ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

“කතාව ඇරඹෙන්නේ 1870 දශකය සිවිල් යුද්ධයෙන් පසු කාලය වුවත්, එය නවීන සොයාගැනීම්වලට පෙර තිබූ ඇමරිකානු සම්ප්‍රදායික ලෝකය විය…
… තොප්පියක් හිස නොළා පිටතට නොගිය – අත් රහිත, කර පළල් ගවුම් නොඇඳි – අත් ඔරලෝසු නොපැළඳි කාන්තාවන් ගැන ද, සුරුට්ටු දුමු පානය කළ, මත්පැන් ලෙස වයින් පානය කළ, උස් තොප්පි හා දිගු පිට කබා හැඳි පිරිමින් ගැන කියවන විට පැරණි සම්ප්‍රදායට ගරු කළ ඇමෙරිකානු ජනපදය ගැන පුදුමයක් ද පාඨක සිතට දැනේ” (09 පිට).

ඔලෙන්ස්කා ලෙසින් බර්නි දසනායක සිංහලයට පරිවර්තනය කළ, 1921 වසරේ පුලිට්සර් සම්මානය දිනාගත් ඊඩිත් වෝර්ටන්ගේ The Age of Innocence කෘතිය, පිටු 430 පුරා, 19වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති ආචීර්ණ කල්පික සම්ප්‍රදායික ජීවන රටාව, පන්ති භේදය, කුල භේදය, ධනවාදය, ස්ත්‍රීවාදය මෙන්ම සරල රේඛාවක ඈදෙන තුන්කොන් ප්‍රේමයක ත්‍රිකෝණික අංශවල සීරුමාරුව, ප්‍රේමයට ලබා දෙන නිර්වචනය මෙන් ම පරිත්‍යාගශීලී ප්‍රේමයේ වූ පරම පවිත්‍රත්වය උද්දීපනය කර පෙන්වන නිර්මාණයකි. ඔලෙන්ස්කා හි මුල් පරිච්ඡේද 33 පුරා, 19වන සියවසේ නිව්යෝර්ක්හි යථාසාදෘශ්‍යය අහිංසකත්වයේ යුගය ප්‍රතිනිර්මාණය වෙද්දී, එයින් යුගාන්තව ගොස් අවසාන පරිච්ඡේදය, ගතානුගතික සමාජ ක්‍රමයේ බිඳ වැටීම, නවකතාවේ ප්‍රධාන ධාරණෝපචාරයට ප්‍රධාන බලපෑම් ඇති කළ ප්‍රධාන චරිතය වියපත් වීම හා නව පරම්පරාවක බිහි වීම සමඟ සංකේතවත් කෙරේ. එදා නිව්යෝර්ක්හි දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්කෘතික, තාක්ෂණික උඩුයටිකුරු වීමේ ප්‍රතිඵලය වර්තමාන අප දකින ඇමරිකා එක්සත් ජනපදයේ විපරිණාමය බව නවකතාවෙන් පෙන්වා දේ.

ඉංග්‍රීසි ලන්දේසී ජාතීන් මිශ්‍රව ගොඩනැගුණු විස්තෘත පවුල් දාමවලින් යුතු, පන්ති භේදය උලුප්පා දක්වන පැරණි නිව්යෝර්ක් සමාජයේ පවුල් ජාලා, ධනපතීන්ගේ සංකීර්ණ ජීවිත මනාව පාරදෘශ්‍ය කොට පෙන්වයි. සඳලු තලවලින් ගාම්භීරව වැජඹෙමින් උස් වූ බිත්ති සහිත මන්දිර, මිළ අධික ගෘහ භාණ්ඩ, ආකර්ශණීය බුමුතුරුණු ආදී ව්‍යාජ ආටෝපයෙන් අලංකෘතව වැජඹී සිටින ඇමෙරිකානු ධනපති සමාජ පන්තියේ සුඛිත මුදිත බාහිර ජීවිතය, ඔවුන්ගේ සැපවත් මන්දිරවල නොමැති බව සහ ඔවුන්ගේ ව්‍යාකූල වූ ආත්මවල ද නොමැති වූ බව මෙන්ම, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය විවාහය මෙන්ම මනුෂ්‍යයෙක් ලෙස ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතිය ද නවකතාවේ නිරූපිත සමාජ අවකාශයේ ජීවත් වූ මිනිසාට අහිමිව ගොස් ඇති ආකාරය පරිච්ඡේද 33ක් පුරා නිරූපිත ය. බිහිසුණු යදම්වලින් බැඳ දෙදණ බිම ඔබා කශේරුකාව කෙළින් කරගත නොහැකි සේ, හිරකර දමා පරමාදර්ශී සමාජ ක්‍රමයකට ජීවන රටාවකට හෝ සරලව ම ප්‍රාණියෙකු ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ජෛවීය ක්‍රියාවලිය ද, ආධිපත්‍යයක රාමුගතකර මිනිසා ම මිනිසා හුදු හෙජමොනියක බෞතීස්ම කර තිබීම කතාංගයෙන් පාඨකයා වෙත ගෙනහැර දක්වන දහනවවන සියවසේ ඇමරිකානු සමාජ යථාර්ථයයි. ඔලෙන්ස්කා නවකතාව ඊඩිත් වෝර්ටන් තමා ජීවත් වන යුගයට සමීප අවකාශයක් ගෙන එය සමීපව, සාවධානව, බුද්ධිමත්ව නිරීක්ෂණය කරමින් සත්‍ය හා සෞන්දර්යය කැටිකොට සිදුකළ නිර්මාණයකි. ඒ බව ප්‍රත්‍යක්ෂ කරන කරුණු රැසක් නවකතාව තුළ දැකගත හැකි ය.

කතා සන්දර්භය දෙස බැලීමේ දී ප්‍රධාන චරිත ත්‍රිත්වයෙන් එක් ප්‍රධාන චරිතයක් වන ‘නිව්ලන්ඩ් ආචර්’, යනු, ඉහළ ධනේශ්වර සමාජයේ පුරුෂයා නියෝජනය කරන පරමාදර්ශී චරිතය යි. ඔහු මහත්මා ගුණාංග සම්ප්‍රදායික ගති සිරිත්වලින් යුත් පැරණි කුසීත ධනපති සමාජය මධ්‍යයේ හැඳී වැඩුණු තවත් එක් පුරුෂයෙකි. ‘මර්සි වෙලන්ඩ්’ යනු නිව්ලන්ඩ්ගේ සහකාරියයි. කාරුණික, සරල,සුපේශල තරුණියක් වන ඇය, කාන්තාවක් නම් මෙලෙස විය යුතු යැයි පෙන්වීමට මෙන් ඉහළ ධනේශ්වර සමාජයේ පරමාදර්ශි කාන්තා භූමිකාව නියෝජනය කරන්නියකි. ඇයගේ නෑනා වන ‘එලන් ඔලෙන්ස්කා’, ඇයට සම්පූර්ණව ම ප්‍රතිවිරුද්ධ පෞරුෂයක් නියෝජනය කරන්නියකි. තම විවාහය දෙදරා යාම නිසා අපකීර්තිමත් කාන්තාවක් ලෙස හංවඩු ගැසුණු ඇය ස්වාධීනය. සුන්දරය. අව්‍යාජය. ගතානුගත්ක නිව්යෝර්ක් සංස්කෘතියේ එල්බ නොසිට ඉන් ගැළව ගොස් ජීවත්වන ඇය නිව්ලන්ඩ් හා ප්‍රේමයෙන් බැඳෙන්නේ මර්සි හා නිව්ලන්ඩ් අතර වූ ද්වි පාර්ශ්වික ප්‍රේමය ත්‍රිකෝණික හැඩ කරමිනි. කතා සන්දර්භයේ දැඩි ස්කන්ධයක් දරන්නේ මෙම ත්‍රිකෝණික ප්‍රේම වෘතාන්තය හා එහි අභ්‍යයන්තරින් හා බාහිරින් ඇති වන ඝට්ටන එදවස මුල් බැස තිබූ පුරුෂාර්ථ යැයි හිස තබා සිටි සාධක මතින් තව තවත් අවුල් වියවුල් කළ ආකාරය ද කතුවරිය කතා නායකයා වන නිව්ලන්ඩ් ආචර් ලවා විවේචනය කරවන්නී ය. එමෙන්ම, නිව්ලන්ඩ්, ඔලෙන්ස්කා හා මර්සි කතුවරියගේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඈ විසින් විවිධ දිශානතිවල ප්‍රබලතා අඩු වැඩි වශයෙන් සීරු මාරු කරමින් විවිධ කාර්යාවලි සම්පූර්ණ කරවා ගැනීමට භාවිත කළ ආකාරය දැකගත හැකි ය.

එහිදී, කතුවරිය සංකීර්ණ චරිත නිරූපණයෙහි දක්වා ඇති දක්ෂතාව අගය කළ යුතුය. එහි දී නිව්ලන්ඩ් ආචර්ගේ චරිතය කැපී පෙනේ. නිව්ලන්ඩ ආචර්ගේ චරිතය, උසස් ධනේශ්වර පන්ති හස්තයේ අරුත් සුන් කුලය, බලය, මිළ මුදල් ආදී හුදෙක් දරාගත ම නොහැකි ස්කන්ධයකින් යුත් අති දැවැන්ත මිටියකින්, පිවිතුරු ප්‍රේමය, ආකර්ෂණය ආදී නිරායාසයෙන් ම ඇති විය යුතු රෝමාන්තික හැඟීම් බලහත්කාරයෙන් ඔහුගේ චිත්තාභ්‍යන්තරයට තද කොට පහර පිට පහර දී ඔබ්බවා ඇති සේය. ‘ආදරණීය දෙව්දුව’ ලෙස ඇමතූ තම සහකාරිය වන මර්සි වෙලන්ඩ්ගේ, ඉක්මන් මරණය නිව්ලන්ඩ් විසින් ම ප්‍රාර්ථනා කිරීම දක්වා නිව්ලන්ඩ්ගේ චරිතය විකාසනය වී ඇති ආකාරය ඉතා විශ්වසනීය ලෙසින් කතුවරිය ගොඩනංවා ඇත. කතුවරිය ගොඩනංවා ඇති ප්‍රධාන හා අවශේෂ චරිත සියල්ලක් ම ඒ ඒ චරිතවලට ගැබ්ව ඇති සංකීර්ණ මනෝභාවවල ශීඝ්‍රතාව මත නිශ්චලත්වය, වේගය හා ප්‍රවේගය අතර දෝලනය වෙමින් තම තමන් මුහුණ දෙන අභියෝග හා ගැටෙන්නේ කවරාකාරව ද යන්න පාඨකයාට දැකගැනීමට සලසා ඇත.

කතුවරිය, තම කතාංගයෙන් සෑම පුද්ගලයෙක් ම තම ජීවිතවල ත්‍රිවිධාකාර ඝට්ටනයක නියැළෙන ආකාරය පෙන්වා දී ඇත. ඒ පුද්ගලාභ්‍යන්තර, පුද්ගලාන්තර හා පුද්ගලයා හා සමාජය සමඟ යනාදී ලෙසින් ය. ලක්ෂ්‍යය තුනක සිටිමින් පරිභ්‍රමණය වන පෘථිවිය සමඟ තමා ද භ්‍රමණය වෙමින් හැල්මේ දුවන නිව්ලන්ඩ්, ඔලෙන්ස්කා හා මර්සිගේ ජීවිත ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හමුවේ අසරණ වී ඇති ආකාරයත් ය. එමෙන්ම, ප්‍රධාන වශයෙන් ‘විවාහය’ යන සංකල්පය කතාංගයේ ප්‍රබලව මතු කෙරෙන මාතෘකාවකි. කතාවේ නිරූපිත සමාජ පසුබිමේ විවාහය යන්න සමාජයේ තවත එක් උපරි ව්‍යුහයට ආවඩන, ජීවිත වාණිජකරණයට බඳුන් කොට සිදුවන වෙළඳ හුවමාරුවක් බවත් කතුවරියගේ විවේචනාත්මක ඇසින් පාඨකයා වෙත විවරණය කෙරේ. ඔලෙන්ස්කා කියවන පාඨකයෙකුට ඇවැසි නම්, මාක්ස්වාදී උපැස් යුවළක් ලා කතාංගයට උපයුක්ත කරගෙන තිබෙන සමාජ පසුබිම සියුම්ව පිරික්සා බැලුවහොත්, එදවස ධනේශ්වර සමාජය භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම ප්‍රජනනය ද (දරුවන් නිෂ්පාදනය) ආර්ථිකයේ ප්‍රධානම ගාමක බලවේගය වන නිෂ්පාදනය පමණක් ම ලෙස දැක ඇති ආකාරය හඳුනා ගත හැකි ය. ඒ අනුව, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, විවාහය වැනි සංවේදී මාතෘකා ද ඊට යටපත්ව හුදෙක් ගනුදෙනු බවට පත්ව ඇති ආකාරය දැකගත හැකි ය. ධනවාදය, පන්ති භේදය,කුලවාදය සමාජ සම්මත යැයි පිළිගන්නා ගතානුගතික සංස්කෘති, මතිමතාන්තර හා සම්ප්‍රදාය තේජාන්විතව පිළිඹිබු කරන්නේ, ලේ ගැලීමකින් තොරව ජීවිතය ඉවත් කිරීමේ පැරණි නිව්යෝර්ක් ක්‍රමයයි.

කතාංගයේ ප්‍රධාන ම චරිතය වන නිව්ලන්ඩ්ගේ වියපත් වීමත් සමඟ නිව්යෝර්ක්හි අහිංසකත්වයේ යුගයේ කඩා වැටීම හා නව පරම්පරාවේ ආගමනය අවසාන පරිච්ඡේදයෙන් දැකගත හැකි ය.
ප්‍රබන්ධ රචකයා තම වස්තු විෂය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා භාවිත කරගන්නේ භාෂාවයි. මෙහි දී විශේෂව ම කතාංගයේ භාවිත කර ඇති භාෂාවත් ඒ භාෂාවේ නැවුම් බවත් චමත්කාරයත් පාඨකයාට ගෝචර වන සේ පරිවර්තන සිදු කර ඇති බර්නි දසනායක මහත්මියත් අගය කළ යුතු ය.

“මේ මනස්කාන්ත උද්‍යාන මධ්‍යයේ නීල්සන් මැතිනිය ළා නිල් සැටින් රෙද්දෙන් කළ දිග ඉරි සහික සුදු කැෂ්මියර් ඇඳුමකින් සැරසී, නිල් බඳපටියෙන් එල්ලා වැටුණු ජාලාකාර පලඳනාවකින් යුතුව මස්ලින් හැට්ටය දෙපස රැඳි ගේට්ටු කහ පැහැති වරලස සහිතව, දෑස් පහතට හෙළාගෙන කැපෝල් මහතාගේ රාගාන්වික පෙම් බස්වලට සවන් දෙමින් සිටියාය” (කවරයේ කතාව).

ධනපති පන්තියේ පුහු ආටෝපයක බලහත්කාරයෙන් සඟවා සිරකර පැවති පීඩාකාරී සමාජ ධර්මවල කෘෘරත්වය මත රුහිරු ගලමින් පවතින තුවාල, සංස්කෘතිය, සම්ප්‍රදාය හෝ හෙජමොනිය යැයි ද පවසමින් හෝ පැලැස්තර තබා වසා තැබීමට කතුවරිය උත්සුක වන්නේ නැත. දහනවවන සියවසේ පැරණි ඇමෙරිකානු නිව්යෝර්ක් ප්‍රාන්ත, සම්ප්‍රදායික ධනේශ්වර සමාජය ඇය, ව්‍යවච්ඡේදකයා වෙමින් කපා කොටා වෙන් කරමින් තමාගේ ඡේදන සාර්ථක හෝ නොවූ බව විනිශ්චය කිරීම පාඨකයා වෙත බාර කරයි. ඇයගේ ඡේදන ක්‍රියාවලිය සාර්ථක වී ඇතැයි නිගමනය කළ හැකි වන්නේ, නිරූපිත සමාජ යථාර්ථය පිටු මත දිග හැරීමෙන් හා ධනේශ්වර යැයි පවසන සමාජයේ ද ජීවත් වන්නේ ලේ, මස්, නහරින් යුතුව පණ ගැහෙන මිනිසුන් මිස අදෘශ්‍යමාන බලයකින් මෙලොවට මවා සුඛිත මුදිතව දිවි ගෙවන මිනිස් ප්‍රජාවක් නොවන බව පාඨකයා ප්‍රත්‍යක්ෂ ලෙස ම අවබෝධ කර ගැනීම මඟින් ය.
The Age of Innocence හෙවත් ඔලෙන්ස්කා යනු ඊඩිත් වෝර්ටන්ගේ සෞන්දර්යාත්මක මානව ජීවන පරිචය විනිවිද දකින ගැඹුරු වූ ලියමනකි. සූක්ෂම පිරික්සනියක, නිහඬ ගවේෂිකාවක, ස්ත්‍රීවාදිනියක මෙන්ම සුන්දර සාහිත්‍යවේදිනියක ලෙස වෝර්ටන් මැතිනිය සාහිත්‍යයට බිහිකර ඇති දායාදය මනුෂ්‍යයා, මනුෂ්‍යයත්වය යළි ප්‍රශ්ණ කරන්නට පොළඹවන අපූර්ව නවකතාවකි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

One thought on “ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

Leave a reply to Anonymous Cancel reply