කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

“වසර ගණනක් යන තෙක් වෙන කිසිවක් ගැන කතා කිරීමට අපට ඉඩක් නො වුණි. එදිනෙදා සුළු ආරවුල් ගැන පමණක් දොඩමළු වන්ට පුරුදු ව සිටි අපි හදිසියේ ම මේ මහා ව්‍යසනය ගැන අපේ අවධානය යොමු කෙළෙමු”.

ව්‍යසනයන් ශ්‍රී ලාංකීය සන්දර්භය තුලද සුලබ නමුදු උක්ත සඳහන අපට හමු වනුයේ සුප්‍රසිද්ධ ලතින් ඇමරිකානු ලේඛක ගබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් විසින් 1981 දී ස්පාඤ්ඤ  බසින් රචිත, Chronicle of a Death Foretold නමින් පසුව ඉංග්‍රීසි භාෂාවටද, 1990 දී ගාමිණී වියන්ගොඩ විසින් “කරුමක්කාර කතාවක්” ලෙසින් සිංහලටද පරිවර්තනය කරනු ලැබූ නවකතාවෙනි.

අනෙක් සියල්ල යටපත්ව වසර ගණනාවක් ගතවනතුරු ඔවුන්ට කතා කිරීමට තරම් සිදුවූ, මාර්කේස් පවසන මේ ව්‍යසනය කුමක්ද? ඉංග්‍රීසි පරිවර්තනයේ නාමකරණයෙන්ම හැඟවුම් කරන පරිදි එය මරණයක් පිළිබඳ ඉඟියකි. එසේ නම් එය කාගේ මරණයද?

කතාවට පසුබිම් වන්නේ කොලොම්බියාවේ කුඩා නගරයකි. ඒ නගරයේ විවාහ මඟුලකින් අනතුරුව “කන්‍යාවක්” නොවන නිසා මංගල්‍ය රාත්‍රියේදීම දෙමාපියන් වෙත නැවත පවරා දුන්, මනාලියකි. සහෝදරයන් විසින් පවුලේ ගෞරවය රැකගනු වස් ඇයගේ කන්‍යාභාවය උදුරාගත් පුද්ගලයා ඝාතනය කරනු ලබයි. එම සිදුවීම වටා මෙම නවකතාව දිග හැරේ.

එහි පසුවදන වෙනුවෙන් සල්මන් රුෂ්ඩිගේ අදහසක් උපුටා දක්වා ඇති පරිදි “මේ කතාව දිග හැරෙන ශෛලිය නව ආරක යයි. ඒ සඳහා කතුවරයා යොදාගන්නේ අතීත සිදුවීමක් ගවේෂණය කරන, ඒ සඳහා අතීත සිදුවීමකට ආපසු යන නිර්නාමික අපහැදිලි පුද්ගල චරිතයකි. සිදුව ඇත්තේ කුමක්ද සහ එසේ සිදුවූයේ මන්ද යන්නට පිළිතුරු සෙවීම සඳහා විවිධ පුද්ගලයන්ගේ පරස්පර අර්ථ දැක්වීම්, අර්ධ ස්මරණ සහ වක්‍රෝක්ති රාශියක් අතරින් ඔහු අප එතැනට කැඳවාගෙන යයි. එහෙත් ලැබෙන පිළිතුර අසම්පූර්ණය.”

මීට අමතරව Love in the Time of Cholera (කොලරා කාලේ ආලේ) වැනි නිර්මාණයක  හමුවන ඔහුගේ සුපුරුදු මායා යථාර්ථවාදී ලේඛන ශෛලියෙන් මඳ අපගමනයක් දක්වමින්, මාර්කේස් මෙම නවකතාව ගෙත්තම් කරන්නේ මිත්‍යාව සහ දෛවයේ සෙවණැලි පතිත වන, යථාර්ථවාදී වාර්තාකරණ ශෛලියකට සමීප වෙමිනි. අවමංගල්‍ය සභාවක් සිනහගන්වනවා බඳු එම කතාවේ යථාර්ථය තුලින් මතුවන සියුම් හාස්‍ය, විටෙක කියවමින් සිටින්නේ “මරණයක්” පිළිබඳ කතාවක් බව පාඨකයාට අමතක කරවයි.

ඔබ මේ “කරුමක්කාර කතාව” කියවා නැතිනම් මරණයට පත් පුද්ගලයා පිලිබඳ තතු දැන ගැනීමට දැනටමත් සිතේ කුතුහලයක් ඉපදී තිබෙන්නට පුළුවන. නැතිනම් ආරම්භයේ පටන් ඉඟි කරන පරිද්දෙන්, දැනටමත් සිදුවී ඇති මරණයක දැනගන්නට ඉතිරිව ඇත්තේ කුමක්දැයි සිතන්නට පුළුවන. නමුත් කතාව කියවාගෙන යන විට මරණයට පත්වූයේ සැබෑ අපරාධකරුමද? එසේත් නොමැති නම් ඝාතනය වූයේ නිර්දෝෂී පුද්ගලයෙකුද? එසේ නම් නිර්දෝෂී පුද්ගලයෙකු ඝාතනය වූයේ කෙසේද? යන අභිරහස ගවේෂණය කරනු පිණිස හටගන්නාවූ කුතුහලය විසින්, සත්‍යය දැන ගැනීමට පාඨකයා මෙහෙයවනු ලබයි.

උක්ත කාරණාවට සබැඳිව “කරුමක්කාර කතාව” රහස් පරීකෂක නවකතාවක් යැයි සිතුණත් එය එසේ නොවේ. එය සුලබ රහස් පරීක්ෂක කතාවක් වූයේ නම්, පාඨකයා ප්‍රීනනය කරනු ලබන්නේ ගණිත ගැටලුවක් අපෝහනය කර අවසාන පිලිතුර ලබාගන්නා ආකාරයට, පියවරෙන් පියවර අපරාධකරු සොයා ගැනීමෙන් ලැබෙන තෘප්තිය විසිනි. එනමුත් මාර්කේස් මෙම කතාව ගොඩ නංවන්නේ පෙදරේරුවෙකු විසින් බිත්තියක් බඳින ආකාරයට රේඛීයව නොවේ.

සල්මන් රුෂ්ඩි පවසන ආකාරයට මෙහිදී සිදුවනුයේ ඓතිහාසික සිදුවීමක් ගවේෂණය කිරීමකි. ඉන් පාඨකයාට ලබාදෙන්නේ කලකට පෙර හදිසියේවූ සිදුවූ සිදුවීමක සංරක්ෂිත දර්ශන පසු කාලීනව සොයාගෙන, නිස්කාංසුවේ තේකක් තොල ගාමින්, ඒවා එකිනෙක ගලපා, සිදුවූයේ කුමක්දැයි අධ්‍යනය කරන්නා බඳු හැඟීමකි. එය වඩාත් සමීප විසිරුවා හළ ජිග්සෝ ප්‍රහේලිකාවක කොටස් බඳු, දැනටමත් දන්නා කාරණා පිළිවෙළට ගලපන්න උත්සාහ දරමින්, ජිග්සෝ ප්‍රහේලිකාවේ චිත්‍රය සම්පූර්ණ කිරීමටය. එක් කොටසක් චේතනාත්මකව සඟවා මාර්කේස් විසින් නිර්මාණය කරනු ලැබූ ජිග්සෝ ප්‍රහේලිකාවක් බඳු මේ “කරුමක්කාර කතාව” නම් නවකතාව, සිදුවීමේ ඉතිහාසය, වාර්තාකරණය සහ සාහිත්‍ය නැමති කුඩා ප්‍රහේලිකා කොටස් වල එකතුවකින් විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබේ.

කරුමක්කාර කතාවේදී අභාග්‍යසම්පන්න ලෙස මිය යන්නේ සන්තියාගෝ නසාර් නැමති තරුණයෙකි. මාර්කේස් කතාව ආරම්භ කරමින් පලමු පරිච්ඡේදයේ දක්වන්නේ සන්තියාගෝ නසාර්ගේ මරණය දා ඔහු හැර නගරයේ අනෙකුත් හැම කෙනෙකුම ඔහුව ඝාතනය කිරීමට හුන් බව දැනුවත්ව සිටි බව සිහි කිරීමෙනි. ඊළඟට දෙවැනි පරිච්ඡේදයේ ඔහු පාඨකයා කැටුව යන්නේ මනාලයා වන බයාදෝ සැන් රොමාන් නගරයට ආගමනය, ඔහුට අනාගත මනාලිය වන ඇන්ජෙලා විකාරියෝ මුණ ගැසීම, පසුව ඔවුන්ගේ උත්කර්ශවත් විවහ මඟුල, මංගල රාත්‍රියේදී මනාලිය කන්‍යාවක් නොවන බව ඔප්පු වීම සහ නින්දා සහගත ලෙස ඇයව දෙමාපියන් වෙත නැවත බාර දීමේ සිද්ධීන්ටය.

පාඨකයා සන්තියාගෝ නසාර්ට මියයාමට හේතුවූ කාරණය නිශ්චිත කරුණු ලෙස දැන ගන්නේ තුන්වන පරිච්ඡේදයේදීය. එය සිදුවන්නේ ඇන්ජෙලා විසින් තම කුමරි බඹසර සිදලූ පුද්ගලයා සන්තියාගෝ නසාර් බව පවුලේ සාමාජිකයන්ගේ තර්ජනය හමුවේ ප්‍රකාශ කිරීමෙනි. එතැන් පටන් දිගහැරෙන්නෙ පවුලේ ගෞරවය රැකගනු පිණිස ඇන්ජෙලාගේ වැඩිමහල් සහෝදරයන් වන පැබ්ලෝ සහ පේද්‍රෝ විකාරියෝ, සන්තියාගෝ නසාර්ව ඝාතනය කිරීමට තීරණය කිරීම, සූදානම් වීම, එය ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම අනාවැකි දක්වා තිබූ මරණය වලක්වාලීමට කිසිවෙකු සක්‍රීයව ඉදිරිපත් නොවීමේ තතුය.

හතරවන පරිච්ඡේදයේදී මාර්කේස් නැවත පාඨකයා කැඳවාගෙන යන්නේ සන්තියාගෝ නසාර්ගේ මරණයට පසුව සිදුවූ සිදුවීම් වෙතටය. ඔහුගේ මරණය විසින් නගරය කම්පා කල ආකාරයත්, සන්තියාගෝ නසාර්ව දෙවැනි වතාවටත් ඝාතනය කලා බඳුවූ නසාර්ගේ මරණ පරීක්ෂණය පැවැත්වූ සැටිත්, සිද්ධියට සම්බන්ද අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත නසාර්ගේ මරණය නිසා වෙනස්වූ සැටිත් මාර්කේස් ඉදිරිපත් කරයි. බයාදෝ සැන් රොමාන් ඇන්ජෙලා විකාරියෝ හැර යාමත්, වසර දහනවයක් පුරා ඉන්පසු ඇය ඔහුව පතා පෙම් හසුන් ලිවීමත්, අවසානයේදී ඇන්ජෙලාව සොයා බයාදෝ සැන් රොමාන් පැමිණ, ඔවුන් නැවත එකතු වීමත්, එම පරිඡේදයේ සඳහන් වේ.

කතුවරයා සන්තියාගෝ නසාර්ගේ මර්ණය ඉදිරිපත් කරන්නේ අවසාන පරිච්ඡේදයේදීය. පල පුරුදු සූකර ඝාතකයන් දෙදෙනෙකු වන විකාරියෝ සහෝදරයන් විසින්, මවගේ අත්වැරදීමෙන් වසන ලද තමාගේම නිවසේ දොරට තබා, සන්තියාගෝ නසාර්ව ඝාතනය පිලිබඳ, මාර්කේස් ඉදිරිපත් කරන්නාවූ සවිස්තරාත්මක රචනාව විසින්, පාඨක මනසේ මවන චිත්ත රූප, සමකල හැක්කේ ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවකටය.

කතාව ඉදිරිපත් කරන නිර්නාමික අපහැදිලි කතාකරුවා සන්තියාගෝ නසාර්ගේ සමීපතම මිතුරෙකු බව කතාව දිගහැරෙන විට පාඨකයාට පැහැදිලි වෙයි. අවමානයට පත් මනාලිය ඔහුගේ ඥාති සොහොයුරියකි. ඝාතකයන් දෙපල ඔහු හොදින් දන්නා මිතුරන්‍ ය. සන්තියාගෝ නසාර්ගේ ඝාතන නඩුව විභාග කළ, කලා රසිකයකු වූ නඩුකාරයා හැර සිද්ධිය පිලිබද තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට පවා ඔහුට පෞද්ගලික දැන හැදුනුම්කම් තිබුණි. එම සියලුම පෞද්ගලික සබඳතා ජාලය ඔස්සේ සිදුවනුයේ පාඨකයා භාවමය වශයෙන් මරණයට පත්වූ සන්තියාගෝ නසාර් සහ ඔහුගේ මරණය සිදුවූ ඒ කුඩා නගරය සමඟ බැඳීමය.

කතුවරයාගේ එම උපක්‍රමය නිසා මිතුරාගේ මිතුරා එනම් කතානායකයාගේ මිතුරා වන සන්තියාගෝ නසාර්, පාඨකයාගේත් මිතුරෙකු බවට පත්වේ. ඒ කරණකොටගෙන අවසානයේදී ඔහුගේ මරණය විසින් ජනිත කරන්නාවූ කම්පනය තීව්‍ර ලෙස පාඨකයාගේ හදවතට දැනේ. කතුවරයා කෙතරම් සූර ලෙස එම කර්තව්‍යට සමර්ථදැයි, ඌරන් මරන පිහි සන්තියාගෝ නසාර්ගේ ඇඟ මසට කිඳා බහින විට පාඨකයාට දැනෙන, සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියතොත් “බඩ දඟලන” හැඟීම සාක්ෂි දරයි.

නවකතාව කියවන්නාවූ සබුද්ධික පාඨකයෙකුට නැගෙන කේන්ද්‍රීය ගැටලුව වනුයේ කල්තියා දැනුම් දී තිබුණ නමුදු සන්තියාගෝ නසාර්ගේ මරණය වලක්වා ගත නොහැකිවූයේ ඇයිද යන්නයි. නවකතාවට පාදකවූ සමාජ සන්දර්භය අධ්‍යයනය කිරීමෙන් එය වලක්වා ගත නොහැකිවීමට පසුබිම් වූ කාරණා පිළිබඳ යම් අවබෝධයක් සපයා ගත හැකි නමුදු, නවකතාව ආරම්භයේ සිටම තනි තනි පුද්ගලයන්, මරණය වලක්වා ගැනීමට දැරූ සෘජු සහ වක්‍ර උත්සහයන් රාශියක් අහඹු සිදුවීම් දාමයකින් යටපත්වී, අවසානයේදී සන්තියාගෝ නසාර් මිය යාම අර්ථකථනය කල හැක්කේ “දෛවය” කියාද?

කේක් ගෙඩියක් සෑදීම සඳහා විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත පෙනේර කට්ටලයකින් පිටි හලා ගත් පසුවද, හලා ගත් පිටි ගොඩේ තිබී, පාන් ගෙඩියක් හමුවීමට වඩා වැඩිවූ විස්මයක්, අහම්බයන් විසින් උත්ප්‍රේරණය කරන ලදුව, වලක්වාගත නොහැකි සිද්ධි දාමයක් අවසානයේ අවාසනාවන්ත ලෙස සන්තියාගෝ නසාර් මිය යාම පාඨකයා තුල ජනිත කරයි.

ප්‍රදානයන් වෙනස් කර්මින් තාර්කික මෙහෙයුමක් ඔස්සේ ප්‍රතිදානයන් කෙසේ විචලනය වන්නට තිබුනේදැයි විශ්ලේෂණය කිරීමට සන්තියාගෝ නසාර්ගේ මරණය පාඨකයා හට මනෝමය අභ්‍යාසයක් සපයයි. නවකතාවක් කියවාගෙන යන විට “එහෙම නොවුනා නම් කොහොම වෙන්න තිබුනද?  (what if questions)” පාඨකයකුට නැඟෙන සුලබ ගැටලු ආකාරයකි. නසාර්ගේ මරණයට හේතුවූ සිද්ධි දාමය අධ්‍යයනය කලහොත්, ඔහුගේ මරණය වලක්වා ගැනීම සඳහා අනුබල දෙන, එවැනි ප්‍රශ්න රාශියක් නිර්මාණය කල හැකි නමුදු, නවකතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් තුනකට පමණක් අදාල සිදුවීම් මෙසේ ප්‍රශ්න කරමු.

  1. බයාදෝ සැන් රොමාන් මනාලියක් සොයාගෙන වෙනත් නගරයකට සේන්දු වූවා නම් කුමක් විය හැකිව තිබුනිද?
  2. ඇන්ජෙලා තම කන්‍යාභාවය සිඳලූ පුද්ගලයා ලෙස සන්තියාගෝ නසාර්ව නම් නොකරා නම් කුමක් සිඳුවිය හැකිව තිබුනිද?
  3. ඝාතකයන් තම නිවෙස දෙසට දිව එනු දැක, නසාර් ගෙතුල සිටිතැයි සිතා, නසාර්ගේ මව අත්වැරදීමෙන් නිවසේ දොර නොවැසුවා නම් කුමක් වන්නට තිබුනිද?

ප්‍රදානයන් වෙනස් කරමින් යම් සිදුවීමකට අදාලා ප්‍රතිදානයන් වෙනස් කිරීමෙන් පාඨකයාට මනෝමය වින්දනයක් ලැබිය හැකි වුවද, ජීවිතය තුල තර්කයට ගෝචර නොවන්නාවූ අතාර්කික ඉසව්වක් ඇතිබව නවකතාව ඉඟි කරයි. The Midnight Library වැනි කෘතියක සංවාදයට බඳුන් කරන පරිදි, මේ අවාසනාවන්ත මරණයෙන් ගැලවුන නමුදු වෙනත් ආකාරයකින් සන්තියාගෝ නසාර් මිය යාමට නියමිතව සිටියාද?

“Chronicle of a Death Foretold” ඉංග්‍රීසි පරිවර්තනයේ “foretold” පදයෙන් හැඟවුම්කරන පරිදි “කල්තියා දැනුම් දුන් මරණයක්” හෝ පුරෝකථනය කල මරණයක්” පිළිබඳ වාර්තාවක් ගාමිණී වියන්ගොඩ “කරුමක්කාර” කතාවක් ලෙස සිංහලට පරිවතනය කලේ උක්ත කාරණා මත පදනම්ව විය යුතුය. මඟහැර යා නොහැකි දෛවය (inescapable fate) සිංහල වහර අනුව “කරුමක්කාර” ලෙස ඔහු නම් කලා විය හැකිය. නමුත් මිනිසාගේ ජීවිතය දෝලනය වන්නේ, උත්සාහය මතද, දෛවය මතද, එහි සංකලනයක් මතද යන්න අපක්ෂපාතීව පාඨකයාට සිතා බැලීමට මාර්කේස් විසින් නවකතාව ඔස්සේ කවුලුවක් විවර කරයි. එහි සිංහල පරිවර්තනය “කරුමක්කාර කතාවක්” ලෙස නම් කිරීම මඟින්, එහි නාමකරණයෙන්ම සන්තියාගෝ නසාර් මියගියේ, “කරුමය” විසින් බවට ගාමිණී වියන්ගොඩ නිගමනය කිරීම, මාර්කේස් විසින්  විවර කර තිබූ කවුලුව වසා දැමීමක්ද?

මරණය වලක්වා ගැනීමට දැරූ කේවල පුද්ගල ප්‍රයත්නයන් අසාර්ථක වූ බවට නවකතාව පෙන්වා දුන්නත් එය වලක්වා ගැනීමේ චේතනාව තිබූ පුද්ගලයන් සාමුහික ප්‍රයත්නයක් නොදැරූ බව පාඨකයෙකුට නිරීක්ෂණය කල හැකි සියුම් නිරීක්ෂණයකි. එසේ නම් සමාජයක් ලෙස සන්තියාගෝ නසාර්ගේ මරණය වලක්වා ගත නොහැකි වූයේ ඇයි? ඇතැම් සියුම් කාරණා වටහා ගැනීමේ පහසුව පිණිස ඊට පෙරාතුව නවකතාවට පාදක වූ විසි වන සියවස මැද භාගයේ කොලොම්බියාවේ “කුඩා නගරයක” පුද්ගල චර්‍යාවන්, චින්තන රටාව සහ සමාජ ගතිකයන්” හැඩ ගැන්වූ සමාජ සන්දර්භය පිළිබද සැකෙවින් විමසා බලමු.

ඓතිහාසික මූලාශ්‍ර සඳහන් කරණා පරිදි මාර්කේස් තම නිර්මාණය සඳහා වස්තු බීජය සපයා ගෙන ඇත්තේ වර්ෂ එක්දහස් නවසිය පනස් එකේදී කොලොම්බියාවේ සුක්‍රේ නගරයේ දී සිදුවූ, නවකතාවේ ඉදිරිපත් කරනා ප්‍රබන්ධයට සමාන සත්‍ය සිදුවීමකිනි. ඊට පසුබිම් වූ සමාජය ඒ වනවිටත් දේශපාලන අස්ථාවරත්වයකින් ඇරඹිව මහා පරිමාණ ප්‍රචණ්ඩත්වය විසින් මුදාහළ ලේ වැගිරීම් නිසා නිර්වින්දනයවී අකර්මණ්‍ය තත්වයකට පත්වී තිබුණි. ඒම තත්වය දේශපාලනික නොවන ඉඩම් ආරවුල්, පෞද්ගලික කෝන්තර, පවුලේ නම්බුව රැකගැනීම වැනි කාරණා මත පුද්ගල ඝාතනයන් සිදුකිරීමට වේදිකාව සකසා තිබුණි. එවන් තත්වයක් යටතේ රජය සහ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි ආයතන පුරවැසියන්ගේ ආරක්ෂාව ස්ථාපිත කිරීමට අපොහොසත් වී තිබුණි.

එසේ නම් එම සමාජය පාලනය වූයේ කෙසේද? එම පීතෘ මූලික සමාජය පාලනය වූයේ බලවත් පවුල්, පල්ලියේ අධිකාරිය සහ ක්‍රිස්තියානි සභ්‍යත්වය, සහ සමාජ සම්මුතීන් විසිනි. පැවති සමාජ දේශපාලන පසුබිම විසින් පුර්වැසියන් “දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා” තැනට පත් කර තිබුණි.

නව කතාවට අනුව ක්‍රිස්තියානි සංස්කෘතික පසුබිමක් සහිත සමාජයක සිදුවූ මෙම මිනීමැරුම, නිර්දෝශී පුද්ගලයකුවූ ක්‍රිස්තුස් වහන්සේව, සමාජ අනුබලය ඇතිව කුරුසයේ ඇණ ගසා ඝාතනය කිරීමට සමාන සිද්ධියක් සිහි ගන්වයි. රදගුරු තුමා පිළිගැනීමට නගර චතුරස්‍රයට පැමිණි සැඳැහැවත් නගර වැසියන් ඉන් අනතුරුව “ගොන් පොර” තරඟයක් නැරඹීමට සූදානම් ප්‍රේක්ෂකයන් ලෙස නසාර්ගේ ඝාතනය සිදුවන තුරු බලා සිටීම උත්ප්‍රාසජනක නොවේද?

උක්ත සිද්ධිය, ව්‍යාජ ක්‍රිස්තියානි සදාචාරය විසින් සරසා තිබූ, සමාජ අශිෂ්ටත්වයේ සොහොන්කොත වැසූ සුදු හුණු සෝදා හැරීමකි. මනාලයා  වූ බයාදෝ සැන් රොමාන් විසින් රදගුරුතුමාගේ ආශිර්වාදයෙන් විවහ මඟුල පැවැත්වීමට යෝජනා කල විට, ඇන්ජෙලා එය ප්‍රතික්ෂේප කල ආකාරය පසුව දක්වා ඇත්තේ මෙසේය. “ඇත්ත ම කියනවා නම් සුප් එකට කුකුළා ගේ කරමලේ විතරක් කපාගෙන මුළු කුකුළාව ම කුණු කූඩෙට වීසි කරන මිනිහෙකුට කියලා ආශිර්වාද කරගන්න මට ඕන කමක් තිබ්බේ නැහැ.” සන්තියාගෝ නසාර්ගේ මරණයට හේතුවූ එම සමාජය තුල රදගුරුතුමා ඇතුලු පල්ලියේ අධිකාරිය, නියෝජනය කල ක්‍රිස්තියානි සදාචාරය කවරාකාරදැයි ඇන්ජෙලාගේ ප්‍රකාශය මනාව පැහැදිලි කරයි.

විකාරියෝ සහෝදරයන් නසාර්ව ඝාතනය කරනු ලැබුවේ “අපරාධකරුවා” පිළිබඳව ඇන්ජෙලා විසින් හෙලිකල තොරතුර මතය. පසුව හැඟෙන පරිදි ඇන්ජෙලා, සන්තියාගෝ නසාර්ගේ නම පැවසූයේ පවුල් බලය තිබූ නිසා තම සහෝදරයන් නසාර්ට එරෙහි නොවෙනු ඇතැයි සිතාය. අනෙක් අතට ගෞරවය රැක ගැනීම පිණිස සිදු කරන ඝාතනයන් (honour killing) සමාජ සම්මතයක් නොවූවා නම්, විකාරියෝ සහෝදරයන්ට පවා නසාර්ව ඝාතනය කිරීමට නොසැලෙන අධිෂ්ඨානයක් තිබුණිද යන්න විමසා බැලිය යුතු කාරණාවකි. ඔවුන් නසාර්ව ඝාතනය කිරීමට යන බව ප්‍රසිද්ධ කලේ පැවති සංස්කෘතිය මඟින් සාධරණීයකරනය කල පරිදි මනුෂ්‍ය ඝාතනයකින් හෝ අහිමිවූ පවුලේ ගෞරවය නැවත ලබා ගැනීමට විය යුතුය.

තවදුරටත් කවරෙක් හෝ ඉදිරිපත් වී සිදුකරන්නට යන අපරාධය වලක්වනු ලබාවි යන චේතනාව, අහිංසක මිනිසුන්‍ යැයි සමාජයේ නම්දරා සිටි ඔවුන්ටත් තිබුනා විය නොහැකිද? නගරාධිපතිවරයා විසින් විකාරියෝ සහෝදරයන් මිනීමැරුම සඳහා පලමුවරට රැගෙන ආ පිහි ඉල්ලාගත් පසුව, නිවුන් සහෝදරයන්ගෙන් බාලයා වන පේද්‍රෝ සිතන්නේ සහෝදරිය වෙනුවෙන් තම යුතුකම එතැනින් අවසන් බවය. මිනීමැරුම යෝජනා කලේ පේද්‍රෝ වුවද, ඔහු එම සිද්ධියෙන් පසුබට වූ විට නැවතත් ඔහුව ඒ සඳහා පොළොඹවාගනු ලබන්නේ වැඩිමලා වූ පැබ්ලෝ විසිනි. උක්ත සිදුවීම මිනිසාගේ තීරණ ගැනීමේ විභවය කොතෙක් දුරට අනෙකා සහ සමාජය මත පරායක්තදැයි පෙන්වන අතරම, පැරණි සමාජ සම්මතයට එරෙහිව ප්‍රමාණවත් විරෝධයක් සමාජය තුලින්ම එල්ල වූයේ නම් නසාර්ගේ මරණය වලක්වා ගත හැකිව තිබුණිද යන පැනය පාඨකයා හමුවේ ඉතිරි කරයි.

මාර්කේස් පාඨකයා හට ආරාධනා කරනුයේ සමාජයේ ස්ථාපිතව ඇති සමාජ සම්මුතීන්ගේ “ඇත්ත කියන්නෙ ඇත්තටම ඇත්තද?” යන්න විචාරශීලීව සිතා බැලීමටය. මනුෂ්‍ය ඝාතනයකින් හෝ පවුලේ ගෞරවය රැකගැනීමට පෙළඹවීම දක්වා ඇන්ජෙලා ජීවත්වූ සමාජයේ පිරිමියාගේ “ගෞරවය” තීරණය කරන තීරණාත්මක සාධාකයක් බවට ගැහැණියගේ “කන්‍යාපටලය” පත්වූයේ කෙසේද යන්න සොයා බැලීම වටී. එයට පිලිතුරක් ලබා ගැනීමට හැකි වන්නේ නව කතාවට පසුබිම් වූ සමාජ සංස්කෘතික සන්දර්භය තුල සමාජ සම්මුතීන්, රීතීන් සහ සදාචාරයේ භූමිකාව තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙනි.

ජීව විද්‍යාත්මක කෝණයකින් නසාර්ගේ මරණයට ප්‍රස්තුත වූ කාරණාව විග්‍රහ කලහොත්, නසාර්ගේ මරණයට හේතුව, මධුසමය ඇරඹීමට යන ඇන්ජෙලා විකාරියෝගේ යෝනි විවරය අර්ධව වසා සිටි (යැයි උපකල්පනය කරන) තුනී ප්‍රත්‍යස්ථ පටක කැබැල්ලක් අස්ථානගතවී තිබීම බව පිළිගන්නට සිදුවීම විහිලු සහගතය. 

එහි ඉතිහාසය සොයා බැලුවහොත්, පියාගේ දේපල උරුමකරු තීරණය කිරීමේ සුජාතභාවය තහවුරු කිරීමට, අවිද්‍යාත්මක ලිට්මස් පරීක්ෂාවක් ලෙස, මව් පාර්ශවයේ “කන්‍යාභාවය” යොදා ගැන්ම සමාජයේ සම්මුතිගත වීම, පිරිමියාගේ ගෞරවය, ගැහැනිය මත රදා පැවතීමේ ඉතිහාසයේ ආරම්භය යැයි උපකල්පනය කලහැකිය. සමාජ විකාශනයේ සංධිස්ථානයක් ලෙස ගෝත්‍රය තුල බහුභාර්‍යා සේවනයෙන් විතැන්වී දේපල උරුමය තහවුරු කිරීමට ආධාර වන ඒකභාර්‍යා සේවනය පදනම්වූ පවුල ස්ථාපනය වීමත්, කාලානුරූපව මෙම කතාවට පසුබිම් වූ ලතින් ඇමරිකානු සංදර්භයට ලඟා වන විට ක්‍රිස්තියානියේ අනුබලයෙන් එම සමාජය තුල “කන්‍යාභාවය” ගැහැනියගේ අධ්‍යාත්මික පාරිශුද්ධිය සහ ආගමිකභාවය සමඟ ගැටගසා, විවාහයට පෙර මෛථූන්‍ය පාපයක් බවට අධිනිශ්ච්‍ය කොට තිබීමත්, අවසාන වශයෙන් උක්‍ත සංස්කෘතික පදනම මත ගොඩනැගුනු පීතෘ මූලික සමාජය විසින් පුරුෂාධිපති යාන්ත්‍රණය පවත්වා ගැනීමට, ගැහැනිය පාලනය කිරීමේ ජීවවිද්‍යාත්මක මෙවලමක් ලෙස කන්‍යා පටලය (අව)භාවිත වූ සමාජ පසුබිමක, පිරිමි ගර්වය කන්‍යාභාවය සමඟ අන්‍යෝන්‍යව රඳා පැවතියේ කෙසේදැයි පැහැදිලි කරයි.

පීතෘ මූලික සමාජයක් තුල “කන්‍යාව” සංකේතවත් කරනුයේ පුරුෂාධිපත්‍යයේ අපේක්ෂාවන්ට අභියෝග නොකරන “කීකරු” ගැහැනියකි. තත්වය එසේ වූ නමුදු මරියා අලහේන්ද්‍රිනා සර්වන්තේස් නම් නගරයේ ගණිකා නිවාසයේ හිමිකාරියවූ ප්‍රබල ගැහැනු චරිතයක් මෙම නවකතාවේ අපට හමුවේ. මියගිය සන්‍තියාගෝ නසාර්ට ඇය සමඟ මාස දාහතරකට සීමාවූ අනුරාගී සබඳතාවක් තිබූ බව නවකතාවේදී හෙලිවේ. පාවුලෝ කෝයියෝගේ මිනිත්තු එකොලහේ කතාවේ මෙන් මාර්කේස් විසින් ගණිකාවක් “මරියා” ලෙස නම් කිරීම හැඟවුම්කාරකයක් විය නොහැක්කේද?

කන්‍යාවක් නොවීම නිසා ඇන්ජෙලා විකාරියෝ ගැරහුම් ලැබීමත් ගණිකාවකවූ “මරියා” අලහේන්ද්‍රිනා සර්වන්තේස් පිරිමින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වීමත් සමාජ සම්මුතීන්ගේ විසංවාදයන් පාඨකයා හමුවේ තබන්නකි. එසේ නම් ඇන්ජෙලා ජීවත්වූ සමාජය තුළම මරියා පුරුෂාධිපත්‍යයේ අපේක්ෂාවන්ගෙන් මිදුනු නිදහස් ගැහැනියකගේ වරප්‍රසාද භුක්ති විඳින්නේ කෙසේද යන්න පාඨකයාට මතුවන පැනයකි. සමාජය තුල ගැහැනිය මත ආධිපත්‍යය හා ප්‍රචණ්ඩත්වය මුදා හරින පිරිමියා ගණිකා මඩම තුලදී ගැහැනියගේ පාලනයට නතුවීම සහ ගැහැනියගෙන් නිවී සංසිඳීම, පුරුෂ මූලික සමාජයක ගැහැනු මත බලපෑ පුරුෂ රීතීන්ගේ සහ අපේක්ෂාවන්ගේ දෙබිඩි පිළිවෙත හෙලිදරවු කරන්නකි.

පුරුෂමූලික සමාජයක් තුල තමාගේ ජීවිතය තීරණය කිරීම වෙනුවෙන් ගැහැනියට කල හැකි යමක් නොමැතිද? ඇය පිරිමියාගේ රූකඩයක් පමණක්ද යන්න, උක්ත කාරණවටම අදාලවම නවකතාව ඔස්සේ සංවාදයට බඳුන් කල හැකි තවත් කාරණාවකි. ඒ පැනයට පිළිතුරු සපයමින් පවත්නා සමාජ ක්‍රමය ඉරණම ලෙසින් පිළිගන්නවාද එසේ නොමැති නම් එය වෙනස් කිරීමට උත්සහ දරණවාද යන්න සඳහා මේ නවකතාවේ උදාහරණ සපයන ස්ත්‍රී චරිත දෙකකි.

පලමුවැන්නිය නම් ඇන්ජෙලා විකාරියෝය. නසාර් වරක් හඳුන්වාදී ඇති පරිදි ඇය “නෝන්ජල්” එකියකි. එනමුදු එක් රැයකට සීමාවූ විවාහයෙන් පසුව, තම මවගේ පීඩාවන් විසින් නිරූපණය කරන පැරණි සමාජයේ පීඩනය මධ්‍යයේ වුවද ස්වාධීන ගැහැනියක් බවට ඇන්ජෙලා වර්ධනය වෙයි. ඇය විසින් බයාදෝ සැන් රොමාන්ව පතා අඛන්ඩව ලිවීමෙන් තම “ගැහැනු හදවත” නොසඟවා හෙලි කිරීම, එම වැඩුනු ගැහැනියගේ සාධනීය චරිත ලක්ෂණයකි. නොකියවූ නමුත්, වසර දහනවයකට පසු බයාදෝ සැන් රොමාන් ලියුම් මිටියත් රැගෙන තමා විසින් අවමන් සහගතව හැරදා ගිය ඇන්ජෙලා විකාරියෝ සොයා පැමිණීමෙන් ගම්‍ය වන කාරණා කිහිපයකි. එකක් නම් ඇන්ජෙලාගේ අඛන්ඩ උත්සාහය සහ පෙරැත්තය අභිමුඛව, ප්‍රේමය මිලට ගන්නට සූදානම් වූ තරුණයා වෙනුවට, සමාජ අපේක්ෂාවන්ගේ පීඩනයෙන් මිදුණු මිනිසෙකු ලෙස නින්දාවට පත් ගැහැනියකගේ ප්‍රේමය පිළිගැනීමට තරම් බයාදෝ සැන් රොමාන් පරිණත වී සිටීමය. ඇයව හැර යාමට ඔහුව පෙළඹවූ සමාජ සම්මුතීන්ට බයාදෝ සැන් රොමාන්ම පිටුපෑමට තීරණය කිරීම ස්ත්‍රීයක් ලෙස ඇන්ජෙලා ලද ජයග්‍රහණයක් නොවන්නේද?

ඇන්ජෙලාට ප්‍රතිපක්ෂ උදාහරණය සපයන්නිය සන්තියාගෝ නසාර්ගේ පෙම්වතිය වූ ප්ලෝරා මිගෙල්‍ ය. විවාහ වන්නට සූදානමින් සිටි ඔවුන් අතර වූයේ සාම්ප්‍රදායික ප්‍රේම සම්බන්යධකි. ප්ලෝරා මිගෙල්‍ සිතුවේ සමස්ථ සිද්ධිය නිසාවෙන් සැබවින්ම නින්දාවට පත්වූ තැනැත්තිය ඇය බවයි. අවසානයේදී ඇය ලුතිනන් වරයෙකු සමඟ පැන යාමෙන් අනතුරුව, ඔහු විසින් ඇයව ගණිකා වෘත්තියේ යොදවනු ලබයි. මාර්කේස් ඇය පිළිබද කරන්නාවූ සඳහන එපමණකින් නිමාවෙයි. ගණිකාවක් බවට පත්වීම ඇය තම ඉරණම ලෙස පිලිගත්තා විය යුතුය.

කතානායකයා මෙම නව කතාවට අනුව මිනීමැරුමට අදාල සත්‍ය ගවේශනය ආරම්භ කරන්නේ සන්තියාගෝ නසාර්ගේ මරණයෙන් විසිපස් අවුරුද්දකට පසුවය. වසර පහක ආයාසයෙන් අනතුරුවද ඔහුට රැස්කරගත හැකි වනුයේ පිටු පන්සියකට වඩා වැඩි නඩු වාර්ථාවේ පිටු තුන්සිය විසි දෙකකි. එහි ඇත්තේ අසම්පූර්ණ ලිඛිත ඉතිහාසයකි. එසේම සත්‍ය සොයා යාමේදී මිනිසුන් ඉදිරිපත් කරන්නවූ මතකයන්, අපහැදිලි සහ පටලැවිලි සහගතය. මාර්කේස් තවත් එක් අන්තර්දෘෂ්ටියක් ලෙස එසේ ගෙනහැරපාන්නේ සමාජයක් ලෙස අපරාධය වලක්වාලීමෙන් පැහැරහළ සහ, එනයින් අනුබල දුන්, සාමුහික වගවීම පිලිබඳ අපරාධකාරී සාමුහික මතකය, අමතක වීමේ ඛේදවාචකයද?

කරුමක්කාර කතාව පිටු එකසිය විස්සක් පුරා දිග හැරෙන මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳවූ ත්‍රාසජනක සාහිත්‍ය නිර්මාණයක් පමණක් නොවන බව තහවුරු කිරීම සඳහා මෙතෙක් විමසා බැලූ කාරණා සාක්ෂි සපයයි. එය විශ්ව මානව සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස වැජබෙන්නෙ මාර්කේස් විසින් මේ නවකතාව ඔස්සේ පෙන්වාදෙන මිනිස් ජීවිතයේ යතාර්ථයන් පිලිබඳ සදාකාලික සත්‍යයන් විසිනි. ඔහුගේ නිර්මාණය ඔස්සේ මානව සොබාවය හා සමාජ ගතිකයන් කෙරෙහි හෙලන්නාවූ අන්තර්දෘෂ්ටීන්ගේ වලංගුභාවය දේශ සීමාවන් පසු කරමින් විහිදෙයි.

ඊට අමතරව ඓතිහාසික කුඩා සිද්ධියක් හරස්කඩක් කොටගෙන, මූලිකවම කොලොම්බියානු සමාජයේ සහ එය ඇසුරින් අනෙකුත් සමාජයන්හී, විකාශය පිළිබඳ විශ්ලේෂණාත්මකව විග්‍රහ කිරීමට, ඔහු පාඨකයා සඳහා විවර කරන්නාවූ පුළුල් බුද්ධිමය අවකාශය, ප්‍රචාරාත්මක නොවූ අතිසූක්ෂම දේශපාලන නවකතාකරුවෙකු ලෙස නවකතා රචනා කිරීමේ මාර්කේස්ගේ දක්ෂතාව ප්‍රක්ෂේපණය කරයි.

අවසාන වශයෙන් “කරුමක්කාර කතාව” කියවන පාඨකයෙකුට තම ජීවිත කාලය පුරාවටම ප්‍රබන්ධයක් වශයෙන් එය මතකයෙන් ගිලිහී නොයන්නට හේතුවූ තවත් සුවිශේෂී කාරණාවක් තිබේ. තම නිර්මාණය පාඨක සන්තානයේ සදා රඳවා තැබීමට මාර්කේස් විසින් උපක්‍රමික ලෙස යොදා ගනු ලබන්නේ මිනිසා සතු නිසග ගුණාංගයක් වන සත්‍ය සහ යුක්තිය දැනගැනීම පිණිස තිබෙන්නාවූ නොසංසිදෙන පිපාසය, සදාකාලිකවම නොසංසිඳවා රඳවා තබා ගැනීමයි. එම නිම නොවන්නාවූ කුහුල පිළිබඳ තව දුරටත් සොයා බලමින් කරුමක්කර කතාව පිළිබඳ මෙම සටහන නිමා කල හැකිය.

මාර්කේස්, ඉහතදී සවිස්තරාත්මකව සංවාදයට බදුන් කල ජිග්සෝ ප්‍රහේලිකාවක් බඳුවූ නසාර්ගේ මරණය සිදුවූ ආකරය විසදීමට, නවකතාව ඔස්සේ පාඨකයාට ඉඩ ලබාදුන්නද, එය විසදාලිය නොහැක්කක් බව පාඨකයාට වැටහෙන්නේ නව කතාවේ අවසාන පරිච්ඡේදයත් කියවා අවසාන කල පසුය. එතෙක් වේලා ප්‍රහේලිකාවේ කොටස් සමඟ බුද්ධිමය ක්‍රීඩාවක නිරතවූ පාඨකයාට, මංගල රාත්‍රියේදී බයාදෝ සැන් රොමාන් මනාලිය කන්‍යාවක් නොවන බව වටහා ගත්තා සේ, ප්‍රහේලිකාව සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍යයැයි පෙර සිට දැන සිටි, අස්ථානගතවී ඇති තොරතුර අවසාන පිටුවේද සටහන් වී නොමැති බව වැටහෙයි.

කතාවේ අවසානයට පෙර ඇන්ජෙලා ගැන කතානායකයා කරන සඳහනක ඒ පිළිබඳ ඉගියක් සපයයි. එය මෙසේ උපුටා දැක්විය හැකිය “එහෙත් ඈ හෙළි නොකළ එක් කරුණක් විය. එය සදාතනික අභිරහසකි. එ නම්, ඈට සිදු වූ ඇබැද්දියේ සැබෑ හේතුකාරකයා කවරෙක් ද යන්නයි. එය කෙසේ සිදු විණි ද සහ එසේ සිදු වුණේ ඇයි ද යන්න ඈ වැසංගු බව කාටත් පෙනුණි. මන්ද යත්, ඈට සැබවින්ම හදි කෙළේ සන්තියාගෝ නසාර් යැයි කිසිවෙකු විශ්වාස නො කළ බැවිනි.”

කතානායකයා සමස්ථ සිද්ධිය සාරාංශගත කරමින් නසාර් ගැන පවසන්නේ “මගේ පෞද්ගලික අදහස නම්, ඔහු සිය මරණයේ අරුත තේරුම් නොගෙන ම මියගිය බවයි”. නසාර්ගේ කිට්ටුම මිතුරන් මෙන්ම නඩුකාරයා පවා නිගමනය කළේ නසාර් අවසාන පැය කිහිපය තුල හැසිරුණු ආකාරය ඔහුගේ අහිංසක බව පිළිබඳ නො බිඳිය හැකි සාක්ෂියක් බවයි. තවදුරටත් මංගල රාත්‍රියේදී මනාලයාව රැවටීමට උපදෙස් දුන් ඇන්ජෙලාගේ අඹ යෙහෙලියන් නඩු විභාගයේදී සාක්ෂි දෙමින් පවසන්නේ “එයා අපිට ප්‍රාතිහාර්‍ය ගැන කිව්වා. ඒත් ශුද්ධවන්තයා ගැන කිව්වේ නැහැ” කියාය. 

නමුත් නඩුකාරයා සන්තියාගෝ නසාර්ව කවරෙකු වශයෙන් ඇය දැන සිටියේදැයි ඇන්ජෙලාගෙන් ඇසූ විට, ඇගේ අචල පිළිතුර වන්නේ “ඒ තමයි මට හදි කළ කෙනා” යන්නයි. සැබවින්ම ඇන්ජෙලාගේ වචනයෙන්ම ඇයට සිදුවූයේ “හදියක්” නම්, ඇය ගැහැනියක් බවට පත්වූයේ අකමැති පුද්ගලයකු අතින් නම්, “හදි” කල කෙනාගේ නම ඇසූ මොහොතේ, එය හෙලිදරව් කිරීමෙන් පමණකින් ඇගේ සහෝදරයන් ලවා පලිගැනීමට ඇයට අවස්තාව තිබුණි. ඒ පිළිබඳව සමාජය තුල වඩා ප්‍රචලිත අර්ථ කථනය වූයේ ඇන්ජෙලා විකාරියෝ ඈට සැබවින්ම ආලය කළ යම් කිසිවෙකු ආරක්ෂා කළ බවයි.

කරුමක්කාර කතාව අවසාන වන්නේ සදාකාලික අභිරහසක් ඉතිරි කරමිනි. නවකතාව කියවා කාලයක් ගතවුවද එය මතකයට නැගෙන විට පාඨකයාට ඉබේ සිහිවන ගැටලුවක් තිබේ. එනම් සන්තියාගෝ නසාර්ගේ ජීවිතය පවා උකසට තබා, ඇන්ජෙලා විසින් රැකගත්, “ඈට සැබවින්ම ආලය කල පෙම්වතා කවරෙකු විය හැකිද?”


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment