකඩ සිල්පර” කෘතිය හඳුනාගතත හැකිය. යටත් විජිත සමයේ උතුරු දුම්රිය මාර්ගය වන්නි හත්පත්තුව හරහා ඉදි කළ කාලසීමාවේ කුලහීන හේනයන් ප්‍රමුඛ කොට ගනිමින් “යකඩ සිල්පර” ප්‍රබන්ධය නිර්මාණය කර ඇත.

සාර්ථක නවකතාවක් නිර්මාණය වන්නේ අධ්‍යයනයක සහ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. යකඩ සිල්පර කෘතිය කතුවරයා විසින් ලාංකීය දුම්රිය මාර්ග ඉදිකිරීමේ ඉතිහාසය, කුල ක්‍රමය, තත්කාලීන සමාජ ආර්ථිකය මෙන්ම මානව සම්බන්ධතාවයන් අධ්‍යනය කරමින් නිර්මාණය කරන ලද්දකැයි හඳුනාගත හැකිය. එනයින් මෙම නවකතාවේ තේමාව පැති කිහිපයක් දක්වා විහිදී යන ආකාරයක් දක්නට ලැබේ. ආසියාතික සමාජයේ කුලවතුන් නිසා පීඩාවට පත්වන කුලහීනයන් මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට සහාය වන දේශීය රදල පැලැන්තියෙන් යුක්ත සමාජ ධූරාවලිය විවේචනාත්මකව විවිධ චරිත සහ සිද්ධින් යොදා ගනිමින් ගෙනහැර දක්වන්නට කතුවරයා මේ හරහා සමත් වී ඇත. බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ දුම්රිය මාර්ග ඉදි කිරීමේ කටයුතු හේතුකොටගෙන වන්නිකරයේ ජනතාවගේ ජීවිතවල ධනවාදයේ කඩා වැටීම් හේතු කොටගෙන සිදුවන විපර්යාසයන් කතුවරයා තවදුරටත් මේ හරහා ගෙනහැර දක්වයි.

“පදක්කයා දුම්රියෙන් සෙයිලමට ගිය කතාව කියමින් සිටියේය. ගොරබා එතනට පැමිණ පයිප්පය දල්වා ගත්තේය. පදක්කයාගේ කතාවේ රා තැබෑරුම ගැන කියවෙද්දී ගොරබා රහමෙර බීමේ ආදීනව කියමින් කොල්ලන්ට දැනමිතිකම් දුන්නේය. රම්බා වැටි මසා නිමවූ පසුව බබී කොතලී හා මිදෙල්ලි කුස්සි යාත්තලට ගොස් ගවුම් ඇඟලා ගත්තෝය. ගවුම්වල ඉඟ ඔවුන්ගේ ඉඟට වියතක් පමණ පහළින් වුව ද වුව ද ඒවගක් ඔවුන්ට නොදැනුනෝය. ඒ ඉන් පෙර කිසිදු දිනක ඔවුන් ගවුම් ඇඳ නොතිබුණු නිසාය.”

වන්නිකරය මැදින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා එවකට බාර වී තිබුණේ “ඩන්ස්ටන් මුලර්” ට යි. උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා වන්නියේ ජනතාව කම්කරුවන් ලෙස බඳවා ගැනීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති විවිධ අදහස්, මතවාද හා සාම්ප්‍රදායන්ට එරෙහිව නව ධනවාදී සබඳතා බිහි කරමින් වන්නිකරයේ ජනතාවගේ ජන ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වූ බව දැකිය හැකිය. ධූමරථ මාර්ගය ඉදිකිරීම සමග යටත් විජිත ඒකාධිකාරයට නතුවී ශ්‍රම විභජනය සිදුවන බැවින් එවකට ගම් පාලනය කළ රදල පැලැන්තිය සතු බලය ක්‍රමිකව හීන වී යන ස්වභාවයක් ද හඳුනාගත හැකිය. එනයින් ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීම යම්කිසි ආකාරයක විප්ලවකාරී ස්වභාවයක් ගත් බව හඳුනාගත හැකිය.

සුද්ද දුම් කරත්ත පාර තනලා වන්නි හත්පත්තුව උඩුයටිකුරු කොරලයි තියෙන්නේ. දැන් කන්දයෝ, හේනයෝ, මුහුප්පුවෝ, කටුකොළයෝ හැත්ත බුරුත්ත එක්කලාම දුම් කරත්ත පාරේ කුලී කොරන්ට යනවා. උන් ඉස්සර වායෙ අපේ අත්තමට එනවත් හොරයි… තව ටික දොහක් ගත වෙන කොට අපිට උන්ට හාන්දුනේ කියන්ට වෙයි වායෙ.”

ලාංකේය රදල පැලැන්තිය විසින් සිය බල පරාක්‍රමය ආරක්ෂා කර ගනු වස් හුදී ගැමි විශ්වාසවලින් පවා සහාය පැතූ අතර එහිදී දෙවියන්ට කන්නලව් කිරීම, පලිගැසීම ආදිය සිදු කළහ. ඉන්නොනැවතී “ගවරා” නම් පුද්ගලයා විසින් රේල්පීලි සොරකම් කිරීම ආදී විවිධ අවස්ථාවන් කතුවරයා මෙහිදි පෙන්වා දෙයි. ආරච්චිල විසින් ගෝනලාවේ ගැමියන්ගේ නිවාස ගිනි තැබීම තුලින් ද ඉස්මතු කරන්නට උත්සාහ ගන්නේ ස්වකීය රදල බලය තවදුරටත් සැමට වලංගු වන බවයි.

ආරච්චිල විසින් ගෙනගිය පරපීඩක පාලනය හමුවේ කුලහීන ජනයා ලිංගික වශයෙන්ද පීඩාවට පත් වූ ආකාරය හඳුනාගත හැකිය. කුලීනයන්ගේ සෑම විවාහයකදීම ආරච්චිරාළ සහ කුලීනයන් විසින් මනාලිය ඉඳුල් කිරීම නම් වූ සම්ප්‍රදායක් පැවැති බව මෙහිදී අවධාරණය කරයි.

හැම දොහොකම කෙල්ලක් දීගතල ගෙනා දින දැකුම් ඉඳුල් කරන්නා වායේ ආරච්චිල කෙල්ල ඉඳුල් කිරීමට යයි. ඊට පස්සෙන් පහු විදානෙලා වගේ නිලමක්කාරයෝ ද එති. උන්ට ද අඩුක්කු පුදන්නා වාගේ කෙල්ල දිය යුතුය. හීනයන් වෙලා උපදින එක කරුමයකි.”

යකඩ සිල්පර නවකතාවේ චරිත නිරූපණය කිරීමේ දී කතුවරයා දක්වා ඇති සමත් බව ගොරබා, රම්බා, පදක්කයා, ඩන්ස්ටන්, ආරච්චි ප්‍රමුඛ කොට ගත්තා වූ සමස්ත චරිත දෙස බැලීමේ දී හඳුනාගත හැකිය. කතාව පුරාවටම කතුවරයා සුදු චරිත, වටකුරු චරිත, සංකීර්ණ චරිත මෙන්ම පසුබිම් චරිත ද කතාව විකාශනයේදී යොදා ගෙන ඇති බව දැකිය හැකිය. චරිතවල බාහිර අංග ලක්‍ෂණයන් මනාව ඉස්මතු කරමින් චිත්ත රූප මවන කතුවරයා විවිධ පන්තීන් මෙන්ම ඔවුන්ගේ කෲරත්වයන් ආදී සියල්ලම මෙම චරිත නිරූපණයන් හරහා ගෙනහැර දක්වයි. ආරච්චිල විසින් නියෝජනය කරන රදල පැලැන්තියේ බලයට යටත් වන ගොරබා වැනි කුලහීනයන් තුලින් ලාංකේය පැරණි පීඩීත ජන සමාජය නිරූපණය කරයි. ගොරබාගේ නියමයන් ඉවත දමා දුම්රිය වැඩබිම කරා යාමේ සිට එතෙක් බැට කෑ ආරච්චිලගේ ඇතැම් නොමනා ක්‍රියාවන්ට විරුද්ධ වීම තුළින් නූතන සමාජය, වැඩවසම් ක්‍රමයෙන් ක්‍රමිකව මිදීම කතුවරයා අපූරුවට මෙම කෘතිය හරහා ඉස්මතු කරවයි.

ගෝනලාවේ දහ අටට වැඩි පිරිමි එකාල දහසය දෙනෙක් ඉන්නව. උන්ට දඩ කාසි ගෙඩි රුපියක් පනහක් ගෙවන්ට වෙයි.

ආරච්චිල උස් පිළ මත ඉඳගත්තේ කුළු ගේ දෙස බලමින්‍ ය… රම්බා කුළුගේ ඇතුළෙන් එළියට ආවාය. රම්බාගේ අතේ රුපියල් පහේ කොළ රැසක් විය. ඇය ගොරබා ළඟට ගොස් ඒවා ගොරබාට දුන්නාය.”

යකඩ සිල්පර නවකතාවේ කතා වස්තුව ගොඩනැගීමේදී බලය පදනම් කරගත් සබඳතා මෙන්ම මානුෂීයත්වය  පදනම් කරගත්තාවූ සබඳතා වැනි විවිධ වූ මානව සබඳතා නිරූපණය කිරීමෙහිලා කතුවරයා දක්වා ඇත්තේ සුවිශේෂීත්වයකි. ඩන්ස්ටන් සහ රම්බා අතර සබඳතාවය, රම්බා සහ පදක්කයා අතර සම්බන්ධය, ගවරා සහ ගුරුළුමාලිය අතර සම්බන්ධය, ගවරා සහ රූත් අතර සම්බන්ධය, රූත් සහ ඩන්ස්ටන් අතර සම්බන්ධය ආදී වශයෙන් විවිධ වූ මානව සබඳතාවයන්  ඉස්මතු කරන්නට කතුවරයා අපූරුවට භාෂා භාවිතය යොදා ගෙන ඇති බව දැකිය හැකිය. පදක්කයා සහ රම්බා අතර හුදු ශාරීරික අවශ්‍යතාවයන් මත හටගත් සබඳතාවයක් දැකිය හැකි අතර, විවාහය නැමැති සංකල්පය ඉදිරියේ ඔහු සියල්ලන්ගෙන් ඇයව රැකීමට උත්සාහ දරයි. රම්බා සහ පීටර් අතර සබඳතාවය ගොඩනැගෙන්නේ පීටර්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වන අතර ඩන්ස්ටන් සහ රම්බා අතර පැවැතියේ ශාරීරික සබඳතාවයකට එහා ගිය ආධ්‍යාත්මික සම්බන්ධතාවයක් බව කතුවරයා පෙන්වා දෙයි. එය අවසානයේ කුටුම්භයකින් පරිපූර්ණ වන්නේද එහෙයිනි.

රම්බාගේ හිස මුදුනේ බැඳ තිබූ කොණ්ඩය මුහුණට කඩා වැටුණේය. ඇය කෙහෙවලිය හිස පසු පසට දමා ගනිමින් සුන්දර සිනාවක් පෑවාය. ඩන්ස්ටන්ට දුරුතු සීතල තදින්ම දැනුණේය. ඩන්ස්ටන් පුටුවෙන් නැගිට මේස ලාම්පුවේ එළිය මඳක් අඩු කළේය. රම්බා පිටුපසින් පැමිණ ඩන්ස්ටන් වැළඳ ගත්තේ ය.”

මෙහි එන රූත් සහ ඩන්ස්ටන් අතර දක්නට ලැබෙන්නේ නාමමාත්‍රික විවාහයකි. අවබෝධය සහ අනෙකාට ගරු කිරීම ප්‍රමුඛ කොට ගත්තා වූ සබඳතාවයක් වන මෙහි ප්‍රේමය වැනි හැඟීම් දැකිය හැක්කේ ස්වල්ප වශයෙනි. ගවරා සහ ගුරුළුමාලිය අතර සම්බන්ධය මෙන්ම පදක්කයා සහ නිල්මා අතර සම්බන්ධය තුළින් කතුවරයා වෙනස් තලයේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් ගෙනහැර දක්වන්නට උත්සාහ දරයි. නවකතාව තුළ වාර්තා ශෛලියක් යොදා ගන්නා කතුවරයා ඒ හරහා ඩන්ස්ටන් සහ රූත්ගේ චරිත විවරණය කිරීමට දිනපොත සහ ලිපි උපයෝගී කොට ගන්නා අතර ඒ හරහා චරිත වල අභ්‍යන්තර මනෝමය පසුබිම් ද විවරණය කරයි. මෙකී සියල්ල හරහා ප්‍රේමය, කෝපය, විරහව, වීරත්වය, කෲරත්වය ආදී අනේකවිධ මානව ලක්ෂණයන් විවරණය කරන්නට කතුවරයා සමත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය.

මායා යථාර්ථවාදය යනු සැබෑ ලෝකය සහ මායා ලෝකය ඒකාබද්ධ කරමින් සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමයි. කතුවරයා මෙහි ගවරා නම් චරිතය නිරූපණය කරන්නේ යම්කිසි ආකාරයක ගූඪ බවක් සහ අධියථාර්ථවාදී බවක් ඉස්මතු කරවමිනි. මනා දේහධාරී අද්භූත චරිතයක් ලෙස දක්වන ගවරාගේ චරිතය වනයේ වෙසෙන සතුන් සමග ද සන්නිවේදනය කරන, කිසිදු විටෙක වෙඩි නොවදින අසහාය ශක්තියකින් යුක්ත චරිතයක් ලෙස හඳුන්වා දෙයි. ගවරා සහ රූත් ගෙවා දැමූ දින කිහිපය ආශ්වාදනීය ලෙස පාඨකයා වෙත ඉදිරිපත් කරන කතුවරයා ගවරාගේ චරිතය වසර ගණනාවකට පසු පැමිණි සිය පුත්‍රයා වූ වෝල්ටර් ඉදිරිපිටට ගෙන එන්නේ ද මායාකාරී අත්දැකීම් සමුදායක් සමගිනි.

සුළඟ එන්න එන්නම තදින් හමන්නට විය.ඒ සමඟම ඇතෙකුගේ ගැඹුරු කුංචනාදයක් ඇසුණේය… සුළඟට ගස් ගොම්මන අතරින් එකම තැනකින් රවුමට ඉර එළිය පදාසයක් වැටුණේය. ඒ සමඟ ම යළිත් කුංචනාදය ඇසුණේය. කුංචනාදය ඇසුණු දෙසට හිස හරවා චාල්ස් යළිත් ගස් ගොම්මන දෙස බැලුවේය. රැවුල වවාගත් උස මිනිහෙක් ගස් ගොම්මනේ සිටිනු වොලීට පෙනුණේය. ඔහු ඇඳ සිටියේ දණහිසට උඩින් වැසෙන රෙදි කැබැල්ලක් පමණි. ඒ මිනිසා වෝල්ටර් දෙස බලා කහට බැඳුණු දත් පෙන්වා සුන්දර සිනාවක් නැඟුවේය.”

වාර්තාමය ලිවීම් අඩු දෙබස් වැඩි ලෙස යොදාගෙන ඇති මෙහි රචනා ශෛලිය තුළ ඒ ප්‍රදේශයට අනන්‍ය වූ භාෂා ව්‍යවහාරයන් මෙන්ම විශේෂිත යෙදුම් ද යොදාගෙන ඇති බව දැකිය හැකිය.‍ යකඩ සිල්පර නවකතාවේ කතා වස්තුව ගොඩනැඟීමෙහිලා ගෝනලාව ගම්මානයේ සාම්ප්‍රදායික භාෂා ව්‍යවහාරය යොදා ගන්නා කතුවරයා දෛනික ජීවන අත්දැකීම් ආදිය උපමා රූපක යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කරන්නට සමත් වී ඇති බව දැකිය.

අද දොහට හැත්තට බත් තම්බන්ට, හාල් තියෙනවා ඒත් හෙට මොකෑ කරන්නේ.”

අබුද්දස්ස කාලේ ඉබ්බොත් ඉගිලෙනවා කීවලූ.”

අවස්ථා නිරූපණයන් මෙන්ම භාවයන් ප්‍රබල ලෙස ඉස්මතු කිරීමෙහිලා කතුවරයා භාෂාව භාවිතා කර ඇති ආකාරය මේ හරහා මොනවට හඳුනාගත හැකිය.

රොබර්ට් ෂෝල්ස් පෙන්වා දෙන පරිදි ප්‍රබන්ධ කතාව තුළ සත්‍යය,ඉතිහාසය, යථාර්ථවාදය, අද්භූතවාදය මෙන්ම මායාව ද අන්‍තර්ගතය. යටත්විජිතකරණ සමයේ දුම්රිය මාර්ග තැනිමේදී වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ගැමි ජීවිතය දෙදරා යමින් විවිධ විපර්යාසයන්ට ලක්වූ ආකාරය “යකඩ සිල්පර” ප්‍රබන්ධය හරහා කතුවරයා සානුකම්පිතවත්, සෞන්දර්යාත්මකවත් නිර්මාණය කර ඇති ආකාරය මනාව විශද කරවයි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment